කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

කීනවල

 

පසුකර යද්දී

දුම්රියෙන් වේගයෙන්

විලාපයක් අවුදින්

සුළඟේ එල්ලී

 

පීලි මත යකඩ රෝද

දුවයි

වියරුවෙන්

සුසුම් ලයි

සිල්පර පවා

 

හූ හඬින්

සලිත වෙයි

ඇඟ මස

 

"මෙතනදි නේද අර..

දරුවො දෙන්නත් අරන්

ගෑනියෙක් කෝච්චියට පැන්නේ

කියනු ඇසේ මගියකු"

 

බිං ගෙයක් ඇවිදින්

වෙළා ගනී

ම'සිත

ගන අඳුරකින්

 

[ජයන්ත ග. ජෝතියරත්න]


කලින් ම නින්දට ගිය පියානෝවිට...

 

මං ඉන්නේ දැන් පාළු පිට්ටනියක හදවත මැද හරියට ම

නමුත් දවල් මිනිසුන්ගේ අඩි සටහන් තාම නොමැකුණ

මගේ අතේ තියෙනවා බීර පුරවපු සුදු ප්ලාස්ටික් කෝප්පය

හැබැයි මං උගුරෙන් උගුර තොල ගාන්නේ හරි හෙමින් හෙමිහිට

මගේ ඇස් ඉස්සරහ හෝ...... ගානා පොකුණ

නමුත් මගේ ඇස් නැවතුණෙ විසල් ආකාසය පුරා පැතිරුණ

සුදු පාට, බොදුවුණු අනන්ත තරු කැට අතර

නුඹ හිටියා නම් මගේ දකුණත අල්ලගෙන මැණික

මෙච්චර ලස්සන නෑ මේ බොර ඇස් රැඳුණ කළු අහස.

 

මුහුදු මැද්දට ලයිට් ගහන හිතුවක්කාර එක්ටැම්ගෙය

එහි සිරසේ ඉන්නට හැකි නම් දුම්වැටියකුත් දල්වගෙන

ජමිලාටත් ඊරිසියා හිතෙයි මං දකින දර්ශනය ගැන

නමුත් මං හොයන්නේ අද කලින් ම නින්දට ගිය තරු කැටය ගැන

මං එනතුරුවත් නොඉද ඉක්මනින් රෑ සයනයේ මව්තුරුලේ ගුලිවෙච්ච

ඈ හිටියා නම් රෝස තොල් ඇද කර නිල් ඇස් බෝල ලොකු කර

අහන්නට තිබුණා "මැණික අතනට මුහුද කොච්චර ලස්සන ඇති ද?"

 

පිටව යමි තරු අහස, මහ මහුද, සුදු එක්ටැම්ගෙය අතැර

ඈ සමඟ ආ යුතුයි කෙදිනක හෝ මට ඈව දැනුණ මේ පිටියට

කොපුලේ රැදෙනා කියුඹු වැල් මත මගේ දෙතොල් පටලවගෙන

අපට ඉන්නට ඇත් නම් මේ විසුල තරු අහස යට

නුඹ නොමැති ලෝකයක් දුටුවේ මම අද ය.

එයට ම අපූරුය මගේ හද ගැහෙන රිද්මය

නමුදු ඒ ලොව තුළ හිස්තැනකි මට දැනෙන

හිරුත් වුණ සඳුත් වුණ ඒ පුලිඟු නෙත් දෙක ය

 

[අයු]


ගිම් සමය

 

ගිම් නොනිවන ගිම්හානය

දිගුම රැය හිමි ගිමේ හැමදින

තනිය තනිවම සරන තැන්වල

බුරන නැග එන සිතග්නිය තද

නිතින් මත් වී අහස ඉල්ලත

 

දුරින් සිටිමුත් උස් මුදුන් ඇති

තුංග තුරු හිස් මල් දරාගෙන

බිමින් ඇවිලෙන පුපුරු සිඹගෙන

මල් කිනිති අළු අගිසි රන්දත

 

මත් ලොවක හිත් මඩල බින්දුව

නෙත් කෙවෙනි තෙත් දියෙන් හින්දුව

ඉඩෝරයමැයි පෙර වසන්තය

යළිදු කිසි දින වැසි නොඉල්වන

 

දුරින් සිටිමුත් උස් මුදුන් ඇති

තුංග තුරු හිස් මල් දරාගෙන

බිමින් ඇවිලෙන පුපුරු සිඹගෙන

මල් කිනිති අළු අගිසි රන්දත

 

[හසින්තා]


ලොකු පුතේ.....

 

නෙක පාට රූ රටා

සලෝලයිට් කොළ ඇලවුණු

චීන සරුංගල අතරේ

ශේෂ වුණු

ගෝල්ෆේස් කොටේ

උඹේ හිත

වල්මත් වෙලා

 

බිංදුවක්වත් නෑ මතක

සව්කොළ නයි උඩ ඇරපු

වෙලේ ඉපනැල්ල ගැන

 

හුලං පුම්බපු ප්ලාස්ටික් හීනයක

චීන්නු උඹව

අතරමං කරන්නට

මත්තෙන්

ගම ඇවිත් පලයන්...........

 

[චම්පා කුමාරි දිසානායක]


සුවඳ

 

මග නොදන්නා අතුරු මගකදි

මග කියා විසිකළ පොහොට්ටුව

පෙති එකින් එක සුවඳ දවටා

ගමන කොනටම රැගෙන'විත් මා

 

සුව විඳින සුව දැනෙන සවසක

පහළ නියරෙක බටනළා හඬ

කහට උගුරක රසය වැඩි කර

ස්වරය ඒ කාගෙනුත් සැඟවුණ

 

පෝය අහවර නුවර යන්නට

පාර කොයි කවුරුන් කියන්නද?

අතුරු මං වල අතරමං කළ

පොහොට්ටුව තාමත් එතනමද?

 

[පසන් සංජය සමරතුංග]


තරු

 

තණ බිස්ස මත

නිරුවත් දෙපා තබමි

දෙපා යට නලියයි

ළපටි තණ පත්

අතැඟිලි කරු අතර දිවයයි

උසැති තණ පත්

 

මා යායුත්තේ කොහේදැයි නොදනිමි

 

ඈත කඳු රෑන මත

පායා ඇත තරු

එක් දීප්තිමත් තරුවක් ඔබේය

එක් ගැහෙන තරුවක් මගේය

මා ගුරුත්වයෙන් පිටතට පැමිණ ඇත

ඒ තරුවත් මේ තරුවත් හැරුණු විට

තවත් තරු තිබේද?

විශ්වය භයාංකාර ලෙස විශාලය

 

සුළඟේ ගසාගෙන යන සඳ එළිය

තණ බිස්ස මත තනයි සුළි

 

මම නැවත ඇවිදයමි.

ඔබේ තරුවේ ගුරුත්වය වැඩිය

 

[තරින්ද්‍ර ගලහේන]


එයා තාමත් ඉන්නවා ඇති

 

හන්දියේ බෝ හෙවනේ පඩියක

ශිවට දෙන්නට මල් පොකුරු අරගෙන

අම්මා මඟහැර මං තනිව එනකන්

"එයා තාමත් ඉන්නවා ඇති"

 

වාරු වී ගෙන කැඩී නොමැරුණ

සොයිසාගේ ලේ පාට තාප්පෙට

හොරා අප්පාට දෙන්න පොත් මට

"එයා තාමත් ඉන්නවා ඇති"

 

වහලේ උඩ හැදු පරවි මැදුරක

රැජීනගේ පය බැන්ද හසුනක්

යවන හැටි මට හිත හිතා තව

"එයා තාමත් ඉන්නවා ඇති"

 

දෙමළ අකුරුයි සිහල අකුරුයි

අමාවක රෑ පැටිලිච්ච හන්දා

ටයර් සෑයක මඟ බලාගෙන

"එයා තාමත් ඉන්නවා ඇති"

 

[අයන්ත ප්‍රනාන්දු]


ගාලු මුවදොර සිට

 

සුදු ටිෂූ බාගෙක

තියලා දෙනකොට

ඉස්සෙකුගෙ මළගම ගැන

කාට හරි

දුක හිතෙනවද මැණික ...

 

ඔන්න ඔතනයි

ආදරේ බෝඩරේ විච්ඡේදනය වෙන

මට නොතේරෙන තැන...

 

දුටු මතින් කම්මුල් දිගේ ඉහළට

විදුලි සරයක් ඇදෙන,

මුව රුවා ගත් සැණින්

පර රහට හැපෙන,

ජීවිතයද හිතෙනවා මේත්,

අඟලේ අරයට

තුන්හුලහට කැපුණ...

ඇබින්දන් කවරවල

පැක් වෙලා තැම්බෙන...

 

රතු සුදු කවලම

උඹ ...

යන්තමට

පර රහ මැකෙන්නට ඉහුණ...

 

බලා උන්නට සිතිජ කෙළවර

මට කොහිද හදවතක් සිත්තර

ඇවිලිලා, ඇවිලිලා

නිවෙන හැටියට ගින්දර

තියෙන්නත් බැරි නෑ

අපිටත් කොහේ හරි උත්තර ..

 

පිළී ගඳ වැඩි වෙද්දි

ඉහිරිලා ජීවිතවල විස්තර

නොදැනීම තිබුණු හුස්මෙත්

දැන් වැඩි හරිය කුස්තුර...

 

[රසිකා ප්‍රනාන්දු ]


සමන්ගිරි වත ගෝනදෙණියේ විමලජෝති හිමියන්ගේ පස්වැනි ස්වතන්ත්‍ර කාව්‍යයයි. පරිවර්තන කාව්‍ය ග්‍රන්ථ කිහිපයක්ද උන්වහන්සේ විසින් සම්පාදිතය.

සමන්ගිර යනු ශ්‍රී ලාංකිකයාගේ අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පුද බිමකි. එහි විශේෂත්වය වන්නේ විවිධ ආගමිකයන් තම ශාස්තෘවරයාගේ ස්පර්ශය ලද ස්ථානයක් සේ සලකා එය වන්දනීයත්වයට පත් කිරීමය. මේ නිසා සමන්ගිර ආශ්‍රිත සම්භාව්‍ය සාහිත්‍යයක් මෙන්ම ජන සාහිත්‍යයක්ද පවතී. නූතන කවීන්ද සමකාලීන අත්දැකීම් ප්‍රතිනිර්මාණය කිරීමේදී සමන්ගිර ප්‍රස්තුත කරගත් නිර්මාණ ජනවේදය ඇසුරු කිරීමට උත්සුක වනු පෙනේ.

පෙරපර දෙදිග සාහිත්‍යාංග පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක නිරත ගෝනදෙනියේ හිමියන් සමන්ගිර ආශ්‍රිත සාහිත්‍යය පරිශීලනය කර ඇතත් අනුකාරකයකු නොවී ස්වාධීන කවිත්වයක් පළ කිරීමට සමත් ව ඇත.

කවියා සමන්ගිර රජෙකු ලෙස දකී. රජු පිරිවරා සිටින්නන් කවියාගේ නිරීක්ෂණයට හසු වේ.

 

තුරු හමුදාව දිව රෑ අවදියෙන් සිට

නෙතු හැර විපරමින් පසු වෙයි නිති අවට

සිය විජිතයට අනවසරෙන් විටින් විට

එන අය ගැන සොයනු වැනි සීරුවෙන් සිට

සිය විජිතයට නෙක පිරිපත ගෙන එන්නේ

කවුරුද කියා නිරතුරු විමසනු වැන්නේ

තැත තැන පොකුණු කුසුමිත වී පවතින්නේ

සී.සී.ටී.කැමරා සවි කළ වැන්නේ

 

කවියා මෙහිදී ව්‍යවහාර භාෂාව මටසිලිටි අයුරින් භාවිතයට ගනී. සමන්ගිර සමස්ත රූපකයයි. එහි ස්වභාවය රූපකාර්ථවත් බසකට නැගේ.

පුරාවෘත්තයෙහි ඇති පුවතෙහි ඇතැම් සිදුවීම් ඡේදගත කරමින් සරල, මනහර කාව්‍ය ආඛ්‍යානයක් ගොඩ නැගීමට කවියා සමත් වෙයි.

 

අකුළක පැටලී සිවුර ඉරෙන්නේ

ගල් අසුනක හිඳ එය මහගන්නේ

දෙවිඳු ඊට සිය සහය දෙවන්නේ

සමන් ගිරට බුදු සමිඳු වඩින්නේ

සමගිරි වත රචනයේදී කවියා සිංහල කවි සමයට උරුම විචිත්‍ර විරිත් ඇසුර ආලෝකයක් කර ගනී.

 

විමර්ශි


රබීන්ද්‍රනාත් තාගෝර්

ඉන්දියාවේ පහළ වූ විශිෂ්ටතම කවීන්ද්‍රයා ලෙස පිදුම් ලබන රබීන්ද්‍රනාත් තාගෝර් ඉන්දියානු පුනරුදයේදී වඩාත්ම කැපීපෙනුණු සාහිත්‍යමය මෙහෙවරක් ඉටු කළ මහා නිර්මාණ ශිල්පියා ලෙසද සැලකෙයි. කල්කටාවේ ජොරැසැන්තෝහිදී වර්ෂ 1861 මැයි 07 වැනිදා උපත ලැබූ මෙතුමා විසින් සිය ජීවිත කාලය පුරාම කවි, ගීත, කෙටිකතා, නාට්‍ය ඇතුළු නිර්මාණ රැසක්ම බිහි කරනු ලැබීය. වර්ෂ 1931 දී නොබෙල් ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ මේ මහා කවීන්ද්‍රයා වර්ෂ 1941 අගෝස්තු 07 වැනිදා කල්කටාවේදීම අවසන් හුස්ම හෙළීය.

පාරුව

 

ගඟ දියේ පාරුවක් ඉහළ යයි, පහළ එයි

ගම රටට එති අයෙක්, ගම රටෙන් යති අයෙක්

ගඟ ඉවුරු ඉම දෙගම හඳුනාය එකිනෙකා

උදේ සිට රෑ අඳුර එන තුරා දනෝ යති එති ගඟ මතින්

දුර ඈත සිදු වේය බොහෝ කලකෝලහල, විපත්

ඉතිහාසයේ පුවත් ලියැවී, වෙනස් වී යළි යළිදු ලියැවේ

ඉහිරුණු රුධිර දහරා මත පෙණ නගා

බිඳී විසිරී යයි රන්වන් බුබුළු මොහොතින්

ශිෂ්ටාචාරයේ අලුත් සාගත, සා පිපාසා

වපුරති වස විස, පැණි රසැති දුක් කඳුළු

ඉවුරු මත හිඳ බලති එකිනෙකා දෙස දෙගම

මුළු මහත් විසල් ලොව යන්තමින්වත් නොහඳුනන

ඇදී යයි පාරුවද හැමදාම දිය මතින

ගම රටට එන අයද, ගම රටෙන් යන අයද රැගෙන

(ප්‍රකට ඉන්දියානු කිවියර රබීන්ද්‍රනාත් තාගෝර් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]

[email protected]

මාතෘකා