සමුගැනීමට පෙර

 ඡායාරූපය:

සමුගැනීමට පෙර

කවුරුන් වූවද මෙලොවට එන්නේ

කිසියම් දිනයක සමුගෙන යන්නේ

පසට එක් වන්නේ, සුළඟ වී යන්නේ

නැතොත් මුසු වී දැවීයයි ගින්නේ

 

හෙට සුළඟ රස කරන කුමක වුව

මගෙන් කොටසක් රැඳෙනු ඇත තව

දැනෙන සඳ හදවතට රිදුම් සුව

දනිමි මම ඒ තුළද සිටින බව

 

අද උදා වී ඇති ළා හිරු

හෙටද එනු ඇත එකයුරු

දවාලේ නිහඬ වන සමහරු

දොඩති නින්දෙන් ඇති තුරු

 

සටහන්ව ඇතිදෑ ඇහිපියන් මත

මකන්නට ඔබ දරන මුදු තැත

ලියා ඇති දෑ ඔබේ උරපත

මකන්නේ කවුරුන්ද හිතවත?

 

ගින්දරක් සේ දැවීමද තැවුළකි

එ‘ගිනි නිවුමද ඊට වැඩි අවුලකි

කඳුළකින් මට උරුම තව කඳුළකි

එයින් මා මුදනු කවුරු වෙද සකි

 

වින්දෙමි මිහි මත ජීවිතේ රස

දිවි ගෙවමි විඳිමින් දිවේ අනුහස

දුරින් සිටිනා වදන් නගනා බස

දිවෙන් දිවවිත් වඩයි මා සරතස

 

(පන්ජාබ් කවියකු වූ හර්භජාන් සිං

විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

 

හර්භජාන් සිං (1920 - 2002)

කවියකු, විචාරකයකු සහ පරිවර්තකයකු වූ ඔහු නූතන පන්ජාබ් කවියේ පුරෝගාමීන් අතරින් එක් අයෙකි. කාව්‍ය සංග්‍රහ මෙන්ම සාහිත්‍ය ලිපි, විචාර කෘති සහ චරිතාපදාන රැසක්ද ලියා පළ කර ඇති ඔහු ලෝකයේ විවිධ රටවල විදෙස් කවීන් රැසකගේ නිර්මාණ විශාල ප්‍රමාණයක්ද පන්ජාබ් බසට පරිවර්තනය කර ඇත. සිය කාව්‍ය පරිවර්තන ඔස්සේ ඇරිස්ටෝටල්, පොෆොක්ලීස්, තාගෝර් සහ නූතන රුසියානු කවීන් ඇතුළු විදෙස් කවි කිවිඳියන් රැසක් පන්ජාබි කාව්‍ය රසික ප්‍රජාවට හඳුන්වා දීමට ඔහු සමත් විය. කවිය වෙනුවෙන් ඔහු ඉටු කළ මෙහෙවර අගයමින් සෝවියට් දේශයේ නේරු සම්මානය, පන්ජාබ් රාජ්‍ය ශිරෝමනී සම්මානය, සාහිත්‍ය ඇකඩමි සම්මානය, කාබීර් සම්මානය සහ සරස්වතී සම්මානය ඇතුළු විවිධ ප්‍රණාම ඇගයීම් රැසක් ඔහුට පිරිනමනු ලැබ ඇත.

 

[අජිත් නිශාන්ත]

මාතෘකා