කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

මවකගෙන් දියණියට...

ප්‍රිය දියණි, කියනු මැන ලැජ්ජා නොවී
මා ඔබේ මව යැයි කියා
මේ නුවර ඔබේ පියායැයි කියා
ගොසින් පවසනු මැනැවි කුලවත් අඟනුන්ට,
කියාදෙන බව පෙම්කරන හැටි, මා උන්ගෙ සැමියන්ට

---පුද කළෙමි මගේ ඉඳුරන්
දහසක් ළඳුන් වෙනුවෙන්,
මහ උවැසියක විලසින්

නොනවතින රාගයයි පිරිමියාගේ සිරුර
ඔබද යා යුතුව ඇත පසු තරන් ඒ සයුර
දැන හැඳින කය මතින් මා නැගී සිටි අයුර

ඔසොවන්න ඔබේ හිස,
මගේ මතු දිනය වී නැගී සිටිනට මහා බලැතිව
යොමා නෙතු ඔබ බැලිය යුතුමය හෙට දවස දෙස:
දැක ගත යුතුය ඔබ
මා නොදුටු ඒ අලුත් හිරුමඩල.

අවැසි නැත මට හඬන්නට දෙවියන් ඉදිරිපිට
හැඬිය යුතු නැත කිසිවෙකුදු මා අසල සිට
දැවෙමි මම ගිනියම්ව සෑම රැයකම ඇඳිරියට,
රැය පහන් වන කලට හැරෙමි යළි සිසිලසට
ජයගතිමි නොතිත් රාගාසාව මම,
උගත යුතුය ඔබද එය නිසැකවම
අපම වේ සරුසාර පොහොණි බිම
දනින් දන සනසනා සොබාදම

(ප්‍රකට මලයාලම් කවියකු වන මහාචාර්ය කේ. සචිදානන්දන් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

මහාචාර්ය කේ. සචිදානන්දන්

කේ. සචිදානන්දන් යනු ජාතික මට්ටමෙන් මෙන්ම ජාත්‍යන්තරවද කීර්තියට පත් මලයාලම් කවියෙකි. කේරලයේ ක්‍රිස්තු විද්‍යාලයේ සහ කැලිකට් විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ද, ඉන්දියානු සාහිත්‍ය ඇකඩමිය (සාහිත්‍යය පිළිබඳ ජාතික ඇකඩමිය) විසින් පළ කරනු ලබන‘ඉන්ඩියන් ලිටරෙචර්‘ සඟරාවේ සංස්කාරකවරයා ලෙස මෙන්ම පසු කලෙක එහි ප්‍රධාන විධායකවරයා ලෙස ද ඔහු කටයුතු කර ඇත. මලයාලම් බසින් කාව්‍ය සංග්‍රහයන් 21ක්, විදෙස් කාව්‍ය නිර්මාණ පරිවර්තන සංග්‍රහයන් 16ක්, විචාර රචනා සහ සම්මුඛ සාකච්ඡා ඇතුළත් කෘතීන් 23ක්, ඉංග්‍රීසි බසින් රචනා කළ විචාර සංග්‍රහයන් තුනක් මෙන්ම මලයාලම්, ඉංග්‍රීසි සහ හින්දි බසින් රචනා කරන ලද නිර්මාණ සංග්‍රහයන් ගණනාවක් ද ඔහු විසින් පළකරනු ලැබ තිබේ. ප්‍රඥාව දල්වන උසස් නිර්මාණාත්මක බවක්, ගැඹුරක් සහ මානවීය ගුණයක් පළ කරන ඔහුගේ නිර්මාණ දෙස් විදෙස් කාව්‍ය රසික සහ විචාරක පිරිස්වල සම්භාවනාවට පාත්‍ර වී ඇත. කවිය පිළිබඳ විශේෂ සාහිත්‍ය සැසි කිහිපයකට සහභාගි වීම සඳහා මෑතකදී ඔහු ශ්‍රී ලංකාවටද පැමිණියේය.

 

[අජිත් නිශාන්ත]


කෝච්චිය ආවොතින්

බලන් උන්නා කියන්න - එන්න කිව්වා මං එයාට
නෝක්කාඩුයි කියන්න - ඇරං නොගියට එහාට
දරන් උන්නා කියන්න - වේදනා කප්පරක් ගැහැට
පහු වුණෝතින් කියන්න - දුකක් දෙන්නත් බෑ එයාට

හමු වුණා නම් අදට ඉස්සර එකම දවසක් තරහ නැතිව
කොහොම හරි කියවන්න තිබ්බා මගේ හිත පාරවන් නැතුව
ප්‍රේමයෙන් ළං වීම නොපතා වේදනා වෙන්වීම පැතුව
ගොළු වුණා නම් එහෙම තැනකදි ඒ තමයි ආදරේ හුරුව

මතක හැටියට මාස ටිකකට කලින් සිදුවුණ අහඹු හමුව
මුඩුක්කුව ළඟ රේල් පාරේ තැනක තනියම නැතුව ගොමුව
කෝච්චිය වේගයෙන් යනකොට එහා පැත්තෙන් අඬන තවුව
මගේ දුක මතකයක් කරගෙන කඳුළු දිය කර හරී අවුව

එයා මට මුණ ගැහෙන කාලේ මාත් හරි පොඩි තරුණ දැරියක්
අපේ පවුලට නොපෑහෙනවා දැන දැනත් පෙම් කරපු හැටියක්
බොළඳ වැඩි මල්වරත් නැති සිතුවිලිත් ඇති ඒතරම් හරියක්
සුවඳ නැති ළා රෝස ඇති මල් පාට ඇති ප්‍රේමයත් කවියක්

අම්මාත් කියව්වෙ ම මං හරිම දඟයි
පරිස්සං වෙයං උඹ පැත්තකට බරයි
නිතර ඇය කියනකොට මටත් හරි බයයි
ඒත් දැං කල් ගිහින් මං ඇයට ණයයි

අද ඔයා පහු වෙලා හරි එයි
කෝච්චියෙ ආවොතින් දුක් වෙයි
බැරිවෙලා හරි මාව දැනිලා
ඇවිදගෙන ආවොතින් හමුවෙයි

එහෙම එනකල් තව ටිකක් හරි
කෝච්චිය පහුවෙලා එද්දෙන්
අපිට පුළුවනි හිනාවෙන්නට
නපුරු සිල්පර කොටන් මැද්දෙන්

[ක්‍රිෂාන් රත්නායක]


ජීවිතය

නිමිත්ත-
කරණවෑමි සහෝදරයාගේ බිරිය
අනියම් පෙමක පැටලෙයි

සැළුන් දොරක් ද ජීවිතය
එකිනෙකාට ඕන ඕන වෙලාවට
ඔහේ ඇවිදන් පිටවෙන
දැළි පිහි තුඩකින්
මම නොලිව්වෙ ආදරය
ඔය පපුව හීරෙන වග දැනගෙන

ඉංග්‍රීසියෙන් නොලියවුණ නිසාද
කරණවෑමි මගේ ඉරණම
ඔයා යන්න ගියේ
බියුටි සැලෝන් ළගින් බස්සන
ඉංග්ලිෂ් නම්බර් කාර් එකක

මට අප්පච්චි කියන්න
පුරුදු කරවපු කෙළි පොඩ්ඩිට
වෙන එකෙක්ට තාත්ති කියන්න
හුරු කළේ මොන හිතකින් ද
මගේ දුප්පත් හදවතට
ආදරේ කාන්දු කළ උල්පත
වෙන'තකට හැරෙව්වේ
පන්දාහ කොළ උඩින් ද

අවුරුදු ගාණක් පෙම් කරලා
දැන් අවුරුදු දහයක්ම වෙනවා අපි බැඳලා
සඳ නිවා තරු එළිය තියලා
මම ආවට නිදි යහන හොයලා
ඔය සුසුම් මේ ළගකදි ඉඳලා
ගහනවා වගේ මගෙ නිල බලලා

මගෙ පණ කෙන්ද කෙල්ල ළගින් හිටගච්චි
ඇගෙ පැනයට මගෙ හදවත ගොළුවෙච්චි
පොඩි කූඩුවට ලක්සරි සැප මුහුවෙච්චි
ආයෙත් මෙහි එන්නෑ දුව අප්පච්චි

මගේ දෑතට වැඩියෙන් අත් දෙක මුදු ද
මාසෙ පඩියෙ කීයක් බිංදුම වැඩි ද
මට එන සැකේ ආදරේ කළෙ අපි අපි ද
කණෙක් ළගින් මැණිකක් තිබ්බේ කිමද

ඉටි උර දෙකක ඇඳුම් කැඩුම් අහුරාන
දුවගේ නළලතට හාදුව තවරාන
අම්මගෙ ළඟට යන්නට මග විමසාන
පාරට බැස්සෙ තීරණෙ ගෙන අවසාන

[සමුදු බස්නායක]


දෙගිඩියාව

තටු ලැබී තිබුණා මට
ඔබ නිසා
හිතු හිතු වෙලාවට
ඔබ ළඟට එන්නට
මයාකාරියක්ද ඔබ
මම ඇසුවා
ඔබ සිනාසුණා

කෝපි සුවඳැති හුමාලය මෙන්
රත් වී ඉහළ නැගි
තනියම හිනාවන සිතුවිලි කැබලිති
වලාකුළු බවට හැරී තිබුණා හෙමින්
එකෝමත් එක දවසක
වහින්නට බලාගෙන

කෝ ඉතින් වහින්නෙ නැද්ද
කොහු මිටක් අරගෙන ඇනල බලන්නද
ඉවසිල්ලක් නැති ඔබේ ඇස
ඔබටත් හොරෙන් ඇහුවා

මොනවා උනත් මම ටිකක් බයයි
මොකද ඔයා මායාකාරියක්
මම හිතින් ඔබට කීවා.

[තරින්ද්‍ර ගලහේන]


අප්පච්චි

නිමිත්ත: 2018.06.17. පියවරුන්ගේ දිනය

පොල්කිච්චෝ උදේ රැයින්
ගී ගයන්න පටන් අරන්
අප්පච්චී අවදි වෙලා
කෝච්චියට දුවල ගිහින්

මගෙ අප්පගෙ අත්දඬු දෙක
දණහිස ගාවටම දිගයි
කකුල් දෙකෙන් හිටගත්තම
අප්පච්චී හරිම උසයි

අප්පච්චිගෙ ඉහට උඩින්
දෙවියෝ වැඩ හිඳිනවාලු
වැගිරෙන දහඩිය කඳුළූ
සුරතින් පිස දමනවාලු

පිටකොටුවේ හරස් වීදි
මගෙ අප්පච්චිව හඳුනයි
බර උසුලන අප්පච්චී
වේලුසුමන වගේ තමයි

[ගොංගිතොට සරත්]


"සරලා"

"සරලයි මැණික ජිවිතය"
ඔබේ දුක්බර ඉමෝජියට
මගේ ප්‍රතිඋත්තරය...
සිනහ එවනතුරු ඔබ
ආයේ ආයේ ම යවන
හාදු එක දෙක වැඩි කර

සරලා,
ලෝක ගෝලය වුණත්
අංශක විසිතුනාමාරක් ඇලයි
හඳේ හාවා සක්‍රයා ඇන්දත්
පාට කෙරුවේ ඕනෑ එපාවටයි
කතා කරගෙන පායන්න ආවාට
හඳට ඉන්නේ තරු මලයි
මල් හිතක පෙම රැදිය යුත්තේ
ළඟ ම ඉන්න බඹරාට නෙමෙයි

සරලා,
සංසාරයක් පහුවෙලා ලැබුණත්
එකට ඉන්නැති භව හතක්
එක හින්දැයි මනමේ දේවි
පෙම් බැන්දේ වැද්දාට වුණත්
මනමේ හා සටනට වදින්නට
උගත් ධනු සිප් නැති වුණත්
කෙට්ටු හදකට හැකි තිබෙන්නට
සසර පුරවන්න ප්‍රේමයක්

සරලා,
තාරුකා මහ දවල් පිපුණත්
සඳු නැතත් හිරු තනි රකී
පිනි දෙතොල් මල් මත නොරැන්දත්
තණ කොපුල්වල ඉඩ ඇති
අතැර ගිලිහෙන විටදි මහලු පත්
හිමි සෙවණේ මිය ඇදේවි
ආව නාවාත් කවදා හෝ නුඹ
නිල්රෝස මල් පීපේවි

[ අයූ ප්‍රනාන්දු]


එදා ඔබ දුටු පරිදි

මහල්ලෙක්ද ගිලනෙක්
මළ මිනිසෙක් ද
පැවිදෙක්
නොවෙය අද පෙර නිමිති
සිදුහත් කුමරුනි....

ඉලක්කය බලා ළය මැදට
මුදාහැරි වෙඩි උණ්ඩෙකට
මියගිය මිනිසෙක්....

ජීවිතේ තරුණ විය
උරා හප කළ වැනි
අත පය අහිමි සොයුරෙක්...

දුක් විඳින දනන් කර පිටින්
සැප බෙන්ස් රථයක නැගී
මහ මග වඩින "උතුමෙක්".....

ඔද වැඩී දෑ බැති පෙමින්
කඩු ගා දමනු පිණිස
රට දැය අහිත සතුරන්
කඩු ගලගාන හිමිනමක්

වේය අද දවස
මේ බිමට
පෙර නිමිති.....

[හෂාන් රන්දික ඩයස්]


අහස විඩාබර පෙනුමයි. තවත් මොහොතකින් වැසි කදුළු බලාපොරොත්තු විය හැක. එය එසේ වූවත් සීත සුළං හමමින්, ගත කුල්මත් කරන බවක් කිව නොහැක. ඒ වෙනුවෙන් කිව හැක්කේ "තවත් මිනිත්තු කිහිපයක් ඇතුළත මීතොටමුල්ලේ කුණු නැවත ඇවිස්සිය හැක, අධික වාහන තදබදය තවත් මොහොතකින් අප ස්පර්ශ කිරීමට සූදානම්ය" වැනි කාලගුණ අනාවැකිය.

කාන්සිය නිවා ගැනීමටත්, කිසි දිනක ඉගුරු නොදුටු තේකෝප්පය රස බැලීමටත් කලියෙන් මා මේ පොත් රාක්කිය තුළ සොයන්නෙ කුමක්ද! කාවද!

"දඩාස්"

රාක්කියේ වම් කොනෙහි වූ කවි පොතක් දෑඟිලි අතරින් ගිලිහී ගොස් ඊළඟ මිලි තප්පරයේදී පොළොව සිප ගනී.

"එහෙත් මම නොමළෙමි-නිර්මලී මේරියන්"

අහඹු ලෙස හමු වූ නිර්මලී, ඇගේ නිර්මල වූ කවි අතර තදින් සිර කළාය. කිසි දිනක හමු වී නොමැති, කතා බස් කර නොමැති, අඩුම තරමේ මුහුණු පොතේ මිතුරියක්වත් නොවන ඇය හොර රහසේම ඇගේ කවි මිතුරියක් බවට පරිවර්තනය කළාය.

 

"හතළිස් ඇදිරියට අකුරුත් මග හැරුණා

හෙළ බොදු ගොවි හරස් වී දොඩකඩ රැඳුණා

උගත් ඉතිරි කර පැහැපත් කම මැකුණා

අදත් මගුල් තීරුවෙ මට කොටුවක් තිබුණා"

මේ කවිය තුළ කිවිඳිය ජීව්ත් වේයැයි සිතට කාවැදිමින් කවිය ගලා ගියේය. මදකට ඉන් මිදී කල්පනා කර බැලුවෙම්. තරුණ විය පසුකළ කොයි තරම් නම් අය, තවමත් ප්‍රේමයක්,ස්වාමිපුරුෂයෙක්, භාර්යාවක් බලාපොරොත්තුවෙන් මංගල දැන්වීම් පිටු පුරවනවාද? ආදරය සෙනෙහෙස යන අකුරු සතර සොයමින් ඉබාගාතයේ ඇවිදිනවාද! තමාගේ අධ්‍යාපන මට්ටම, තමන්ට හිමි වතුපිටි, ඉඩකඩම් සියල්ලම කොටුවක් තුළ පුරවමින් ඔවුන් බලාපොරොත්තු වන්නෙ කුමක්දැයි මේ කවිය තුලින් නිර්මලී හොඳින් පෙන්වා දෙයි.

නිර්මලී නොමැරී ගෙවන මේ පිටු පනස් අට තුළ හතළිස් ඇදිරි යුවතිය පසු කරමින් ඉන්පසු අවුරුදු විස්සක - විසි එකක තරුණියක් ළග ආයෙම නතර වුණෙමි.

ගම්බද පරිසරයක හැදී වැඩී නගරයට පැමිණෙන ඇය තම පවුල වෙනුවෙන් දුක දරන්නියක්ය. එනමුත් ගම්වාසින් දන්නා ආකරායට ඇය උසස් රැකියාවක නිරත වෙයි.

 

"සීතලට ගල්වෙලා මං මවපු හීන ගොඩ

දියවෙලා හතර අත වැගිරෙන්නෙ පිළුණු හිත

ණය වාරිකේ පෙගිලා මැහිතෙල් බෝතලය යට

හිත තදින් ගැස්සෙනවා අප්පච්චි හඬන විට"

තරුණ අවධියේදී සිත තුළ උපදින හීන විටෙක පුදුමාකාරය. නමුත් ඇයගේ සියලුම හීන පිළුණු වූ සිත සමහ දිය වී ගොස් හමාරය. ණයවාරිකය හෝ ගෙවාගත නොහැකි බව ඇය පෙන්වාදෙන්නේ 'මැසිතෙල්' බෝතලයට එය පෙඟීගොස් යැයි පවසමින්ය. වයෝවෘද්ධව ලෙඩ ඇදේ කල්ගෙවන පියාගෙ කැසිල්ලක් පවා ඇයව වියවුල් තත්වයට පත් කරණ කාරණයක් වී හමාරය.

ජීවන අරගලය තුළ ඈ නිරුත්තරය.ත වත් කිසිත් හඬ ගා කීමට අවැසි නැත. එබැවින් මෙය විඳිමු! සමුගනිමු! කවි අතර මියදෙමු!

 

"පාන්දර හතරෙ කොළඹ යන රතු බස් එක

මස් තලන රස්සාව ගැන කිව්වාද හිනා හංගාගෙන

විරිත් නොරැකි කවියක් තිරිංග තාල විදගෙන

ණය ටික ගෙවන කම් ඉන්න මේ රහස හංගාගෙන"

 

[පසන් සංජය සමරතුංග]

මාතෘකා