කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

පිය රජ්ජුරුවෝ

අත් හැර දමන ලද මාර්කට් රජ දහන
වටකර විදින සැහැසි මදුරු සේනා ගහන
ජීවිතේ දුක් සුසුම් ගොඩ ගැසී ගඳ ගහන
කවුරුද නුඹට තැනුවේ මේ සිරි යහන

හැදු තරම් නුඹ දරුවන්ය ලෝකයට පරකාස
උන්ගේය උන් නැගූ සුපිරි මන්දිර ආකාස
අහසටත් උසයි නුඹ ලැබූ අපහාස උපහාස
පුදුමයි අදටත් නුඹ මුවේ රැදෙයි මඳහාස

අහිමි වූයෙද කිරුළ පිය පදවියට පිදුණු
පියවරුන් ගේ දිනට පළඳවන කටුඔටුණු
හැර දමා ගියෙන් උන් ලෙන් දෙරින් බිඳවැටුණු
භාණ්ඩාගාරය හිස්ය පරපුරක දිවි රැකුණු

අභිෂේක ගන්වන්න පුතුන් හට රජ පදවි
දැරුවේය වැරුවේය තානාන්තර පදවි
බිම දමා හැර ගියත් කිරුළ හිමි රජ පදවි
අත් හරින්නද කොහොම උතුම මව් පිය පදවි

[සු.ප්‍රි. සමරසිංහ]

----------------

හීන...

ගිමන් හරිමි තරුවක් ළඟ
වරුවක් වත් ළඟ හිඳින නිසාවෙන්...
පවන් සලනා සුළඟ කුමටද
මාරුතයක් ඇවිදින් ගියා දැන්...

හීන ළඟ දැවටිලා පසුපස
වාර ගණනක් තැවුණු නිසාවෙන්
පා කරා ඒ සැඩ සුළඟටම
ආය ගන්නට බැරි නිසාවෙන්

[නෙලුම් ඇලපත්ගම]

---------------

කඳු වළලු

සුපුරුදුව එන කෝඩ සුළගට
ළදරු පත් දෝතින්ම එක් කර
ඔහේ පාවෙන වලාකුළු දෙස
බලාගෙන අදටත් සිනාසෙන
කන්ද උඩරට කඳු වළලු ඇත

මියුරු රතැඟිලි සුවඳ මුහු කර
නවමු හැඩයක් ලොවට එක් කළ
රස බලා අවශේෂ කොට ඇති
සුදෝ සුදු තේ බඳුන් පතුලත
කන්ද උඩරට කඳු වළලු ඇත

[හරිත් කෝණාර]

------------

ජීවිතේ තනි වචන

කවුරුවත් ළඟ නැතත් තනියෙන්ම හිනැහෙන
ජීවිතේ තනි වචන වලට කැටි කරවන
එකම එක චරිතයක සෙවණැලිව රඟ දෙන
රාමු වූ නොවූ සැමරුම් රැස
ඡායාරූප නම් වන

බිත්තියේ උඩම ලොකුවට රුවට
අම්මායි තාත්තායි......
හරි හැඩයි ඒ මගුල් ඇඳුමට
මුව පුරා හිනාකැන් තිබුණට
හිත් හිනා වෙනවාද බැහැ හොයා ගන්නට

යටින් මං ජීවිතේ පළමු අවුරුද්දේ
හොයනවා අදත් මං, මගෙ හිනා සද්දේ
තවත් අවුරුදු පහක කලබලය මැද්දේ
හාවාගෙම පඳුරටයි දෙන්නාම විද්දේ

මුල් සිසු පදක්කම
පැළඳි දවසෙත් මං තනියම
වැටෙනකොට අන්තිම හුස්ම
අත්තම්මා තැවුණා බෝ ම

මගෙ ජීවිතේ සවිය මා නමට ලියා
හිනා නැති සිතුවමක් නො තනියට තියා
අමිහිරි ම මතකයන් දිය කරමි කියා
මීවිතක මග දිගේ තාත්තාත් ගියා

'සමර් හොලිඩේස් විත් ෆැමිලි' යි කියාලා
නංගි යි බාප්පයි වටේ අත් යවාලා
අදත් අම්මාගෙ හිනා වත පොතේ දමාලා
ඉන් එකක් ඇත මටත් මැසෙන්ජර් එවාලා

[දේවිකා මධුවන්ති ගෝවින්නගේ]

------------

සිහින පෙරනය

ඉර නිවෙන හවස් කල
උරා බී රතැඹිලි පැහැය
සාදාවකාශ මවයි
නිළි අහස

දිවා දිවි දාහයෙන් පෙඟී
සඳ එළිය සේ කුටියෙහි වැතිර
සා පැටවු තුරුළු කර නිදයි
මලක් සේ මා තැනූ දූ පියුම

ගිම්හානයෙන් දුබල නෙත්
සංසාර දුක වෑස්සී පෙමින්
කෙලෙස් කඳු වී නැගෙයි
මට නිවන් දොර මුවා කර

නොවැටී පෙති රැගෙන යනු වස්
රතු විලෝ වළල්ලක එතී
පියාපත් පබළු මත්තෙන් පෙරා
ලිස්සා එවන සුබ සිහින
ඉහ උඩින් පාත් කරවන
රුදු සිහින පෙරනය මම

[වින්යා ජයසේකර]

වින්යා ජයසේකරගේ කවිය පුද්ගලානුභූතියක් පොදු අත්දැකීමක් බවට පත්කිරීමේදී චිත්තරූපික බස ප්‍රබල අයුරින් භාවිත කිරීම පිළිබඳ කදිම ආදර්ශයකි.. බහුවිධ අරුත් නංවන කාව්‍යොක්ති නිර්මාණයෙහිදී කිවිඳියගේ විශිෂ්ටතාව කැපී පෙනෙයි. මානව බන්ධුතා සුමට අයුරින් පවත්වාගෙන යෑම ජීවන හා සමාජ අරගලය හමුවෙහි සමබර නොවීමේ අරුමය කිවිඳියගේ සූක්ෂ්ම නිරීක්ෂණයයි.

----------

සාපය

ඔබේ දෙනෙත
සිහි වන විට,
කඳුළු පිරෙයි
මා දෙනෙතට
කණාමැදිරි හිමිදිරියට
සරති ඔබේ වරලස වට

දවස් ගෙවෙයි ඔය විදිහට
රැයත් ගෙවෙයි ඔය විදිහට
එහෙත් කිසිම කිසි විලසට
මගෙ ඔදතෙද බළකොටුවට
නපුරක් වී නැත එහෙමට

මගේ කවුළු දොර කිසි විට
ඇද වැටුණේ නැත පහළට
මෙය වෙන්නැති සමහර විට
නපුරුම සාපය මිහිපිට
පව්කම් උපතින් ලැබුණට
නොහැකිය මට පව් කරනට


(සමකාලීන මරාති කවියකු වන වින්දා කරන්දිකාර් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

වින්දා කරන්දිකාර්


මරාති සාහිත්‍යයේ ප්‍රමුඛ පෙළේ කවියකු වූ ගෝවින්ද් විනයාක් කරන්දිකාර් වඩාත් ප්‍රකටව සිටියේ වින්දා කරන්දිකාර් යන නමිනි. වර්ෂ 1918 දී මහාරාෂ්ට්‍රයේ කොන්කාන් වෙරළ අසබඩ කුඩා ගම්මානයක උපත ලැබූ ඔහු කොල්හාපූර් ප්‍රාන්තයේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වෙතින් අධ්‍යාපනය ලබා බොම්බේ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක්ද ලබාගත්තේය. ඉන්පසුව ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඔහු ෆුල්බ්‍රයිට් සම්මානයකින් පිදුම් ලබා ඇමෙරිකා එක්සත් රාජ්‍යයට ගියේය. එහිදී වසර දෙකක් චිකාගෝ විශ්වවිද්‍යාලයේ කාලය ගත කළ ඔහු මරාති බසින් ලියූ සිය කාව්‍ය නිර්මාණ රැසක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙළේය. ඉංග්‍රීසි බසින් පළව තිබූ සම්භාව්‍ය කෘති ගණනාවක් මරාති බසටද පරිවර්තනය කළ ඔහු සාහිත්‍ය විචාරකයකු ලෙසද කටයුතු කෙළේය.
[අජිත් නිශාන්ත]

------------

දැන් ඉතින් ඔය යන්නම යන්නද?

මෝසම චණ්ඩ බව ඇත්තයි.
ඒත් මේ තවම වස්සාන කාර්තුවයි...

චණ්ඩ රුදු සුළං අතරින්,
ගිගුම් දෙන අසනි සර අතරින්,
බොඳවුණු ඈතක...
අළුපාට මීදුම් හීනෙකට...
දැන් ඉතින් ඔය යන්නම යන්නද?

ගිම්හාන කාෂ්ටක අව්වක
පැටලී ඉරුණු පසු මීදුම් හීන
මේ කුඩෙත් අරගෙනම එන්න
අමතකම වෙන එකක් නැහැ
මේ පාළු ගුරු පාර...

නිම වී ඇතත්...කමක් නැහැ
වස්සාන කාර්තුව...
ඇතැම් මල් පිපෙන්නෙම
හේමන්ත කාර්තුවෙ
සීතල දවස් වල...

[අනුත්තරා කොඩිකාර]

--------------

සසැලෙන හිතක මඳහස

වෙන්ව යා යුතු මොහොත එළැඹුණු
නමුත් සසැලුණු හිතක පටැලුණු
මඳහසක් හොරැහින් එබෙයි
නොනිමි පසු විපරම් තිබෙයි

බින්ඳ අඳුරක පාට කැබිලිති
අනාගතය ම වග හැඟී
අන්ධකාරෙක පහන් දැල්ලක
සියුම් ආලෝකය නැඟී

විඩාපත් හිස් සෙමින් පීරා
නටු අගින් සිහිලස වැටේ
දිරා ගිය මතකයක සලකුණු
යළිත් දලුලයි ගස වටේ

පියාසැරියට නැවුම් තටු මොට
ලිහිණියෙකු හඬ දී අසයි
මළානික බස හොටින් ගිලිහී
විරාමය සැණෙකින් වසයි

වෙන්ව යා යුතු මොහොත එළැඹුණු
මඳහසක් හොරැහින් එබෙයි
නමුත් සසැලුණු හිතක පටැලුණු
නොනිමි පසු විපරම් තිබෙයි

[කසුන් සමරතුංග]

-----------

කුවේණි

ළඟදි දවසක
පාලු හවසක
හමුවුණා මට
කුවේණි...

බස් එකෙන් බැස
කකුල් ඇද ඇද
යනව ඈ ගෙදරට
කුලී...

බොහෝ කලකට
පසුවමුත් තව
දෑස් අග උණු
කඳුළැලී...

කෙස්ස ටින්ට්කර
සිටියමුත් නැත
දළ රෙදිම මිස
සළු කසී. ..

"මෑණියනි කොහිවෙද
ඔබේ දරුවන්?"
ළඟට ළං වී
ඇසුවෙමී...

ත්‍රිපෝෂාවත් නැතිව අවසන
පුතා මැරිලා එදා වනයෙම
දිසාලා වළහෙකුට ගොදුරුව
දීග කනවලු පාලු ලෙන තුළ

වියනවලු ඈ කසී සළු තව
ලංක පුර ගාමන්ට් එකේ
ඉඳහිටක රෑ හීනෙනුත් තව
පේනවලු රුව විජයගේ

[පවන් අංජන]

 

මාතෘකා

ජනප්‍රිය ලිපි