ඔබ මියැදෙන දිනෙක

 ඡායාරූපය:

ඔබ මියැදෙන දිනෙක

 

කබා ලෝගු ඔබට තිබේ
ඒ කිසිවක් ඔබේ නොවේ
අසු කරත්ත ඔබට තිබේ
ඒ කිසිවක් ඔබේ නොවේ

මතු මියැදෙන දිනෙක ඔබේ
උරුමය අනිකෙකුට යැවේ
ගේ වතුපිටි ඔබට තිබේ
ඒ කිසිවක් ඔබේ නොවේ

වීණා බෙර සීනු තිබේ
ඒ කිසිවක් නාද නොවේ
මතු මියැදෙන දිනෙක ඔබේ
උරුමය අනිකෙකුට යැවේ

මීවිත රස බොජුන් තිබේ
වැළැපෙන්නට කරුණු නොවේ
දිවි දිගුකර ගනුව ඔබේ
විඳ වස්දඬු මිහිරි සුවේ
මතු මියැදෙන දිනෙක ඔබේ
උරුමය අනිකෙකුට යැවේ

(චීන දාර්ශනිකයකු වූ කොන්ෆියුසියස් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

කොන්ෆියුසියස්

 

ක්‍රි.පූ. 551 - 479 අතර කාල පරිච්ඡේදය තුළ චීනයේ ජීවත් වූ කොන්ෆියුසියස්තුමා ගුරුවරයකු, සංස්කාරකවරයකු, දේශපාලන සහ දාර්ශනිකයකු ලෙස පිළිගැනෙයි. පුද්ගල ජීවිතයට මෙන්ම රාජ්‍ය පාලන කටයුතුවලටද වැදගත් වන ආචාරධර්ම ගැන මෙන්ම සමාජ සබඳතා, සාධාරණ යුක්ති ධර්මය සහ අවංකභාවය යනාදී විවිධ විෂයයන් ගැනද විශේෂ අවධානයක් යොමු කළ ගැඹුරු දර්ශනයක් ඉදිරිපත් කළ එතුමා චීන සම්භාව්‍ය කෘති ගණනාවක් සංස්කරණය කළේය. චීන සම්ප්‍රදාය සහ විශ්වාසයන් හා සමපාත වන කොන්ෆියුසියානු දර්ශනය සියවස් ගණනාවක් පුරා චීන ජන ජීවිත කෙරෙහි සාධනීය බලපෑමක් ඇති කළ අතර, අදටද එය ලොව පුරා විශාල පිරිසකගේ සම්භාවනාවට පාත්‍ර වෙයි.

 

[අජිත් නිශාන්ත ]



“රෝද තුනක් උඩ“
පපුවේ තිරිංග තද කරපු කවියක් !

මහින්ද ප්‍රසාද් මස්ඉඹුල කවියා ‘ඇහි පියන් ඇහැරිලා‘ කී සේ ම ‘අවුස්සන මතකයේ ඉඩ කඩ - මනුස්සෙකි නුඹ නම් නුගේගොඩ‘ කියා මට ද සිතුණු වාර ද අපමණ ය. බොහෝ පෙම් කතාවල මතකයක් දෙකක් හෝ නුගේගොඩට නෑකම් කියයි. මගේ පරම්පරාවේ දළුලමින් වැඩෙන ‘සමුදු බස්නායක‘ තරුණයාගේ මේ කවියේ හැඩය ද එවන් ස්මරණයකැයි සිතේ.

සා පෙළට වෙනකන්
ආසාවෙන් හැමදාම
ඉස්කොලේ ආවේ මම
ඔය මූණ දැකගන්න
විහාරා,
ඔයා විභාගෙන් පාස් වෙලා
කොළඹ ආවම
ජීවිතේ දුවන්න තිබුණු
පැට්‍රල් ටිකත් වාෂ්ප වෙලා
එකපාරටම නැවතුණා මාව

ගම්බද ව විසූ පෙම්වතුන් යුවළකගේ අවිනිශ්චිත සමුගැනීමක රිදුමක් කැටිකොට කවිය මෙසේ ඇරඹේ. යොවුන් මල් කිනිත්තක ආදරේ පිණි බිඳු ඉහිරෙන අවධියකි පාසල් කාලය. විහාරා ව දකින්නට අපේක්ෂාවෙන් ඔහු හැමදාම කලියෙන් ම පාසලට පිය නගන්නේ ය. නමුත් ඒ සා/පෙළ වන තුරු පමණ ය. විභාගයෙන් සමත් වී ඇය කොළඹ ඉහළ පෙළේ පාසලකෙට නික්මීමත් සමඟ ම ඔහුගේ හදවත අඩපණ වන බව කවියා ගෙනහැර දක්වන්නේ අපූර්වත්වයෙනි.

රෝද තුනක් උඩ ජීවන බර තියාගෙන
මමත් කොළඹට ආවා
ටිකක් ලොකු හයර් බලාගෙන
අහම්බයක් තමයි විහාරා ජීවිතයම
ඒක වෙන්නැති ඔයා අත දැම්මෙ කළුවරේ
මගේ දුප්පත් ටැක්සියටම

තුන්වන පන්තියේ ජීවිතවලට හිමි වන දේශපාලනික, ආර්ථික අසාධාරණයන් මෙන් ම නූතන ප්‍රේමයේ බොහෝ තැන් ද කෙළවරවන්නේ සමාජයීය අසාධාරණයන් හි තවත් එක් කවුළුවක් විවර කරමින් ය. එවන් ප්‍රේමයක එක්තරා අඳුරු අවකාශයකි මේ. රෝද තුනක ටැක්සියකින් කොළඹ පැමිණෙන තරුණයාගේ ජීවිතය කවියා සංකේතාත්මක ව ගෙන එන්නේ එසේ ය.

'කොහේට ද නෝනා' කියලා ඇහුවම
ගොළු වුණා වගේ දැනුණා ඔයාව
හදුනගත්තද මන්දා අවුරුදු විස්සක් විතර
මුනිවත රැකපු කෙට්ටු සරීරෙ ගැඹුරු කටහඬ
'නෝනා කියන්නෙපා අපි හරි දුරයි එතකොට'
නෑ ඔයා එහෙම කිව්වෙ නෑ
ආයෙමත් මම ඇහුවෙ කලින් පැනයම

අවුරුදු විස්සක පමණ කලෙක සිට මේ පෙම්වතා විහාරාගේ ආදර මතක සමඟ කෘශ වන අතරතුර එම තරුණයා හට අහම්බයකින් තම පැරණි පෙම්වතිය හමුවෙයි. ඔහු අැය ව හඳුනාගත් නමුදු ඇයට ඔහු ගැන නිච්චියක් නැත. පෙමට පවා ඇතැම් තැන්වල දී ධනවාදය තරවටු කරන්නේ එලෙසිනි.

'ආහ්! නුගේගොඩ ට'
ජීවිතේම ට්‍රැෆික් එකක් වුණා නම්!
මට හිතුණෙ කිරුලපන කලර් ලයිට් ගාව
කොළ පාට පෙනුණෙත් මට රතු පාටට
විහාරා!
නුගේගොඩ මේ තරම් දුර ද
වැරදුණා දන්න පාරවල් සේරෝම

මේ වගේ වෙලාවක ඇත්තට ම ජීවිතේ ම ට්‍රැෆික් එකක නැවතිලා කොළ පාට නොවැටනෙවා නම් කදිම ය කියා රතු පාටින් සැනසෙන්න හදන එක අරුමයක් නොවේ. අපි හැමෝගෙ ම අතීතයේ එවන් ට්‍රැෆික්වල තක්බීරි ව සිටි වාර ඇති වග නොරහසකි. හුරු පුරුදු පාරවල් පවා වැරදුණේ එහෙයිනි.

'මම එනගමං බබා නුගේගොඩින් මාව ගන්න'
තිරිංග තද වුණා හදවට ආදරේ අරන් යන
සියුම් නහර වැල් ගොඩක
මතකය නළා හඩවද්දි හයි ලෙවල් පාරක
විහාරා,
මම නතර කළේ ඔයා බහින තැන පහු කර

ඔහු තව ම තනිකඩ ව ඒ පෙම සමඟ කල් ගෙවනමුත් ඇය වෙන හිතක් ළඟ නතර වී ඇති වග සාක්ෂාත් වන්නේ ඒ දුරකතන සංවාදයේ දී ය. එයින් හද සසල වන තරුණයා පෙර මතක හා ගැටේ. ඒ හැඟීම්වල චෝදනාවක මහත කවියා සංකල්ප රූපී ව ගෙන ඒමට සමත් වේ.

කෙටි වුණත් දිගු ගමනාන්තයක් අවසන
සුවඳ තවරා අතීතය සීරුවෙන් බැසගත් පසුව
'කීයද ගාණ?'
නිරුත්තර මුවගින් පිටවුණේ ප්‍රේමයෙ රහස
'මනුස්සයෝ කීයද ගාණ?'

ඉතා ම කෙටි වූ මේ ජීවිත ගමනේ අතර මග කෙතරම් දිග ගමනාන්තයන් ඇත් ද? ඒ අතීත සුවඳින් සියල්ල විඳ දරාගන්න තරම් නූතන ප්‍රේමය ඉවසුම් සහගතදැයි සිතේ. රුපියල්වලට ඇතැමුන්ගේ මතකයන් පවා අන්ධ වන වග කවියා වෛරී සිතුවිල්ලකින් තොරව කවිය අවසන් කරනුයේ 'ප්‍රේමය' කියන්නෙ ම 'කවියක්' වග පසක් කරවමිනි.

'රුපියල් පනහයි විහාරා'
මතකද ඒ අපි ඉස්සර කෑව
අච්චාරු උර දහයක ගාන

[දුලාජ් මධුශංක දේවපුර]


කලාපෙට එකයි
කෙකටිය වැටිද නටයි

හෙමින් කටින කපු නූලක වුවද කෙඳී
පෙමින් ඉන්න ඇති එකිනෙක එකට බැඳී
ඉතින් තල දෙකක ගැටිලා දෙකට බෙදී
අතින් නොකැපි තැන් වෙන්කර දමන ලදී

අඳුර නසාගෙන ඉර රැස් ලයිට් කණූ
දුඹුරු පසට විත් නලියන කොටයි රතූ
මැඳුරු තනන විට සිහිනෙන් අසා තතූ
සොඳුර නුඹෙ රැයට විගහින් අඳුර එනූ

අමාවක හඬයි රෑ වැඩ මුරය දිගයි
පාන්දර එකයි තනියට පාළු දැනෙයි
මටත් දුක වැඩියි නුඹ මැවි මැවී ඇඳෙයි
එහෙත් තනිව ආ මග යා යුතු ය තමයි

හදා කැඩුව වරලස යළි හදා ගෙඩී
යොදා විරිය ගෙන තුරුලෙහි තබා හිඳී
බදා කෙරෙන විට හුවමාරුවෙන් වෙඩී
නොදා ඇහැ ඉදින් නැතිනම් නුඹෙත් වදී

බිමින් වැටුණ මල් දෙස බල බලා පර
ඇවිද ඇදෙන කොට සිහිවෙයි කතා අර
වියලි කොළ ගැටෙයි පය නග නගා සර
එවිට දුක හිතෙයි එතකොට තමා බර

මැසිමක් හඬාවිත් කෙඳිරිය කඳුළු කරයි
දුසිමක් ගොඩගැසෙන තැන් ගැන ලියා තබයි
ගැස්මක් තිගැස්මක් හදවත පුරා දුවයි
හුස්මක් ගනින් නැත්තන් ජීවිතෙත් මැහෙයි

[ක්‍රිෂාන් රත්නායක]


“වැලිකඩ පිය රජුනි,
ඔබට බාරයි අපෙ අම්මා”

තණමල්විල මල් සුවඳට ලොබ බැඳ හද පෙම්මා
නුඹ ගියදා මහඋළුගෙට පොළොවෙ හැපුණ අම්මා
අඟ හිඟ සැඩ රළ වියරුව ගෙපැලට ආ වෙම්වා
වැලිකඩ පියරජුනි, විසල් දුක් වින්දයි අම්මා

එක අතකින් ළැම මිරිකා කිරිදුන්නයි අම්මා
අනෙක් අතට වීරිය ගෙන ගල් තැළුවයි අම්මා
ගල් කොරියේ හාම්පුතුගෙ ගිනි ඇස් දුටු අම්මා
හීනෙන්වත් යළි ගල්වැඩපළට නොගිය අම්මා

දරා නේක පිරිපත ළය දැඩිකර ගත් අම්මා
ගමක්, සෙයිලමක් පාසා කුලී හොයපු අම්මා
නගරසභාවේ කුණු මලු හිසෙන් ඇදපු අම්මා
රෑ බෝවී ආවේ කිම බෝසත් අපේ අම්මා

විසේ නැංග නාකිත් පිල වටකළදා අම්මා
ඉනේ රෙද්ද තදට ඇඳන් දොරගුළු ලූ අම්මා
මැදියම් රෑ කැතිමුවහත ලේ තැවරූ අම්මා
වැලිකඩ පියරජුනි ඔබට බාරයි අපෙ අම්මා

[නිශාන්ත මල්ලවආරච්චි]


කළයේ කතාව

නියගයට පෙරාතුව කුස්සියේ ඉඩ හොයන
දිය බිඳත් දන්නවා කළගෙඩියෙ අවනඩුව
නාරි අත් දෙක තුනක් ගෑවුණත් විඩින් විඩ
කට අගින් ගිය පතුර විතරමයි ඇති වෙනස

කල්‍යාණි පළමු පෙම - විවාහය සිතු ලෙසම
වසරකුත් යන්ට පෙර - වරම් ලද දරු ගැබට
විලිරුදා වූ විගස - කරත්තෙන් රෝහලට
මව් මරා බිලින්දෙක් - උපන්නා දෙනෙත් තෙම

හත් දවසේ පිංකමට වැඩට ආ සේපාලී
වැන්දඹුයි දරුවෝ නැති ඈ හරිම හැඩකාරී
මවුන් නැති පුතුන් හට වෙමි'යි මා දෙටු මෑණි
කළය මත අත් තිබ්බා මකාලා කල්‍යාණි

පන් පැදුර දිගැරෙයි බඹසරත් අවදි වෙයි
නෙත් කෙවෙනි තෙමීලා බිළිඳු හඬ නැගී එයි
කිරි සිනා අද්දරින් දෙතන් තොල් සුව විඳියි
සතුටු සිත් ගේ පුරා රාව ප්‍රතිරා නගයි

නෙල්ලි ගෙඩියේ තිත්ත උදා විය ඉක්මනින්
අනග බැල්මෙන් හිතත් වෙනස් විය ඉක්මනින්
එළිවෙන්න පෙරම දරුවන් අතැර ඉක්මනින්
සයිකලේ නැග ඉගිල ඈ ගියා ඉක්මනින්

දිය කරපු හීන ගොඩ සේදී ගේ අද්දරින්
වැටෙද්දි පියෙකුගේ ඇස් කදුළු කප්පරින්
කිරි නොදුටු ළපටි තොල් තෙමිලා නෙත් දියෙන්
වැහි දියත් අඩනවා දරණු බැරි වූ දුකින්

ටික දොහෙන් පැමිණිලා කල්‍යාණි ගේ මවුන්
කළය උකුලේ තබා දියඹ වෙත ආ සැනින්
කඩදහිය මත ලියා රැකගන්න මගේ පුතුන්
කියාලා පියතුමන් එල්ලිලා සාරියෙන්

[කවිදු එන්. අමරතුංග]


ඔබ මම

ඔබ උතුරු ධ්‍රැවය, මම දකුණ
පෘථිවි ගෝලයම අප දෙදෙනා අතර
ඒත් පෘතුවිය නිල්පාට පබළුවක් විතරයි
අපි හිතුවේ එහෙම.

ෆුජී කන්දෙන් පහළට වුණත්
නයගරා ඇල්ල අදහැලිය හැකි බව
විස්වාස කළා අප

හිමාලය උඩ ඉඳගෙන
හඳට උඩින්
නිල් තල්මසුන පීනන හැටි
බලන් හිටියා අප
පීරිසියක් වගේ හඳ ඇති දවස් වලට.

සමාන්තර රේඛා දෙකක අපි දෙන්නා
බලන් හිටියා එක්වෙන්න,
අනන්තය කිලෝ මීටර් වලින්
මැනිය හැකි බව හිතාගෙන.

පුදුමයක නෑ
නොහිතුණ එක අපට
පීළි දෙක උඩ
සමබරව ඇවිදින්න හදනකොට,
දුම්රිය මඟකට අනන්තයට කලින්
අවසානයක් ඇති බව.

[තරින්ද්‍ර ගලහේන]


මුල, අගට

නව මසින් නොව
අටළොස් මසක්
ගෙවී ගිය තැනේදිත්
ප්‍රසූත නොවුණෙන් කළලය,

තිගැස්සිණි හිත
විනාඩියකට
හැත්තෑ දෙවාරයකත් දෙගුණෙකින්...

බලා ඉඳුම් දික්වෙන කල්හි,
නවජයාගේ හැඩරුව
"හා වගේද?"
"බෑ වගේද?"
කෙළවර වෙයිද කොහෙන්,
ඩිග් ඩිග් ඩිග් ඩිග් හඬින්
විමසයි හදවත...

පොහෝ ගණනකට පසු
එක්තරා බක් මහක
අපැහැදිලි විඳීම් ගණනක
ඒ මේ අත දෝලනයෙන් අවසන,
බිහිවිය, බිළින්දා...

නොගැහෙන හදවතක් සමඟ !

"ඔයාට මං එක්ක ජීවිතයක් නෑ..."

"දේවතාවියකට
යක් විමානයක් හරියන්නෙ නෑ..."

විකාගත් තොල්පටින් ද
මිරිකෙන ඇස් වලින් ද
අඩවන් ව යන මනසින් ද
උහුලන්නට සිදු විය හැක
ප්‍රසූත වීමක වේදනාව,
උපතකට පසුව වුවද...

[රසිකා ප්‍රනාන්දු]


බත්කූරු මම

නිදිකුම්බාවකට පෙම් බැද
සෙවණ හොයනා බත්කූරා මම
ඇයි'දැයි ළං වූවාම
සෙවණ නොදෙන්නේ තාම

තටුත් නොගහ හෙමි හෙමින්
ළං වුණත් ළඟට
සුවඳ මාත්‍රයක් විඳින්න
අවසර නැද්ද මෙ'මට?

රෑ වුණාට නොයන මට
පින්න ඇයිද
සරදම් කරන්නේ
නිදිකුම්බාවකට ළංවුණ
බත්කූරාගේද වරද?

[විහග සමරවික්‍රම]

මාතෘකා