කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

මන් ටිකක් බොන්නම්

ආදරේ චුට්ටක්
ඉල්ලන්න තහනම්...
රතු රෝස මලක් ළඟ
නැවතිලා දවසක්...

ඇබිත්තන් සමනලෙක්
නටුවකට හිස තියන්...
වැමෑරුවා කඳුළු වැල්
ඇස් කෙවෙනි ගෙවෙනකන්...

එයා හරි අමුතු කෙල්ලෙක්
ඒක හරි අමුතු ප්‍රේමයක්
පපුවට තුරුල් වෙලා ගුලිවෙලා
පපුවම පුච්චන ප්‍රේමයක්

බලාපන් සුදු නෝනේ
ආන් හඳ පළුවක්..
සත්තමයි දන්නවද
උඹ මගේ කොටහක්..
උඹේ කර්කශ පපුව
අනේ වුණා නම් සුදුමලක්...
අපි දෙන්නටත් ඉන්න තිබුණා
අත් පටලගෙන හවස වරුවක්...

බාර්වල ඇල්කොහොල්
විරහවට බෙහෙතක්...
පපු කැවුතු මිරිකපන්
සැන්ඩි කරපන් කදුළු බිදුවක්...

මට උඹට දෙන්නට
නෑ කිසිම වස්තුවක්...
හැබැයි මට පුළුවන්
රැකගන්න මැරෙනකන්...
ඇහි පියන් යට තියන්...
සුදු නෝනෙ තව වරක්...
හදවතින් අහපන්...
මදි නම් එබිලා බලපන්...
ආදරේ නැත්තන්
උඹ යන්න පලයන්....
කඳුළු වැල් හංගගෙන
මං හිනාවෙන්නම්....
උඹ දුරට ඉගිලියන්

වෙඩින් එක දවසටත්
මං ඇවිත් යන්නම්...
සමාවෙනවද මැණිකේ
මං ටිකක් බොන්නම්

[ශනීෂ් ශ්‍රීමාල්]


මතකයේ චෙරි රසය

මා’තින්ම,
මගෙ මිනීවළ කැණ
සඳඑලිය යට නිදමි...

තාරුකා මැරුණු අහසෙහි
මායා ආලෝක තිත්
හෙමින් පාවෙයි...

විසල් අවකාශය සිසාරා
ඇදී යනු දැනෙයි
කොහේදෝ ලොවකට
නිදහස්ව....

අත් හැරුණු කාය තුළ
ඉතින් නොසොයන්
දැන් කිසිවක්ම නොවේ මම
සැහැල්ලුය..

සුළඟ මෙන්..
ඉහිල්ව
ලිහිල්ව
දකිමි
අසමි
නුබ ගැබෙහි
නුඹ ලියූ
මරණයේ නොමැරෙන ගීය
සිහින් මුදු සරකින්...

[විකුම් ජිතේන්ද්‍ර]
ඉරාන සිනමාවේදී අබ්බාස් කියරෝස්තාමිගේ “ටේස්ට් ඔෆ් චෙරි” චිත්‍රපටය නැරඹීමෙන් ඉක්බිති සිතුවිල්ලකි.


නිදහස

ගිණි කඳ හරවලා සයුරේ පැත්තකට
සෙබළුන් තියා ගිණි අව්වේ සීරුවට
ඇමතිලාට ආසන පනවා යසට
නිදහස විඳී ගෝල්ෆේස් පිටිය උඩ

කොළඹ අහස දෙදරා යයි වෙඩි හඬට
දිනූ නිදහස උතුරා යයි සයුරටම
සුද්දාගෙන් රට අරගත් පාටියට
බඩ උලාන අපි ඉමු එක්සේසත්ව

[දර්ශන රුවන් ජයපත්ම]


දේදුන්න

එපා එන්න කීවාට
නාහ නුඹ ආවාට
යළි ඇදල ගන්නට
අර මුහුද පතුලට
පාට පාට ගාපු
හත්පටක් අඹරාපු
තෝන් ලණුවක්
ඔන්න දැන් ඇදෙනවා
අහුවෙන්න නම් එපා
අහුවුණොත්
ඔය මුහුණ අඳුරු වෙයි
කදුළු බිඳු ඇදහැලෙයි
අපටත් හරි දුකක්
සින්නවෙයි
නුඹ නිසාම උපන්
නුඹම හැදූ වැඩූ
මෙයා දැන් කියන්නේ
දියෙන් දිනු ලුණු
දියෙන් නැසුමද
ඔහොම තමයි මේ
අපේ ජිවිතේත්

[නන්දසිරි වැලිගමගේ]


සහේතු

ගිලිහී ගත් පෙති අතුරිනි
රිදුමක තෙත රැඳුණේ
සිහිවී ගත් මතකයකිනි
ඉගිලී හිත දැවුණේ
විහිදී ගත් දින අතුරිනි
බියවී නෙත් වැසුණේ
පියවී ගත් නෙත් ඇතුලෙනි
ගිනි ගත් කවි මැවුණේ

[දිල්මිණී හසින්තා]


සංක්‍රාන්ති

උදා විලි ලූ අහස
වැදූ හිරු බිළිඳු සිට
සෞම්‍ය නැත රෑ සඳද
උපහාස රැස් අපමණ

මැවුවේද මහ බඹුන්
අර්ධ නාරී වර්ණ දේහී
ඔත්පළවු මනැසකින්
මත්ව ගිය මොහොතක

ගෙවා දා යුතු වූ කල
එක් අයකු හදවතින්
එක් අයකු සිරුරකින්
නොදැක්කා සේ උකුසු ඇස්

නම් කොටා හණ ගසා
නිරන්තර දොස් දකින
නොවෙනස් දනන් අතර
එකම සම් මස් නහර

දෑස් බැඳි කන්‍යා
කාකි කලිසම් රකින
නීතියේ අත් පවා
ඇත්තේ නම් සිදුරු

පලා යා යුතුද අප
ගෙවා දා යුතුද තව
උරුම සංක්‍රාන්තිය
සොබාදම වූ සතුරු

[වින්යා ජයසේකර]

මාතෘකා