වැලි මිදුල

 ඡායාරූපය:

වැලි මිදුල

ලෝක සිතියම වෙනස් කළ මිනිස්සු

පෘථිවියට අයත් මුළු ගොඩබිම් ප්‍රමාණය සහ පූර්ණ සමුද්‍ර ප්‍රදේශය හෙළිදරව් කරගත් නාවුකයින් පිළිබඳ අපි පෙර ලිපි යටතේ සාකච්ඡා කළෙමු. තාක්ෂණික වශයෙන් අදට සාපේක්ෂව දුර්වල තැනක සිට පවා එම කාර්යය වෙනුවෙන් දිවිහිමියෙන් කැප වූ නාවුකයින්ගේ සේවය අමිලය. එසේම එම නාවුකයින් නව භූමි ප්‍රදේශයක් හඳුනා ගත් සැණින් එය සිතියම් ගත කළ ශිල්පීන්ද නව ලෝක සිතියම නිර්මාණය කිරීම වෙනුවෙන් ඉටු කරන ලද දායකත්වය අමතක කළ නොහැකිය.

කොළොම්බස්ගේ ‘සැන්ටා මරියා’ යාත්‍රාවේ සිට ඔහු හෙළිදරව් කර ගන්නා නව ලෝකය සිතියම් ගත කළ ‘ජුආන් ඩි ලා කෝසා’, සිතියම් ශිල්පීන්ගේ ඉතිහාසයේ අමරණීය නාමයක් හිමි කර ගනියි. ඔහු විසින් යුරෝපයෙන් බටහිර පිහිටි නව දූපත් රාශියක් සිතියම් ගත කරන ලද බවට ඉතිහාසය සාක්ෂි දරයි.

ජුආන් ඩි ලා කෝසා පරපුරේ දහස් ගණනක් සිතියම් ශිල්පීන් අතිබිහිසුණු සමුද්‍ර අත්දැකීම් විඳින ලද අතර සමහරුන්ගේ ජීවිත මහ සමුදුරේදීම අවසන් වූ බව සඳහන්ය. ඔවුන් විසින් ඉටු කරන ලද අගනා මෙහෙවර නිසා අද වනවිට පූර්ණ ලෝක සිතියමක් අප හමුවේ චිත්‍රණය වෙයි. විවිධ නාමකරණයන්ට ලක් වී දේශ සීමා මායිම් සහිතව රටවල් දෙසිය ගණනක් ලෙස පැතිරී ඇතත් මින් බොහෝමයක් එකල තනි යායක් ලෙස තිබුණ බව මේ අතීත සිතියම් ශිල්පීහූ අපට දක්වා සිටිති.

වීර නාවුකයින් සේ ම මෙම සිතියම් ශිල්පීන්ද අපගේ අවධානයට භාජනය විය යුතුය.

සති 17ක් තිස්සේ අප විසින් ඉදිරිපත් කළ ‘ලෝක සිතියම වෙනස් කළ මිනිස්සු’ ලිපි පෙළ අදින් අවසන් වෙයි.

 

අනුරසිරි හෙට්ටිගේ මාමා


සිතුවිලි

අධ්‍යාපනයෙහි පරමාර්ථය විය යුත්තේ ශාරීරික වශයෙනුත් මානසික වශයෙනුත් සුවපත් වූ මිනිස් සමාජයක් බිහි කිරීමය. උසස් අධ්‍යාපනයක් ලැබූ ඇතැමුන් කෲර ගති ගුණවලින් යුක්ත වන්නේ ඒ අය ලැබූ ඉගෙනුම අසම්පූර්ණ එකක් හෙයිනි.


 

කවුද මේ?

පලතුරු කන්නේ මල් පැණි බොන්නේ

හමුවුව හොත් මීරා වුව බොන්නේ

පාදවලින් එල්ලී නිදියන්නේ

ගිරවුන් අතරින් කුඩාම වන්නේ

තේරවිලි පිළිතුර

ගිරා මලිත්තා

 

කුලය Psittacidae[ගිරා කුලය]

විද්‍යාත්මක නාමය loriculus beryllinus

ඉංග්‍රීසි නාමය Sri Lanka Lorikeet

දෙමළ නාමය ඉලංගෛ සින්නක්කිලි

 


කවියා

අඩයට ඇරපු

කවුළුව මත

පිපුණයි පොඩි

දුහුලු මලක්

පිටු මත තැවරි

දුහුවිලි කඳ

හිරු එළියෙන්

දිලුණ හැඩක්

කවුළුව මතින්

එබිකම් කළ

හිරු කුමරා

සිටින වගක්

නොදැනෙන තරම්

ගණඳුර පිරි

තිබුණයි එහි

හැම අස්සක්

මකුළු මිතුරු

රජ දහනකි

ඉහළ කොනේ

වැජඹෙන්නේ

මී පවුලක්

සිටිනා බව

නෑ කිසිවෙක්

දැනගන්නේ

කිසිදු වගක්

නොවනා සිත

සිතුවිල්ලේ

කිමිදෙන්නේ

අහසෙ දිලෙන

තරු කැට පොඩි

පිටු අතරෙයි

දිදුලන්නේ

 

දිලීප පණ්ඩුක දයාවංශ

11 ශ්‍රේණිය,

ර/සීවලී මැදි මහ විදුහල

 


 

 

ලෝකෙන් ම පස්වැනි තැන

පොලිතීන් වැනි නොදිරන දේවල් වැඩියෙන්ම සාගරයට හෙළන රටවල් අතරින් ලංකාවට පස්වැනි තැන හිමිව ඇත. ලෝකයේ රටවල් ගණන පහක් නම් මෙය අපට ආඩම්බර විය හැකි කරුණකි. එහෙත් රටවල් දෙසීයක් පම‍ණ ඇති නිසා ලංකාව ඉතා නරක තැනකට පැමිණ ඇත. ඉන්දිය සයුරේ මුතු ඇටයට දක්වා ඇති සැලකිල්ල කනගාටුදායකය. පාසැලේදී අපි ලංකාවේ සුන්දරත්වය ගැන කවි ගීත ගයමු. වැඩිහිටියෝද පරිසරය රැක ගැනීම ගැන උපදෙස් දෙති. එහෙත් කවුරු කවුරුත් එක්ව සුන්දර ලක්බිම වනසති. එහෙයින් පොලිතීන් වැනි නොදිරන දේවල් පරිසරයට එක් නොකිරීමට අපි කැපවෙමු.

 

නදීෂ ලංකාතිලක

10 ශ්‍රේණිය,

පො/රාජකීය මහ විදුහල.

 


පිරුළක මිහිර - ප්‍රමාදය

සේන කඩේ ගිහින් ඇවිත් නැහැ. ඉස්කෝලෙ හාමිනේ සේන එන පෙර මග බලන්න කඩුල්ල ළඟට දෙතුන් වතාවක් ගියා. ආවා.

“අනේ මන්දා මේ යෝධයා කඩේට යැව්වා. තාම නැහැ. කඩේ කී පාරක් ගිහින් එන වෙලාවක්ද හැබෑට”

ගෙට ගොඩවෙමින් ඉස්කෝලෙ හාමිනේ කිවුවා.

“අර එන්නේ සේන නේද? ඈත එන සේන ඉස්කෝලෙ මහත්තයා හාමිනේට පෙන්නුවා.”

“ආදෙන්කෝ”

“කරුණු කාරණා නොදැන මොනවත් කියන්න යන්න ඕනෑ නෑ.”

“ ඇත්තටම අපේ මහත්තයා තමයි සේන නරක් කරන්නේ. ගියොත් ගිය තැන පැළ වෙනවා. බෙහෙතක් ගෙන්න යැවුවොත් සේන බෙහෙත ගේනකොට ලෙඩා මැරිලා.”

“හරි වැඩේනේ ඉස්කෝලෙ මහත්තයා. මාව කොටි වලිගෙට අහුවුණා වගේ වැඩක් තමයි වුණේ”

“ඒ මොකෝ අර. මුදලාලි කතාවට අල්ලගත්තෙද?”

“නැහැ නැහැ. කලින් අපට ලියුම් බෙදපු පියුම් මහත්තයා ආයෙත් මෙහෙට ඇවිත්. ලබන සතියෙ ඉඳලා ආයෙත් මෙහේ ලියුම් බෙදනවලු.”

“ඉතිං ඒ මනුස්සයා මේ ගමට ආයෙත් ආවනම් හැමදාම හමුවෙන්න බැරිද? කඩේ ගියානම් ගිය කාරණේ කරගෙන ඉක්මනට ගෙදර එන්න කියලා මං කීවතාවක් කියලා තියෙනවද?” ඉස්කෝලෙ හාමිනේ සේනගේ අතේ තිබුණු මල්ල අරගෙන ගෙට ගියා.

“අනේ ඇත්තමයි අපේ මහත්තයා. පියුම් මහත්තයත් එක්ක කතාවට යනව කියන්නේ කොටි වලිගෙට අහුවෙනවා වගේ වැඩක්. අපේ ඉස්කොලේ හාමිනේ දන්නේ නැතුවට මේ ගමේ හැමෝම ඒක දන්නවා”

“මං කී වතාවක් පියුම් මහත්තයට කිව්වද ඉස්කෝලෙ හාමිනේ පොල්තෙල් ගේනකම් මග බලාගෙන ඉන්න විත්තිය. කෝ කනකට ගත්තයෑ. එකක් ඉවර වෙන්න තව කතාවක්. ඒ මදිවට මගේ අතිනුත් අල්ලගෙන. ගැලවිල්ලක් තිබුණෙම නැහැ.”

“හරි. හරි. දැන් ඉතිං කන් කෙඳිරි ගාන්න ඕනෑ නෑනේ. මොකෝ සේනට ඉස්කෝලෙ හාමිනේ දඬුවමක් කළායෑ. ”

 

තනුජා අයගම නැන්දා


නයා

දවසක් නයෙක්

ඇවිත් අපේ මිදුලට

පෙනේ පිම්බුවා පූසාට

අපි බයවුණා හොඳටම

ආච්චී මිදුලට ඇවිත්

නයි හාමි පලයන් කියන විට

පෙනේ පහළට ගෙන

නයා ගියා කැලේට

විස ගෝර සර්පයා

දැක යවමු කැලේ වෙත

ජීවිතය අපට මෙන්

අයත් වේ එයාලට

 

චාමිකා සුදර්ශනී

4 ශ්‍රේණිය,

ඥානෝදය මහ විදුහල, වාරියපොළ.

 


යස ඉසුරු සොයා අම්මා දුරක ගියා...

ඉරිදා දවස ගොඩක් අයගේ නිවාඩු දවස වුණත් අපේ ගෙදර කඩිසරම, කලබලම දවස එදායි. අම්මාගේ ඉරිදා ඉස්කෝලේ ඈයෝ ගේ පුරාම එහා මෙහා යනවා. ස්වේච්ඡාවෙන් කරන ඒ කටයුත්ත නිසා මට එදාට අම්මා මුණ ගැහෙන්න අවසර ගන්නත් වෙනවා. කෙළවරක් නැති ආ ගිය විස්තර. සමහර විස්තරවලට ඇහුන්කන් දෙද්දී පාසලේ දී වරදක් කරලා ගුරුතුමාගෙන් ලැබුණු පුංචි දඬුවම ගැන විතරක් නෙවෙයි බෙන් ටෙන් ගැනත්, වීරා ගැනත් ඇහෙනවා.

ගිය ඉරිදාටත් දවස උදා වුණේ මම ඉස්සල්ලා මම කියූ කාල සටහන අරන් තෙත බරිත උදෑසනක් එක්ක. දහම් පාසල් අවසානයේ තවත් හෝරාවක් ගෙවෙද්දී ගේ පුරා පුරුදු හඬවල් ඇහෙනවා. ඒ අතරේ වෙනදා දැකලා නැති මිත්තණියකගේ අතින් අල්ලා ගත්ත ඒ පුංචි මල්ලිත් පාර හොයාගෙන අපේ ගෙදර ඇවිත්. “අනේ ටීචර් මට මේ ළමයාගෙන් බේරුමක් නැහැ. මෙහේ ඇවිත් ගණන් අහගන්න ඕනෑ කියලා. ඉතින් මං බැරිම තැන ඇන්න ආවා.” අම්මාගේ පුරුදු පරීක්ෂණයට මල්ලී උත්තර දෙනවා.“ පුතාගේ නම මොකක් ද...? චරිත්... “පුතා ඉගෙන ගන්න ආසම විෂය මොකද්ද...?” කිසිම පැකිළීමක් නැහැ, මල්ලී එක දිගට උත්තර දෙනවා. “අපූරු පොඩ්ඩා.” ඒ වචන පිටට ඇහුණේ නැති වුණත් අම්මාගේ හිත කොඳුරනවා මට ඇහෙනවා. පුතේ අම්මා එක්ක එන්න එපැයි. අත්තම්මාට පවුනේ මහන්සි වෙන එක... ඒ ප්‍රශ්නයත් එක්ක දඟකාර ඒ හඬ එක පාරට භාවනාවකට මුල පිරුවා. ඒ නිහඬකම මහා ඝෝෂාවක් හංගාගෙන ඉන්නවා. “හොඳයි පුතා ගිහින් මේසේ ළග වාඩි වෙන්නකෝ”

මිත්තණියගේ හඬ කතාවක් කියනවා. ඒත් ඒ ආ ගිය විස්තරයක්වත් වෙනත් තොරතුරක් ගැනවත් නෙවෙයි.

මේ දරුවා මගේ පණ වගේ. මම නැති දවසක කාගේ පිහිටක් ද...? දුව ගේ හදා ගන්න ඕනේ කියලා කියවන හන්දාමයි මේ ළමයාගේ තාත්තා පිටරට රස්සාවට යන්න කැමැත්ත දුන්නේ. ඒ කෙල්ල ගෙදරින් යද්දී කොල්ලාට යන්තන් අවුරුදු තුනහමාරක් ලැබුවා විතරයි. පුතාට මම අලුත් ගෙයක් හදලා දෙන්නම්කෝ. අම්මා ගිහින් ඒ අලුත් ගෙදර පිරෙන්න සෙල්ලම් බඩු එවනවා ඕන්...

මිත්තණිය අවුරුදු තුනක් වයස පුංචි මල්ලියාව අතින් අල්ලාගෙන පපුවට තුරුල් කර ගන්නවා මට මැවිලා පෙනෙනවා. අත්තම්මා එදා ඉඳන් ආපහු අම්මා වෙනවා අද වෙන තුරුම. ඇය ආයෙත් අතීතයේ වේදනාව පාර ගන්නවා. “තාමත් ඒ සෙල්ලම් බඩු නැව ලංකාවට ඇවිත් නැහැ. ලංකාවෙන් ගිය මුල් දවස් වල මාස තුනක් හතරක් දරුවාට කතා කළා නෝනේ. සල්ලී කීයක් කීයක් හරි ඒ මාස දෙකේ තුනේ එව්වා. ආයේ එව්වේ නැහැ නෙව. මේ අවුරුද්ද වෙනකම් අවුරුදු හයක් ගෙවිලා ගියා. කෙල්ල නෙවෙයි එක වංගියක්වත් දරුවාට කතා කොළේ...”

මිත්තණියට මේ ආර්ථික යුද්ධය දිනන්න බැහැ. චරිත් මල්ලීගේ තාත්තා දුර ඈත වැඩ බිමක රැකියාවක් හොයාගෙන පිටත් වෙලා ගිය නිසා තව තවත් තනිකම ඔහුට ළං වෙලා. මට තේරෙනවා මල්ලියේ අත්තම්මාගේ මේ විස්තරය නුඹට හංස ගීතයක් නොවෙන බව. ඒත් ඇත්ත නුඹ ළඟ නතර වෙලා. නුඹේ දැවටිලා.

මේ අතරේ මෑත දවසක තවත් සිදුවීමක් අත්තම්මාගේ කතාවේ කෙළවර හොයා දෙනවා. “එදා හදිසියේම අපි නොදන්න ඈයෙක් මහා ධාරානිපාත වැස්සේම අපේ ගෙදර හොයාන ආවා. ඒ ඇවිත් කිව්වේ මේ දරුවාගේ අම්මාත් එක්ක ඒ ආපු හාදයාත් එකම ආයතනයක වැඩ කරනවා කියලා. මගේ පුවට හුස්ම ටිකක් වැටුණා නෝනේ, කෙල්ල කරදරයක් නැතිව ඉන්න බව ඇහුවාම. ඒත් ඒ හාදයා අන්තිමට අමුතු ඉල්ලීමක් කරා නෙව... කොල්ලාගේ අම්මාට ඒ රටේ බැංකුවකට දෙන්න හැඳුනුම් පතයි, උප්පැන්න සහතිකයයි උවමනා වෙලා. ඒ දේවල් ගෙනියන්න තමයි මේ මනුස්සයා ඇවිත් තියෙන්නේ. ”

චරිත්ගේ ඇස් අර ආපු මාමාගේ අතේ රැඳුණ අලුත් ජංගම දුරකථනය ළඟ නතර වෙලා. ඒ අසල වටපිටාවේ චරිත් දැවටෙනවා. ඒ තරම් ඒ දුරකතනය දිස්නේ දෙනවා. එක පාරටම චරිත් හයියෙන් කෑ ගහන්න වුණේ මිත්තණියගේ අතින් ඇදගෙනමයි.

“අත්තම්මේ, අත්තම්මේ... මාමාගේ ෆෝන් එකේ මෙන්න අපේ අම්මා ඉන්නවා.”

දඩාං ගාගෙන අකුණක් ගැහුවේ මිදුල කෙළවරේ තිබුණු එකම එක පොල් ගහේ කරටිය ගේ දොරකඩට අතාරින ගමන්මයි.

[චමත්ක කවීන් බණ්ඩාර]

මාතෘකා