දැවෙන විහඟුන් ළඟදීම තිරයට

 ඡායාරූපය:

දැවෙන විහඟුන් ළඟදීම තිරයට

ජපානයේ 17වන ටෝකියෝ ෆිල්ම් එක්ස් අන්තර්ජාතික සිනමා උළෙලේදී (17th Tokyo FILMeX International film festival) ජූරියේ සුවිශේෂ සම්මානයද (Special Jury price / දෙවන ස්ථානය), 15වන ජිනීවා අන්තර්ජාතික සිනමා උළෙලේදී (FIFDH) හොඳම චිත්‍රපටය සඳහා සම්මානයද, තරුණ ජූරි සම්මානයද, ලොස් ඇන්ජලීස් ලෝක ආසියානු සිනමා උළෙලේ හොඳම නිළියට හිමි සම්මානයද, 46 වැනි අන්තර්ජාතික සිනමා උළෙලේදී ඉහළම ප්‍රේක්ෂක මනාපය දිනූ චිත්‍රපට 167 ක් අතරින් 17වැනි ස්ථානයද දිනූ දැවෙන විහඟුන් සිනමාපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය මෙම මස 29 වැනිදා සිට රීගල්, ලිඩෝ ඇතුළු සෙප් (CEL) සහ රිත්මා මණ්ඩලයේ සිනමාශාලාවල ප්‍රදර්ශනය සඳහා සූදානම්ව තිබේ.

නොසිතූ මොහොතක නන්නාඳුනන අවිගත් පිරිසක් විසින් තම ස්වාමියා ඝාතනය කිරීමෙන් පසුව දරුවන් අට දෙනෙකු සමඟ තනි වූ මවක් සහ පියාගේ ඝාතනයෙන් පසු තනිවන තරුණ දියණියක් තම මව හා සහෝදර සහෝදරියන් සමඟ යහපත් ජීවිතයක් ගතකිරීමට කරන ප්‍රයත්නයක් වටා ගෙතී ඇති දැවෙන විහඟුන් කැපවීම හා පරිත්‍යාගය පිළිබඳ වීර කාව්‍යයකි. මෙහි රංගනයෙන් සමනලී ෆොන්සේකා, චාන්දනී සෙනෙවිරත්න, මහේන්ද්‍ර පෙරේරා, අනෝමා ජනාදරී, ලියෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මප්‍රිය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, ප්‍රියංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක දායක වෙති. මෙහි කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශප්‍රියගෙනි. ඇඳුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේෂ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනා, වර්ණ සංයෝජනය එළි අකෝකා, ශබ්ද පරිපාලනය ප්‍රියන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් විසින් සිදුකර තිබේ.

දැවෙන විහඟුන් සිනමාපටය ශ්‍රී ලංකා, ප්‍රංශ, දෝහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. රේණුකා බාලසූරිය සහ සෝමරත්න දිසානායක සමඟින් ප්‍රංශයේ නියෝන් ප්‍රඩක්ෂන් (Neon Production) වෙනුවෙන් අන්තොනා දෙදේ (Antonin Dedet) සහ ඩොමිනික් විලෙන්ස්කිත් (Dominique Welinski) ශ්‍රී ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෂන්ස් (Sapushpa Expressions) වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරයි.

[නදී මාණික්කගේ]

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?