කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

පපුවක් කතා කරයි

සමහරක් පෙම් කතා අස්සේ තිබ්බෙ ප්‍රේමය විතරමයි
කඩුව වැද්දට දුන්නු මොහොතේ බිදුණෙ කුමරගෙ පෙම් හිතයි
ඔයාටත් මන් දීලා තිබුණේ මගේ පපුවයි මුළු හිතයි
කැඩී විසිරී වෙන්ව යන්නට කරුණු ගැලපුවෙ නුඹ තමයි

හදවතේ බුර බුරා දැල්වෙන වේදනාවත් ප්‍රේමයක්
අයිතික් නැති වුණත් තියෙනවා වළලන්න බැරි මතකයක්
අහිමි කුසුමක් කියා දැන දැන පෙම් කිරීමත් උමතුවක්
හදවතට කොයි තරම් කිව්වත් උඹව නම් මට හීනයක්


ශනීෂ් ශ්‍රීමාල්

---------------

කවුළුවෙන් එපිට...

ඈත කටු බැද්ද
ඇහැට උල් තුඩු එවන
මොණරුන් ය!
ලැව් ගිනි තාලයට
අඩි තබ තබා නටන

රෝස නටු තැවරුණු
කුරුටු ගෑ බිත්ති
කඩින් කඩ
තද සුසුම් පොදි
ගුවන්ගත කරන

වේළුණු
කොස් කොළ දුම් රොටු
නාස් පුඩු රිදවන
අතීතය තෙත් කරවන
කළුවර නැති රැයක ඇහැරන

කහට ඉහිරුණු
නැවතුණු තැන්
රහට දිනපොත් කරමි

බහට හිත හීරුණු
හීන් අගිසි
ඈතකට අතු ගා දමමි

කවුළුවෙන් එපිටට
හදවත පා කර යවමි...


[පසන් සංජය සමරතුංග]

 

----------------------

ඒ උරහිස!

උස්සා කරට ගෙන මා
පස්සා පෝලිමක හිට
සඟවා කර රිදුම්

පෙන්වීය මට
නැඳුන්ගමුවේ කර මත
රනින් ගෑ රන් කරඬුව..
අද මෙන් මතක ය..

මුවින් ඉගිලෙන බත් ඇට
බිමින් අහුලා කෑ
බාල විය එක් කටුක සමයක
ඇසළ දවසක..

උස් උස් මිනිස් පය මිස
සූගා පිරුණු සෙනඟක..
ගැටබෙර දවුල් නද මිස
පෙරහරක් මා නොදුටු විට

දරාගන තුරු ගමන් කෙළවර
පාවඩින් ඒ ඇතුන් කරඬුව
අප්පච්චී බලා සැනසුණි
ඉස්සී මඳක් පෙරහර..

බහක් හරි හැටි නොදත්
බරක් තිබුණා මසිතට
රිදුම් ඇති නෙව කියා
ඇතෙක් සවි ඇති උරිසට..

බිඳි විසිරී තිබුණි දෙතැනක
අප්පච්චී නුඹ ආසම
ලෙදර් ඔරලෝසුවේ කටු ටික
පෑගිලා කාටද..


අංජලී හේරත්

------------------

ලෙච්චමී

නොව ඇගේ ගත සියුමැලී
ඇත ඇලී වත කෙහෙරැලී
අග රැඳී දා බිඳු සැලී
තතු කියූ වණ අතැඟිලී

බණ දෙසූ අය නොකිලිටී
පව ගෙවී යන බව සැටී
අණ කෙරූ උන් පින වැටී
ශ්‍රම උරා බොන සැටි ගැටී

කිරට හැඬුවද දරු සෙනේ
නොදැන කිම තන වියළුණේ
ඉදෙන හුණුසල් කැඳ ළිපේ
සුවඳ බඩගිනි වැඩි කළේ

පරදවන කියු කඳුකරේ
සිරියාව කොහි සැඟවුණේ
මඳහසින් නබ ඉඟි කළේ
රස කවක් නොව ජීවිතේ


[සීවලී අත්තනායක]

------------------

චෙක්පොයින්ට් එකකදී

ත්‍රස්තවාදියෙක් වෙනවද සර්
රැවුල, කොණ්ඩෙ වැවුණට හිතුමතේ......
නික්මෙන්න පෙර මේ මේය යැයි ඇය ගෙනා දුන් මීවිතේ
තැනින් තැන ඉව කරන් ඇවිද යන දිනක හාමතේ
සෙනඟ නැති තැනකදි කවදහරි ආව ගිය මාවතේ
මටත් බය කොතනකදි හරි පුපුරයි කියල තමා ජීවිතේ

චෙක් කරල බලන්ඩ රාලහාමි
කඳුළු පුපුරන තත්වෙකට ඇවිත් නෑ තාම හදවතේ...

මතක හමුවන නිතර නිතරම රැකගත් නිහඬ මුණිවතේ
උදේ දවල් රෑ නැතුව ඔහේ දියවෙයි සිතුවිලි මධුවිතේ
ස්වකැමැත්තෙන් හැමදාම මැරෙනකොට හීන උඩ නිදිමතේ
පුපුරන්න හැකි ද්‍රවය කොයි තරම් තිබෙනු හැකිවෙද
අත් අත් හැරුණු මිනිහෙකුගෙ හදවතේ

ඔය බයිනෙත්තුව තියෙන්නෙ
ඇනල බලන්ඩ රාලහාමි
තව රිදෙන්ඩ තැන් නෑ මගෙ හිතේ...


[වරුණ උදේශ් ජයසිංහ]

------------------

මිනින්දෝරු පුතේ

බුල්ඩෝසර් යක්කු ඇවිත් පුතේ පපුව උඩ නැටුවා
බැකෝ හදට අප්පච්චිගෙ දාඩිය පුසුඹත් දැනුණා
පුතේ උඹේ යකුලු පහර ළයේ හරි මැදම කෙටුවා
ලොකු එකීගෙ විලාප හඬ අහන් ඉන්ටනම් බැරුවා...!

වැහැරුණු තනමඩල දනී නුඹලට කිරි දුන්න තරම්
පහළ පුරන් කෙත කියාවි තාත්තා බත් මවපු තරම්
මහ සිප්ගිරි දඹ නගින්න ලොක්කි දීපු හයිය තරම්
හයියක් තිබුණාද පුතේ සෙනෙහස් බැමිවලට තරම්...!

අඩු කුලියට සළු මහ මහ උඹ සක්විති කළ අක්කා
රෑ මැදියම තෙල් උල උල අපේ හුස්ම ටික රැක්කා
හතර වටින් ඉඟි ලෑවත් ගියෙ නෑ මල්සර එක්කා
හත්දොහ යන්නට මත්තෙන් උඹ කැණිමඩලම වික්කා..!

පුතේ නිදන පස් යට මට යමක් කැවෙනවා දැනෙනව
තාත්තා එය අතට අරන් මගේ ඇස් දෙකේ තියනව
වීදුරු කිරි බෝතලයක අබලි තුන් හිතම දවනව
ඔක්කෙ හොවාගෙන සසරෙම අක්ක උඹට කිරි පොවනව....!


[නිශාන්ත මල්ලවආරච්චි]

ගැමි පවුල නමැති ඒකයෙහි තිබූ මානව බන්ධුතා කටුක දිවිදාහයෙන් වියැකුණේ නැත. පවුලේ එක් සාමාජිකයෙක් ඇතැම් විට තම දිවි නොතකා අනෙකා ඉහළට ගැනීම සඳහා කැපවෙයි. එහෙත් අධ්‍යාපනය ඔස්සේ ඉහළට නැඟුණු පසු බොල්වූ මධ්‍යම පාන්තික හර පද්ධතිය අනුව මානව බන්ධුතා මිරිකා හරී.


දෘෂ්ටිය නිරවුල්ය. ප්‍රකාශන ශෛලිය වාර්තාරූපී බව ඉක්මවන්නේ ආත්ම කථන ස්වරූපය, මටසිලිටි බස්වහර සහ රිද්මයෙහි ඖචිත බව හේතුවෙනි.

----------------------

ලියුම්

නින්දත් නොනින්දත් අතර
කොළඹ - පුදුකුඩුඉරිප්පුව මැද
මිතුර අවදි කළ ඇමතුමකි
දුර ඈත නුවරක හිඳ

බිත්ති අතපත ගා දල්වා බල්බය
ගාබ්‍රියෙල් සහ සොලමන් සොයන
නැදිමාලේ ඇළෙන් ඔරුවකට ගොඩ වී
සෙන් නදියේ සිහිනෙකින් පාවෙන

සිහින යනු සිහින නොවන වග
අලුයම පිනි සේ අතට ගත හැකි බව
නුඹට ලියනා සෑම හැඟුමක
සිරව ඇති බව දැනේ මිතුර

"ආදරණීය" නමින් පටන්ගෙන
ලියුම් ලියුමට පුරුදු වෙන කොට
කොච්චරක් නම් අවංක වෙනවා ද
උණ්ඩයකට වඩා සැර විදිහට

ඉතින් අපි ඈතින් ඉන්න එක
කොච්චරක් ලස්සන ද කවියකට


[අයු ප්‍රනාන්දු]

-----------------

ලාඩම් ප්‍රේමය

උඹේ ප්‍රේම කලාව අස්සේ
මගේ හිත ගැහුණේ
කලබලේට...

උඹ කතා කරපු තාලෙ අස්සේ
මං වචන මිමිණුවේ
හුරතලේට...

උඹ රඟපු රැඟුමෙන්
මං රැවටුණේ
ඉස්තරම්ම විදියට...

උඹ තිබ්බේ මට බූට් එක නෙමෙයි
ලාඩමක් කියලා තේරුණේ
හදවත මලකඩ කෑවට පස්සේ...


[එල්. ජී. ආර්. චන්ද්‍රරත්ත]

-------------------

 

මේ නිහඬ සැඳෑවන්

වායු සමීකරණයේ
ඒක ස්වර ගායනය රැවුදෙන
හිරු නොදකින අධිරජ්‍යයේ
පලා යෑමට රාත්‍රිය එනතෙක් බලා හිඳිනා
බකමූණු ජීවිත

මොහොතකට නතර වෙයි
යතුර පුවරුවේ කිචිබිචිය
වරකට දෙවරකට වඩා
මෙවන් සැඳෑවල
සිතේ ගැඹුරින් යන්තමින් ඇසෙන
නූපුරයක මුනුමුනුව
ඉස්තාලයෙන් මිදුණු වල් අසකු මෙන්
පැන දුවයි මා සිත ඔබ වෙත
බලා සිටියාක් මෙන් එනතුරු මේ මොහොත

හුරු පුරුදු සිහිනයක බලා හිඳී ඔබ
කොතරම් පැහැදිලිද යත් ඒ සිහිනයක
මතකයක් යැයි වරදවා වටහාගත හැකිය

මඳ සුළඟ
මල්පෙති සලන හඬ පවා ඇසෙන
සෞම්‍ය නිහැඬියාවක
ඔබ සහ මම
හිරු එළිය මෘදුව තැවරේ ඔබේ කොපුලත
දෙතොල් අග මඳ සිනාවකට අර අදින
මා හිස ඔබේ උකුලත
සෙමින් ගිලී යමින් ඔබ තුළට
ඇඟිලි තුඩුවල පවා දැවටේ
සිහින් හුයක් මෙන්
අප දෙදෙන යා කරන ප්‍රේමය

කාලයද වචනද නොහඳුනන අපේ ලෝකය
මුහුදු රළ මෙන්
මොහොතකට පමණක් පවතින
මොහොතකින් බිඳී යන
කුඩා දරුවෙකු මෙන් මා
ඔබේ මේ සයුර අසබඩ වෙරළත

ඉතින් එය එසේ මැයි ප්‍රේමියෙනි
කල්ප ගණනක් ඈතින්
පෙනෙන නොපෙනෙන දුරින් සිටින
මේ නිහඬ සැඳෑවන් ඔබ වෙනුවෙනි

[තරින්ද්‍ර ගලහේන]

මාතෘකා