සන්සුන් මනසක, නොසන්සුන් මොහොතක හීනයක්

 ඡායාරූපය:

සන්සුන් මනසක, නොසන්සුන් මොහොතක හීනයක්

කවියෙකු බිහි වන්නේ හද සසලත්වයත් සමඟය. හදවතට පහර වදින්නට වදින්නට කවිකම ඉදිමෙන ආකාරය විස්මයජනකය. එම සංවේදනාවන් පද පේළි දහයකට දොළහකට ගොනු කොට දැක්වීම හරියට සියලු චක්‍රාවාටයන්හි එකතුව විශ්වය යන පදයට කැටිකොට දැක්වීම වැනිය. කසුන් සමරතුංගගේ ‘නොසන්සුන් මොහොතක හීනයක්‘ ඒ වගට සාක්ෂි ආකරයකි.

 

නිශ්චල අහස් සයනය

අන්ධකාරය විය පොරෝනය

කල්ප ගණනක සිහිනය

ඉරත් සමඟින් සිතින් රමණය

(12 පිට)

කොයිතරම් තරු කැට අහසේ පායා තිබුණද සඳට එම තරුවලට හිත නොයයි. හිත යන්නේම ඉර තරුවටයි. අන්ධකාරය තුළින් රැකෙන සඳ නිශ්චල අහස් සයනය මත තනියෙන්ම නිදයි. සඳ සෞම්‍යය. ඉර චණ්ඩය. ඉතිං උන් වෙන කුමක්කරන්නද? සදාකාලිකවම එකතුවන්නට නොහී ඉරත් සමඟ සිතින් රමණයේ යෙදෙනවා හැර....

 

අශෝකමාලා දැන් ඇති ගෙදර

උණ ගැනුණ පොඩි එකා පරක් කර කර

සාලිය ගියොත් ඔහු දෙස බලයි මූණ නොරොක් කර

මොකද පරක්කු මෙච්චරද අද අසයි දෙනෙත් ලොකු කර

(13 පිට)

ඒ සාලියත් මේ සාලියත් දෙදෙනෙකි. නමුත් ඔවුන් කැරකෙන්නේ එකම වටරවුමේය. නූතන අශෝකමාලාට හා සාලියට දුප්පත්කමින් පීඩිතව, එකිනෙකා නුරුස්සමින් දිවි ගෙවීමට සිදුව ඇත්තේ හැඟීමත් යථා ලෝක ස්වභාවයත් අතර පිරවිය නොහැකි තරම් වූ හිඩැසක් පවතින නිසා නොවේද?

 

නිදා සිටිනා විටෙක දකිනා

උදා නොවෙනා එකම සිහිනය

බදා කෙලෙසක තව නිදන්නද

විදා අසිපත නැඟුණෙ අරුණය

(18 පිට)

කවියා තම කාව්‍යමය උදැල්ලෙන් ජීවිතය දෙසට මනා වූ අතුරු පාරක් කපයි. ජීවිතය යනු කිසිදා හැබෑ නොවෙනා සිහිනයකි. සම්පූර්ණ සිහිනයවත් කිසිම දිනෙක දකින්නට නොලැබේ. අපි නිදිගතව බොහෝ සිහින දකිමු. සිහිනයේ උත්කෘෂ්ටතම අවස්ථාවට පැමිණීමත් සමඟම ජයග්‍රාහී ලීලාවෙන් අරුණ උදාවෙයි.

 

තරුවක් නැති අහසක්

ඔබට දැකගන්න ඕනෑනම්

එන්න කැමතිම සවසකට

මම මෙතැන ඉන්නවා

(20 පිට)

ලොව සියලු දේ සිදුවන්නේ නියමයන්ටම අනුවද? එසේත් නැතිනම් සිදුවීම් ඇසුරින් මිනිසා නියමයන් නිර්මාණය කළා නොවේද? යම් යම් නීති රීති හා නියමයන් මත පදනම් වී අප ලෝකය දෙස බැලුවහොත් අපගේ ඇසට සත්‍ය නොපෙනී යා හැකිය. නිදහස් නිවහල් මනසකින් යුතුව පවත්නා තත්ත්වය මත පදනම්ව ලෝකය දෙස බැලුවහොත් බොහොමයක් නව දේවල ්සොයාගත හැකිය. නමුදු පාලන තන්ත්‍රයන්හි බලය තමා වෙත රඳවා ගැනීමේ උපාය මාර්ගය වී ඇත්තේ මිනිසා නියමයන් වෙත ඇද බැඳ තබා නිවහල් චින්තනයට වැට බැඳීම නොවේද?

 

මේ විසල්අහස යට

පුංචි කුහුඹුවෙක් තණ උළා කයි

තරව වැඩුණු හරකෙක්

වියළි පත්‍රයකට ඇදවැටී

එමත හිඳ

සෙමෙන් ගඟ තරණය කරයි

මම

මම ඔහේ ඒ දෙස බලා ඉන්නවා හැර

වෙන කුමක් කරන්නද?

(32 පිට)

අපි මේ කේතුමතී පුරවරයේ සුරාසැලකට වැද ඇති පදම් සුරාවෙන් මත් වී ඔහේ බලා සිටිමු. ඒ අතර කොසොල් රජු දුටු සිහින පිළිබඳවද විවරණයක යෙදෙමු. අසල මාර්ගයේ, පෙරදින ඉපදුණු වහු පැටවෙකු ගැලක ගැටගසා ඉතා අපහසුවෙන් දක්කාගෙන යන ගැල්කරුවෙකු දුටිමි.

 

බුදල් වුණත් පැකිළි පැකිළි ඔය ගලට ගොඩ වුණා

තවත් කවි ලියමිදෝ මොහොතකට ළතැවුණා

පවුර ඉහළින් උකුසු ඇස් රැසක් දිලිසුණා

නොලිව් කවි තුරුලු කර ගලෙන් පිටමං වුණා

(33 පිට)

බුදල් නොලිව් කවි රැස සොයා ගත හැකි නම් කියා සිතේ. මන්දයත් සොඳුරුම කවි නොලිව් කවි විය යුතුය. කවියා වෙත එල්ල වන දහසක් උකුසු ඇස් මඟ හැරීමේ අපේක්ෂාවෙන් හංගා ගන්නා කවි බොහෝ රසවත් ඒවා වනු ඇත. සමාජයේ ගමන් මඟ පිළිබඳව නිසි විවරණයක් සපයනක ඒවාම විය යුතුය.

 

විඩාබර නොවන මතකයකි අතීතය

ජීවිතේ තරමටම ගුප්ත මිහිරක් ගෙනෙන

හදවතේ උල්පතේ මේ දැනුත් පෙණ නඟන

ගඟක් සේමය කොතෙක් දිගුද ඒ අතීතය

(47 පිට)

අතීතයද ගෙවුණු ජීවිතයේම කොටසකි. අතීතයේ ජීවන මල් උයනෙහි පිපි මල් වත්මනෙහි පිපෙන මල්වලට වඩා සුන්දරත්වයෙන් යුතු වන්නේ මන්දැයි කියා තේරුම්ගත නොහැක. ඒ මල් ලියකම් අතර වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ ගුප්ත මිහිරක් ගැබ් වී තිබේ. එකල්හි මල් යායට දිය සැපයූහද උල්පත්ම අදත් ජීවන මල්යායට දිය සපයයි. ගල්පර බාධක, කෙටි - දිගු වංගු ඔස්සේ ගලන ගඟක් වූ අතීතය ඉතා දිගු බවක් හැඟෙන්නේ ඒ දුෂ්කර බව නිසාම දැයි කියා සිතේ.

 

ඉතිං ඒ හීනයත් දකින්නට ඉඩදෙන්න

නෙත් කොනින් කේන්තිය හෙමිහෙමින් පන්නන්න

නොසන්සුන් මොහොතකත් සන්සුන්ව හිනැහෙන්න

ආදරය තුරුලු කර මොහොතකට ගුළි වෙන්න

(43 පිට)

[මධුශාන්ත බණ්ඩාර ඇඹිලිපිටිය]

මාතෘකා