ළඟදීම 110 වැනි විය සපුරන ලොව පැරණිම විදුහල්පතිනිය

 ඡායාරූපය:

ළඟදීම 110 වැනි විය සපුරන ලොව පැරණිම විදුහල්පතිනිය

බුළුවල නෝනා මහත්තයා

"මම තමයි ලෝකයේ ජීවත් වන වයසකම විදුහල්පතිනිය, ගුරුතුමිය" ඒ හැඳින්වීම ඉතා කෙටිය; අභිමානවත්ය. විදුහල්පතිනියකගේ ගරුසරු බව මෙන්ම මිත්තණියකගේ ආදරණීය බවද ඇගේ කටහඬට මුසු වී තිබේ. තරාතිරමෙන් කළ හැඳින්වීම කෙටි වුවත්, ඇය නමින් හඳුන්වා දුන්නා නම් එය කෙසේ වත් කෙටි වන්නේ නැත. රැස දිගාසිරි චාරිකාවේදී හමු වූ දිගම නම ඇති තැනැත්තියද ඇයයි. සමහර විට එයද ලෝක වාර්තාවක් වන්නට පුළුවන.

"මගේ නමද... ඒක ගොඩක් දිග නමක්... මම පොඩි වුණාට මගේ හැම දෙයක්ම, හැම වැඩක්ම ලොකුයි." එසේ කියූ ඇය සිනාසෙයි. මට ඇගේ නම ලියාගැනීමට කිහිප වතාවක්ම නැවත නැවත විමසීමට සිදු විය.

"සපත, සාපති, සා දිසාපති, බමුණු බ්‍රාහ්මණ අබේකෝන් විජේසුන්දර විජේකෝන් මුදියන්සේලාගේ බිසෝමැණිකේ විජේකෝන් ..." මම උඩ බිම බැලුවෙමි. එස්.එස්.එස්.බී.බී.ඒ.ඩබ්.ඩබ්.එම්.බී. විජේකෝන්! මුලකුරු 10කි! මේ නම හැඳුනුම්පතක ලියන්නේ කොහොමද? එහෙත් ඇගේ හැඳුනුම්පතේ එතරම් දිග නමක් නැත. පසු කාලීනව ඇගේ නම කෙටි කිරීමට සිදුවීමේ කතාවද ඈ මට කීවාය.

"ඔය පුතාට විතරක් නෙවෙයි මගේ නම ලියාගන්න ගැටලු ඇති වුණේ. ඒ දවස්වල මගේ නම කිව්වම හැමෝම උඩ බිම බලනවා. කොටින්ම මම ට්‍රේනින් කොලේජ් යන්න ඉන්ටව් ගිහින් නම කිව්වම ඒ මහත්තයා උඩ බිම බැලුවා. ඒ බලලා ආයේ මගෙන් නම ඇහුවා. මම නම කිව්වා. ඒ කියනකම් අහන් ඉදලා කිව්වා නම කෙටි කරලා කියන්න කියලා. ඉතින් මම ඉතින් සපත, සාපති, සා දිසාපති, බමුණු බ්‍රාහ්මණ කියන ඒවා කියන්නේ නැතුව, විජේකෝන් මුදියන්සේලාගේ බිසෝමැණිකේ විජේකෝන් කියලා කිව්වා. අන්තිමට ඒ නම රෙජිස්ටර් වුණා. 1974 හැඳුනුම්පත හදද්දී දැම්මෙත් ඒ නම තමයි."

එකසිය දහය

බිසෝමැණිකේ මාතාව උපත ලබා ඇත්තේ 1909 වර්ෂයේ සැප්තැම්බර මස හය වන දිනයි. ඒ මහනුවර නුගවෙලදීය. තව මාස පහකින් ඇයට වයස අවුරුදු 110ක් සම්පූර්ණ වීමට නියමිතය. ඒ අනුව ඇය මුලින් කියූ කතාවේ සත්‍ය වීමට බොහෝදුරට ඉඩ තිබේ. ලෝකයේ මීට වඩා වයස්ගත අය සිටින නමුත් ඒ අතර විදුහල්පතිවරියන් වේදැයි සැක සහිතය. කෙසේ වෙතත් ලංකාවේ නම් මෙතරම් වයස ඇති ගුරුවරියක් හෝ විදුහල්පතිවරියක් නොමැති බව නිසැකය. 1974 වර්ෂයේ නිකුත් කරන ලද 097500142 අංක දරන ජාතික හැඳුනුම්පත හා ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළත්වීමේ දී ලබා දුන් ගුරු වාර්තා පොත ඇගේ වයස පිළිබඳ ලිඛිත සාක්ෂි වෙයි.

බිසෝමැණිකේ මාතාව, කාන්තාවන් හතර දෙනෙකුගෙන් යුත් පවුලක බාල දියණයයි. විජේකෝන් මුදියන්සේලාගේ කිරිබණ්ඩා විජේකෝන් (නම කෙටි කළ විට) හා ඩිංගිරිඅම්මා, බිසෝ මැණිකේ

මාතාවගේ මව්පියන්ය. කිරිබණ්ඩාට ගොඩ-මඩ ඉඩකඩම් මෙන්ම හරකා බාන යහමින් තිබූ හෙයින් දරුවන්ට කිසිදු අගහිඟයක් නොවිණි. මීට අමතරව ඩිංගිරි අම්මා ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරියක ලෙස කටයුතු කර තිබේ.

''පොඩි කාලේ ඉදලා මම ගත කළේ සැපවත්, පිංවත් ජීවිතයක්. ඒකට ප්‍රධාන හේතුව තමයි ආගමික පරිසරය. අපේ ගෙදරට අල්ලපු ඉඩමේ තමයි ගමේ පන්සල තිබුණේ. එහෙම ගේ ළගම පන්සල තිබුණත් අප්පච්චි අපිට මැටිවලින් පන්සලක් හදලා දීලා තිබුණා අපි හතර දෙනාට. ඒ වගේම අප්පච්චි නිතරම හිටියේ ගමේ පන්සලේ තමයි. ඒ නිසා කුඩා කාලෙ ඉඳලම ලැබුණු ආගමික බැඳියාව අද වෙනකම් තියනවා. අදත් මම පන්සල් දෙකක ප්‍රධාන දායිකාවක්."

මොනිටර් ගුරු

බිසෝමැණිකේ මාතාව සිප් සතර හැදෑරීම ආරම්භ කරන්නේ වයස අවුරුදු හයේදීය. එනම් වර්ෂ 1915දීය. මහනුවර නුගවෙල පිහිටි රජයේ විද්‍යාලය ඇගේ සිප් හල වූ අතර අවසාන විභාගය සමත් වන තෙක් එහි අධ්‍යාපනය ලැබීමට ඇය වාසනාවන්ත වූවාය. "ඒ දවස්වල හය පාස් වුණත් මොනිටර් ගුරුකම ලැබෙනවා. නමුත් මට නම් අවසාන විභාගයත් සමත් වෙලා මැහුම් ගෙතුම් ඉගෙන ගෙනත් ඉවර වුණාම තමයි, මොනිටර් ගුරුකම ලැබුණේ. මගේ පළමු පත්වීම නුවර ගුන්නෑපාන රජයේ විද්‍යාලය''

බිසෝමැණිකේ මාතාව වසර කීපයක් ගුන්නෑපාන රජයේ විද්‍යාලයේ ඉගැන්වීම් කටයුතු කරන අතර වර්ෂ 1931දී කොළඹ ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුළු වෙයි. ''මම අවුරුදු දෙකක් ට්‍රේනින් කොලේජ් එකේ හිටියා. මේක තිබුණේ කොළඹ රෝයල් කොලේජ් එක කිට්ටුවෙ. මම හිතන්නේ දැන් ඒක නැහැ. අපි මේකට මුලින්ම යද්දී රෝයල් එකේ පිරිමි ළමයි අපිට විහිළු කළා. මොකද අපි ගමේ විදිහට ඔසරිය ඇඳගෙන තමයි ගියේ. මේ ගුරු පුහුණු විද්‍යාලයේදී සෑහෙන දැනුමක් අපිට ලැබුණා."

පුහුණු ගුරුවරියක ලෙස බිසෝමැණිකේ මාතාවට මුල්ම පත්වීම ලැබෙන්නේ මාතලේ යටවත්ත විද්‍යාලයටයි.

බුළුවල නෝනා

බිසෝමැණිකේ මාතාව විවාහ වන්නේ 1936 වර්ෂයේදීය. ඒ වාරියපොළ අප්පුහාමිලාගේ උක්කුබණ්ඩා මහතා සමඟය. මේ විවාහයට කපුකම කර ඇත්තේ ඇගේ අක්කණ්ඩියයි. ගුරුවරියක වූ අක්කණ්ඩිය විවාහ වී සිටියේද ගුරුවරයකු සමඟය. ඔහුගේ බාල සොහොයුරාද ගුරුවරයෙකු වූ අතර ඔහු සිය නැගණියට යෝජනා කිරීමට අක්කණ්ඩිය කටයුතු කර තිබේ. බිසෝමැණිකා ගුරුතුමිය වාරියපොළට පැමිණීම සිදු වන්නේ ඒ අනුවය. එහෙත් වැඩි දිනක් වාරියපොළ සිටීමට ඇයට නොහැකි වන්නේ රැකියාව හේතුවෙනි.

"මම විවාහ වෙද්දී ඉගැන්නුවේ යටවත්තේ, මහත්තයා බුළුවල ඉස්කෝලේ. ඒ නිසා හැමෝම මහත්තයට කිව්වේ බුළුවල මහත්තයා කියලා. ඉතින් මට කියන්න ගත්තා බුළුවල නෝනා මහත්තයා කියලා. කොහොම හරි දෙන්නා දෙපැත්තේ හිටපු කාලේ ඉවර වුණා. මහත්තයට ලැබුනා ගොකරැල්ල කොස්වත්ත විද්‍යාලයට මුල් ගුරු පත්වීම.

අපි එහෙට යද්දී තිබුණෙ ගන වනාන්තරයක්. වනාන්තරේ මැද්දේ තමයි ඉස්කෝලේ හා නවාතැන් පහසුකම් තිබුණේ. ඒ දවස්වල මගේ මාසික වැටුප රුපියල් විසි පහයි. ප්‍රධාන ගුරුතුමා වුණාට මහත්තයාගේ වැටුප රුපියල් පහළොවයි. අපි දෙන්නගේ වැටුපයි ඉඩ කඩම්වල අදායමයි අපි අටදෙනාගේ වියදමට හොදටම ඇති වුණා."

කොස්වත්ත ප්‍රදේශයේ මාර්ග වැඩි ප්‍රමාණයක් නිර්මාණය කර ඇත්තේ බුළුවල මහතාගේ මෙහෙයවීම යටතේය. මේ ග්‍රාමයේ හා අවට ගම් කීපයක ළමුන්ගේ ඇස් පෑදීමට අමතරව මේ ගම්මාන දියුණු කිරීම සදහා මේ යුවළ විශාල කැප කිරීමක් කර තිබේ.

"ඒ දවස්වල ළමයි හරි කම්මැලියි ඉස්කෝලේ එන්න. ඉතින් අපි දෙන්නා කරන්නේ ලොකු වේවැලක් අරන් ගෙවල් ගානේ ගහින් ළමයි එකතු කරගෙන ඉස්කෝලෙට එක්කන් එන එක. එදා ළමයි විතරක් නෙමෙයි අපිට බය. දෙමාපියනුත් බයයි. වැරැද්දක් කළොත් හොඳට ගැහුවා. ඉස්කෝලේ නාවොත් ගෙදරට හොයාගෙන ගිහින් අම්මලාගේ ඉස්සරහම ගහලා එක්කන් ආවා. හැබැයි අපි මේ කිසි දෙයක් කළේ තරහින් නෙමෙයි. ළමයින්ගෙන් පළිගන්න නෙමෙයි. ආදරේට. එදාත්- අදත් වෙනස ඒකයි."

වාරියපොළ

වාරියපොළ ශ්‍රී සුමංගල නා හිමියනටද නෑකම් කියන බුළුවල මහතාගේ හදිසි වියෝව සමග ළමයි හයදෙනෙකු සමග තනි වන බිසෝමැණිකේ මාතාව කොස්වත්ත හැර යෑමට තීරණය කරන්නේ 1956 වර්ෂයේදීය. "මහත්තයා නැති වුණේ හදිසියේ. කාර් දෙකක් හැප්පිලා අනතුරට ලක්වෙලා, ඊට පස්සේ ටික දවසක් හොඳින් ඉදලා තමයි එක පාරටම නැති වුණේ. ඊට පස්සේ මට කොස්වත්තේ ඉන්න බැරි නිසා මම වාරියපොළ ආවා. ඒ ඇවිල්ලා වාරියපොළ ප්‍රාථමික විද්‍යාලයේ ඉගැන්නුවා. අද ඥානෝදය කියන්නේ ඒ ඉස්කෝලේ තමයි.

මම 1956 ඉඳල විශ්‍රාම ගන්නකම් ඒ කියන්නේ 1969 වෙනකම් මේ ඉස්කෝලේ ඉගැන්නුවා. අවසාන කාලේ මම ජෞෂ්ඨ උප ගුරු, මුල් ගුරු කියන තනතුරු දැරුවා. ඒ කියන්නේ නියෝජ්‍ය විදුහල්පති, විදුහල්පති කියන තනතුරු."

19 වැනි ශතවර්ෂය මුල් භාගයේ ශ්‍රී ලංකාවේ ගුරුවරුන් අමතා ඇත්තේ 'ගුරුන්නාන්සේ මහත්තයා' හා 'ගුරුන්නාන්සේ නෝන මහත්තයා' නමිනි. එම සියවසේ මැද භාගය වන විට ගුරුවරු ඇමතීමට 'මහත්තයා' හා 'නෝනා මහත්තයා' යන නම් භාවිතා කර තිබේ. ඒ වකවානුවේ විදුහල්පතිවරයා අමතා ඇත්තේ 'ලොකු මහත්තයා' යන නමිනි.

"ගුරු ගෞරවය දැන් ඇත්තෙම නැහැ. ඒකට මට! අදටත් මගේ ගෝලයෝ එනවා මාව බලන්න. දැන් ඒ අයත් වැඩි හරියක් විශ්‍රාමිකයෝ." ඇය ඇගේ ගුරු ජීවිතය ගැන හා ඇගේ ගෝලයන් ගැන ආඩම්බර වෙයි.

පරපුර

බුළුවල නෝනා මහත්මිය මෙන්ම ඇගේ පරපුර ගැනද ආඩම්බරයෙන් කතා කළ හැකිය. ඇගේ වැඩිමහල් පුත්‍රයා උබේකෝන් බණ්ඩාර හේරත් වාරියපොල මහතා මේ වන විට අසූ එක් වැනි වියේ පසුවෙයි. ඔහු වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික සහකාර තනතුර හොබවා ඇත. දෙවැන්නා වූ පුංචි බණ්ඩා හේරත් වාරියපොළ මහතා ගුරුවරයෙකි. මේ වන විට අසූවන වියේ පසුවෙයි. කමලා හේරත් වාරියපොළ මහත්මිය මේ වන විට නුවර ප්‍රදේශයේ ජීවත් වන අතර ඇයද ගුරුවරියකි. සුජාතා හේරත් මහත්මිය මේ වන විට වාරියපොළ ප්‍රදේශයේ ජීවත් වෙයි. බිසෝමැණිකේ මාතාව සිටින්නේ මේ වන විට ඇය භාරයේය. අමරා හේරත් වාරියපොළ මහත්මිය කුරුණෑගල හිටපු ගොවිජන සේවා සහකාර කොමසාරිස්වරිය වන අතර ඇය මීට මාස කීපයකට පෙර ජීවිතයෙන් සමුගෙන ගියාය. මේ පවුලේ බාල දියණිය වූ විමලා හේරත් වාරියපොළ මහත්මිය ගුරුවරියකි.

"මට වැටුප් දෙකක් ලැබෙනවා. එකක් මහත්තයාගේ අනික මගේ විශ්‍රාම වැටුප. ඒ වගේම තමයි මගේ දරුවෝ ඔක්කොම මාව බලනවා. මම හිතන්නේ මම තමයි මේ ලෝකේ ඉන්න වාසනාවන්තම අම්මා කියලා." වෙහෙසක් හෝ නැවතිලල්ලක් නැතිව නිදැල්ලේ ගලා ගිය කතාබහ අතරතුරදී බුළුවල නෝනා මහත්මිය පැවසුවාය.

[ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න]

මාතෘකා