කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

රාලහාමී ඒ මගේ ප්‍රේමය ...

නිමිත්ත-
අද මාතර වෙරළ තීරයේදී ඉතා නින්දිත ලෙස පෙම්වතුන් පෙම්වතියන් අත්අඩංගුවට ගත් බව පුවත්පතක් වාර්තා කරයි.

රැල්ලෙ හැප්පෙන බිඳෙන වාරේ
අනේ තනිවෙමු කියපු ඇවිටිලි
ලියන්නට එක පොතක් මදිවෙයි
ආදරේ ගැන කරපු පැමිණිලි

පැයක් කොටහක් තෙපල උන්නට
ආදරේ ගැන විතක් සැනැහිලි
ගණන් කර කර බැලුව තැනකදි
ඉතුරු වෙයි සිල්ලරම සැරසිලි

හිතේ වෙහෙසයි බැලු බැලු අත
දුකයි අයසයි වහින ගෙරවිලි
ප්‍රේමයට හිරිකඩ වැටෙද්දිත්
තුනෙන් දෙකකට තිබ්බෙ රැවටිලි

මෙතෙක් සංවරකමක් රැක්කට
අකුණු නැතුවා නොවෙයි වැදුණේ
හුදෙක් ළං වෙන තැනක් දැක්කට
රිදුණු හින්දම නෙවෙයි හැඬුණේ

හිතින් හීනෙන් නැවත හමුවෙන
තැනක අපි ප්‍රේමය පටන් ගමු
ඉනික්බිති මේ නපුරු තැන හැර
හිමින් හමුවෙන තැනක නවතිමු

[ක්‍රිෂාන් රත්නායක]

මිතුරු උණ ගස

මඳක් නතරව ගිමන් හැර යනු
කියනු කෙලෙසද ගලන ගඟකට
ගඟත් දන්නවා ඔහුත් දන්නවා
අයිති බව නුදුරෙදිම සයුරට

ගඟේ දුක සැප නිතර විමසන
ගං ඉවුරෙ තොටුපළක් අසබඩ
සුළං තාලෙට ගයයි පෙම් ගී
හුදකලා වූ මිතුරු උණගස

පිටින් බැලුවිට අලස දුර්වල
අයෙකු ලෙස පෙනුණාට සැමටම
පපුව මැද්දේ හිස් කුහර තුළ
පිරී තිබුණේ ඔහුගෙ ප්‍රේමය

ජීවිතේ අවසාන මොහොතේ
බදාගත්තත් ගඟේ මෘදු බඳ
දුකක් පිටතට නොපෙන්වා ගඟ
ගෙන ගියා උණ ගසේ මළකඳ

[සමීර මදුසංක]

සාරි පොටින් නහය වසා ගන්නා ඈ

සෙනඟ ඇවිස්සී එහෙ මෙහෙ දුවන
පදික වේදිකාවේ
යකඩ වැට උඩ හිඳ
කල්පනා සයුරක ගිලෙමි
සුන්දර සිහිනය ඔසවාගෙන
සිගරෙට්ටුවේ කෙසඟ දුම් කැරැලි
අහස් ගඟේ රස්තියාදුවේ
උඩ යන ඉක්මන

සාරි පොටකින් නහය වසා
කවුදෝ මා පසුකරන ඡායාවකි
ඔව් "ඒ ලැවැන්ඩර් පුසුඹ"ම තමයි
ඇගෙ සුවඳ හඳුනා ගතිමි යාන්තමින්
ඇය මා දුටුවද මන්දා

ගලා නොගොස් එකතැන පල්වුණු
කුණු කානු වතුරට
පිච්චුණු ෆිල්ටර් කොටය විසිකරමි
නැති කරගන්න බැහැ ඇගේ ආදර හිත

හම්පඩ ඩෙනිම් සාක්කුවට අත දමා
සිල්ලර කාසි පොට්ටනියක් අතරින්
මින්ට් රසැති ටොෆියක් සූප්පමින්
ඈ සොයා හනික යමි

මඟ හැරුණු තැන
ඈ එනතුරු මංසන්ධියේ නැවතී සිටිමි
සාරි පොටින් නහය වසාගෙන
බිම බලාගෙන මා ඉදිරියට එන්නීය ඈ
පුදුමයකි! මා අත සිගරෙට්ටුවක්ද නැත

[රුවංක ජයතිලක]

හදවතේ කුරුටු ගෑ කවියක්

මලක් පෙති ගලවලා හෙමිහිට
ගොඩක් දුකකින් බිමින් තිබ්බා
අක්කගේ බොර පාට ඇස්වල
නොලිව් කවි පද ගොඩක් තිබුණා

සමහරක් නිදි නොලද රෑවල
ලී ඇඳේ කිරි කිරිය ඇඬුවා
උන් දීපු ඒ මොනර කොළවල
උඹේ දාඩිය සුවඳ තිබුණා

සඳත් ඔච්චම් සිනා පෑවේ
අපි දෙන්නා දෙස බල බලා
දිරපු පොල් අතු වහල යට අද
උඹ මගේ අම්මා වෙලා

අප්පච්චි ළඟ අම්මා ඉන්නවා
පොළොව යට දැන් පස්වෙලා
අක්කේ ඇයි මේ කොට්ට් උරවල
කඳුළු ලුණු රහ තැවරිලා

සිල්ලරට ඇඟ විකිණුවත් උඹ
හොරෙන් කඳුළැලි සලනවා
හැමදාම ලී ඇඳ අඬනකොට
මටත් කඳුළැලි උනනවා...

කයි කතන්දර ගොඩක් ඉවසන්
ලොකු බරක් උඹ අදිනවා
මගේ කරුමේ තවම තියෙනවා
කොරක් වෙලා දුක් විඳිනවා...

සමාවෙනවද අක්කණ්ඩියේ
මගේ අතපය ගැහෙනවා...

[ශනීෂ් ශ්‍රීමාල්]

‘අපේ ගීතය !’

තනිව හිඳ මා....
සප්ත ස්වර අතරේ..
සෙමෙන් මුමුණන..,
ඔබ පසෙක හිඳ..
ඔබත් සමඟින්...,
දිවි පුරා ගයනා..
ගීතයක් ඇත!
ඔබට මිස..
වෙන කිසිවෙකුට...
නොම ඇසෙනා..
මොහොතකට..
ඔබ කෙරෙන් දුරු වී..
හිත මිතුරු පිය සාද,
මධු ගීත අතරේ...
ගෙවෙන කාලය...
පුරා හෙමිහිට...
මසිත මුමුණන්නේ ...
ඔබත් සමඟින්...
දිවි පුරා ගයනා..
ඔබට මිස..
වෙන කිසිවෙකුට
නොම ඇසෙනා ...
ගීතයයි සොඳුරේ ...
උනුන් දෙතොලින් ..
සවන් මත මධු වදන් වෑහෙන
පද එකින් එක
සිතින් ගිලිහී
යන්ට නොම දී..
සදා වනපොත් කරන - ගයනා
"අපේ ගීතය !"
තරම් මිහිරැති
ගීතයක්
මෙලොව නැත සොඳුරේ !

[පියන්කාරගේ බන්දුල ජයවීර]

තව තව මධු පිපේවා !!

අමාරුම නියං කාලෙක
වැටුණ පිනි බිඳුවකි සොඳුර
ඉහටත් උඩින් පිපි මලකි
ආදරෙයි කියා පළා ගිය

අනුරාව පළා ගිය මහ රෑක
සිහිනයක් වී අවුත් හිස අතගාන
ආදරෙයි කියමින් හාදු දී
පළා යන එක හරිද සොඳුරිය

පවන් රැළි හමද්දී
සුළඟක එතී අවුත් නුඹ
ටටා බායි කියමින්
ඇගේ ඇස පිරිමැදී යන්තම්
ඔහොම යන එක ඉතාමත් වැරදිය

බිඟුන් සැරි පසු මලෙක රස විඳ
ඒ මලෙහි මෙලෙක් බව
මිතුරු බිඟුන් හා කියන එක හරි නැත

ඉතිං සොඳුරිය,

තව තව මධු පිපේවා නුඹේ ළය මත

[ගුරුගොඩ සිරිවිමල]

කඳුම විතරද නාය යන්නේ

අතරමඟ අතහරිනු බැරි තැන
පොවා කිරි බිඳු නොවේ, රතු ලෙය
වඩාගෙන තුරුලු කර ලය මත
තබාගෙන හැදු දෙයකි ප්‍රේමය...

ඇදුම්කන දුෂ්කරම මොහොතක
රිදුම්දෙන ඇහිපියත් පපුතල
සියුම් නැති පාරවන වදනක
හැකි තරම් තැවරුවෙමි ඉවසුම...

බහින්බස් දවස්වල ඉස්සර
දෙපසකව කඳුළු හෙළු තරමට
සුසුම් මිස කතා නැති මොහොතට
ඉස්සර වෙන කෙනා ඒ මම...

කඳු මැද මඳ ඉඩක් තිබුණම
නාය යන්නේ එ’ඉඩ පිරුමට
එහෙම කියු මොහොතවල ඉස්සර
කඳුළු කඳු යා කළේ ඇස් දෙක...

කඳුම විතරද නාය යන්නේ
හිස් ඉඩැති තැන් රැඳෙන කොට
කන්ද පහළදි මේ හොයන්නේ
මුදුනෙ තිබු ආදරේ පදනම...

[කාංචනා විජයබණ්ඩාර]

ගැඹුරක අඳුර...

මතකද,
අපි අන්තිමට හිනාවුණෙත්
නවකතාවක
බොළඳ ප්‍රේමවන්තයකුට,
ඒත්, සමච්චලේට...

එන්න එන්නම
ගැඹුරු වෙද්දී,
එන්න එන්නම
නිහඬ වෙද්දී,
අපේ කතාව,

එකක් දෙකකින් නොනැවතී
සියක් ගානක් පෙම් කතාවලට
හිනාවෙන්න ඇති අපි
ඒ විදිහට...

කාලයේ ඇවෑමෙන්
විචාරක සැත්වලින්
කීතු කීතුවට කැපෙන,
සම්භාව්‍ය සාහිත ලේබලෙන්
තැන නොතැන නොමැතිව
විකිණෙන,
සම්මානිත කතාවක
චරිත දෙකක්ව
ගල් ගැහෙනතුරු අපි
මුහුණට මුහුණ බලාගෙන...

ජීවිතය සරලව නොවිඳපු
අතීතයක බරින්,
දැන් මං යන්නෙම
ඉහ බිමට නමාගෙන...

ඒ දවස්වල විසිකරපු
බොළඳ නවකතාවක පිටුවක්
බිම වැටිලා තිබුණොත්
තුරුලු කරගන්න බලාගෙන...

[රසිකා ප්‍රනාන්දු]

කොම්රේඩ්

රිදෙන්නට තැන් නොමැති හන්දා
රැයේ බාල කල නිදියන
කඩා වැද මගේ තරුණ සිහිනෙට
සබන් මවන ලෙස ඉල්ලන

ගල් තලාවක, මධුවිතක රස
නොවිඳ මිතුරට ගී දෙන
පෙළින් පෙළ දස මසක් තිස්සේ
සල් ගසක කවි කියවන

විසල් පවුරක හදවතක මැද
රතු අකුරු කවි අලවන
සහෝදර කඳුළක බරින් රෑ
සුසුම් වැළපුම් ඉහ අද්දර

[අයු ප්‍රනාන්දු]
මාතෘකා