කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ඇහැළ මල් පෙති

ඇහැළ මල් පෙති හැම තැනම
හිතේ ගැඹුරෙම
යතුරු ලෑ තැනකින්
රිංඟා ඇවිත්
තැන්පත්ව
අයාලේ යන පාරවල්වල
සිමෙන්ති බංකුවල
ජනෙල් පඩිය උඩ
පොත් අතර
ඇඳ රෙදි අතර
වතුර මල යට

හොරෙන් සුසුම් ලෑ තැන්වල
එදවස ඔබ සඳක් මෙන් පායා ආ
ඔපිස් තරප්පුව මුදුනෙත්
වේළිලා කරකුට්ටන්ව
ඒත් තවමත් පණ ගැහෙන
ඍතු ගණනක මතක
අතුගා දමන්නට වෙර දරමි

එදවස ඔබ නැති තනිකමෙන්
සැඟවෙන්නට පළා ආ
ඇහැළ ගස
මතකයේ අගිස්සෙහි තවමත් දළුලන
අදද ඇතුවා වෙන්න ඇති පාමුල
මහලු ඇසළ පෙති

ජීවිතය යනු
අත්හැරුණු උන්ගේ අතැර යාමයි
සෙන් කතාවක් වැනි
සිනාවක් සමඟ කියනු ඇත
අමතක කළ ඔවුන්
අමතක කළ මට

[තරින්ද්‍ර ගලහේන]


සොහොන් කොත් එපා

සිහින මිටකට ගුළි කරන්
සිතත් පිහි තුඩ උල් කරන්
මරා දැමුවම අලුත් හුළඟට
එක් වුණා තව ගීතයක්

සිමෙන්තියකින් වැඩ දැමූ
හිනැහෙනා රූපෙක එබූ
තැනෙක සඟවා මියැදි මා ගත
පිපුණු මලකින් නොවසනූ

හදවතේ එක් තැනක යම්
උපදිනා සරු පසෙක් නම්
මතින් පැළයක් ඉන්දවනු මැන
මල් පිපෙන්නට ඉස්තරම්

[දිල්මිණී හසින්තා]


සුපර් මම්
(Super Mom)

දෙතනෙ කිරි සුවඳ තවමත්
මගෙ කැකුළු මුවින් වෑහෙනව
ඉතිං කොහොමද අම්මෙ
අපි එකට නටන්නෙ

දේශාභිමාන, බොදු බැති ගේය
තිබුණත් කෙතරම් ළමා ගීත
මේවට තාලෙට නැටුවත් අම්මේ
ඒවට පල නෑ විනිසුරුවන්නේ

ප්‍රේමය, විරහව, උණුසුම විඳ විඳ
තුරුලුවෙලා ළය මඩලට සැතපී
බොලිවුඩ් නෝනල ගස්සන පද්දන
තාලෙට අම්මට නටන්න වේවි
මට නම් ඔය හැටි පුරුදුත් නෑනේ

ඉදිරියටම යන්නට අපි දෙන්නට
සමහරවිට තිරයෙන් පිටුපස හිඳ
අම්මට වන්නම් නටන්න වේවි
නැතිනම් අම්මා සුපිරි නොවේවී

‘සචිනිත්’ තරුවක් වෙන්න හිතාගෙන
ඉදිරිපෙළේ හිඳ නටන වෙලාවක
නයි අඩි වන්නම අම්මත් නැටුවලු
ගොළුවුණු ඇස්වල කඳුළු දරාගෙන

ඇත්තට මට බෑ ඕව කරන්නට
අකුරට වැඩි ඉඩ වෙන්කර ගන්නද
ශිල්පය උගෙනා කිරුළු දරා මම
අම්මගෙ හිස මත එය පලඳන්නද
අම්මට සුපිරිම වෙන්නම ඕනද?

(දරුවාගේ පංතියේ ඉගෙනුම ලබන යෙහෙළියකි)

[අශෝක කුලතුංග]


සුන්බුන් ගොඩක් වී ගිය වෙරළක්
මුහුදට කියූ කවියක්

කුණාටු කිහිපයකින් පසුව
සන්සුන් වූ මුහුද නුඹ,
විඳි රිදුම් නිසොල්මන්ව
දරා සිටි වෙරළ මම...

රැළි වැදී වැලි තලය බිඳීලා තැනින් තැන
වෙරළ මත ඉතිරි වූ බොහෝ දෑ සුන්බුන්ය
ඉරිතළා තිබූ ඒ සිප්පිකටුවේ සිරස
කෑලි වී විසිරිලා රැළිවැදීමෙන් පසුව

කුණාටුව තව තැනක
වෙන මුහුදු කලඹද්දි
මම මෙතන වැළපෙන්නේ
නුඹ ඔහොම දුක්වෙද්දී

දුන් රිදුම් හංගගෙන
මං හිනාවී ඉද්දී
රැවටුණේ කිමද නුඹ
කුණාටුවක සොඳුරි

විඳි රිදුම් නිසොල්මන දරා සිටි
වෙරළ මම,
කුණාටුව ගිය පසුත්
වැළපෙනා මුහුද නුඹ,

[කවිඳු N අමරතුංග]


තේ යාය රතු වුණේ
අපේ ලේවලින්...!!!

නිල්ල නිලන තේ යායේ ලේ කඳුළු
දිරපු පපු අතර දිළිසෙන මුතු පබළු
පැටළුණු සතුන් නොදුටුව හැටි දැල් මකුළු
මේක අපිට හුස්ම දුන්නු සුර පුරළු

අරුණ ගෙන දෙඅත්ලට පිනි ඉසුරු තවරාන
සුසුම් දා ඒ මැදට පව් කන්ද අටවාන
කඳුළු ඉහ හිඩැස් තැන් ජීවිතේ පුරවාන
පපුව මැද රජ දහන ඉදිකරන දුගියාන

තල් ඉරටු වහල උඩ නිදිකිරන පෙම් ගීත
අත පයට හන්දි තෙල් විය මහඟු දායාද
බඩ නිවන කහට පිරි සුමානේ දවස් ගැන
සොච්චමක් අතට දී හිනැහේය තේ යාය

මදුරු නිලමැසි සමඟ හෝහපුටු සේනාව
පෙඟුණු උල්දිය මැදින් ලැයිම් කාමර හීන
නොදරු කිරි හිනාවක ගැටගසා වැළපීම
උන්ට ආවඩන අපි ගින්දරේ හැමදාම

තේ යාය පාරගෙන ලේ ගලන පාන්දර
ලිලී මල් පෙති අගට සැලෙන ඩා බිඳු විතර
ශරීරය පුරාවට ගොජ දමන දුක අතැර
කෝටිපති තොල් තෙමන ක්ෂාන්තියෙ තේවතුර

[ශ්‍යාමා දේවිකා දමයන්ති]


උකස් කඩේ නංගීට...

එක ළඟ අත්සන් දෙක තුනකි
කැරට් රත්තරන් පෝළිමකි
සින්න වෙන ජීවිත යැදුම
ඇයට විතරක්ම පේන එකකි

මල් හී සර වුණත් නොවදිනා ඇසුරුමකි
දුනු හී කඩු ගෙනත් නොවදිනා සටනකි
හාල් පොල් මිල වුණත් නොවඳිනා වැඳුමකි
ඉබි යතුරු මුත්... පුපුරනා ආදරෙකි

රත්තරන් පරදනා ලෝහයක සෙවුමකි
ඉස්තරම් පලඳනා ආලයට ගව්වකි
වක්කරං කහට තේ මාවතකි හේනකි
ඇස් පියන් හිටියොතින් තව දුරත් යා හැකි

රන් වන් කරල් කවි සීපද නැතුවාට
වන් වන් නයින් ඇමතුවේ දුගියාට
කැහි තෙල් සමඟ මැහි තෙල් මුඩු ලේ පාට
යකඩ කූරු කොයි අතවත් අපිලාට

[සජිත් පට්ටියකුඹුර]


ලොකු අයියා

අඹ දඹ වෙරලු නාරං කාමරංගා
හිඹටු ලොවි පේර කටු නැති අනෝදා
පාර අයිනෙ කොහෙ හරි තැනක තියා
අයියා විකුණනවා දහයට පහයි කියා

තාත්තා වැටුණෙ මහ රෑ ඒ වගා ළිඳේ
තුන්මාසෙත් නොදී අම්මා ගමෙන් ගියේ
අත්තම්මටත් නෑ හයි හත්තියක් ඇඟේ
ඒකයි අයියා ඉස්කෝලෙන් අයින් වුණේ

අව් වැසි නොතකමින් සමහර දවස්වල
අයියා පොරබැදුවා බඩගෙඩි පුරවන්න
පලතුරු මුකුත් නොවිකුණු සමහරදාට
අයියා හිටියා දුක හංගන් පපුව යට

අඹ දඹ වෙරළු නාරං කාමරංගා
හිඹටු ලොවි පේර කටු නැති අනෝදා
බෙරිහන් දිදී විකුණා අප ජීවත් කරනා
මගෙ ලොකු අයියේ ඔබ මතු දින බුදු වේවා

[ශනීෂ් ශ්‍රීමාල්]


ප්‍රේමය නම්

එය ප්‍රේමය නම්
කෙළවර
නුඹ සිටිය යුතුමය

නොමැති නම්
කඳුළු තිබිය යුතුමය

මන්ද නුඹ නොමැති ප්‍රේමයේ
කඳුලු විනා ....
වෙන කුමක්ද?

[ඉනෝකා දිල්රුක්ෂි]


කවදාක හිමි වෙද
උන්ගෙ පපුවට ප්‍රේමයක්

නොකීවට ඉඳහිට
පපු ගැහෙන හඬවල්
කළු වෙච්ච ජීවිත වැළලිලා ඇති
හමුවෙන්න පෙර ප්‍රේමයත්

හඳ පවා නැති
මහ අමුතු රැයවල්
කෙස් පවා බිය වැදුණු
සිවිලිමේ තුන් නඩයත්

මහ හඬින් මොර දෙන්න
බැරිම වුණු දිනටත්
තදට පිරවූ කොට්ටෙ
මහමෙරක් ඇකිලුණු බඩටත්

කොළ අතු පවා
හරි හිරිකිතෙන්
සැඟෙව්වත් මල් දලු කොළත්
මගෙ මැණික
මඟ බලාගෙන ඇති
අම්මා එනතුරු වේලපහින්...

ඇයි ඇයි ඇයි ඉතින්
මගෙ පපුව කකියන
තාලයෙන්...

මම අහන්නෙ මගෙ පන්තියෙන්
කවදාක හිමි වෙද
අපේ පපුවට ප්‍රේමයක්...

[ක්‍රිෂ්ණි ජයනාත්]

මාතෘකා