පංති තියලා නළු නිළියෝ හදන්න අමාරුයි : අධ්‍යක්ෂ නාලක විතානගේ

 ඡායාරූපය:

පංති තියලා නළු නිළියෝ හදන්න අමාරුයි : අධ්‍යක්ෂ නාලක විතානගේ

ලාංකේය සිනමාවට තරුණ සිනමාකරුවන් සම්ප්‍රාප්තීන් සිදු වෙමින් පවතින මොහොතකි මේ. සිංහල සිනමාව කලක් තිස්සේ එක් තැනක නතර වී තියෙනවා යන චෝදනාව බැහැරකොට සිනමාවේ විවිධ වූ මානයන් සොයා යමින් සිංහල සිනමාවට නවමු අත්දැකීම් රැසක් ගෙන ඒමට එකී තරුණ සිනමාකරුවන් උත්සාහා කරන සමයකි මේ. එවන් මොහොතක තරුණ අධ්‍යක්ෂවරයකු වන නාලක විතානගේ තම සිව් වන සිනමා නිර්මාණය වන "සරුංගල්" ප්‍රදර්ශනය අරඹා ඇත. අරඹයි.ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය ලෙස නම්කොට ඇති මෙම නිර්මාණය තුළ ආදරය පිළිබඳ ගැඹුරු කතාබහකට යොමුවේ. සරුංගල් ගැන කතා කරන්නට නාලක විතානගේට අපි ආරාධනා කළෙමු.

මුලින්ම සරුංගල් ගැන කතා කරමු?

"සරුංගල්" චිත්‍රපටයෙන් ඇත්තටම කතා කෙරෙන්නෙ ගැඹුරු ආදරයක් ගැන. තරුණ අය පාසල් ජීවිතයේදි වගේම ඉන් එහාට ගියාම ආදරයේදී දෙදෙනාගෙන්ම කෙරෙන්න ඕනෙ කැප කිරීම් තියෙනවා. එක්කෙනෙක් හරි ඒ කැප කිරීම් කරන එක අතපසු කළොත්, පැහැර හැරියොත් ඒ බැඳීම පවතින්නේ නෑ. මේ තරුණ ආදරය හා බැඳුණු බොහෝ පැතිකඩයන් පිළිබඳව පුළුල් කියවීමක් ඇති කරන නිර්මාණයක් විදිහට සරුංගල් හඳුන්වන්න පුළුවන්. මෙම කතාව තුළ ජීවිතය ගැන ගැඹුරින් කතා කරන්නට මම කටයුතු කළා. මම කතා කරන මේ සංසිද්ධිය සමාජයේ අඩු වැඩි වශයෙන් දකින්නට පුළුවන්. ඒ නිසා මේක ඇත්තටම තරුණ වගේම මහලු අයට පවා රසවිඳින්න පුළුවන් විදිහේ මිනිස් සබඳතා ගැන ගැඹුරින් කතාබහ කෙරෙන නිර්මාණයක්. ඒ වගේම මේක වෙනස් ආරෙක චිත්‍රපටියක්. බොහොම සියුම්ව සියලු දෙනාම මෙම චිත්‍රපටය තුළ ජීවත් කරවන්නට මට අවශ්‍ය වුණා. මම හිතනවා ඒ කටයුත්ත සාර්ථකයි කියල. මෙම නිර්මාණය පවුලේ ප්‍රේක්ෂකාගාරය වෙනුවෙන් විවෘතයි.

මෙම චිත්‍රපටය ගලා යන්නෙ චරිත හතරක් හරහා නේද?

ඔව්. ඔවුන් හතරදෙනා සමාජයේ විවිධ චරිත නිරූපණය කිරීමට මා යොදාගත්තා. මේ පවුල් කුටුම්භවල තිබෙන ගැටලුව තමා මම නිර්මාණශීලි විදියට ඉදිරිපත් කරන්නෙ. එය ඉතා අලංකාරව කරන්න ඕන නිසා තමයි මම චරිත හතරක් යොදාගත්තෙ.කුමන ගැටලු කතා කරත් මේක ලස්සන ආදර කතාවක්.ඒ නිසා චිත්‍රපටය තුළ හොඳ ගීත කිහිපයක් තියෙනවා, අවස්ථාවන් උද්දීපනය කෙරෙන විදිහට. රංග දසනායක තමයි මේ චිත්‍රපටයේ සංගීතයෙන් දායක වෙන්නෙ. උමාරියා සහ භාචි වැනි දක්ෂ නිර්මාණශිල්පීන් මෙහි ගීත ගායනයෙන් එකතු වෙනවා. මෙම ගීත සමාජ ජාලාවල ඉතා ඉහළ ප්‍රතිචාර ලබා තිබෙනවා. ඒ වගේම අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනෙ සරුංගල් නිෂ්පාදනය කරන තරංග අතුරලිය සහ ඒ. පාරිස්ටර්ගේ දැවැන්ත කැපවීම.

සරුංගල් අපේ ප්‍රේක්ෂකාගාරය උණුසුමින් වැළඳ ගනී කියල ඔබ හිතනවද?

අපේ රටේ කුමන චිත්‍රපටය ආවත් වැලනොකැඩී එන සංස්කෘතියක් අද නෑ. මොකද අද විනෝද වෙන්න පුළුවන් මාධ්‍ය ගණන බොහොමයි. නමුත් චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයා එය මඟ නොහැර පුරුද්දක් විදියට කරගෙන යනවා. මම හිතනවා වට්ටෝරු කතා ආකෘතියට සරුංගල් හොඳ වෙනසක් කියල. ඒ වෙනස ප්‍රේක්ශකාගාරය පිළිගනීවි කියල විශ්වාසයක් මට සහ මගේ කණ්ඩායමට තිබෙනවා.

මේ කණ්ඩායම ඔබට දැක්වූ සහය මොනවගේද?

ඇත්තටම මේ නිර්මාණය වෙනුවෙන් දායකවූ සියලු දෙනාට මම මේ මොහොතේ ස්තූතිවන්ත විය යුතුයි. සරුංගල් අලංකාර කරගන්න හැකි වුණේ මේ නිර්මාණය වෙනුවෙන් කැපවූ පිරිස නිසාමයි. චමත්කා ලක්මිණිගේ පළමු චිත්‍රපට රංගනය වෙනුවෙන් ඇය සාධාරණයක් ඉටුකළා. නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළ නමක් දිනා සිටින ඇය සරුංගල් හරහා සිනමාවට ප්‍රවේශය ලබාගන්නවා. මම හිතනවා ඈ ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්නට හැකි දක්ෂ රංගන ශිල්පිනියක් කියල. ඒ වගේම චරිත් අබේසිංහ ඔහු ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට නුහුරු චරිතයක් නොවෙයි. සාරංග සහ ශාලිකා මේ නිර්මාණය වෙනුවෙන් උපරිම දායකත්වය ලබාදුන්නා. හැමදෙනාගෙම කැපවීම තමයි මේ තිරය මත ඔබට හමුවන්නේ.

සරුංගල්වලට පස්සෙ මොකද වෙන්නෙ?

සරුංගල්වලට පසුව මම අධ්‍යක්ෂණයෙන් දායක වූණු ''ඊතලය'' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. එහි සියලු කටයුතු මේ වනවිට හමාරයි. සරුංගල් සහ ඊතලය අන්ත දෙකක කතා දෙකක්. ඊතලය ක්‍රියාදාම චිත්‍රපටයක්. කැලුම් ආර්යන් කුලරත්න තමයි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ. ලබන වසරේ එය ප්‍රේක්ෂකයා හමුවේවි. ඒ වගේම ජාත්‍යන්තර සමාගමක් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා අලුත් චිත්‍රපටයක් වෙනුවෙන්. එය ශ්‍රී ලංකාව, ඉතාලිය සහ සිංගප්පූරුව සම්බන්ධ කතාවක්. මම සහ මිතුරන් පිරිසක් එක්ව "හෙලෝ" නමින් වෙනස්ම චිත්‍රපටයක් නිර්මාණය කරන්නට මේ දිනවල සැලසුම් කරනවා. එය ලබන වසරේ මැද රූගත කිරීම් ඇරඹීමට තමයි හිතාගෙන ඉන්නෙ.

ඔබ වේදිකාව පරිහරණයෙන් ක්ෂේත්‍රයට පිවිසි වේදිකාවේ පුරුකක්. වේදිකා නාට්‍යක් කරන්න අදහසක් නැද්ද ?

මගේ තාත්තා බන්දුල විතානගේ මහතා වේදිකාවට දායාද කළ නිර්මාණ බොහොමයි. ඒ අතරින් තෝරාගත් "බෙකට්", "වැනීසියේ වෙළෙන්දා", "හිරු දහසක්", "රෝමය ගිනි ගනී", "ඒ සොඳුරු මිනිසා" , "සෙනෙහෙබර ලොලී" කියන නාට්‍ය නැවත නිෂ්පාදනය කරලා, ප්‍රේක්ෂකයා ඉදිරියට අරන් එන්න මම සූදානමෙන් ඉන්නවා. ඉතිං ඔය නාට්‍ය ඔක්කොම එක පාර කරන්නත් බෑ. මුලින්ම එකක් හෝ දෙකක් තෝරගෙන, කලාවට සම්බන්ධ නවකයින් එක්ක එකතු වෙලා මේ කටයුත්ත කරන්නයි හිතාගෙන ඉන්නෙ. මේකෙදි ඇත්තටම නවකයින් විතරක් නෙවෙයි, තාත්තගේ නාට්‍යවලට සම්බන්ධ වුණු ප්‍රවීණ නළු නිළියන්වත් නැවත දායක කරගන්නවා. ඒ වුණත් මේ වැඩේ නවකයින්ට හොඳ අවස්ථාවක් වෙයි. මොකද කියනවා නම් මේ කටයුත්තත් එක්ක එකතු වෙන්න කැමති නවකයින්ව නිකම්ම නෙවෙයි සම්බන්ධ කරගන්නේ. ඒ අයව එකතු කරගෙන ඒ අයට වෙනම සම්මන්ත්‍රණ සහ වැඩමුළු පවත්වනවා. හොඳ දැනුමක් හා පුහුණුවක් මුලින් ලබා දීලා තමයි ඒ අයව මේ වැඩේට එකතු කරගන්නෙ. ඒ සියල්ල කෙරෙන්නෙ නොමිලේ. ඒ අයගෙන් වැඩමුළුවලට අය කරන්නේ නෑ. අවශ්‍ය වෙන්නෙ වැඩේ ඇතුළේ දක්ෂයන් පිරිසක් බිහිකිරීමයි.

ඔබ රංගන පාසලක් අරඹන්නද සූදානම?

නැහැ. මට රංගන පාසලක් ආරම්භ කිරීමට අවශ්‍ය නැහැ. මට අවශ්‍ය මේ ක්ෂේත්‍රයේ ඉදිරිය දකින කැපවන පිරිසක් තැනීමටයි. අද හන්දියක් හන්දියක් ගානේ රංගන පංති තියෙනවා. කෝ ඒවයින් හැදුණු රංගන ශිල්පියෝ ශිල්පිණියෝ? මට අවශ්‍ය නිර්මාණය සඳහා දක්ෂයන් බිහිකළ ඒ අය අපේ ක්ෂේත්‍රයට එක් කිරීම පමණයි. ඒ නිසාම මගේ නිර්මාණ වෙනුවෙන් දායකවන සැමට නොමිලේ වැඩමුළු පැවැත්වීමට මම කටයුතු කරනවා. පංති තියල නළු නිළියො හදන්න අමාරුයි. ඒකට අවශ්‍ය ප්‍රායෝගික පුහුණුව.

ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ඔබ නමක් හදාගත් කෙනෙක්. වත්මන් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය ගැන ඔබේ අදහස කුමක්ද ?

අද රූපවාහිනිය දිහා බලං ඉන්නකොට ටෙලිනාට්‍ය තියෙනවද කියලත් හිතෙනවා. නාළිකා තුනක් ගත්තොත් ඒ තුනේම යන්නෙ එකම වට්ටෝරුවක කතා. නාට්‍ය තුන දවස් තුනක් බැලුවොත් කතාවක් හදාගන්න පුළුවන්. මෙහෙම තත්ත්වයක් යටතේ ඉන්දියන් හෑලිත් විකාශය වෙනවා. අද සකල කලාවම අච්චාරුවක් වෙලා තියෙන්නෙ. ටෙලිනාට්‍ය කියල වෙනසක් නෑ. අලුත් ටෙලිනාට්‍ය දෙකකට අතගහන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම නාළිකා දෙකක් සමඟ ටෙලිචිත්‍රපට කිහිපයක් නිර්මාණය කරන්නට අතගැහුවා. මේ කටයුතු සියල්ල අතරේ වෙළඳ දැන්වීම් නිර්මාණය සඳහාත් යොමුවෙනවා. කැට්ස් ඇඩ්ස් ආයතනය සමඟ එක්ව තෝරාගත් ගීත කිහිපයක් රූපයට නැඟීමටත් මේ දිනවල වෙහෙසෙනවා.

[චතුර බණ්ඩාර]

මාතෘකා