කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

හිරවුණු අයනු ආයනු

"නිලූශියා මේරි නම් වූ සිසුවියට ප්‍රවේශ ලිපිය නිසි වේලාවට නොලැබීමෙන් සරසවි වරම අහිමි වෙයි"
-පුවතක්-


මාත්තයො මේ ලයිම අයිනේ
ගෙයක් ගානේ ඇවිදලා
බැලුවොතින් හම්බේවි
කටු බිත්ති තැන තැන පුපුරලා
උල් සිදුරු එහෙ මෙහෙ තනිවෙලා
තේ දලු අගිස්සෙන් මැලවිලා
අයනු ආයනු හිරවෙලා

"ආර්ථිකයත් සමතුලිත වේ" කිව්ව මිස් අන්න
පන්තියේ අයිනට වෙලා
සාරි පොටකින් නාහෙ වහගෙන මෙන්න
ඉතින් මාත්තයා,
කොයිබින් කොහොම අපි උන් සම වෙන්න
පුළුවනි නම් මට කියා දෙන්න

"A"ගත්ත කියලත් වැඩක් නෑ
අප්පච්චි එන්නෙම බීගෙන
වෙලාවකට හිතෙන්නෙම
ඇනගෙන යන්න පිහියක් අරගෙන

ඇත්තමයි!
නුවරෙලි හොඳයි
නිවාඩුවකට ඇවිත් ඉදලා යන්න
එපා දෙයියෝ
තවත් කාටත් මෙහේ ඇඩ්‍රස් දෙන්න

අම්මපා
අපෙ ජීවිතේ
ශේෂ පත්‍රෙක දැම්මොත් අතුරලා
අප්පච්චි
මැරෙනවා සත්තයි
ණය කන්ද දැක බයවෙලා

මාත්තයෝ
අපෙ ගෙට ඉර එළිය ආවෙත්
ඉද හිටල ඒකත් පහුවෙලා
කමක් නෑ මම දලු නෙළන්නම්
සරසවි සිහිනයේ අහුරලා

[පසන් සංජය සමරතුංග]


සයිබර්

ටිකෙන් ටික ගන කළුවර
වසා ගන්නා බව පෙනෙන විට
කවුළුවෙන්
කෝමා නිද්‍රාවක සේ
වැසෙන විට ඇසිපිය
සයිබර් අහුමුළුවක තනි වී
ඉමොටිකොන නටබුන් අතර
නිහඬව ගිය සෙනෙහස
බිඳක් හෝ ඉතිරිව ඇත්දැයි
නොඉවසිල්ලෙන් සොයන්නට තැත් කරන
සයිබර් ඉසිදාසිය

මරදාන ගුවන් පාලම මත
විරහවේ වෘකයන් උඩුබුරලන
ගොම්මනක තනිවී
මීවිත ඔඩම් එක හුස්මට හිස් කර
දැවී හළුව ගියමුත් දැහැන් බිඳ හළා
නැවත නැවතත් ඇය සිටින
සයිබර් අහුමුළුව වෙත
පිය නඟන්නට තැත් කරන
සයිබරයක මින්දද

පහන් තරුවක මඳ එළි අහිමි
බැල්කනියක සුදු බෝගන්විලා මල්
පිපාසිත රාත්‍රියක
තව තවත් රත් පැහැ වෙමින
සබ්බේ තසන්ති දණ්ඩසස
අත්ථාහි අත්ථනො නාතො
ඈතක සිට ඇසෙන ස්වරයකට
දෙසවන් යොමා සුසුම්ලන ඉසිදාසිය

කිසිවකුත් නොමැති කාන්සියේ
අමුසොහොන අබියස
සෝඩා පෙණ විසුරුවා හැරිකලක සේ
මරදාන පාලම මත
වියරුවේ මතක දිය කරන්නට වෙර දරන
මීවිත බඳුන්හි වීදුරු කටු මත
ඉකිබිඳ හඬා වැටෙන
සයිබර් මින්දද

රත් පැහැ පහන් තරුව
මැකී යන උදෑසන
සුදු බෝගන්විලා පෙති සිඳී විසිරී
බැල්කනිය මත
මරදාන පාලම මත
තවම වීදුරු කටු තුළ දිලිසෙයි
එක් රාත්‍රියක
මිහිදන් වුණු
කැළඹුණු
වෙස් මුහුණු

[ප්‍රියාශා රන්වල]


අහඹු වැස්ස

මුතු සිහිලැල්
පිනි පොද වැස්ස
අහම්බයෙන් කඩා වැටුණා
ආදරයෙන් හිස මත

කුඩ ගෙනියනවද
අප වගේ තරුණ අය
ගැහි ගැහි සීතලේම තෙමෙනවා මිස

ඔය අත තිබුණු
මල් විසිරුණු දේදුනු කුඩය
ඉල්ලුවේ විහිළුවට...
අකුණු කොටනවා වගේ
එක තැන හිර වෙලා තිබුණු වචන

හිතා ගන්නවත් බැහැ
තියා ගන්නම දුන්නා ඔබ
කුඩයත් සමඟම හිත

කුඩයක් තිබුණත් අත
සංසාර පුරුද්දට
එදත් තෙමෙන්න ඇති
අහඹු වැස්සකට අපි

[රුවංක ජයතිලක]


නූපුරයක කතාවක්

අටපෙතිය මල් පිපෙන
පුංචි දුම්රිය ස්ටේශමක්
හිත කොනක
මල්පෙති හලනවා තවම
දුම්රැළි වගේ
කඳුමත් එතෙන
දුම්රිය මඟක අතරමඟ

නූපුරයකට තිබ්බ
ඒ දවස්වල
කියන්නට කතාවක්
තාමත් මම
පුරුදු කිංකිණි හඬකට
ගැස්සිලා ඇහැරෙනවා
අටපෙතිය මල් පාට හිනාවක්
ඉන්නවද බලන්න
ස්ටේශමේ බලාගෙන

දුම්රිය වුණත්
අතාරිනවා එතකොට
හිරකරන් හිටපු
දිග සුසුමක්

[තරින්ද්‍ර ගලහේන]


වෙරළ

පා නගා යමු ප්‍රේමයේ වෙරළේ
රාග රළ පෙළ කැරලි ගසනා
ප්‍රේමයේ වෙරළේ...

යතොත් දියඹට වශීකෘත වී
සුනු විසිනු වනු ඇති ය දිවිමඟ
නැගි නැගී එන හැඟුම් රළ පෙළ
සත් සමුද්‍රය කලඹවනු ඇත

වෙරළ මත්තේ රුදු මිනිස් ඇස
දැදිරි වී අප වෙත යොමුව ඇත
මැකී යන වෙරළේ සිහින තුළ
මඳ ඇසිල්ලක් පමණි ප්‍රේමය...

[පුබුදු සිරිවර්ධන]


අම්මා

මැටියෙන් හදපු වළඳක පතුලක උනන
කඳුලක සුවඳ ඉස්මෙන් බඩ කට පුරන
නොහිඳෙන බතක රොස් දංකුඩ කුඩු බුදින
නම් නැති අවන්හල රැකගෙන පිං පුරන

බුදිතත් බොජුන් මං චයිනිස් නම් දරන
එහෙමත් නැතොත් ⁣අල්ලපු රටේ රහ බුදින
තරු පහ හයක මඟ නැවතී මේසයක
හැන්දෙන් බඩට රහ තවරමි මං මෙදින

කෑවද නොකෑවද බිව්ව ද බෙහෙත් ටික
ඉව්වද උයන්නට ඇතිදෝ හාල් ටික
අහලා හාල් පතකට යන මාරු ටික
යැවුමට හිතත් අමතක වෙයි වෙලාවක

අදටත් ගෙයි බතේ දංකුඩ සූරගෙන
බඩ දෑවිල්ලට ම දිය බත හදාගෙන
වත්තෙන් පලාවක් කොළයක් හොයාගෙන
මං යන නිවාඩුව තෙක් දෑඟිලි ගණින...

[කාංචනා විජයබණ්ඩාර]


වැඩිය හොඳ කොහොමද..?
මට, වැඩිය
හොඳ කොහොමද..?
-ඇය-


සාරියක් - ඔසරියක්..?
ගවුමක්..??
කලිසමක්..???

විඩාබර සති මැදක
පාන්දර ඔබ පිපී
මදහස වසන්කොට
කලබලෙන් පටලවයි සාරි පොට..
උදහසේ රැළි හදයි නුඹ..
මට යි ඒ උදහස...

ඉඳහිට එන සැඳෑවක
අතරින් පතර ගිලිහුණු
කහ මල් කිණිති සිඹ,
මල් පෙති ඉහුණු මල් ගවුමට
කටකාර වන මලයි නුඹ..
මටයි ඒ මදහස...

සති අන්ත ඉරිදාවක
නුවර මගතොට වීදි දිග
හිතුමතේ අත් පටලවන් යන,
අත් ඇඟිලි අතරේ
නිදහසයි නුඹ..
මට යි ඒ නිදහස...

සොඳුරිය
ඉතින් මට..,

සාරියක් කියන්නෙ ම උදහස..
ගවුමක් කියන්නේ මදහස..
ඩෙනිමක් කියන්නෙ ම නිදහස...
නුඹට...?

මුදිත්


දියඇල්ල කියන්නෙ හදවතක හුස්මක්

යායුතුව තිබෙනවා පල්ලමක් අහුවෙද්දි
දිය ඇල්ල හැදෙන්නේ එතකොටයි උස්ම
වැහිවතුර උල්පතක ගලන ගංදිය වුණත්
කොහේදිද ඉපදෙන්නෙ ඉල්ලගෙන හුස්ම

කන්දකින් වැක්කෙරෙයි පහළකට කෑගහන්
වතුර කැට තව හුඟක් අනුවලට බෙදෙන්න
අල්ලගෙන අතදෙන්න ඒ නැතත් සමුදෙමින්
සමහරක් දිය හෙව්වෙ ළතැවෙවී ඉදින්න

ඒ තමයි අපි නොදත් කතන්දර කැලෑවල
අපි දන්නෙ බලාගෙන දියඇල්ල අඳින්න
තව ටිකක් කන තියල කතාබහ ඇහුවොතින්
ඩිංගකට තනිවෙන්න පුළුවනිය විඳින්න

ඒ නැතත් ඉපිලෙන්න යට යන්න නෑවෙන්න
බරින් අඩු ගල්වලට පුළුවනි හෙලවෙන්න
කොයිනමුත් ගල්සෙවෙල් පරිස්සම් වෙන්න
රළු නොවුණු ගල් මතින් එපා ඒමේ යන්න

ඇල්ලකින් වැටෙනකොට උඩ ඉදන් වතුර කැට
ලස්සනයි හැඩයි නම් වර්ණනා නොකරන්න
අල්ලකට ඇරං දිය ආයෙ උඩ විසි කළොත්
පල්ලමෙන් වැටෙන දුක දැනෙනවද බලන්න

[ක්‍රිෂාන් රත්නායක]


රෑ(ට)...

නගරයට නිදිමතයි සඳට තරු තනි මකයි
වීදි මැද පහණ් කණු දවසේ වතගොත කියයි
ආලාප කැටයමින් උන්ගෙ දෙසවන් පිරෙයි
හිරි වැටෙන පාරට්ටු ගැන පවා උන් දොඩයි

නිශාවට පෙම් බැන්ද මාරුතය තටු ගසයි
ඉකි බිදින කොමළියක් වීදියේ තනි මකයි
අතැර ගිය බිළින්දෙක් කසල ගොඩ විසිරුවයි
ප්‍රභාතය අහිමි උන් දොර ඇරන් පිටට එයි

තවකෙකුට ගිනි බිදින අවි අතට මාරු වෙති
සියපතක පෙති සිදින හැටි මොණරු කියා දෙති
මල් පිපුණු ගහකොළද විස පොහොර උරා බොති
දහවලට ගිනි තියපු උන් රෑට පියාඹති

[දිල්මිණී හසින්තා]


ගැලවීමක් නැත

සිඹිති උන් ඔබේ මුව
දොඩා ඇත්දැයි දැනගැනීමට
පෙම් වදන් කිසිවෙකුට.
ඉව කර බලති උන් ඔබේ හදවත.

ඒ තරම් අමුතු කාලයකි මේ, මගේ හිතවත...
දඬුවම් කරති උන් සිපගන්නා අයට
හරස් මංපෙත්වල
දස වධ දෙමින්.

සැඟවිය යුතුය අප අපේ ප්‍රේමය අඳුරු ඇඳුම් අල්මාරිවල
මේ ගැට ගැසුණු අවුල් ජාලයේ, කටුසර සීතලේ
උන් නොනිවා දල්වා තබාගනිති උන්ගේ ගිනි
දවාලමින් අපගේ ගීත සහ කවි
අවදානමට ලක් නොකරන්න ඔබේ ජීවිතය සිතීමෙන්..

ඒ තරම් අමුතු කාලයකි මේ, මගේ හිතවත...

තඩිබාති උන් ඔබේ දොරට මැදියම් රැයේ,
ඔබේ පහන බිඳ දමන්නට

සැඟවිය යුතුය අප අපේ පහන් අඳුරු ඇඳුම් අල්මාරිවල
බලන්න! මස්වැද්දෝ සැරිසරති මංමාවත්වල
ලේවැකුණු උන්ගේ මන්නා පිහි රැගෙන.

ඒ තරම් අමුතු කාලයකි මේ, මගේ හිතවත...

කපා වෙන් කරති උන් දෙතොල් මත රැඳි සිනා,
ගලවා දමති උන් ගීත උගුරු දඬුවලින් උනා.

සැඟවිය යුතුය අප අපේ හැඟුම් අඳුරු ඇඳුම් අල්මාරිවල

පුළුස්සති අමුඅමුවේම උන් ගී කෝකිලාවන්ගෙ තුඩු
පිච්ච සහ ලිලැක් මලින් සැදි අග්නිජාලා මත තබා

ඒ තරම් අමුතු කාලයකි මේ, මගේ හිතවත...

මත්ව සිය ජයෙන් උදම් වී,
කඩාපනියි ගිජු රකුසා
අපේ අවමඟුල් පෙරහැරට

සැඟවිය යුතුය අප අපේ වදන් අඳුරු ඇඳුම් අල්මාරිවල

(ඉරාන කවියකු වූ අහ්මඩ් ෂැම්ලොව් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

අහ්මඩ් ෂැම්ලොව් (1925 - 2000)
ඉරාන කවියකු, ලේඛකයකු සහ පුවත්පත්කලාවේදියකු වූ ඔහු නූතන ඉරාන කවියේ වඩාත්ම බලපෑම් සහගත කවියා ලෙසද සැලකෙයි. ඔහුගේ කවි සංකීර්ණ වන නමුදු ඔහු බොහෝ විට කවිය සඳහා යොදාගෙන ඇති සංකල්පරූප ඉතා සරලය. ඉරාන කාව්‍ය රසික ප්‍රජාවට අතිශයින් සමීප සංකල්පරූප උපයෝගී කර ගනිමින් ප්‍රබල භාව කම්පනයක් දැනවීමට සමත් කවි නිර්මාණ රැසක් ඔහු විසින් රචනා කරනු ලැබ ඇත. ප්‍රංශ බසින් රචනා වී ඇති කවි රැසක් ඔහු විසින් පර්සියානු භාෂාවට පරිවර්තනය කරනු ලැබ ඇති අතර, ඔහුගේ කාව්‍ය නිර්මාණද විවිධ භාෂාවන් ගණනාවකට පරිවර්තනය වී ඇත. ප්‍රබන්ධ කෘති, තිරරචනා සහ නාට්‍ය පිටපත් මෙන්ම ළමා සාහිත්‍ය කෘති කිහිපයක්ද ඔහු විසින් රචනා කරනු ලැබ ඇත.

[අජිත් නිශාන්ත]

 

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]

[email protected]

මාතෘකා