කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

දේවිකෝ!
මේ තමයි සංසාර චක්කරේ

හිතන්නේ මොනවද ඔය හැටි
බලාපන් කම්මුලේ ලේ කැටි
කෝ උඹේ තිබුණ මොළකැටි
කියාපන් දේවිකෝ
සුදුමැලි ඇයි ද
අර පේන වලා කැටි...

බමන්නේ ලෝකෙද මමද
පුරස්නේ උඹෙ ඒකද
ටිකක් කරකැවිල්ල
ගත්තම තමයි
ඒකෙත් අමුතුම දැවිල්ල
ගනින් කෝ ඔය දෙහි බෑය
උඹ නොදන්නවද
දවස තිස්සෙම ඉතිං පිච්චිල්ල

දැක්කේ නැතිවට උඹ
රජ මගුල් බන් ඒවා
සමරන්න ඕනිමයි කියල
අපේ උන් නිවාඩුත් දැම්මා
පිස්සුද මැණික... මම සිරී
ඒ හැරී ...
අම්මපල්ල දේවිකෝ
මහ රැජිනත් පරාදයි උඹට
මතක නම් හිනාවෙන හැටි ...

අමාරුයි තමයි ජීවිතය
දෙක තුනට තුන හතරට
වැඩි වීම එයයි ගණිතය
පිරෙයි නම් බඩ කැවුතු
ලාබයි හුළං පිනටය
එහෙම නම් හදමු අපි
නැද්ද උඹ අහල
කැක්කුමනෙ බන් ජාතියට
කහනවටද නැත්නම් උඩ පැනල
ත්‍රිපෝසත් දෙන්නෙ බර මැනලා

ඇයි ඔච්චරටම නපුරු
හෙටත් පායනවා නේද හිරු
තවත් දවසකට මරු
හීන විතරයි නැත්තේ නිදිවැරු

ඉතින් උඹ අඬනවද
මට පේන්නම බැරි
උඹේ ඔය කඳුළු
අනේ බන් දේවිකෝ
තේරුම් අරන් ඉමු
ලේසි නෑ මේ කරුම චක්කරේ
කැරකෙන්නේ නැහැ බන්
අපෙ බඹරෙ වැල්ලෙ
කිව්වත් නොකිව්වත් සක්කරේ....

[ජීවන්ති රත්නසේකර]


ගුරුතුමනි

අප දෑත් ශක්තිමත් විය යුතු ය
හද කුටීර එකිනෙක ගැටෙන්නට
ඔබේ දා බිඳු මගේ දා බිඳු එක්කොට
රුහිරු නදියක් මිහි මත ගයන්නට

පිරිමි හදවත් සදාකාලික ලෙස
ගැහැණු කඳුළක කතා කළ යුතු නැත
මගේ කඳුළක් ඔබේ නෙතෙන් වැටෙන්නට
මහා පොතපත අකුරු විය යුතු නැත

තරුවකින් ගෙන දී සියුම් එළි අහුර
පන්හිඳක් දී මගේ අතේ හිරකොට
අමාවක රෑ හඳහාමි කොතනදැයි
හොරෙන් හෙවීම නොවේ ආදරය

"උඹ හරි ම වදයක් පාඩුවට කාන්සියට
බලාපන් ලස්සන තරු කතා කරන අයුර"

[අයු ප්‍රනාන්දු]


රතු රෝස පිපු‍ණේ නෑ අප අතර

අපි අතර අවම දුර
අවන්හල මේසයක දිග
සුළඟ වුණත් හැමුවෙ හරි හෙමීට
ඒත් රතු රෝස පිපුණෙ නෑ අප අතර
එකත් පුදුමයක් තමයි

හිනා වුණෙත් යන්තමට
මට මතක විදිහට
මාස පොයට පහුවදා හඳ වගේ
බොහොම හීනියට

පරෙස්සමට පෙරාගත් කතාබහ,
ඔබෙ වචන මගහැරිය මගෙ වචන
මගෙ වචන මගහැරිය ඔබේ වචන
නමුත් සමහර වෙලාවට ඔබ
ධ්‍යානය අමතකව
"අර තරුව ලස්සනයි"
කිංකිණි හඬින් කියූ විට
පා පැටළුණා මගේ හිතට
ඒත් ඇස් පියන් හිටය මම

ඉඳහිට හැලීමේ දිවයන එළියකට
දැල්වුණු ඔබේ මුහුණෙන්
දක්ක මං හිතයට කළු වලාකුළු
එත් නිහඬව හිටිය මම

ඔබට අත වැනුව මම
ඔබට නොපෙනෙන්නට
හැරිලා බැලුව
නාඳුනන හිස් දෙක තුනක් විතරක්

රතු රෝස පිපුණේ නෑ අප අතර
එහෙමත් නැත්තම්
නොපෙනෙන්න පිපුණාද?

[තරින්ද්‍ර ගලහේන]


සුරලිය එනතුරු...

යාය පුරා නෙක නෙක පාටින් මල් ඇහැරෙන
කෝඩුකාර සමනල්ලු හීනවලට නොදැනෙන්න ළං වුණු
බඹරු ඇවිදින් නොඅසාම තොල්පෙති අග වසා ඉගිලෙන

අයිස්පලමක් දිය කෙරෙන තුරු රැඳුණු
තරු පිපිරුණ කලක වෙන් වුණු
තවම ඉසුරුමුණියේ පෙම්වතුන් නැවතුණු

උයන් කොනක
කබල් බංකුවක් මත
හත් පෙතියා මලක් එක්ක
සුසුමක් කලකට කලින් නැවතුණු හදක
මගබලාන ඇති තවම
සුරලිය එන තුරු !!!

[විහඟ සමරවික්‍රම]


දිය ඇල්ල කියන්නෙ හදවතක හුස්මක්

යා යුතුව තිබෙනවා පල්ලමක් අහුවෙද්දි
දිය ඇල්ල හැදෙන්නේ එතකොටයි උස්ම
වැහිවතුර උල්පතක ගලන ගංදිය වුණත්
කොහේදිද ඉපදෙන්නෙ ඉල්ලගෙන හුස්ම

කන්දකින් වැක්කෙරෙයි පහළකට කෑගහන්
වතුර කැට තව හුඟක් අනුවලට බෙදෙන්න
අල්ලගෙන අතදෙන්න ඒ නැතත් සමුදෙමින්
සමහරක් දිය හෙව්වෙ ළතැවෙවී ඉඳින්න

ඒ තමයි අපි නොදත් කතන්දර කැලෑවල
අපි දන්නෙ බලාගෙන දිය ඇල්ල අඳින්න
තව ටිකක් කන තියල කතාබහ ඇහුවොතින්
ඩිංගකට තනිවෙන්න පුළුවනියි විඳින්න

ඒ නැතත් ඉපිලෙන්න යට යන්න නෑවෙන්න
බරින් අඩු ගල්වලට පුළුවනී හෙලවෙන්න
කොයි නමුත් ගල්සෙවෙල් පරිස්සම් වෙන්න
රළු නොවුණු ගල් මතින් එපා ඒමේ යන්න

ඇල්ලකින් වැටෙනකොට උඩ ඉඳන් වතුර කැට
ලස්සනයි හැඩයි නම් වර්ණනා නොකරන්න
අල්ලකට ඇරං දිය ආයෙ උඩ විසිකළොත්
පල්ලමෙන් වැටෙන දුක දැනෙනවද බලන්න

[ක්‍රිෂාන් රත්නායක]


කරඳමුංගු සුවඳ

කොහේදෝ සිට ඇදී එයි
කරඳමුංගු සුවඳක්
දිව යයි මා සිත ඒ මතින්
වසර ගණනක් ආපස්සට..
ගොස් නතර වෙයි අම්මා
අල දෝසි සෑදූ තැන..

තැම්බූ කහ පැහැ අල
අනා එක පදමට
යෙදූ ටින් කිරි මුසුව හා
දැනෙයි යළි ඒ සුවඳ..
හපන විට හැපෙන කරඳුමුංගු ඇට
තවත් ඇති ඒ දෝසි තුළ..

ජීවිතෙන් බොහෝ කල්
ගොසින් ඇති මුත් අද
දිවියනම් රස වෙලා නෑ ඒ ලෙස
දැනුණ විට ඒ සුවඳ
මතක් වෙයි අම්මේ
එදා හැදු ඒ දෝසිවල රස..

[ජගත් ප්‍රසන්න කුරුගම]


එනමුත් නුඹට ඇත දොර හැර...

එක තැන ම ගෙවෙන තප්පර
හිතේ දුක උහුලම් ද කප්පර
අහිමි වුණු අතීතෙක පෙම්බර
රළු තැන් මකනු බැරි ම ද දුක්බර...?

ලියූ ගෙතු කවි කතා සිත්තර
විකාගෙන හිතේ දුක වක්කර
ඔතාගෙන ඒවායෙ තප්පර
හමුවෙමු ද තව එක ම එක වර...?

පෙර දවස හිත් රිදුණු කරදර
හිත් වැරෙන් සුවපත්ව දුක් හැර
අතහැරුණු තැන්වල දි සුන්දර
හාරමු ද යළි මතක අන්දර...?

දුක හිතුණු රැයවලදි හිත් බර
අඩක් පිරවුණු බඳුන් හිස් කර
ජංගමේ දෙපස කඳුළු වක්කර
කතා කළ හැටි මතකද හිත් යා කර...?

කාගෙත් කතා නොවේ සම බර
තාම අඩවන් ය හිත් දොර
කොහේ සඟවම් ද මතක බර
කඩදහි කොණක අත්සන් කර...?

ඉඳහිට යනෙන මඟ වැඩ හැර
තිබහත් නිවා විඩාබර
අසන්නට මදක් ජීවිතේ කතන්දර
ඇවිත් යයි නම් තබමි දොර හැර...

[කාංචනා විජයබණ්ඩාර]


ආදරය අන්ධයි

නොපෙනෙන හින්දාද මන්දා
දැන් දැන් ඒක හරි තිත්තයි

ගහට ගහ මොරටුවෙදි හම්බෙයි
නොකිය කියු හන්දයි
බැලුවෙ උස අත්තක එතෙන්නට
මම වැලක් හින්දයි

සීතලට ගුලි වෙච්චි හිත්මල්
හැමදාම නොපිපී තියේවිද!
බාඳුරාවත් සුවඳ ඇත්තයි
සේපාලිකාවක් පිළිගනීවිද!

පලක් නෑ
අපි පැලක් හැදුවත්
මුදුන් ලීයෙන් කඳුළු බේරෙයි
වතාවක් ඇර වතාවක්...

[පසන් සංජය සමරතුංග]


වැහි කවි

මේ වගේ වැහි වෙලාවක
දුක හිතී හඩන
උළු වහල දැක
මසිත ශෝකයෙන් පිරී යයි

වැහි දාට බෝඩිමේ කාමරය එහෙමය

තවත් ඒකට හරියන්න
බෝඩිමට එහා පැත්තෙ
කූඩාරමේ ඉන්න පැටව් ටික
අනේ මංදා උන්ගෙ අනාගතය

දනියගෝපාල නම්
සැපෙන් ය සතුටෙන් ය
පිරීතිරී යන සොම්නසින් ය

ඒ විසල් මාළිගාවට නොපෙනෙන
උන්ගෙ කූඩාරමේ
තහඩු උඩ රැඟුම් දෙන
ආදරණීය වැස්සට
උළු වහලය ද ටකරම් ද
ගාණක් නැතිය

වැස්ස නම් සමසිතින් සම මෙතින්
හැමදාම, හැමදාම
වහිනවා ඇති තරම්

කූඩාරමේ පොඩි උන්ට නම්
වැස්ස ගැන නැත වගේ වගක්

[ගුරුගොඩ සිරිවිමල හිමි]


ජීවිතේ ගැන හිතෙන හැටි

පැදුරු කොනක හිඳ
අම්මාගේ අතින් ගිලිහුණු බත් පිඬු
රවුමේ ගොස් එන විට ගිලමින
කුසේ ඉතිරි අඩ වතුරෙන් පුරවාගෙන
උස්මහත් වූ ජීවිතය
නිමාවක් නොවූ හැටි

ඇල්මෙන් කළ අකුරු
අනිකුන් වෙනුවෙන්ම
නිහඬවම නිම කොට
නොදරු කැල බර කරට ගෙන
අම්මෙකු නොවී අම්මෙකුව
කාලය සමඟ පොර බැදූ ජීවිතය
නිමාවක් නොලද හැටි

ආ කල කල වයස
අඹුවක වෙමින් දිවි මඟ
සුතන් මෙහෙ කරමින
ගෙවී යන සඳ නිතින
නිමාවක් නොවේමය ජීවිතය

ආයෙ ආයෙත් ඇවිල එන
ගිනි ගොඩක්මද ජීවිතය
කිහිරඟුරු සේ දැවෙන
උණුසුමක්මද ජීවිතය
ළිප් දහක උණුසුමට
ඇවිලෙන හිරුමද ජීවිතය

සීතලට ගලා එන
දොල පාරක් නොවේමද ජීවිතය
ගත සිත දොවාලන
හඳ එලියක් නොවේමද ජීවිතය
මල් සුවඳ මුසු වූ
හීන් හුළඟක් නොවේමද ජීව්තය

[ප්‍රීති බණ්ඩාර ධනපාල]

මාතෘකා