සොබාදහමෙන් උපදින මල් වඩම් සිනාසිය යුතුය

 ඡායාරූපය:

සොබාදහමෙන් උපදින මල් වඩම් සිනාසිය යුතුය

සොබාදහම සමඟ ගොඩනඟා ගන්නා අත්‍යන්ත සබඳතාව සියලු කලාවන් සඳහා අපූරු සාර පොළොවක් නිර්මාණය කරයි. ගහක පත්‍රයක්, මලක්, පලයක්, දිරූ අත්තක් මෙන්ම ගලන දියපාරක්, කුරුලු ගීතයක් සාහිත්‍යකරුවකුගේ අත්දැකීමක් නිර්මාණ සූක්ෂමතාවෙන් දළු ලා වැඩෙන්න අවශ්‍ය දිය පොහොර සපයා දෙයි. ඇමෙරිකානු කවියකු වන රොබට් ෆ්‍රොස්ට් ජීවිතය විවරණය කරන්නට, සොබාදහම මනාව භාවිත කළ කවියකි. ඔහු සොබාදහමේ විවිධ චලනයන්, ශබ්දයන් මෙන්ම වර්ණයන් මානව ජීවිතයේ විවිධ සංවේදීතාවන් විවරණය කිරීම සඳහා අපූරුවට යොදා ගනී.

 

මහලු වී ගල් බැම්මේ වැතිරුණ

ඉරට පවරා සැඳෑ සක්මන

උලමෙකුගෙ තත් බිඳුණු වෙණකට

ඉපිල් ගස් කන් වහන ඉක්මන ...

කලට අකලට හිතේ සතුටින්

හිතුමතේ මල් අහුරු වස්සන

අම්මා නිදියන සොහොන අද්දර

පිපෙන බාලොලි තමයි ලස්සන ...

(බාලොලි - පිටුව 21)

දිනූ රජගුරු කිවිඳියගේ “මල් වඩම් සිනාසිය යුතුය.’’ කාව්‍ය එකතුව මෙලෙස සොබාදහමේ විවිධ මානයන් උපයෝගී කොට, අත්දැකීම් කවි කරන්නට ඇය ගන්නා උත්සාහයන්ගෙන් බහුලය. කවිය වඩාත් තියුණු රසයක් ජනිත කරමින් රසිකයාගේ හදවතේ ගැඹුරු කෙළවර දක්වා රැගෙන යෑමට එවිට ඈ සමත් වේ.

 

හදන්නට පෙර බටනළාවක්

බට ගහක් කොයිතරම් නැටුවද

වේදනාවේ මන්ද ස්වරයෙන්

එයින් පසු කොයිතරම් හැඬුවද

(මිතුරු ස්වරයක් - පිටුව 29)

මනාසේ හැඳ පැළඳගෙන

ටිකට්පත් විමසන ශීලාචාර උයන්වතුය

මහා ගස් කුසීතය

පවන් ගැහුවේ

අගිස්සේ හිටපු

හිත මොලොක් හීනිතම අතුය.

(මල් වඩම් සිනාසිය යුතු ය - පිටුව 34)

මෙවැනි කවි ගණනාවක් ‘‘මල් වඩම් සිනාසිය යුතුය.’’ කාව්‍ය එකතුවේ එයි.

‘‘ඔරායන් ඇහැරගෙන, අඩක් මහලුව නිදන විල්තෙර, කිරල බිත්තර, අම්මා ඇවිදින්, හිරු කිනිත්තක් ඇත මගේ ළඟ, තාන් සුවඳයි උතුරු සළුවයි, මහ පොළොව ගී ගයයි, සිනා සී කුරු ගඟ ගලන්නී, කඳුළු චුට්ටක් හැලුණු තැන්වල’’ වැනි නිර්මාණවල දිනූ, සොබා දහමේ සෞන්දර්යයන් ජීවිතය හා බද්ධ කර අත්දැකීම අපට කවි කරයි.

ඇගේ මෙම නිර්මාණ එකතුවේ දැකිය හැකි අනෙක් විශේෂත්වය වන්නේ ඇය උපයුක්ත කරගන්නා බසයි. කවියකුගේ ප්‍රකාශන මාධ්‍යය වන්නේ භාෂාවයි. භාෂාව තමන්ට අවැසි ලෙස මුදු මොලොක් කර මෙල්ල කරගන්නා කවියකුට ඉතා මනරම් ආකාරයෙන් නිර්මාණකරණයේ නියැලිය හැකිය. සමාන වැකි හා පද එකට ගැටීම, නවමු රූපක භාවිතා කිරීම වැනි භාෂා උපක්‍රමයන් ඇය ඉතා දඩබ්බර අයුරින් භාවිතා කළද ඉන් කවියට හානි නොකිරීමටද වගබලා ගනී.

කවියක් රසිකයා තුළ ඇති කළ යුතු කම්පනය ඇති විය යුත්තේ කවියේ අවසාන පද කිහිපයේදීය. එම කම්පනය අත්දැකීම පිළිබඳ රසිකයාගේ සිත තිගස්සයි. යළි යළි සිතන්නට පොළඹවයි. ජීවිතය අවබෝධය වඩවයි. කවියකින් විය යුතු මෙහෙය ඒ යයි හඟිමි. ඒ කවියක පරිපාකයයි. දිනූගේ ඇතැම් කවිවල මේ ගුණය අවාසනාවකට මෙන් ඇය අතින් ගිලිහී යයි. එය ඇතැම් විට සිද්ධි පුළුල්ව විස්තර කිරිමට ඇය දක්වන කැමැත්ත නිසාද විය හැකිය. නැත්නම් භාෂාව භාවිතය කෙරෙහි විශාල අවධානයක් දැක්වීමට යාම නිසා විය හැකිය. කෙසේ වුවත් ඇතැම් කවිවල ඇති කම්පනීය අවස්ථා පසු කොට ඇය කවිය තවත් ඉදිරියට ගෙන ගොස් අත්දැකීම දියාරු ස්වරූපයෙන් අවසන් කරයි. එයට දිය හැකි හොඳම උදාහරණය නම් ‘‘අම්මා ඇවිදින්’’ කාව්‍ය නිර්මාණයයි. එම කවියේ අවසන් පද්‍ය දෙක නොතිබුණේද කවියෙන් ඇය කියන්නට උත්සාහ කරන අත්දැකීම පහත කවියෙන් පරිපාකයක් කරා රැගෙන යයි.

 

ක්ලිනික් ඉස්පිරිතාලෙ තියෙනවා

සති දෙකකට සැරයක්

වැඩිවෙලා ප්‍රෙෂර් එක

වාට්ටුවේ නැවතිලා හිටියනේ දවසක්

ඒ හැටි ලෙඩ නෙවෙයි

උඹලට කරදර නොකළෙ

නිවාඩු නෑනේ කොහොමත්

බුදුන් වැඳ වැඳ ඉන්නකොට, උඹ

අම්මේ කියනවා ඇහුණා

ඒකමයි රත්තරං ආවේ තකහනියක්.

(අම්මා ඇවිදින් - පිටුව 43)

“ඇයි මාලනී අපට පීනන්න බැරි, I Love You, පුදුම හත දැක්ක ද? මම හිනා වේගෙන ඉන්නවා” වැනි නිර්මාණයන්ද අනවශ්‍ය දීර්ඝ කිරීම්වලට යාම නිසා කවිය අවසන් විය යුතු කම්පනීය අවස්ථා දිනූ විසින් මඟහැරගෙන තිබේ. තවත් අතකින් බලන කල දිනූ සිය කුසලතාව වඩාත් ප්‍රභාවත් ලෙස පෙන්වන්නේ එතරම් දිගු නොවන කෙටි කවිවලිනි. ‘‘ස‍ඳෙත් තියෙනවා අඳුරු පැත්තක්, කඳුළු චුට්ටක් හැලුණු තැන්වල, හතළිස් වියැති මෙනවිය, උයන්පල්ලෙක් කල්පනාවක, තාන් සුවඳයි උතුරු සළුවයි’’ වැනි නිර්මාණ මෙකී කාරණය සම්බන්ධයෙන් ඈ යළිත් විවේකීව විමසා බලන්නේ නම් වටී.

කෙසේ වෙතත් දිනූ රාජගුරු නම් කිවිඳියගේ මතු ලියැවෙන කවි සිංහල කවියේ රුව ගුණ වර්ධනය සඳහා තීරණාත්මක දායකත්වයක් ලබා දෙනු ඇතැයි යන බලාපොරොත්තුව “මල් වඩම් සිනාසිය යුතුය.’’ කෘතිය කියවා අවසනදීද සිනාසෙනු දැකිය හැකිය.

[කපිල එම්. ගමගේ]

මාතෘකා