කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

පළඟැටි සිහින

කටු ඇනුණු තරමට ඇස් දෙක රිදෙයි
තටු පැලඳ සිතුවිලි ඉගිලෙන්න හදයි
සිත තුළම මාවත සොයාගෙන ඉගිලෙයි
අත අත හැරුණු තැනටම ආපසු පැමිණෙයි

කෑරලා හඬන වෙල් දෙවැට දිගට
කොරවක් අඩිපාර මග සොයමින
පුරන් කුඹුරු යායවල් පසුකරමින
දිරුණු පොල් අතු ගෙපැල සොයමින
විසකුරු සර්ප විමන් පසු කර

බෝ තුරු සෙවණේ සිලි සිලි නඳ මැද
ගඳ කළියේ මල් සුවඳ විඳි
කහ අත්තටු ඇති සමනලයා
විසල් ගසක් යට නොතෙමී සිටියා
කුසල් සිත පොබකර නිලුපුලක් සේ
සුදු වැලි මළුවද පසු කර
ඉගිළ ආවේ එළියෙන් අඳුරටද

සිව් යොදුන් ගොස් නෙළා පල වැල
අඳ මව්පිය දෙපළ පොහොනි කරනට
උණුවී සිත නිවන් මග අතහැර
සාම කුමරා සුදු වතින් යළි ආවද

"සමනළයෙක් දළඹුවෙක් වෙයි"
මැයෙන් යුතු මේ කවිය ඇතුළත් වන්නේ ඉන්දික තුෂාර ගමගේ ලියූ පළඟැටි සිහින කෘතියෙහිය."ඉවුර දිගේ දුවන සඳක්" ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහයයි. ඔහුගේ කවියට බොහෝ විට විෂය වන්නේ සමකාලීන මිනිස් දිවියෙහි ප්‍රතිවිරෝධතා සහ මානව බන්ධුතා පිළිබඳ සංවේදී අත්දැකිම්ය.ඔහු එම අත්දැකීම් පරිකල්පනයට හසු කරන්නේ ස්වභාවෝක්තියෙහි සමත්කම් පාන කවියකුගේ සියුම්කම විශද කරමිනි.
එම බස වාර්තාරූපී කවි බස පහසුවෙන් ඉක්මවයි.
සමනළයා දළඹුවාට රූපාන්තරණය වීමේ පරිකල්පන ලෝකයෙහි තම දෙමාපියන්ගේ ජීවන සරතැස නිවීම සඳහා දිවියෙහි සුන්දර සමය කැපකරන දරුවකුගේ චිත්ත වීථිය සිත්තම් වෙයි. එහිදී ඔහු චිත්තරූපී බසක් භාවිතයට ගනී. ඒ ඔහුගේ කවියෙහි තවත් විශේෂත්වයකි.
අවරදිග අහස රත් පැහැ වුණු හින්දා
තොල් දෙක විකාගෙන නන්දා ඉකි බින්දා
මහගෙදර කුලුනු ඉරි තැළුණු හැන්දෑවේ
එක පාරටම මහ වැස්සක් කඩං වැටුණා
නන්දාගේ ලියමන මැයෙන් යුතු කවියෙහි ඇරඹුම එසේය.සුපුරුදු මහගෙදර නන්දාගේ පුරාවෘත්තය නූතන කාන්තාවගේ සමාජ ඉරණම කාව්‍යගත කිරීම සඳහා ඉන්දික තුෂාර යොදා ගනී. මෙහි ජීවත්වනුයේ කොරියා ගිය ජිනදාස කෙනෙකි.
තත්කාලීන විඥානය ස්පර්ශ කිරීමේදී ඖචිත්‍ය ගුණෝපේත කාව්‍ය රිද්මයක් සොයා යෑම මේ කවියාගේ සද් ලක්ෂණයකි.

විමර්ශි


විඳුම්

විලක් අවසන් හුස්ම හිඳුණම
කලල් මඩ හිත් අස්සේ හිරවුන
නෙළුම් අලයක සුවඳ තවරන්
කුසක් පුරවන කලක් එළැඹෙන

ගඟක් අවසන් කැමැති පත්‍රය
වැදී තෙරපෙන සුසුම් අබියස
කරදියෙහි දියකරමි පා කර
මතක අමතක කරනු වෙනුවට

රැල්ල නැග එන විටදි වෙරළට
සියුම් සතුටක් ඉපැදි වැලි මත
දැනෙන ලුණු රස දිවේ අගකට
වමාරයි දිගු මතක ඉස්සර

වලාකුළකට දැනුණ උණුහුම
දාහයෙන් දැවෙනා වෙලාවට
මතක් කර ඒ සිසිල හිත ලද
පින්න ලෙස විහිදුවයි පහළට

මියෙන තුරු පත් එකින් එක ගෙන
පොළොව නිදනට තැනක් හැදුවද
ගහට රිදෙනා හැම වෙලාවක
හීන් කෙඳිරිලි නගයි තුරු පත

සළුව මීදුම් එතෙන දවසට
හිතක් නොසැලී බලා සිටියද
නොඉවසිලිමත් රෝම කුපය
ඉස්සි ඉස්සී බලා හිනැහෙන

[ඉසුරු උදාර]


තාත්තා

"89 කාලේදි තාත්තා අතුරුදන් වුණා. ඒ වෙද්දි මට අවුරුද්දක් විතර ඇති"
-මිතුරෙක්-
"තාත්තෙක් කියන්නේ කවුද?"

මහමෙරක් වුව තනි අතට ගන්න
කඳුළු වුව දහඩියෙන් පිට කරන
කට ඇරියද අකුරක් පවා නැහෙන
ඉදහිට හීනයක රඟපාන නළුවෙක්ද?

"තාත්තෙක් කියන්නේ කවුද?"
--
ඇහිපියන් අත ගා මගේ හිත සැතපුව
අතට ගත් කල නලවන්න නොදන්න
රැවුල් කෙඳිතෙන් ඇන හාදුවක් දුන්න
පින්තුරේ විදිහට හිනාවුණ කෙනෙක් ද?

"තාත්තෙක් කියන්නේ කවුද?"

ඕන්නැති පොත් මහ රෑ වෙලා කියෙව්ව
කුප්පි එළියෙන් ආතාගේ කකුල් අතගෑව
දොරට තඩි බාද්දි සිංහ ගෙරවිලි නැගෙව්ව
සරමක උණුහුම තියලා ගිය යකෙක්ද?

"තාත්තෙක් කියන්නේ කවුද?"

ලේ කිරි නොවෙද්දි නාහයෙන් නැඬුව
රිදෙන බව දැනි ඇඟිලි පොඩි අතැරිය
නොඑන්නට යද්දි "ආදරේ" කොඳුරන්න බැරිවුණ
තාම පොළොව යට අඬන මිනිහෙක්ද?

[අයන්ත ප්‍රනාන්දු]


වරම් නැත

හිරු නැගෙන අරුණැල්ල
දියකඩිති පැන දුවන
සියොත් කැල ඉගිල යන
දැක ගන්න වරම් නැත...

තරු කැට සිතුවම් මවන
මඳ නළට සැලෙන ගොමු
පිනි බිඳක රැඳුණු පත්
විඳගන්න අසිරි නැත....

නොලැබෙනා සිහින මත
එල්බගෙන දුක් විඳින
වැඩගොඩක් මත හිරව
සුසුම් හෙළනා මිනිසුන්ට....

[බෝදාගම සුමන හිමි]


පතොක් මල...

නුඹ ඇවිත්
පපු කතරට
විසි කළ පතොක් ඇට

හෙමි හෙමින්
පපු කොනක
ලියලන්න පටන්ගෙන

පෙර කල නොදැනුණා
කල හෙමි හෙමින් ගත වුණා
කටු ටිකක් උල් වුණා

පපුපොත්ත පසාරු වී
වැගිරුණත් කඳුළු නොනැවතී
ඉවසන්නේ කාලයට ඉඩ දී

විඳින්නට ලොබ නිසා
පතොක් මල් සුවඳ
නොනැවතී...

[විහඟ සමරවික්‍රම]


මංමුළා

ඇයට-ඇය-ඇයට
අන්ධකාරයේ ඇදෙන
කතානාද චිත්‍රපටියකි
ඇය..

ගෝලාකාර චින්තනයේ
ගැලවුම්කරුවන්ට
මී විතක් වුණු
කාලාන්තරයක් නිසොල්මන් ව
හේතු කාරක අහුලපු

ගිම්හාන සෘතුවේ
සැන්දෑ වරුවක
වෛර්ණයෙන් නැහැවුණු
ලී බංකුවේ කොනකට වී
ඉංගිරිසි තාලයට පා තබන
ගවුම්කාරිය දෙස
ඇස් කොනින් බලන මුත්
මා...
කේශ නාලිකා අතර
කිතිකැවෙන
අමුතු ස්වරයට
ඇහුම් කම් නොදී
රේඩියෝ තරංගයෙන් ප්‍රේම ගීත ශ්‍රවනය කරයි

"කතානාද රූප රාමු
පාට පාට හීන මවයි
පාවී පාවී හීන අතර
මාර මාර රූප ඇඳෙයි"

දිනය මතකයෙන් ගිලිහුණු ඕපපාතික හෝරාවක
රේල් පීලි දෙකක දුර
කෙටි උනේම බලන් ඉද්දි
හැංගි හැංගි දුන්නු හාදු
තිරය පුරා පෙනෙද්දි
කළුද සුදුද වෙනසක් නෑ
කතානාද රුවැත්ති...

අහේතුකව තිරගත වූ
සුහුඹුල් සමනල් කතාව
කැන්වස් මත ඇතිරිලාය
පාට සාය⁣මෙන් ඉබේම..

මතකය එපමණයි
නුඹ අද ඉඹිද්දි
අළුවෙයි මගේ හද
ගින්නෙන් පිළිස්සී,

සාගර තරංගත්
වේගෙන් ඇදෙන්නේ
ප්‍රේමය මංමුළා
හීනෙන් දකිද්දී

[කවිඳු අමරතුංග]


සුපෙම්වත මේ වසත් කාලයයි

චැපල් කුටීරය අස
අඳුරු මුල්ලක
හැඬුවෙමි - තැවුණෙමි
වසන්තයෙ වැලඳගත්
වියෝ පෙම්වතුන් සිහිව

හිරු නැගී සඳ බැස යන
හැම වාරයකම
ඉකිබිඳින කඳුළු කැට
දිය සීරා නැගි
තෙත බරිත වත මලෙහි
කළු පුස් පුසුඹ
පමණකි'ය උරුම

ලීවර හදවතෙ දුක අසා
රුධිර ඇණ පණ පොවා
කෙඳි සෛල එකිනෙක පුරුද්දා
සුසුම් නා කඹය දිග හැරෙයි

දෙ හතළිස් වසකට පසු
ස්නේහයෙ මිහිර විඳින්නට
සුපෙම්වත, පැමිණෙන්න
මෙ වසත් කාලයයි.

[අශෝක කුලතුංග]


වෙනස

නගර පුරවර එක දිනෙක
මඟ ලකුණු රැඳි එක තැනෙක
අමුත්තෙකි අද බිම බලාගෙන සිටින
දකිමි මම විසල් තුරු මුදුන
අඳුරු වන පෙත මත හිඳින

එය වෙනස් වීලාද, නැතහොත් මා වෙනස් වීලාද?
අහා! නවමු බව හරිත පැහැ තුරු අතර,
නමුදු මා කැටිව ගිය හිතමිතුරු හිත් එදින
වන ලැහැබ මැද රැඳුණ, නුහුරු වී ඇත මෙදින
කාලයත් හා සමඟ ඈත දුර ගිය ලෙසින

රළ තරඟ, මහ සයුර පෙනෙයි සුපුරුදු රුවින
දිලෙයි – බැබළෙයි හිරුද දරාගෙන සැඩ කිරණ
අහෝ! එනමුදු මෙදා, මේ මා දකින, මට පෙනෙන
හිරු එදා හිරු නොවේ පුරුදු විලසින් දිලුණ,
රළ එදා රළ නොවේ ඇවිත් වෙරළත හැපුණ.

(ඇමෙරිකානු කවියකු වූ හෙන්රි වැඩ්ස්වර්ත් ලෝන්ග්ෆෙලෝ විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

හෙන්රි වැඩ්ස්වර්ත් ලෝන්ග්ෆෙලෝ
වර්ෂ 1807 පෙබරවාරි 27 වැනිදා ඇමෙරිකාවේ මේයින් පළාතේ පෝට්ලන්ඩ් නමැති ප්‍රදේශයේදී උපත ලැබූ හෙන්රි වැඞ්ස්වර්ත් ලෝන්ග්ෆෙලෝ කාව්‍යකරණයට යොමු වූයේ ළමාවියේදීමය. වයස අවුරුදු දාහතරේදී මේයින් පළාතේ බොව්ඩොයින් විද්‍යාලයට ඇතුළු වූ වන කාලය වන විට ඔහුගේ කවි නිර්මාණ කිහිපයක්ම ප්‍රසිද්ධියට පත්ව තිබිණි. බොව්ඩොයින් සහ හාවර්ඩ්යන විශ්වවිද්‍යාලයන්හි නූතන භාෂා පිළිබඳ මහාචාර්ය ධුරයක්ද දැරූ ඔහුගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය (VOICES OF THE NIGHT) නමින් 1839 දී පළ විය. ඉන් අනතුරුව, ‘බැලඩ්ස් ඇන්ඩ් අදර් පොයම්ස් (BALLADS AND OTHER POEMS) සහ ‘පොයම්ස් ඔන් ස්ලේවරි’ (POEMS ON SLAVERY) ඇතුළු කාව්‍ය සංග්‍රහයන් රැසක් සහ නවකතා ඇතුළු තවත් කෘති ගණනාවක්ම ලියා පළ කළ ඔහු වර්ෂ 1882 මාර්තු 24 වැනිදා මැසචුසෙට්හිදී මියගියේය.

[අජිත් නිශාන්ත]

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]

[email protected]

මාතෘකා