කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

නගේ ඇහැරියන් මේ සිහිනයක් නොවේ

සඳේ තනියට නෙවෙයි තරු එළි ඒ වටා හැඩ රටා මැව්වේ
නගේ කළුවර වැඩි නිසාමයි කදෝකිමියන් එළිය හෙව්වේ
ඉබේ මතුවෙන නිහැඬියාවන් පසුව ගොදුරක් වෙතයි දිව්වේ
අනේ නුඹ අතරමං වෙන්නට කලියෙනුයි මං එහෙම කිව්වේ

නගේ කර්කශ පොළොව මත්තෙහි සිහින සේරම මිය ගිහිල්ලා
ඉතින් ඇයි නුඹ තාම හඬමින් මගහැරුණු සිහිනයක් ඉල්ලා
ගෙවූ සුන්දර කතා සේරම රැගෙන යන්නට නොදී අල්ලා
හිතේ අස්සක හංගගන්නයි තිබුණෙ වෙන කිසිවෙක් නොඉල්ලා

නගේ මේ රළු අහස අස්සෙහි නුඹ වගේ තව හුඟක් දිව්වා
නුඹේ තනියට උන්න වාගේ හුඟක් උන් ඒ පස්සෙ දිව්වා
නුඹ වගේ නිදහසක් වෙනුවෙන් උනුත් එක එක කතා කිව්වා
හිතේ හයියට දරන් උන්නත් බලෙන් දුක් කන්දරා ගෙව්වා

නගේ පෙම්බර කතා අස්සෙත් සර්ප ඇස් මොනවදෝ හොයනව
හෙමින්සීරුව මාන අල්ලල අමාරු ම තැනක දී පනිනව
අහිංසකකම් බොළඳ ළාමක කතා උන් හොඳටෝ ම දන්නව
නුඹත් නොදනී නුඹට නොදැනී අයෙක් පව් නුඹෙ පිටින් යවනව

ඔහේ මැලැවෙමින් ඇති මල් පොකුරු ලොවේ
පිපුණ තැන වරද මිස කටු නැතුව නොවේ
කොහේ දුර ගිය ද මේ වග දත යුතු වේ
නගේ ඇහැරියන් මේ සිහිනයක් නොවේ

 

[ක්‍රිෂාන්ත රත්නායක]


කුණාටුව

 

අහේතුක බිඳවැටීම් ඇත
කුණාටුවක්ව හදිසියේ මතුවන
ඉර පායා තිබු හිස් මුදුනට
වලාකුළු අවේ කොහෙන්ද
රතු අරලිය මල් වලට පිනි ඉහින
මගේ පෙම්බර වැස්ස
කුණාටුවක් වූ හේතුව
සඳලු තලයෙන් පැන
වීදියේ මිනිස් ගඟ අතර
නොපෙනී ගොසින්ය

කොපි සහ හුදකලා සිතුවිලිවල
සුවඳ ඇත කුටිය තුළ
අඬු කෝප්ප දාරයේ තොල් සලකුණු
මකා දැමිය නොහැකිය
ඒ සලකුණු ඇත්තේ
එතැන නොවන විට
දුවිලි අංශු ගැටෙන හඬ පවා
යෝධ සයුරු රළ වී
සූරයි නැව් බඳ

වතුර මල යට සුසුමක් දෙකක් ඉතිරිකර
කුණාටුව පහවනතුරු
කුඹ ගස බදා බලා සිටිය යුතුය.

 

[තරින්ද්‍ර ගලහේන]


කියාගන්නට බැරි වූ වදනක්

පත් හැළෙයි මුදු හඬින් සිලි සිලී
සිත් තමයි මුදු මතක සිතුවිලි
නෙත් තෙමයි අත් හැරුණු කඳුළැලි
අත් බැඳන් එයි මතක සෙවණැලි

සුදෝ සුදු වන් වතින් සැරසුණ
මුහුණු දහසකි සිතේ නලියන
කොතැන කොයි ලෙසක සිටිනවද දැන්
අසන පැනයකි මහද නිතරම

පිපෙද්දී ඉර මලත් එක්කම
සිප් හලේ ලොකු මිදුල් අමදින
සුදු සිනා මල් මැවේ නිබඳව
මතක මං පෙත සැරිසරන විට

මැවුණ සැරසිලි වේදිකා මත
කිරුළු පැළඳූ දූ පුතුනි අද
වේදිකාවෙන් බැස සෙමින් නුඹ
ජීවිතේ කිරුළක් සොයනවද

පෙළපොත්ද ගුරු අත්පොත්ද නෙක
විෂයමාලා දහසකුත් ගෙන
කියා දුන්නත් කියාගන්නට
බැරිවු වදනක් හිතේ හිර විය

සිප් හලේ දොරටුවට පිටු පා
සමු අරන් ආ ගුරුතුමිය මම
ආදරේ බව ගොඩක් නුඹලට
කියාගන්නට මතක නැති විය

 

[චින්තා නන්දනී තෙන්නකෝන්]


මාරුතයක මතක

මල් මල් සිනාවෙන් දෙවැටට ඔබ එද්දී
කල් යල් බලමි පසු පියවර මනිද්දී
පිල් මුල්වල ඉඳන් අප ගැන විමසද්දී
විල් හෙල් කැලඹුණා මඳහස නගද්දී

ගලනා දියෙහි බැස දියබුන් ගැසුවාම
සිසිලෙන් කිතිකැවී හිරිමල් පිපුණාම
පුන්සඳ රැසින් ගත ගිනි ගෙන දැවුණාම
වියතක දුරින් හිඳසැනසෙන්නේ කෝම

ගං දිය පොකුණු දියවල නැති ආදරය
කරදිය සමග මුසුකොට හැමු මාරුතය
හැගුමන් සළු අඳින සසරෙහි මීවිතය
කිරලුන් කෑ ගසන වෙල්දෙනි මූසලය

සැප දෙන බුමුතුරුණු පරඬැල් වූවාම
කැප නැති බොජුන් කුසයට රළු වූවාම
ඇම කන මසුන් සයුරේ හිග වූවාම
බැම බිඳ එන්න පෙරසිත් මතු වූවාම

 

[සීවලී අත්තනායක]


සාපය

ඔබේ දෙනෙත
සිහි වන විට
කඳුළු පිරෙයි
මා දෙනෙතට
කණාමැදිරි හිමිදිරියට
සරති ඔබේ වරලස වට

දවස් ගෙවෙයි ඔය විදිහට
රැයත් ගෙවෙයි ඔය විදිහට
එහෙත් කිසිම කිසි විලසට
මගෙ ඔදතෙද බලකොටුවට
නපුරක් වී නැත එහෙමට

මගේ කවුළු දොර කිසි විට
ඇද වැටුණේ නැත පහළට
මෙය වෙන්නැති සමහර විට
නපුරුම සාපය මිහිපිට
පව්කාරකමක් ලැබ තිබුණට
නොහැකිය මට පව් කරනට

 

(සමකාලීන මරාති කවියකු වන වින්දා කරන්දිකාර් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි)

වින්දා කරන්දිකාර්

මරාති සාහිත්‍යයේ ප්‍රමුඛ පෙළේ කවියකු වූ ගෝවින්ද් විනයාක් කරන්දිකාර් වඩාත් ප්‍රකටව සිටියේ වින්දා කරන්දිකාර් යන නමිනි. වර්ෂ 1918දී මහාරාෂ්ට්‍රයේ කොන්කාන් වෙරළ අසබඩ කුඩා ගම්මානයක උපත ලැබූ ඔහු කොල්හාපූර් ප්‍රාන්තයේ පාසල් සහ උසස් අධ්‍යාපන ආයතන වෙතින් අධ්‍යාපනය ලබා බොම්බේ විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියක්ද ලබාගත්තේය. ඉන් පසුව ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළ ඔහු ෆුල්බ්‍රයිට් සම්මානයකින් පිදුම් ලබා ඇමෙරිකා එක්සත් රාජ්‍යයට ගියේය. එහිදී වසර දෙකක් චිකාගෝ විශ්වවිද්‍යාලයේ කාලය ගත කළ ඔහු මරාති බසින් ලියූ සිය කාව්‍ය නිර්මාණ රැසක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කෙළේය. ඉංග්‍රීසි බසින් පළව තිබූ සම්භාව්‍ය කෘති ගණනාවක් මරාති බසටද පරිවර්තනය කළ ඔහු සාහිත්‍ය විචාරකයකු ලෙසද කටයුතු කෙළේය.

 

[අජිත් නිශාන්ත]


එමාගේ පාපොච්චාරණය....

පියමැන්නෙමි....බොහෝ දුර
මායාවේ ලෝගුවෙන් කය වසා
ප්‍රේමයේ දුහුල් වේල් පටින් නෙතු වසා
සැරිසැරුවෙමි....අසීමාන්තිකව
සිහින පලසක නැගී
සීමා පවුරු ඇති ලොවක
අහා....!
නොසිතුවෙමි....
පලසින් බිමට බට යුතු බවක්
ලෝගුව උනා දැමිය යුතු බවක්
දුහුල් සළු ඉරී වියැකෙන බවක්
දෛවයේ අවසන....
දුහුල් සළු වියැකී නෙතු විවර වූ විට
පසක් කරගතිමි....
ජීවිතේ තිත්තවී ඇති බැව්
වඩා වැඩියෙන් මී පාසානම්වලට
අහෝ...!
දෙවියන්වහන්සේ මට කමා කරන සේක්වා !

සිහින ආශා ලුහුබැඳ
ගිල්වා දැමුවෙමි .....
මා විසින් මාගේ ආත්මය
වේදනාවේ අදුරු අගාධයට..

[අනුත්තරා කොඩිකාර]


බේරුවල අහසේ පෑයූ නිමල සිනා සඳ

අන්සාර්ගෙ හන්දියෙන් බැහැලා
සිවාගෙ සයිවර් කඩේ ළඟට එන්න
මං බයික් එකෙන් එක්කං යන්න
මුස්ලිම් පාර තමයි
කවියාගේ රජදහන

පෝයට සිල් අරගෙන
තලබනුවෙන් ප්‍රතිචාර නැති
නවගුණ වැල ගැන ගැන
කවියක් ගැන හිතනු ඇති

සුරා මේරේ ගාණට ගෙන
කවි ලියනා සකිය නුඹ
සුන්දර කුටියේ තවමත් ඉඩ තියේද
ඉඳහිට ආ දවසක අපටත්
දොර ඇරදී හිනැහෙනවා නොවේද

මදුවිත ළඟ කතා සරිත් සාගරයයි
කතාව ළඟ හිනා කැකුළු ආකරයයි
හද පොළොවේ මිනිසත්කම වැව උතුරයි
ඒ වතුරේ ආදරයේ මල් පිබිදෙයි

 

[ජයන්ත ග. ජෝතියරත්න]


දුෂ්කරම තැන්වල උණ පඳුරු කදිමයි

තෙරපෙන දුක් කතා අතරේ
සඟවනා සිත් දවන රහසේ
හඩවනා නෙත් නිතර දියතේ
වැනසෙනා තැන් නිමක් නොම වේ

කාලයත් දුර වේගයෙන් මැන
සමීකරණය නොපිට හරවා
දිනාගත් මේ දිවිය ලෝකෙට
හැකිද අතහැර ගන්න මෙලෙසා

මලක් වුව ලෝකෙට පිපෙන්නේ
හිරුත් දිය වාතය උරාගෙන
නුඹත් මෙලොවක හුස්ම ගන්නේ
සහෝදර මල් පෙම උරාගෙන

මහා තද සුළි සුළං අභිමුව
නවා මොහොතක් සිරස උන්ගේ
සහෝදර උණ පදුරු පීඩිත
දරාගෙන දිවි ගෙවති පෙරසේ

 

[දිල්මිණී හසින්තා]

මාතෘකා