පිටිගල ගල් වඩුවන්ගේ ගල් නොවූ ජීවිතය

 ඡායාරූපය:

පිටිගල ගල් වඩුවන්ගේ ගල් නොවූ ජීවිතය

පිටිගල පුරවරය පාරම්පරිකව පැවත එන කර්මාන්ත රැසකට උරුමකම් කියන ප්‍රදේශයකි. රුහුණට පැමිණි අසහාය රණකාමී පාලකයකු වූ වීදියේ බණ්ඩාර සමඟ පැමිණි පිරිසගෙන් පැවත එන පිටිගල කළුගල් කර්මාන්තය ආශ්‍රිත නිර්මාණ කලක් දිවයින පුරාම ප්‍රචලිතව පැවතියද අද වන විට එම කර්මාන්තය කෙමෙන් කෙමෙන් වියැකී යෑමට පටන් ගෙන ඇත.

මේ නිසා කළුගල් කර්මාන්තයේ නියැෙළන පවුල් සියයකට පමණ අද සිදු වී ඇත්තේ තම ජීවිතය ගැට ගසා ගැනීමේ වෙනත් මං සෙවීමටය.

තම නිෂ්පාදන සාධාරණ මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා පිටිගල පාරම්පරික කළුගල් කර්මාන්තකරුවෝ දැඩි අපහසුතාවකට පත් වී සිටිති.

පිටිගල නගරයට ආසන්න ප්‍රදේශවල කළුගල් ආශ්‍රිතව දිවි රැක ගන්නා සියලු දෙනාම අද වන විට අනන්ත දුක් ගැහැටවලට මුහුණ දෙති.

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ හැරුණු විට දකුණු පළාතේ කළුගල් ආශ්‍රිතව දිවි රැක ගන්නා කර්මාන්තකරුවන් සිටිනුයේ පිටිගල ප්‍රදේශයේ පමණි. පිටිගල නගරයට ආසන්න මත්තගොඩ, ඉබිපලේගොඩ, කළුආරච්චිගොඩ, බොරළුහේන, ප්‍රදේශවල විසිරී සිටින මෙම පිරිස කළුගල් ආශ්‍රිත කර්මාන්ත ජීවනෝපාය වසර සිය ගණනක සිට කරගෙන යන්නකි.

කෙසේ වුවද අද ඔවුන් රැකියාව කරගෙන ගිය මෙම කර්මාන්ත නවතා දැමීමට සිදු වී ඇත. තම නිෂ්පාදන සාධාරණ මිලට විකුණා ගැනීමට නොහැකි වීම මොවුන් මුහුණ පා ඇති ප්‍රධානතම ගැටලුව වේ. තවද එම නිෂ්පාදන සඳහා අවශ්‍ය ගල් කටු, තල සහ අඟුරු වර්ගවල මිළ ඉහළ යෑම කළුගල් පවා අනුන්ගේ ඉඩම්වලින් කඩා ගැනීමට සිදු වීම හේතුවෙන් මොවුහු දුෂ්කරතා රාශියකට මුහුණ දෙති.

තනි පුද්ගලයකුට ගල් වංගෙඩියක් නිෂ්පාදනය කිරීමට දින හතරක් පහක් ගතවන අතර මිරිස් ගලක් නිෂ්පාදනය කිරීමට දින දෙකක් පමණ ගත වන බව කර්මාන්තකරුවෝ පවසති. මෙසේ නිෂ්පාදනය කළ භාණ්ඩ සමහර විට අවසන් මොහොතේම ඉරිතැළී විනාශ වීම සිදු වේ. එසේම අතීතයේ පටන් කළුගල් ආශ්‍රිත කැටයම් කලාව තුළින් ලෝකයම මවිත කළ රටක් ලෙස ශ්‍රී ලංකාව හැඳින්වුවද අද වන විට ඔවුන්ගේ රැකියාවන්ට අත දී ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. විවිධ ආණ්ඩු හා ආයතන විවිධ පොරොන්දු ලබා දුන්නද මෙතෙක් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කර නැත.

එම්. ඒ. විමලසිරි (අවුරුදු 55) මහතා මේ පිළිබඳව අදහස් දැක්වීය.

“අපි මේ කර්මාන්තය කරගෙන යන්නේ හරිම අමාරුවෙන්. මේවා හැදුවට විකුණගන්න තමයි බැරි. සාධාරණ මිලක් ලැබෙනව නම් වැඩ කරන්න පුළුවන්. මේ සඳහා ගොඩක් මහන්සි වෙන්න ඕන. කළුගල්වල වැඩ කරනකොට ගල් කෑලි ඇඟේ වදිනවා. ඒවත් විඳදරාගෙන තමයි මේවා හදන්නේ. ඒ කරලත් සමහර වෙලාවට වැඩේ ඉවර කරන්න ඔන්න මෙන්න කියලා හදපු එක ඉරි තළලා යනවා. එහෙම වුණාම වැඩක් නැහැ. අයින් කරලා දානවා. අපිට වංගෙඩි, මිරිස් ගල්, උළුවහු, සඳකඩ පහන්, බුදු පිළිම වගේ හැම දෙයක්ම කරන්න පුළුවන්. අපි නිෂ්පාදනය කරපු කැටයම් ආදී නිර්මාණ දකුණු පළාතේ බොහෝ ස්ථානවල තියෙනවා. ඒ වගේම කොහොම හරි දුක් මහන්සි වෙලා හැදුවත් මේවා සාධාරණ මිලට විකුණගන්න පුළුවන් නම් ඒ ඇති. මේ නගරයට අපේ නිෂ්පාදන ගන්න තියෙන්නේ එක කඩයයි. අපි හැමෝම ඒ කඩේට තමයි ගිහිල්ලා දෙන්නේ. ඒ මුදලාලිටත් ගන්න පුළුවන් ගාණට තමයි දෙන්නේ. එයාට කරන්න දේකුත් නෑ.”

වයස අවුරුදු විසි හතරක් වන පුබුදු අශාන් කළුගල් කර්මාන්තයේ නිරත වූ තරුණයෙකි. පරම්පරාවෙන් පැවතෙන උරුමය රැක ගැනීමට ඔහු ඉතා කැමැත්තෙන් ඒ කටයුත්තෙහි යෙදෙයි. එහෙත් අනාගතය පිළිබඳ තමාට ඇති අවිනිශ්චිත බව පිළිබඳ ඔහු මෙසේ පැවසුවේය.

“අපිට හොඳට වැඩ කරන්න පුළුවන්. ඒත් ඒ වෙනුවෙන් සාධාරණ මිලක් ලැබෙන්නේ නැහැ. මේ රස්සාව අපේ සීයලා, තාත්තලා කරපු දේවල්. දැන් අපි කරනවා. මේවට අවශ්‍ය ගල් හැම තැනම නැහැ. ඒවට සුදුසු ගල් දුරින් ගේන්න ඕන. මේවා හදන්න ගන්න අඟුරු, ආයුධ මිල ඉහළ ගියත්, නිෂ්පාදනය කරන ගල් වංගෙඩිය, මිරිස් ගලකට ලැබෙන්නේ අඩු මුදලක්. අපි කළුගල් එක්කම හැප්පිලා තමයි ජීවත් වෙන්නේ. දැන් මේ යන විදියට අපට හෙට දවස ගැනවත් බලාපොරොත්තුවක් නැහැ. පරම්පරාවේ උරුමයන් රැක ගැනීමට අවශ්‍ය හින්දා මේ දේවල් කරගෙන යනවා.”

පී. ජී. කීර්ති කළුගලෙන් ඕනෑම නිර්මාණයක් කිරීමේ හැකියාව ඇති ශිල්පියකි. ඔහු දිවයිනේ ප්‍රකට නිර්මාණ සඳහාද තම දායකත්වය සපයා තිබේ. සම්ප්‍රදායික උපකරණ වෙනුවට නූතන උපකරණ භාවිතයේදී ඇතිවන වෙනස්කම් පිළිබඳවද ඔහුට අදහසක් ඇත.

“මහනුවර දළදා මාළිගාවේ අලුත්වැඩියා කටයුතුවලදී සඳකඩපහණ නිර්මාණය කරන්නත් මම දායක වුණා. මේ තියෙන ඇත් නිර්මාණයක් කරන්න මාස හතක් අටක් යනවා. ඒ සඳහා සාධාරණ මිලක් ලබා ගන්න අමාරුයි. මේ ලොකු අලියකුගේ නිර්මාණයක් රුපියල් ලක්ෂයකටවත් විකුණගන්න ඕන. ඒත් දැන් එයින් බාගයකටවත් විකුණගන්න බැහැ. අපිට මහන්සි වෙලා වැඩ කරන්න පුළුවන්. විකිණීම තමයි අමාරුම දේ. මේවා විකිණෙන්නෙ නැති හේතුව දැන් ගෙවල්වලට වංගෙඩිවල අවශ්‍යතාවක් නැහැ. මිනිස්සු දැන් විදුලියෙන් ක්‍රියාත්මක කරන දේවල්වලට යොමු වෙලා තියෙන්නේ. බ්ලෙන්ඩර් තියෙනවනෙ. ඇඟට මහන්සියකුත් නැහැ. ඒ හින්දා ගල් වංගෙඩි, මිරිස් ගල්වලට වැඩි ඉල්ලුමක් නැහැ. ඒ වුණාට පොල් සම්බලයක් හදාගන්න ගියත් මිරිස් ගලේ හදනවා වගේ බ්ලෙන්ඩර්වල හදන සම්බල්වල රසයක් නැහැ.”

ටී. ඒ. සරත් අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව පිළිබඳ සඳහන් කළේය. අලෙවිකරණයෙහි ඇති ගැටලුවට මේ සියල්ලෝම මුහුණ දෙති.

“මේවට ඕන ගල් හොයාගන්න අමාරුයි. ගෙවල් කිට්ටුව තියෙන නිසා ගල් කුඩු ප්‍රශ්නත් තියෙනවා. අපිට ඉන්න හරියට තැනක් නැහැ. මොනව කරල හරි හැදුවත්, මේවා හරියට සාධාරණ මුදලකට විකුණගන්නත් බැහැනේ. හදන භාණ්ඩ විකුණගන්න බැරි වුණොත් අපිට ජීවත් වෙන්න විදියක් නැහැ.”

මේ පිළිබඳව නියාගම ප්‍රාදේශීය ලේකම් නිලංගි ඩයස් මහත්මියගෙන් විමසූ විට ඇය මෙසේ පැවසුවාය.

“පිටිගල ආශ්‍රිත ප්‍රදේශවල කළුගල් නිෂ්පාදනය කරන අයට යම් යම් කාලවලදී ඒ අවශ්‍ය ආයුධ කට්ටල නොමිලේ ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ අය මෙම නිෂ්පාදන කරන්නේ ඇණවුම් මත. පිටින් ඇවිල්ලා නිෂ්පාදන අරගෙන යනවා. තාක්ෂණික වශයෙන් අවශ්‍ය උපකරණ ලබාදීම අපට කරන්න පුළුවන් වුණාට එම නිෂ්පාදන විකිණීමට මැදිහත් වෙන්න අපට බැහැ”

ඇගේ පාර්ශ්වයෙන් ඒ පිළිතුර සාධාරණ විය හැකිය. එහෙත් මෙහි වගකීම ගැන වගඋත්තර බැඳිය යුතු පාර්ශ්වයක් සිටිය යුතුය.

කළුගල් මත වැගිරෙන දහඩියට වටිනාකමක් සොයන පිටිගල ප්‍රදේශයේ කළුගල් නිෂ්පාදනය කරන්නන් යැපෙන්නේ කළුගල්වලිනි. ඔවුන් කවර ගැටලුවලට මුහුණ පා සිටියද ඔවුන්ගෙන් ඉටුවන්නේ සමාජයේ අවශ්‍යතාවකි. සම්ප්‍රදායික මෙවලම් පරිහරණය කරන සමාජය මුළුමනින්ම වෙනස්ව නැත. එනිසා පිටිගල කළුගල් කර්මාන්තයෙහි නියැළෙන්නන්ගේ හඬට අප කන්දිය යුතුය.

[දකුණු පළාත් විශේෂ ප්‍රභාත් විතානාච්චි]

මාතෘකා