කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

හතළිස් වරක් දෙක...

මතක ද,
මහතම මහත වේවැලක් අත දරන
වටකෙස් මැද හිස් තිබ්බ
රූපෙක කටු සටහන,

අදටත් ආලවක නමට
පෙනී හිටින....

බොර පාට වෙන්න
හිතලවත් නොතිබිච්ච
ටීක් බෝල ඇස්
අසූවකටත් වඩා එකවර
කඳුළු නාල පුපුරුවා හැරුණ...

විකාගත් තොල්පටින් වීරිය රැගෙන
අත්වල පැලුම් මිරිකා ගැනුණ,

ඉඳගැනුම වෙනුවට
බාග පුටුවලට ඇදගෙන වැටුණ,

එකා පිට එකා රහසේ
උනුන් සනහමින් හැඬුණ...

දෙවරක් දොළහින් නොනැවතුණ
හතළිස් වරක් දෙකක
වේවැල් පාඩම,

අදටත් ඇසිල්ලෙන්
සිහියට එන්න පෙර
පිළිතුර,
දොළොස් වරක් අටට කියන...

බිළිඳු හිත් බෝමයක
හිත් පතුල් පලාගෙන
ක්ෂණයකින් ඇවිත් යන
රූපමය නිදසුන,
"අමනුස්ස" යන්නට කියන...

[රසිකා ප්‍රනාන්දු]


මහ රෑ

පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ
වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ
හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳු ගැට හිඳියි වැටියේ
වැදී ගල් පරයකින් පහතට වැටෙයි පණ නැති හරිය නදියේ

ඇතැම් තැන්වල වවුලු වාසේ හෙළා දකිමින් තමන් තරයේ
එකඟ නොවමින් ගේන මතයට නැගෙන කච කච සද්ද බෙනයේ
තවද පහළට නැමී උණ බට හොරෙන් ගඟ සිපගන්න හරියේ
හෙමින් පාරුව වැනෙයි දෙපසට තොටිය ඇයි නිදි නැතුව හිටියේ

කපුටු කූඩුව ළඟට ඉගිළී ගිහින් හංගල ආව බිත්තර
කොවුලු අප්පෙක් වමාරනවලු කපුටු බිත්තර කැඩුව විස්තර
කවුද ඇඳලලු ලෙනෙහි දඩයම් කරන සී.සී.ටී.වී චිත්තර
කවුරු කවුරුත් කතා කෙරුවේ නඩුව දවසෙදි දෙන්න උත්තර

රැයක තනිපංගලමෙ අහසක තියෙන තරු කැට එකට එක්කර
කවුද බල්ලා කවුද වලසා අසන විටෙකදි අතක් දික්කර
ගණන් කරගෙන දෙකෙන් බෙද බෙද ගුණිත වගු ගොඩ නගන චක්කර
ආං අර පේනවද ගෙම්බෙක් අහසෙ වෙන් කරනවා අක්කර

[ක්‍රිෂාන් රත්නායක]


නිකමටවත්...

මැරෙනකන් ගුල්ලන්ට බඩගිනි නොවෙන
කඳු පිටින් පොත් හැමදාම කියවන
කකුල් කැඩෙනකන් අගනුවර දේශන
අත නෑර හැම කොණ ම ඇව්දින
නැණ නුවණ සොය සොයා ඇවිදින
දුහුණු දන හට නිතර පිහිටවන
නොකියා නෑ බෑ කියා කාටත්
කවි ගොතන කවිකාර හිත

"නිකමටවත්
හිතෙන් නැද්ද?
මං ගැන ලියන්න"

ටයි දාන උඹ හොයන
මුදල් ඉපයිල්ලකුත් නෑ
මැෂින් අතරේ දුවන පනින
කාටවත් මං බයත් නෑ
හඳට ගොස් ආවාට හෙව්වාට
මුණේ දැලි ගාවන්නේ නෑ
තරහකට කුණුහබ්බ කීවාට
උඹ එක්ක නයි වෛර නෑ

"නිකමටවත්
හිතෙන් නැද්ද?
මං ගැන ලියන්න"

අම්මා තරමට හොද්දට ලුණු
දාන්නට නම් බෑ තමයි
හුණ්ඩුවට බත් කටක් කන දා
බත් පිඟාන උඹේ ලොකු තමයි
අලුත් බාටා දෙක ගැලපුණේ නම්
මගේ අඩියේ වරදින් තමයි
හිතේ කහටක් තියනු නම් එපා
පරණ ජොඩුවේ අඩිය හරි යයි

"නිකමටවත්
හිතෙන් නැද්ද?
මං ගැන ලියන්න"

හඳක් ලස්සන වෙන්නේ පුරපස
දැවෙන හිරුගේ නොතිත් ආලෙන්
මැරුණු පොළොවට හුස්ම දෙන්නේ
අකුණු ගසනා රුදුරු වැස්සෙන්
නදියේ ස්වර රස මිහිරි වන්නේ
කළු ගලේ දුක් වේදනාවෙන්
නුඹේ අතේ පන්හිඳ රැදෙන්නේ
මගේ කරගැට නඟන කඳුළෙන්

"මහත්තයෝ
නිකමටවත්
හිතෙන් නැද්ද ?
මං ගැන ලියන්න"

[අයු ප්‍රනාන්දු]




නළල ගාවට බීගෙන
ඇදපිල්ලක් වාගෙ ආවම
අම්මා කොම්බුවක් වෙලා හැමදාම
රළු තැළුම් ඉවසන්න ඕනද?

හැලි වළං පොඩිවෙද්දි
ගෙයි මැද්දෙ සාලයෙම
මරු සිටින දිසාව වුණේ ගිණිකොණ
මම හිටියෙ රැකගෙන එතන කොන

'ගනිං පට්ට වේසි කන්න'
කිව්වත් දෙන්නෙ මොනවද
වේලක් හරි උඹලා කෑවද
අහන අප්පෙක් කඩෙන් ගන්නද

පොලියා ඇවිදින් හවහට
අම්මගෙ තනෙන් අදිනකොට
උඹ හිටියෙ වාඩියේද
කංසා කූරක් ඔත ඔත
මුවහත් කළේ මමයි
කැත්ත එතකොට

කොහොමත් එකයි දැන් මට
නංගි! පලයං ඇතුළට
කර දුන්නා ඇති පූරුවෙ පවකට
සැනසීම ගෙනදෙන්න උඹලට
කස්සප තමයි වැහුණෙ අයියට

සමුදු බස්නායක


මල්

අරුණැල්ල සිඹ සිඹම හිනැහෙනා පාට මල්
අතර මග, මග දෙපස කන්තෝරු කාමරෙත්
හැඩ බලමි ඉව කරමි අතින් අල්ලා බලමි
පලුදු නොම වන ලෙසට මෘදු සුමුදු පාට මල්

වසන්තෙට පිපෙන්නෙම බඹරු ඇද ගන්න මල්
ගිම්හානයේ විසිරි කටු අගැති සුමුදු මල්
කටු විෂෙහි නතු නොවී විඳින එක නුහුරු මල්
හැමදාම වතුසුද්ද නෙළුම වගෙ නෙවේ බන්

කොතෙක් සුව වින්ද මුත් මල් පියලි ගොන්නකින්
හතර කොන වැට ගැසු ගෙමිදුලේ පින්නකින්
අහම්බෙන් ඇහැ ගැටුණ නුහුරු ඇස් පිල්ලමින්
සියොළඟම ගල් ගැසුණෙ ඇයි මසිත සෙල්ලෙමින්

[පූර්ණිමා කුලතුංග]

මාතෘකා