වැව....

 ඡායාරූපය:

වැව....

හැම වැව ම වට නොකෙරුවට කඳුගැට
අත අල්ලගත යුතුයි වැවකටත් තනියට
පසුපසින් ඇළ වේලි දිය අගල් හිටියට
රිදෙන තැන් අඳුනන්න උන්ට බෑ හරියට

හැම වැව ම හංගාන හිටියාට කටුඇට
වැවක් කියන්නේ නාරටිය හයිය කොඳුගැට
කරළියට ආවට ඉක්මනින් පිරෙන ඔයකට
ඒ අඩුව පුරවන්න පුළුවන් ද අඩියට?

රිදෙන තැන්වල කෑ නොගහ කරබාන උන්නට
උඹෙත් ඔය ඉවසීම හරිම පුදුමයි මට
රිදෙන නොසරුප් කියව කියවා ගියපු උන්දැට
උඹත් හිනාවෙන ගමන් බින්දා නේද රළ

ගොයම් ගස්වලට ඔය කියන බොරුගොඩ
මෙහෙ ඉදන් දුක් වින්දෙ උන් නෙවෙයි උඹ
පිරෙන කාලෙට පිරිල උතුරන ඔයකට
වැව පෙන්නන්න තිබ්බෙ මේ තියෙන කරගැට

හීල්ලෙන හීතලට රැහැයියෙක් රෑකට
දෙමින් බෙරිහන් ඇදෙයි ඉගිලෙමින් ඈතට
ඇතිල්ලෙන ගහක් තම බිරිඳ හමුවන තැනකට
නිවෙන්නට හදන එක හිස් දෙයක් වැවකට

[ක්‍රිෂාන් රත්නායක]


පණගැහෙන
නුඹෙ අකුරු!

දිවි මගෙහි කඩ ඉමක්
දිනන පැතුමින් මහරු
ලොවක් වටිනා උතුම්
ශිල්ප කැටි කළ අකුරු...

නොසිතු මහ සම්පතක්
රැගෙන විත් හිත මිතුරු
නිදි නොමැති රෑ පුරා
ළඟින් හිඳ ලියු අකුරු...

ලද පුංචි විරාමෙක
ගයා ගී පද මියුරු
නුඹ කව්රුදැයි අසා
ලියා දුන් කවි අකුරු...

සොඳුරු වූ මතකයන්
සීරුවට ගෙන ඇතිරු
මහා දිග කතාවක
ඇරඹුමක් වූ අකුරු...

එලෙස ඉපැදුණු බැඳුම්
නුඹට වූවත් නිසරු
බොහො මතක ඉතිරි කළ
නුඹේ මුතුකැට අකුරු...

නිමා කළ පිටු අතර
නුඹ නික්ම ගිය අයුරු
ඒත් මගෙ නොතනියට
ඉතිරි කර ගිය අකුරු...

නිරතුරුව රිදවුවත්
උතුරවා නෙත් ඉවුරු
අදත් මගෙ හිත පුරා
පණගැහෙන නුඹෙ අකුරු...

[නදීරා රෝෂිණී නල්ලපෙරුම]


අවනඩුව

ලියාගන්න මහත්තයෝ
ජයතුරාළයි මගෙ නම
මේ වතාවෙත් පරාදයි
වතුර නෑ වැවට තව
අහක බලං උන්නේ
අයියනායක දෙයියොත්
කන්න තුනක් වෙනකම්ම

හුලිජ්ජ වාගේ වතුර ටික
බෙදාගන්න බැරුව
උදලු පාර කෑවට
තරහ නැහැ හීනෙකින්වත්
එක බඩවැල කඩාන ආපු
මගේම මලයත් එක්ක

ලියගත්තට කමක් නැහැ
සාජන් මහත්තයෝ
පුංචිරාළයි උගේ නම
කරදර කරන්න එපා ඌට
හිරේ විලංගුවේ වැටුණොත්
උගේ දරු පවුලටත්
කන්ඩ දෙන්නේ මම

[නයනසේන වන්නිනායක]


කවියකට පුළුවන්ද ?

තුංග ගිරි ශිඛර ළය පලා ඉහළට ඇවිත්
සිහිල් දිය කඳුරක්ව නිම්නයේ ඇවිදිමින්
නේක රළු ගල්තලා තැවුල් ඉවසනු මිසක
නදියකට පුළුවන්ද හිතුමතේ නවතින්න......

අඳුරු දිය කළල් යට පිළී කුඩමසු අතර
පුරා වීරිය පෙරුම් නැගී ඉහළට දිනෙක
සඳ කිරුණ හා සෙමින් රමණයේ යෙදෙනු මිස
කුමුදකට පුළුවන්ද විල්පතුලෙ සැඟවෙන්න ......

ඉරි තැළුණු පොළෝ ගැබ ඉපල් තුරු දරු දෙතොල
ක්ෂිර දියවර යදින දුක්බරම නිමේෂෙක
සුසුම්ලන මහී මව් ළැමේ වැගිරෙනු මිසක
වැස්සකට පුළුවන්ද ඝනීභවනය වෙන්න ......

බෝ කලක් හිත් කුසේ කළලයක් සේ ඉපිද
කෙමෙන් මෝරා ඇවිත් විළිරුදාවෙන් බරව
පීතෘ කවි හදක සෙමෙන් දැවටෙනු මිසක
කවියකට පුළුවන්ද හිතක ගබ්සා වෙන්න...

[නිශාන්ත මල්ලවආරච්චි]


හීතල රෝස පාට

අයිසිං තට්ටුවෙන්
ෆැරන්හයිඩ් ගාණක
සිය දහස් වරක පිච්චිල්ල
වසාගත් හදවත්...
කෙමිකල් හිනාමල්
නොස්ල් තුඩුවලින්
ඇද කර ඇඳෙන
ඒක රේඛීය කතා රැල්...

මොකක් ඇන්දත් ලස්සනයි කියන,
පුපුරන්න වහින එක ගැන,
යටවෙන්න පායන එක ගැන,
කටින් විතරක් කරන
පොදු කුලක කතා බහ
බැඳීම් ඇති නොකර
නැති නොකරගන්න
මුක්කු ගහන...

සමතුලිත කරගෙන
කාලයක් තිස්සේ
උන්ගෙන්ම ඉගෙන ගත්
කෙමිකල් හිනා මල් වලින්
පොදු කුලක කතා රැල් වලින්...

දින සති තත්පරේට
අඩු කරන් එද්දි
අපි මුණගැහෙන්න නියමිත මොහොතට
අන්තිම තත්පරය අවසානයේ
උඹත් අහනවා මගෙන්...

"මාර වැස්සක් නේද...?"

[රසිකා ප්‍රනාන්දු]


 

ගුරු

වියත් පරඩැල මැද මිදුලෙ මැද තෙමෙන
දුවත් හිටගෙන වැටි වැටී නැගිටින බඩගාන
අළුත් පරපුර හිස් ලුලූ අත හැල්මේ දුවන
කියත් පටි තුඩු මදින දැති පීර නොදිරන

උවත් නොවුවාසේ ඉවසීම ප්‍රගුන කර ඉන්න
සියක් දරු ආයු සැප බල නිරතුරුව පුදදෙන
උගත් මහැදුරු දිසාපාමොක් පරපුරක ගරු රකින
සිතත් දැඩිකර දිරාපත් කද අගද නැවුම් හතු මල් පිපෙන

කිසිත් නොපතාම පුබුදන්න මල් දැහැන් ගතවන
තෙලුත් මල් සුවද දුම් නොමැතිවම සුවද දෙන
ගරුත් සරු නොඉවසන මහා දන බන තලන
මවත් කිවිසුම් අරින ඇනුම් පද සිත දවන

මගක් පාදා වල් වැදුනු කැකුලු මල් පලගන්න
උලුක් වුණු උගුර සවසට ලේ ගලන රස දැනෙන
ඇහැක් පොට පනිනතුරු සදත් අකුරු මැද්දෙම නිදිකිරන
හෙටත් ඉර පායනව ලොවට ජීවය දෙන්න

බණක් මගුලක් නොතකාම යුතුකමම ඉටුකරන
කටක් ඇර ඇර මනක් පිනවන සෙනෙහෙ වැසි වස්සවන
වලක් ලග නතර වනතුරු සදාකල් නිදිලබන
නැවක් දරු එතෙර කර ගුරු පාරමී සපුරන බුදුවෙන්න.

[අසිත ගීත් කුමාර]


ගල්ගිරියා කඳු

සිළිඳුලාගෙ බැද්දේගම මෙන් කටුකයි
අපෙ අම්මලාගෙ අප්පච්චිගෙ ගම්මානේ
උස් පිල් මැටි බිම- ගල්ලැහැ පැදුරේ
කිරි අම්මා ඉන්නා හැටි මතකයි දැන් වාගේ

'යාල්දේවි' වැව් ඉස්මත්තෙන් මොර දී යන හඬ
තවමත් මට ඇහෙනා මිහිරිම නාදේ

කිරි අම්මත්, අම්මත්, අපෙ අප්පච්චිත්
වැඩිමල් සොහොයුරු සොහොයුරියන් නෑදෑයන්
හේන් කොටා අබ කුරහන් මුං වැපිරූ
කුඹුරු කොටා හීනටි සුවඳැල් වැපිරූ

පරම්පරා ගණනාවක අපෙ අය දැන්
ගල්ගිරියා කඳු දෑලේ වැළලී
සාරය ගහකොළ උරාගෙනත් අවසන්

එනමුදු ගල්කිරියා කඳු යායම තවමත්
නොසැලී කවදත් යව්වනයේ මනරම්...

[ආණමඩුවේ විජේසිංහ]


බොරුව

තර්ජනය කරයි ඔබ අද, මා අතැර යන බව කියා
රඳවගමි මම දෙස්දෙවොල්, මා මුව තුළ තියා,
යා හැකියෙන් නපුර, ඔබ යන මඟ ගංවතුරක් නියා
එමඟ ඇති පතුළ නැති ගැඹුරු ආගාධයන් සොයා

තබා ගමි, මාතොල් අතර
සැරපරුෂ වදන් කස පහර
ගැලවිය හැකි ඔය නාස් කුහර
ඔබේ පිට වසා ඇති සම් පතුර

කඳුළු, වසත් වැස්සක් තරම් බරසාර
ඇත සිරව නහරවැල් අතරේ
ගොඩ ගැසී ඇත වේදනා කෙඳිරිලි
එක් කොණක මගේ උගුරේ

ඉතින් ඔබ ඔය යනවාද?

මහ හඬින්, කියමි මම:
උදව් විය හැකි වුව ඔබට, පමා වනු ඇත එවිට මට
යා යුතුය මා විගස සුපෙම් සුව රසහැඟුම් විඳිනට
දනිමි ඔබ නොම සිටිනු ඇත, යළිත් මා එන විට
ලිපියක් එවන්න, නැතොත් මා අමතන්න ඉඳ හිට

(අප්‍රිකානු සම්භවයක් සහිත ඇමෙරිකානු කිවිඳියක වූ මායා ඇන්ජෙලෝ විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

මායා ඇන්ජෙලෝ
ප්‍රකට කිවිඳියක, ගායිකාවක මෙන්ම සමාජ ක්‍රියාකාරිනියකද වූ මායා ඇන්ජලෝ උපත ලැබුවේ 1928 වසරේ අප්‍රේල් 04 වැනිදාය. ස්වයංලිඛිත චරිතාපදාන හතක්, ගද්‍යරචනා කෘති හයක් සහ කාව්‍ය සංග්‍රහ කිහිපයක් ලියා පළ කළ ඇය නිළියක, පිටපත් රචිකාවක, අධ්‍යක්ෂවරියක සහ නිෂ්පාදකවරියක ලෙස නාට්‍ය, සිනමා සහ රූපවාහිනී වැඩසටහන් රැසකටද දායකත්වය ලබා දී ඇත. ඇය රචනා කළ ප්‍රථම ස්වයංලිඛිත චරිතාපදානය වන ‘අයි නෝ වයි ද කේජ්ඩ් බර්ඩ් සින්ග්ස්’ (I Know Why The Caged Bird Sings) නමැති කෘතිය ලොව පුරා අතිශයින් ජනප්‍රිය වූ අතර, එය රූපවාහිනී සහ ගුවන්විදුලි මාධ්‍යයන් ඔස්සේද ප්‍රචාරය විය. මාධ්‍යවේදිනියක ලෙසද කටයුතු කළ ඇය 2014 මැයි 28 වැනිදා මියගියාය.

[අජිත් නිශාන්ත]

මාතෘකා