කැඩපත හා දහසක් මුහුණු....

 ඡායාරූපය:

කැඩපත හා දහසක් මුහුණු....

මගේ මුහුණ

සාන්තුවරයකුගේ මෙනැයි

බොහෝ කලකට පෙර

ඇය කීවාය

 

අද මගේ මුහුණ

යක්ෂයකුගේ මෙනැයි

ඔබ කියයි

 

විමසුවෙමි කැඩපතින්

සැබෑද එය

මුනිවත රකී කැඩපත

මම එදා දුටු මම මය

 

ලියනාඩෝගේ

අවසන් භෝජනය සිතුවමෙහි

ජේසුස්ට හා ජුදාස්ට මුල් වූයේ

කාලය විපරීත කළ

එකම තැනත්තාගේ

මුහුණ බවත් ප්‍රකටය

 

සිව් වසරකට පසු

ඇය සිනාසුණාය

 

ළංවන විට දකින්නට ඇති ඇය

වෙස් මුහුණට යටින් ඇති

මගේ විඩාපත් මුහුණ

යක්ෂ මුහුණට යටින්

දකින්නට ඇති

සාන්තුවර මුහුණ

තවත් ළං වන විට

දකින්නට ඇති

විඩාපත් හදවත

 

තව තවත් ළං වන විට

දකින්නට ඇති

සිව් වසරක් තිස්සේ

නෙත් කොනේ මිදුණු

කඳුළු බිඳු

 

කෙසේ අස්වද්දන්නද

සිව් වසරක නියඟයෙන්

පුරන් වූ සිත

 

පුරවාගෙන සිත

නොපනත් කමින්

පැළඳ ගත් විට

සාන්තුවර වෙස් මුහුණු

පොරවා ගත් විට

ශ්වේත සළු

පිළිගන්නේද ඔබ මා

 

රකුසු වෙස් ගෙන

නෙළුම් පතකින්

මුහුණ වසාගෙන

කලල් දියේ බැස

ආදරය යදින්නද

ර'තැස් බැල්මකින්

 

මඟ තොටදී විමසමි

පෙන්නන්න මට මුහුණ

වෙස් මුහුණ ඉවත් කර

 

අංග රචනා කිතියෙන

සිනහ ගන්වා ඇතියෙන

පීඩිත බව නොපෙනෙන

දහසක් මුහුණුමය

 

රිදී කාසියෙ හඬින්

ඔකඳ වූ මුහුණුය

තාන්න මාන්නයෙන්

ගර්වයෙන් පිම්බුණු මුහුණුමය

 

මේ දහසක් මුහුණු මත

එකම අංග රචනාමය

[සු. ප්‍රි. සමරසිංහ]

මාතෘකා