කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ගොවි රජ

 

ලොකු කුඩා දෙකන්නෙම
සෝමාරිකොමක් නැතුව
ඇඟේ සයිරි මාන්සයෙන්
හේන් කුඹුරු පතු ගාපු
හරි හරියෙ තුන් වේල
සරි කරපු
ගමේ සකියා මමයි
කැත්ත උදැල්ල නියාලුවේ
හාකා කෙළවාපු
සද්දන්තයා මමයි

නියං රාස්ස විරිතිල්ලෙ
වැහි කුණාටු පැනගිය ඇහිල්ලට
පාපයැයි නොසිතාම
කහලියට කෝන්තරේට

අහස පොළෝට දොස් තියාපු
අකෘතඥයා මමයි
දිය පොදට හිඟා කන
මේ නුහුරු කඩයිමේ
පුරා හත්තට කන්නෙ
මඩ කියා සේදුවේ
කාෂ්ට දුහුවිල්ල
බහක් නොදකින එවුන්
බඩ සායෙ අඬනකොට
කීරි ගැහී හඳුන්පොත
පැදුරටත් නොකියාම

ගොමස්කඩ එහෙම පිටින්
තොලොන්චි වී පරවේණියෙන්
නොදන්නා මඟ තොටෙන්

සෙයිලම් පුරේ ආපු
අත්වැඩකාරයා මමයි

වැලි ගඩොල් අදින තැන
කොන්ක්‍රීට් අනන තැන
අසක්කුවකට අහේනියකටවත්
කහට උගුරක් පදමට නොදෙන
වචී පරමයෙන් සැදී
කොන්ත්‍රාත් මුදලාලි

හිටිපයින් ඉන්නවා එක තැනම
ඒ වුණත් කාරි නෑ
අයාමට පිහිට වෙච්චි
උන්නැහැ දෙවියෙක් වගෙයි

ගිනිගිනියෙ සාය වැදුණෙ
මං හිතුවෙ ගංකරේ
අපට විතරයි කියලා
ක්ෂුධාවට පිරිමැහෙන
මේන් කියල ගහක් කොළේකුත් නැතුව
මුඩුක්කුවෙ, අගුපිළේ අහුමුල්ලෙ
ඇනිඇනියෙ නිරාහරෙන් ඉන්න
මයෙ වගෙම කේඬෑරි ඇඹිටියන් දකින කොට
මීක්ගෙඩි තරමකට ඇහැට කඳුළක් ඇවිත්
කඳ බඩ හෝස් ගාලා පත්තු වෙලා
එක්සැනම හිතෙනව ගමට ගෙහුන් ගහක හෙවණට වැටිලා
මැරෙන එක මීට වැඩි හොඳයි කියලා

ඒත් ඉතින්
වේල පිරිමහගන්න
කීයක් හරි ගෙදර යවලා
හිතේ දුක ඩිංග හරි නිවෙනකොට
අපායක් වුණත් මේක
දිව්‍ය සැපක් වගේ ආයෙ හිතෙනවා..

 

[පොඩිරත්න අඟමලේ]


පපුවට හැකිද මේ තරමට විඳවන්න?

 

කඳුළුත් කැමති හෙමි හෙමිහිට
රූටන්න
මම නම් කැමති නුඹ අසලම
දැවටෙන්න
අමාවක දිනක මූසල
සැඳෑවක
මැණිකේ නුඹ ගියා පපුවට
නොකියාම

ගල් බාගෙකට ගෙන අහුරක්
කඳුළු කැට
දිය කර එක් කරමි මතකත්
විටින් විට
කුලී කාමරේ පොල් කොහු
මෙට්ටෙ උඩ
තාමත් තියෙනවා මැණිකෙගෙ
සෙන්ට් සුවඳ

හිත ඉගිලෙන්නෙ හදවතටත්
නොකියාම
හෙමිහිට සොයන්නෙම තාමත්
නුඹේ රුව
දවසක මතක් වුණොතින් මැණිකෙට
මාව
දුවගෙන ඇවිත් තුරුල් වෙයන්
හදවතට...

 

[ශනීෂ් ශ්‍රීමාල්]


මල් සේල්

 

නගරයේ වීදියකි
මන්දිරේ පවුරකි
ඉන් එබෙන මල් අතකි
අත දිගේ මල් රැසකි

උඩ බලන මවු කෙනෙකි
මල් නෙළන අරමුණකි
මල් නෙළන්නට නොහැකි
කරුණු කාරණ රැසකි

 

මලට අත දිග මදිය
මහලු ගත නැත සවිය
වාරු ගන්නට බැරිය
කිසිවෙකුත් ළඟ නැතිය

 

නගරයේ මල් හිඟය
හමන මඳනල ගඳය
පිපෙන වුව වතු වලය
එමල් පවුරෙන් වටය

 

ඉහළ අතු අග පිපෙන
මල් හලෙහි විකුණන
මලට ලංසුව තබන
අරුමෙ මල් පරවෙන !

 

[සු.ප්‍රි. සමරසිංහ]


රෝමාන්තිකද තනිකම?

 

කොන්ක්‍රීට් හිම ගිරිකුළු මුදුනත දැවටෙන
අළුපාට වලා දුම් ගොබ පර්වත
මන්ද්‍ර ස්වරයෙන මුමුනන හඬ ඇහෙනවද?
ඕනවට වඩා කළුවර හැන්දෑවක

 

අඳුරු මූසල දවස්වලටත්
පෙම් කරන වැහිලිහිනියෝ
සිටිති හිම ගිරි කුහරවල,
හැබෑ තනිකම සඟවා
රෝමාන්තික තනිකමක් මවාගෙන
කිරිගරුඬ පඩි නැඟ
සඳලු තලයට සඳ එන අයුරු ගැන

ලියති උන් කවි
රූපාන්තරණය වුණත් උන් සඳ ළඟදි
කදෝකිමියන් බවට

සිතුවිලි අතරමන් කරන තරමට
මාරාන්තිකයි
වලාකුළුවල මන්ද්‍ර මිමිනුම
අතැඟිලිවලට අහුවෙයි අළු පාට
පරණ කවි ගිනිතබා පුළුවන්ද
හිරිකඩ හුළඟෙන් බේරෙන්න
හිතේ ගිනිමැල දවන්නේ කවුද?
හඳ නැති අද වගේ වැහිබර දවසක
රෝමාන්තිකද තනිකම?

 

[තරින්ද්‍ර ගලහේන]


සිනා කුමටද

 

සිඟාන ආ අල්ලට සිප් කිරි පිදුව
හොරුන් ගත්ත ජීවිතයට පණ පෙව්ව
ගහෙත් ගලෙත් එක විදියට පය තැබුව
නිසල දියට හිස නැමුවේ ඇයි දරුව

 

දෙවැට දිගේ මල් පිපුණේ නැත නුඹට
පාන වුණත් නිවුණේ ළං වුණ කලට
හීන ගෙනත් පැළ කෙරුවේ නුඹ අවට
පෑළ දිගින් පිට වී යන්නද දොරට

 

ඉරිඟු කරල් හඳ එළියට මෝරනවා
පින්න පිපී පැල් කොටයට රිංගනවා
සීපදයක් මල් සුවඳට මුසු වෙනවා
ඇහැ ඇතුළේ උණු කඳුළක් නලියනවා

 

පාන් කළුව ඈතින් අත වනනකොට
හීන් හිනාවක් උපදී මල් මුවට
තාන්තුවාවෙන් කල් ගෙවනා අපට
ඉරේ හිනා රැස් විහිදෙන්නේ මොටද

 

[නුවන් ප්‍රසන්න විතානගේ]


ආලයේ මල් පැණි

 

සිහින උයනක කෙළවර
ආලෙටම වෙන් වුණු රෝස පඳුරක
කටු අස්සේ ආදරේ විහිදෙන
මල් අතරේ රැඳුණු
නොපිපුණු පොහොට්ටුවක්!!

හැම මලකටම උරුම පාටක්
වෙන්න රතු රෝස අත්තක වෙනස් පාටක්
පිපී හිනැහෙන දවසක
විහිදන්න ගවුගාණක් ආදරේ සුවඳ

මී මැස්සෙක් විත් ඇවිත්
ඉඩ දෙනවද විස තුඩු ළංකරන්
විඳින්න ආලෙයේ මල් පැණි...

 

[විහඟ සමරවික්‍රම]


සුසුම

 

බොහෝ දේවල්
කියනු නොබැරිව
"හ්ම්"
ස්වරයෙන්
සුසුම් විතරක්
පිටව යනු ඇත!!

 

[ගුරුගොඩ සිරිවිමල]


ඇතෙක් බර කවි

 

පිලිස්තියන්ගේද, සමාරියාවේද
*ජොහොයාකිම්ගේ දෙවියනි
සසර පුරා විසිරී සිටින
*හොලෝසීන යුගයේ මානවයින්ට
ඇතෙක් බරට කවි අවැසිය !

ඒවා,
*දුබ්‍රොව්ස්කිගේ ගුරේබියානු බිම්වල පිපෙන
තණ මල් පැහැ වේවා
දාවිත්ගේ ප්‍රශංසාද, රාහුලයන්ගේ කටාරම් කවිද,
සේකර, කුඩලිගම,වෙඩ්ඩා ගේ ද,
ලක්ශාන්ත, රත්න ශ්‍රී, නන්දන ගේද කවි
පොත් පිටින් එහි වේවා
කල්හාර, ප්‍රියදර්ශනී, අමරසිරි ගයන
ගේය රචනා ද වේවා

ජෙයපාලන්ගේ
දෙමළ කවි පොකුරු
පේන තැනකින්ම තියන්න

වෙරි වෙන කවි
අමතක නොකරන්න
ත්‍රයිලෝකවිජයා ඩිංගක
කවි මහගොඩක් බව
සිහිතබා ගන්න

*58 වන මුදල් නීති පනත ගැන දැනගෙන
පන්දාහේ කොළවල
පොඩියට කවි ලියන්න
ඩයනාගේ හා කුවණ්නාගේ නමින්
යමුනා, කල්පනා,
චලා, දිනූ, බස්සී ලියූ කවි
කලවමෙ දමන්න

අහසේ කුරුල්න්ගේ ද
මුහුදේ මත්‍යසයින්ගේ ද
කවි ටික එකතු කර දෙන්න

පාන් පෝරණු, කොත්තු තහඩු නගන කවි
හනි හනිකට
පැහැදිලිව ටයිප් කරන්න
ඉටිකොළ , රෙදි බැනර්, බ්‍රිසිල් බෝඩ් කවි
අනිවාර්යයෙන් දමන්න

තවද ,
වරාය නගරයට ගෙනෙන
*C1 කුට්ටි වලද
නිතර ලෙඩ වෙන
කළු ,කැලණි ගං වලටත්
අවස්ථාව දෙන්න

මාර්ගස්ථ මගීන්ට
පොඩි ඉඩක් තියන්න.
ඔවුන් නිහඬවම තෙරපී
ඔවුන්ගේ කවි ඔබා ගනු ඇත

වඩේ, රටකජු, මිරිස් කඩල
ලැයිස්තුවේ දා ගන්න
ඒවා දමන ගොටු කවරවල
අගනා කවි තිබිය හැක
ඒ ටික
අර වෙරි වෙන කවි
ළඟින් තියන්න

දෙවියෙක් වුණත්
පිදුරංගල පැත්තේ නොයන්න
බර කිරාගන්න ඇතෙක් හොයා ගන්න
අමාරු බව සිහි තබා ගන්න
අනාගාමික ලබ්දිය හැමතැනම බැවින්
කෝකටත් පරිස්සම් වෙන්න !

[වජිර දීප්ති වීරකෝන්]


අසලියා මල්

සමුගෙන යන විට ඔබ,
කලකිරී මා ගැන,
වදනකුදු නොදොඩාම ඉඩහරිමි යන්නට ඔබට.
කඳු මුදුන් මත සැරිසරා

රැස් කරමි අසලියා මල් අත් පුරා
සරසමි ඔබ යන මඟ එ’මල් අතුරා.
පියවරෙන් පියවර තබා
සීරුවෙන් ඒ මල් මතින්
වෙන්ව යනු මැන මා වෙතින්.
සමුගෙන යන විට ඔබ,
කලකිරී මා ගැන,
මිය ගියද මා, නොසලමි එක කඳුළකුදු.

 

(කොරියානු ජාතික කවියකු වන කිම්සොවෝල් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

කිම්සොවෝල්

වර්ෂ 1902 සැප්තැම්බර් 07 වැනිදා කොරියාවේ උතුරු පයොන්ගන් පළාතේ ක්වක්සාන් නමැති ප්‍රදේශයේදී උපත ලැබූ කිම්සොවෝල් විසිවැනි සියවසේ කොරියානු කවීන් අතර බෙහෙවින්ම කතාබහට ලක් වූ මුල් පෙළේ කවියෙකි. කොරියාවේ ජන ජීවිතය හුවා දක්වන සාම්ප්‍රදායික ජන ගී ආර සහ රිද්මයන් කැටි කරගත් ඔහුගේ සුවිශේෂී කවි බස කාව්‍ය රසික සහෘද පිරිස් විසින් ඉතා ආදරයෙන් වැලැඳ ගනු ලැබිණි. වයස අවුරුදු විසිපහක් පමණ වන විට කතාබහට ලක් වන තරමේ අපූර්වත්වයකින් යුතු කාව්‍ය නිර්මාණ විශාල ප්‍රමාණයක් රචනා කළ ඔහු වර්ෂ 1935 දෙසැම්බර් 24 වැනිදා මියගියේය.

 

[අජිත් නිශාන්ත]


*ජොහොයාකිම් - බයිබලයේ සදහන් රාජාවලියෙහි සදහන් රජෙකි. බැබිලෝනියානු රජු නෙබුකද්නසාර් ජෙරුසෙලම ආක්‍රමණය කර යටත් කරන්නේ මේ පාලන සමයේදී ය.

*හෙලෝසීන යුගය - අද අපි ජීවත්වන භූ යුගය. මෙයට පෙර පැවති ප්ලයිස්ටෝසීන යුගය හෙවත් මහා හිම යුගය අවුරුදු 12,000කට පමණ පෙර අවසන් වූ පසු පවතින්නේ මෙම යුගයයි. අවිස්සාවේල්ල මානියම්ගම සහ කිතුල්ගල බෙලිලෙන ආශ්‍රිතව අවුරුදු 13,000 පැරැණි දික්කැකුණ ඇට සොයාගෙන ඇත .

*දුබ්‍රොව්ස්කි -ඇලෙක්සාන්දර් පුෂ්කින් රුසියානු මහා කවියාගේ (1799-1837) ගද්‍ය කෘතියක එන ප්‍රධාන චරිතය.

*1949 යේ 58 වන මුදල් නීති පනතින් මුදල් නෝට්ටු වල කුරුටු ගෑම හො විකෘති කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස අර්ථ දක්වා ඇත.

*C1- මීටර් කියුබ් එකක ප්‍රමාණයේ විශාලත්වයෙන් යුතු කළුගල් සදහා භාවිතා වන ඉංජිනේරුමය සංකේතය.

මාතෘකා