කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

බොහීමියානු හදකට පෙම් කළෙමි

බොහෝ කල් සිදුවන පෙම්වතුන්ගේ
කුළුඳුල් හමු වීම්
උයන් කෙළවර හිඳ බලා හිඳිද්දී
මට නුඹව මතකයක් ලෙස
මැවෙන්නට විය...
කවියකුගේ ජීවිතය තුළ
මම ආදරය ලබන මොහොතක
නුඹේ ආදර හෑල්ල
මගේ සවනතට රස මැවුමක් විය...
මන් ආසම නිමේෂයන් හිඳ
නුඹේ ඉවසිලිමත් භාවනාව
සැබෑවටම හද පුපුරුවන්නට
මහත් උත්සාහයක් දැරීය...
හමු වූ දවස් අඩු වුවද
දෙදවසම නුඹේ විකාර කියවීමි...
ඩන්හිල් හාදු තැවරීමි...
වට වූ කවි පොත්...
ඒ අතර සැඟවූ ෆිල්ටර්...
රොබරෝසියා ගහ යට
ඇඳි දුම් වළලු...
රහසකින් දුන් හාදු...
උකුලත සැඟවූ හිසට
ඇසුණූ බැනුම්...

ඉතින් මේ ගෙවෙන්නේ
නොමැරී මැරෙන කළු රාත්‍රීන්‍ම
නොවෙද?
නුඹ කවුදැයි මම තවත් සොයමි...
එය හැඳිනූ දින
මම ආදරය හඳුනමි..
ඉවසිලිවන්තව පෙම් කිරීම්
පුහුණු කරමි...
ආදරය පුරවන්න දුම් බැඳුණු හදවත්
මග බලන බැව්
උගනිමි...
ඉනික්බිත මොහොතක්ම
ඔහු මත්තෙ මැරි මැරී ඉපදෙමින්
නුඹේ ආදරයෙන් පිරෙමි...

[ක්‍රිෂ්ණි ජයනාත්]


හෙට්ටු කළ මල්

අප්පයි අම්මයි ගිහිං
තේ පඳුරුත් එක්ක ඔට්ටුවෙන
පාන්දර පෙරෙට්ටුවට

කූඬැල්ලොඅතින් සූරලා
තෙමී තෙමී හීතලෙන්
ඒ මල් කඩන් ඇවිත්
ශාන්තිනී පාරට ආවෙ
ඉස්කෝලෙ ගේට්ටුවටත් හොරෙන්

මහත්තුරු නෝනලා
හෙට්ටු කළේ ඒ මල්
තුට්ටු දෙකකට...
අනේ දෙවි ෂාමිනේ,
මේ කඳුළු මල් පොකුර
පාන් භාගයක්වත් නොවටීද?

ඒ මහත්තුරු නෝනලා
හෙට්ටු කළේ ජීවිත...

ඉස්ටේසම ළඟ අඬමින්
ශාන්තිනී හිටියේ කේන්තියෙන්
වෙනදා හති අරින කෝච්චියත්
ඇයි එදා ආවෙ වේලපහින්...?

හදිසියේම එන්ජිමත්
හුස්මගත්තා වරක් හයියෙන්
ශාන්තිනීට වටිනා
කාටවත් නොවටිනා
එවර්ලාස්ටික් පොකුර
වැටී තිබුණා පීලි දෙක මැද

මල් කෙල්ල ශාන්තිනීට
පුදා අවසාන බුහුමන්...

[නයනසේන වන්නිනායක]


හසුවීම

නුඹ එවූ
ආදර පිල්ලියට
මා හසුවිණ
නුඹ කළ
ආදර බන්ධනයට
මා හසුවිණ
දැන් මා නුඹේය
ආදර පිල්ලියත්
ආදර බන්ධනයත්
ඉවත් කරගන්නා තෙක්

[දිනීප මධුෂාන්]


ජීවිතය ගලා යන්නා....

අරුණෝදයේ හිරු බිළිඳු රුව
අවරහස් සායමේ සිතුවම
වැට මායිමේ හෙන්දිරික්කා පුබුදුව
ඒ සියල් වෙයි ඇයට නොදන්වා

අහම්බෙන් ඇස ගැටුණු කැඩපත
හුරුපුරුදු පෙනුමකි මළානික
නොසඟවා ජීවිතේ සරතැස
යට ගිළුණු ඇස් රහස් පවසන්නා

හිඳ ගනීදෝ නෙත් ඉවත හළ
ආලින්දය සැරසවූ පුටු පෙළ
අවදි වන්නට පෙර බිළිඳු හඬ
"ඉතිරි වැඩ ඇත" අණ කරන්නා

වෙරළු අඹ රස හීන වූ කල
පිරුණු කුස ලද පසු සැහැල්ලුව
ඔබ හොඳින්දැයි අසන විමසන
නොවී කිසිවක් ජීවිතය ගලා යන්නා.

[වින්යා ජයසේකර]

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]

[email protected]

මාතෘකා