කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව

 ඡායාරූපය:

කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව

පබාවතීට කවක් (2011) සහ ගාලු පාර දිගේ හැලුණ සිනා සළු (3014) කාව්‍ය සංග්‍රහ පළ කළ ඩොමිනික් චන්ද්‍රසාලිගේ අභිනව කාව්‍ය කෘතිය ‘කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව’ මැයෙන් පළව ඇත.මෙහි ඇතුළත් කාව්‍ය නිර්මාණ විසි අටෙහිම පොදු ලක්ෂණයක් වන්නේ විප්‍රයෝගය අනුසරින් උපන් අත්දැකීම් සමුදායක් ප්‍රස්තුත කර ගැනීමය. මේ හැම කවකම හුයක් මෙන් දැවටෙන කාන්තා චරිතයක් සිටී. කථකයා තමාට අහිමි වූ ප්‍රේමයේ සෞන්දර්ය සහ ශෝකයේ මධුර බව මනරම් කාව්‍ය චින්තාවලියක් බවට පත් කරයි. එම කාව්‍ය චින්තා භාව විලාපයක් නොකර ඉදිරිපත් කිරීම කවියාගේ ප්‍රතිභා මහිමයට සාක්ෂියකි.
‘මීළඟ මොහොතටත් වලංගුයි’ මෙහෙමම කව උපුටා දක්වමි.

ඇය විටෙක තාරකා පේළියකි
ඈටම ආවේණික පාට විහිදවන
සියුම් තැන් ආවර‍ණය කළ
රෝස රේන්ද වාටියක් වාගේ
කාගේ ඇසුත් ඈ ළඟම නතර කරගනී

පිළිවෙළයි එදවස කරට කර
සරාගී නිළියන්ගේ නිල් පින්තූර සියල්ලම
ඉවත් කර හැම බිත්තියකම
එක හුස්මට
ජීවිතේ ලස්සනම කුස්තුර පෙනෙන්නේ එතකොට
එයාගේ වැඩේ දවස තිස්සෙම
ජුකී මැෂිමෙන්
සංසාර බෝඩරේ කුස්තුර පුරාම
මල්ම අමුණපු එක

බොහෝ වැදගත් දේවල් කතා කරන
ජනකාන්ත නළු නිළියන්
ළඟින්ම ඇසුරු කරන ඇය
බොහෝ උගතුන්ගේ සාදවල
එයාටම වෙන්කරපු මැද මේසය

කාටත් වෙන් කරපු පොදු හිනාව හැර
මටම විතරක් වෙන් කළ
ලන්තෑරුමක රෝස එලියක් වගේ හිනාවක්
තාමත් ඇය ළඟ ඇති
හිනා වෙන කොට කොන ගෙවී ගිය පසුත්
තත්පර කීපයක් මැකී නොයන

එයා කැමතිම දේ
දවස තිස්සෙම කතා කරන කොට
හවසට දැනෙනවා
ජීවිතේ කොයි තරම් නම්
සමබර කරගන්න පුළුවන්ද මිනිහෙකුට

වන්දනා ගමන්වලදිත්
ලස්සනම දේවල් තෝර තෝරා එකතු කරන
චන්ද කින්නර ජාතකේ
අන්ධ වුණ කිඳුරා වගේ
රිදි රිදී වුණත්
රැඳෙන්නට ඉඩ දෙන්න
ඔයා ළඟ මෙහෙමම

කවියා වාර්තාරූපී බස පහසුවෙන් ඉක්මවා යන්නේ කැපවුණු අභ්‍යාසලාභී සමයක් පසු කිරීමෙන් බව පෙනේ. සිතුවම්වලදී මානව රූපවලට ත්‍රිමාන හැඩයක් දෙන්නා සේ කවියෙහිද හැඩතල මතුකිරීම තම අභිලාසය බව කවියා පවසා ඇත.
මේ කවියා කදිම සිත්තරෙකි. භාෂාව වර්ණ ගන්වා කවි සිතුවම් කිරීමටද හේ සමත්ය.
‘ඇන්ටෙනා තුරක රැඳුණු දිරා ගිය සරුංගලය’ කවිය හොඳම නිදසුනකි. එය මෙසේ ඇරඹෙයි.

සැණකෙළි අහස මත
ගස්ස ගස්සා ඇවිදපු
කෝ නුඹේ රැළි රටා

නිල් පැහැය පැහැරගෙන හිරු එළිය
පියාපත් සිඳුණු තැන
ඉගිල යා හැකිය දැන්
යෝධ දේදුනු අතර සිහිනයෙන්

ඩොමිනික්ගේ කවි ආර සමීප වන්නේ කොරියානු කවීන් වන පැක් ඉන්වාන් සහ කිම් ටොම්යෝන් යනාදීන් විසිනිදු ප්‍රවර්ධනය කරන ලද මෙටපිසිකල් කාව්‍ය ධාරාවටය. එය සිංහල කවියට නව මානයක් එක් කිරීමකි.

විමර්ශි


පාළුව

පිනි බිඳු වැද සැලෙයි තුරුපත්
ජනේලයෙන් එපිට.

දොරගුළු වසා
මසිත මා හැරගොස්
අසුන්ගෙන ඇත
කඳුකරය වෙත යන දුම්රියක.

කුරුල්ලෙක් පියඹ යයි තනියම
මන්දාරම් අහස යට.
ඌ පියඹ යන්නේද
මසිත දිවයන
මා ක්ෂේම භුමියටම ද?
උගේ ඇයත්
මගේ ඇයත්
එකම දේශයකද?

නොපෙනෙන රුවක්
මා උරිස මත හිඳ
කනට මුමුණන
හිම කුණාටුවක හඬට මුසුවූ
ඇගේ හඬ...

ඈ සිටියානම් එයට
නමක් දෙන්නට ඉඩ තිබුණි.
සමහරක්විට ඇය එයට
ආදරය යයි කියාවි.

[තරින්ද්‍ර ගලහේන]


රත්න ශ්‍රී

අසෙනිය කුසුමක් සේ සුපිපී
පුරං යාය වපුරන සැටි කී
අසනිවැසිත් මැද හුන් නොසැලී
චිරං ජයතු කිවි රත්න ශ්‍රී

[නයනසේන වන්නිනායක]
(රත්නශ්‍රී විජේසිංහයන්ගේ
ජුනි 2දාට යෙදෙන 65වෙනි
ජන්ම දිනය වෙනුවෙනි.)


මියගොසිනි මම

ඒ මාරාන්තික විලවුන් සුවඳ
මා මරා,
ඔබම මා අත්පත් කරගත්

තොටිලි හැන්දෑව
පැද්දෙයි අදත්
අතීතයේ අතකින්
ඉහිරුවා ඉඩෝරෙට වැස්ස

උඩුබුරා වැටෙන
නයගරා ඇල්ලෙන් විසිවුණ
තෙතබරිත පැල්ලමක්
අහස් ස්ක්‍රීනය මත
දේදුන්නක්ව ඉසිණ

දසැගිලි චුම්බනය විඳ
මදක් රත් පැහැ ගැන්වුණ
වලාකුළු පියයුරු
හෙමි හෙමින්
ඈතකට පාවෙන

නොදැනීම අදුර මත ගිලී
මියගොසිනි මම...!

[ජානක පුෂ්පකුමාර]


වෙනස

එවන් විටෙක
ඔහු අසන්නේ
එකම පැනයකි
යක්ෂාවේශයෙන්.....

‘උඹ නැග්ගද
ඌ එක්ක ඇදටත්...?’

එවන් වූ විටෙක
ඇය අසන්නේ
වෙනම පැනයකි
කදුළු පිරි මුහුණින්...

‘ඔයා ආදරේද
එයාටත්...?’

[කුසුම් නිශාන්ති පතිරාජ]


දුකට ලියැවෙන කවි

කන්නෙ මැදවැහි විපාකෙට පව් සොරොව් කටකින් වාන්දැම්මා
මැන්න දරුදුක සහල් නැළියක පැටව් ටික ගං වතුරෙ පැන්නා
උන්න කැක්කුම හිතේ හයියට ආපු වන අලි සතුන් පන්නා
කන්දෙ හෙල්මලු කුඹුරු සේරම වතුර වැහි මාපකෙන් මැන්නා

ළදරුවෙක් ඉපදුණට පස්සේ ගෙපැලෙ සිරියට තරම් ලස්සන
පෝය හඳ හෙවණැල්ල වාගෙයි කහට කුඹුරේ ගොයමෙ ලස්සන
ගොයමෙ පොඩි පොඩි සත්තු ඇවිදින් ගොයම් කොළයේ දාපු අස්සන
පිදුරු පඹයෙක් බලන් ඉන්නැති හුළඟෙ එන ගිරවුන්ට ගස්සන

හේන හෙල්මලු කුඹුර ගෙයි පිල්කඩට එපිටින් වමනෙ දැම්මා
දරුව වාගේ හැදුව කන්නේ මරුව ඇවිදින් මරල දැම්මා
මැරුව නං හිත රිදෙන්නෑ උන් මරල මිනියත් ගෙනත් දැම්මා
කන්න තැම්බෙන බතල හැළියට නියගලා අලයකුත් දැම්මා

පරෙයි හදවත පැළී කඳුළක් තිබෙයි බෙනයේ වතුර පිරිලා
උන්ගෙ දරු පැටවුන්ට දවසක කූඩුවක් දිය යුතුය හදලා
අන්න අර කණ්ඩියේ බැම්මෙන් වතුර යනවලු දවල් ඉඳලා
ගන්න විගහට පෙට්ටි කඩමලු එන්න කලියෙන් බැම්ම කැඩිලා

[ක්‍රිෂාන් රත්නායක]


රත්තරං දුවේ

නුඹ මගේ අතට අරගෙන ආ මුල්ම දින
අත උඩ තැබුව වාගෙයි මුළු ලෝකයම....

නුඹ මගේ පපුව උඩ නිදාගත් වෙලාවල
දැනුනේ මට මගේ පන ගැහෙනා හඩ
මලමුත්‍ර වලින් මා නිතරෝම තෙමුවාම
දුවේ එදා මට දැනුණ අපිරිමිත සතුට.....

උපන්දිනය දවසකදි හාවගේ කේක් එක
මට කපන්න බෑ කියා නුඹ හැඬුව ඒ දවසේ
මම දැක්ක සුදු මැණික නුඹේ ලස්සනම හිත
දුවේ එදා මට දැනුණ අපිරිමිත සතුට.....

මම ගෙදර නොසිටිය එක්තරා රාත්‍රියක
මගේ තුරුළේ ඉන්න උණුහුමේ සුව නැතිව
නිදාගන්නෙම නැතිව හඬ හඬා හිටිය වග
දුවේ එදා මට දැනුණ අපිරිමිත සතුට....

මල් වර නැකතකින් අපි දෙන්න වෙන්කර
මගේ තුරුළේ නැතිව නුඔ නිදාගත් දවස
පපුවෙ හිරවුණ වචන කටුවකින් ඇන ඇන
නින්දකටනම් එන්න දුන්නෙ නෑ මුළු රෑම....

සා පෙළ පාස් වී නුඹ ඇවිදින් ගෙදර
මා ළඟින් වාඩිවී ළඟ තිබුණ පුටුව මත
සතුට අරගෙන තැබුවේ මගේ මේ දෑත් මත
ආදරේ පිරිණු නුඹේ ඈත් වූ ඇසින් ගෙන....

උසස් පෙළ පාස් වී ගෙදරින් ගිය දවසේ
වෛද්‍යවිද්‍යාලය ළඟදි දොරටුවේ පාමුලදි
මගේ හදවත හැළුණ නිසා මට නොදැනීම
ගෙදර ඉන්න බැරි උනා දුවේ මල පාළුවට.....

නුඹ දොස්තර වෙද්දි අවුරුද්දෙන් අවුරුද්ද
මට දරාගන්න බැරි උනා ආගන්තුක බැල්ම
පිරිමියෙක් නිසා මම නුඹෙන් තව දුරස්වුණ
හිතින් තුරුළට ගත්තේ මගේ පුංචිම කෙල්ල...

මගේ හිත වසා ගිය වෙන පිරිමි රුවකට
නුඹ දීල සැනසුනේ බණ පදයකින් හිත
නව යොවුන් ලියක ලෙස මට නොපෙනුණාට
ප්‍රේමයේ අරුණැල්ල දිලිසුණා නුඹ ළඟ....

පිට රට බලා අතිනත ගෙන ගිය දවස
මුළු ලෝකයම මාගෙන් උදුරාගත් දවස
වහල උඩින් එන ගුවන් යානා හැම දවස
අද තමයි දුවේ ගණන් කළේ සියවැන්න

[දමින්ද අබේවර්ධන]




කේදර් මිෂ්රා

සමකාලීන ඉන්දියානු කවීන් අතර ඔරියා බසින් කාව්‍යකරණයේ යෙදෙන ප්‍රතිභා සම්පන්න කවියකු ලෙස කැපී පෙනෙන කේදර් මිෂ්රා සිය නිර්මාණ සඳහා බොහෝවිට දුලබ සමාජ අත්දැකීම් පාදක කරගනියි. ඉතා සියුම් බස්වහරකින් ගැඹුරු සමාජ සත්තාවන් විවරණය කිරීමෙහිලා ඔහු දක්වන හැකියාව සහෘද රසික විචාරක පැසැසුමට ලක්ව ඇත. වර්ෂ 1972දී උපත ලැබූ ඔහු කාව්‍ය විෂය ක්ෂේත්‍රය පිළිබඳව ගැඹුරු හැදෑරීමක යෙදී සිටින පර්යේෂකයකුද වෙයි. මේ වන විට ඔහු විසින් කාව්‍ය සංග්‍රහයන් හතරක් ලියා පළකරනු
ලැබ ඇත.

[අජිත් නිශාන්ත]

ඉතිහාසය

සැබැවින්ම මට සහතිකයි
ඉතිහාසයට මා අමතකයි
කියනු හැකි දැයි මට සැකයි
එය මගේ යම්කිසි වරදකැයි

මතක සිටින්නේ කොහොමද මා ඉතිහාසයට

ඉතිහාසයේ රැඳෙනුයේ හිනැහෙමින්
රුධිර ගංගා පසුකර යමින්
අසුන් පිට නැග ජය ගොස දෙමින්
පෙරට ගිය අය පමණි දද ලෙලවමින්

ගිනිගෙන දැවෙන හිරු රැස
හිනැහෙන සඳේ මුදු සිසිලස
කගපත්වලින් සිඳ රුදු ලෙස
පෑ අය පමණි මහා උදහස

ඉතිහාසයට මතක ඉන්නේ
මිනිස් හිස්ගෙඩි කඳන් ගොන්නේ
ගැටුණු සිත් පිත් නැති එවුන්නේ
නම් පමණි රන් අකුරු වැන්නේ

මම එවැන්නෙකු නොවීමි

කාලය ගෙව්වෙමි තනමින් පිරමිඩ දුර කතරේ
සුවසේ සැතැපෙන්නට ඔවුනට මළවුන් අතරේ
පුදසුන් තැනුවෙමි දෙවියන් උදෙසා සැම නගරේ
අන්තථපුර හැදුවෙමි රැජිනන් හට රජ මැදුරේ

ඉගෙන නොගත්තෙමි යන්නට අසුපිට
සුරුවෙකු නොමවෙමි දුනු කඩු සටනට
නොහැකිය රුධිරය ගලනා යුරු දකිනට
මළමිනී ගොඩවල් නුහුරුය දෙනෙතට

නොම ගැළපෙයි සිහසුනක් මෙමා හට
ගායකයකු වෙමි කැපවූ මෙහෙයට
රාජසභාවට නොමයමි කිසි විට
පැසැසුම් ගැයුමට, තනතුරු ලබනට

නැත ඉතිහාසය පස් දූවිලිවල
නැත එය පොදු ජන මන තුළ
කිසි ළතැවිල්ලක් නොමැතිය අද මට
ඉතිහාසය මා අමතක කෙරුවට
සැකයක් ඇත මට සැඟැවී සිත යට
හැකිදැයි ඉතිහාසෙට මා රකිනට

(ඔරියා බසින් කාව්‍යකරණයේ යෙදෙන කේදර් මිෂ්රා විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිණි)

 

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?