කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

තිත තිබ්බේ ඒ හරියේ මම නෙමෙයි උඹලු

හැරයාම වචනයකි පොත් අතර සිර වූ
පර්යාය පද කුමට සිනා මල් හැඬ වූ
කඳු අතර නිම්නයකි හැමදාම තනි වූ
කවි තියෙනවා තවම වචනයෙන් නොලිවූ
උගුලුවා විසිකරපු උණ ගැනුණ සිද්ධි
වැපිරුවේ පණ පිටින් කල් පැනපු සිප්පි
විසුවියස් හිම තුහින ගැන කියපු විත්ති
සමානයි උඹ කිව්ව බොරුවලට සුද්දි

උස ම තැන ඒ තරුව වැළලුවා හාරා
සිටෙව්වා ඒ උඩින් පැළ ගණන් මානා
කොනිත්තා රිදෙව්වත් හැම රැයක් පාසා
හැංගුවා තරුව මැද මගේ හද ආශා

මගහැරුණු කතාවල මුල් ම පිටු සුදුලු
පටුන වගකියන්නෙත් ඒ හරියටමලු
කළු වෙන්නේ ඇස් ඇරන් දුක ලිව්ව පිටුලු
තිත තිබ්බේ ඒ හරියේ මම නෙමේ උඹලු

[කවිඳු එන්. අමරතුංග]


රැහැයියන්
විලාප දෙන හඬට

අහසේ හිරු බැසයන සැන්දෑවට...
ගේ දොරකඩට පෙනෙන...
මහා වනාන්තරයෙන් ඇසෙන...
රැහැයියන් විලාප දෙන හඬට...
දරා ගත නොහැකි තරමට...
මහා පාළුවක් තනිකමක් දැනෙනවා මට...
ඒ දැනෙන පාළුව තනිකමට...
බය හිතෙන හින්දයි නිරුවත්ව...
රාත්‍රිය මං උඹේ ගාව ගුළි වුණේ...

[කසුන් ලක්ප්‍රිය]


තුත්තිරි මළකඳ මතිනි වසන්තය උදාවුණු
සැනින් දැඩි බර අඩිත් තබා ගිය ට්‍රැක්ටර්ය
කපා මට්ටම් කරන යෝධ විසිලන කැතිය
රිදී සීරුණු තැවුණු අඬන කඳුළක ස්වරය
ඇසී බැලු විට දුටුව පවුලෙ නම තුත්තිරිය

පැතිරි උයනක මැදක ගැබිනි තුත්තිරි ළඳකි
ඉපදි තුත්තිරි පුතුට එරුණු පෙඟවුණු ළැමකි
විසිරි පිණි බිඳු ඉහිරි පොළොවෙ දෙදණින් වැටුණි
සසිරි උයනත හැඬවු මවක කඳුළුය එ'පිණි

සුවඳ නොදැනෙන නමුදු ඉහළ අතුවල පිපුණු
විටෙක පොකුරක් නමුදු සැනෙන් බිම පතිත වුණු
එතැන පොළොවත් මඳක් හිස නමා ගෙන බලනු
තුතිරි මළකඳ මතිනි වසන්තය උදාවුණු

[කාංචනා විජයබණ්ඩාර]


කාර්යා - ලිය

එකම කිණිහිරයෙ තැළෙන
එකම පෝරණුවෙ දැවෙන
මං වගේමයි උඹත්,
කුඩා හිත් ඇති
මහා මොළවල හිතුමනාපෙට
පිච්චෙන - නිවෙන...

එපානං බෙදාගන්නත්
ඕනෙනං බදාගන්නත්
බැරිත් නෑ අපට...
නැගිටින පරක්කුවට
අසල්වැසියාගේ ජීවිතයට
එබෙන්නම වෙන්න ඇති
මේ පාටිෂන්,
මේ තරම කොට...

නිවාපන් හිත වෙහෙසකර ගතිය
හුස්ම ගන්නත් මගහැරෙන මට,
එවාපන් උඹෙ
සමහන් සිනහා වඩිය
රස්සාව කිවිසුම් අරිනකොට...

හවස් වරුවට යන්න යනකොට
ඇඟිල්ලෙන් ඇන ටයිම් මැෂිමට
කියා යනවා තියාගන්නට
උඹෙන් සැනසෙන
හදවතේ කොටස,
වැඩි හොඳට...

ගන්නකල් ආයෙමත් මං,
හෙට උදේ
අටට..!

[රසිකා ප්‍රනාන්දු]


මුහුදු ගිය පෙම්වතෙක්

මුහුදු රැල්ලක් හෙමින් මිමිනුවා
බලාගෙන හඳ දිහා කවියක්
කට කාරවන තිත්ත ලුණු රස
කිව්වෙ කාටත් නොකී රහසක්
මුහුදු රැල්ලට ඔරුව නැළවුණා
නුඹ ළඟට මට දුරයි ගව්වක්
හෙට උදේ මම ආපු හැටියෙම
දෙන්නම්කො ලොකු හාද්දක්

පුංචි තරු එළි හැංගි හැංගී
නුඹේ වගතුග විමසුවා
දුම්වැටියකුත් දල්වගෙන මම
බෝට්ටුවෙ කෙළවරට ඇදුණා
මුහුදු හුළඟට කොතෙක් තෙමුණත්
උරහිසේ නුඹෙ සුවඳ තිබුණා
මටත් නොදැනී සයුර මැදදී
මගේ හිත නුඹ සොයා දිව්වා

ඇත වෙරළේ නිදා නොනිඳා
ඔයා ඉන්නවා මග බලන්
පුංචි තරුවක් වෙන්න හිතෙනවා
බලන්නට නුඹ දෙස හොරෙන්
උදේ වැල්ලට ආපු හැටියෙම
එනවදෝ දුවගෙන ඉතින්
මග හැරුණු හැම තප්පරේටම
දෙන්නම්කෝ හාදුව බැගින්

[ශනීෂ් ශ්‍රීමාල්]


ඔබයි මමයි

නිරුදක කතරක පවසින්
සරනා සඳ දුක් දරමින්
දිය කඳුළක් වී නොලසින්
පහළ වෙලා ඔබ සෙනෙහෙන්

යවුල් වදන් හද පාරා
තැවුල් බෝය සිත් ධාරා
කාවල් හැර හස වපුරා
සිහිල් පවන් ආ අයුරා

පැතුම් පරව ගිය සසරේ
පහනක් වී ගන අඳුරේ
මල් සුවඳක් වී නුදුරේ
හිඳිනු මැනවි අම මිහිරේ

අවසන් සුසුමද නික්මී
අවකාශය වෙත එක් වී
සැවොම සිටින සඳ රොක් වී
ඔබ ගැන මතකය දැල් වී!

[තිස්ස නිහාල් වික්‍රමසිංහ]


අම්මාට ලියුමක්...

අම්මේ අද දවල් මගෙ මහපොළ වැටුණා
දැම්මේ අද දවල් දෙදහක් ඇති අමුණා
නැම්මේ කොණක ඉස්ටේපරයෙන් අමුණා
අම්මේ මාසෙකට තුන්දාහක් තිබුණා

මෙහෙත් හරි වියදම් දැන් හුඟක් කල් ඉඳ
හිතද්දිත් ඇඬෙනවා කියන්නෙත් කොහොමද?
මමත් දුක් විඳිනවා කටු ඔටුන්නක් දැක
කලන්තෙට වැටෙනවා හිටගන්න බැරි කොට

ගෙදර එන පාර මට මතක නැතුවා නෙවෙයි
කැලණියෙන් බස් යද්දි දුකට ඇඬුණා තමයි
ඉතිරෙන්න මිල මුදල් නැතිකමෙන් අසරණයි
ඇත්තටම මං නුඹට කප්පරක් ආදරෙයි

මට ලියන්නට බැහැ තව තවත් දිගට
කදුළු කැට වැටෙනවා පේළියක් අගට
මම දන්නෙනෑ හොඳද කියන එක නුඹට
පායන්න තව ඉරක් තියනවද අපට

[ක්‍රිෂාන්ත රත්නායක]


මාතර හාමිනේ...

සුළං හමන අත නැළවෙන
ලන්තෑරුමෙ තෙල් හිඳුණම
විඩෙන් විඩේ තෙල් පුරවන
මාතර හාමිනේ..

මූදූ හතම කළු කරගෙන
ඉර මල ගොම්මනෙ ගිලුණම
ළෙංගතුවට වැට බැන්දද
මාතර හාමිනේ..

දොර පියනක් හරි හැටියට
නැති පැල් කොටයට හවසට
හීන් පොද ගහන වේලෙට
මාතර හාමිනේ..

අත් නැති හැට්ටෙට හරියට
හීතල නොදැනෙනව වගේ
ඒකට පළි පාළු කරද
මාතර හාමිනේ...

[දේශානී අංජලිකා හේරත්]


කවි පද කිහිපයක් ඉල්ලා ගැනුමට

ගසක් ළඟට ගොස් විමසමි පැනයක්
හිතවත් ගස මට දෙනවද කවියක්?
ගස පවසයි මට පිළිතුරු වදනක්
විද මගෙ කඳ ගෙන අරටුව පමණක්
ලැබගත හැකි වනු ඇත ඉන් කවියක්

ගරා වැටෙන මහ පවුරක සවණට
කොඳුරා විමසමි මම මේ විලසට
කවියක් දෙන්නට හැකි වෙද මා හට?

ඉපැරණි එ පවුර කොඳුරයි හෙමිහිට
දියසෙවෙලෙන් බර හඬකින් මෙලෙසට
ඇඹරී, පොඩි වී, පත් වී කුඩකට
මුසු වුවහොත් මා ගත ඇති ගඩොලට
ලැබගත හැකි වෙයි කවියක් ඔබ හට

නවතිමි වියපත් මිනිසකු දුටු තැන
මේ ලෙස පවසමි ඔහු ළඟ දණ ඇන
කරුණාකර මට කවියක් දෙනු මැන
නිහඬ නිසලබව මොහොතින් බිඳිමින
ඒ හඬ පවසයි මට මේ ඔවදන:
මා වත මතුපිට ඇති රැළි සටහන
හැකිනම් ඔබෙ වත දවටාගනු මැන
කවියක් ගත හැකි වනු ඇත විගසින

කවි පද කිහිපයක් ඉල්ලා ගැනුමට
කොතරම් කල් මා ඉන්නද ගස යට
ගරා වැටෙන මේ පවුර ඉදිරිපිට
වියපත් මිනිසා ළඟ මේ විලසට?

(සමකාලීන බංග්ලාදේශ කවියකු වන ෂම්සූර් රහ්මන් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

ෂම්සූර් රහ්මන් (1929 - 2006)

බංග්ලාදේශයේ නව කවි පරපුරේ ඉදිරි පෙළේ සිටි කවියකු වූ ෂම්සූර් රහ්මන් එක්දහස් නවසිය පණස් ගණන්වල මුල් භාගයේදී කාව්‍යකරණයට එළැඹ, කාව්‍ය සංග්‍රහයන් හැටකට අධික ප්‍රමාණයක් ලියා පළ කෙළේය. මෑත කාලීන බෙංගාලි සාහිත්‍යයේ විශිෂ්ට නිර්මාණකරුවකු ලෙස ඇගැයීමට ලක් වූ ඔහු කවි මෙන්ම නවකතා සහ කෙටිකතා ගණනාවක්ද රචනා කර ඇත. දීර්ඝ කාලයක් තිස්සේ පුවත්පත් කලාවේදියකු ලෙස සේවය කළ ඔහු බංග්ලාදේශයේ දිනපතා ජාතික පුවත්පතක කතුවරයා ලෙසද කටයුතු කෙළේය.

[අජිත් නිශාන්ත]


හැරවුම

පමා වී ආ පෙර වසන්තෙක
පිපී පරවුණු රෝස මල් පෙති
එකතු කරගෙන වළ දමා එන
අතරමඟකදි හැමුව සුළඟින
කතරතරමග නිවන ගිම් හද
නටුව අග හිඳ දොඩන හිනැහෙන
අවසාන පෙත්ත රැඳි අවසාන හුස්ම පිඹි
වීය හත්පෙති මලක් දෑතෙහි


[දිල්මිණී හසින්තා]


ඔබ ඇවිත් යන විට...!

අකුණු පිපුරුවා හැන්දෑ යාමෙක
මකරු ගිනි පිඹින රළු අහස යට
ඇසුණත් බකමූණු හඬ නිදිවරන
කවුළුවට දිස්වුණා වැහි නැති අහස

ඉරිතළා යන වේලි සහ ගොඩැලි
බිමබලා යති පාල සහ සොබනි
ජුවල්වී දත්කූරු විකුව මුදලාලි
අහඹු හමුවකි රාණි හා පවනි

හඬ හඬා ගොවි රජ පුත්
සිඳෙන වැව්මත තබා නළලත්
යදිනවා සිටුවරුත් සිඟමන්
අහසිනුත් ඉල්ලුවා වැහිබත්

ඉඩෝරය දැක අත්තණ පඳුරුත්
ලියුවේ වැහි දෙවියන්ට ලියමන්
වැහි දෙවිඳු එනදා කිරි හරකුන්
හැරගොසින් ලොරියකින් ගමෙනුත්

[ළහිරු දිලංක]


වියෝව

කවි මඟද මන පුබුදන
දසුන වුව සතුටකි ප්‍රිය උපදන
වදනක රැඳුණ රසභාව
නුඹට වැඩියෙන් ඇතිද වෙනතක

උරින් ගෙන අප හැම
පිහින පිහිනා කවි ගඟ
අත් නොහැර ආ මඟ
වැටුණිද කිවිඳ පය පැකිළ

ගිලන් වී යහනක
නොමළ සිත් මල දුබලව
ඇසෙන නෑසෙන හඬින
මිමිනුවේ නොලියවුණු කවියද ඔබ

මුකුලිතව ගිය සුසුමන් ළඟ
නොවැටුණත් කඳුළක් කොපුලට
ඉකිගසා හද මඬල
තවමත් අඬනවා හැම දින

[උත්‍රා කුමාරි රණසිංහ]

මාතෘකා