කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ඇවිලෙයි තණ සුළක් හදෙක

විලිස්සමින් මුවහත් දැති
ඇඹරී යන විටෙක දිවිය
සන්සුන් වූ එක මොහොතක
ඇවිලෙයි තණ සුළක් හදෙක

ඉදිරි පෙළක අකුරු කරන
දුබල නෙතක් හිමි දරුවෙකු
ඌගේ හඩු කමට දිනෙක
නෙරපාලයි පසු පස්සට
හමා මතක පවන් නිබඳ
ඇවිලෙයි තණ සුළක් හදෙක

පැටලී දබරයක ළමයි
හැඩි දැඩි පහරින් පෙරළා
පියෙකු අහිමි දරුවා හට
ගරහති හිනැහෙති වටකර
දැඩි වෙයි මතකයේ සුළඟ
ඇවිලෙයි සහළඟුරු සිතෙක

හද බැඳි ඒ සුමිතුරු කැල
දැනගෙන පෙළපත වත ගොත
කළ වෙනසින් වෙමින් සසල
උගනිමි ලෝ තතු පිරිසිඳ
හද දැවෙමින් නැගෙන ගින්න
නිවනු කෙලෙස මෙත් සිසිලෙන

වරදක් කළ කලක් විලස
විමසා කිම "තනිකඩ ව ම"
නගන සිනා බොල් හඬ මැද
පා කෙරේය දිය ගැඹරට

අවුලන හද මන නිබඳව
මතකයේ රුදු පවන් වැළඳ
සරයි විටින් විට නොනැවත

[පාලිත අරවින්ද වීරක්කොඩි]


පරීඩා මේ යතුර දීපන්

නොරටකට හඳ පායලා තිබුණේ
දුකක් කියලා දෙයක් නෑ දැනුණේ
සැර නිවාගෙන ඉරයි තරු මත
සඳ කැලුම් හෙළුවේ
සමා යදිනා බැල්මටයි
අහිංසක මඳහාසෙටයි
නුරා මුසු යාදින්නටයි
වසඟ වෙනකොට දාහතයි

ඒ කාලෙ මං දාන් උන්නේ
රෝස පෑ කණ්ණාඩියක්
දැනුණෙ ඇයි මොනවටද ඉර හඳ
එයා මට මුලු ලෝකයක්

අප්ප වගෙ ඔය ලොක්ක මොකටද
කොල්ලො නැතුවද හරකියේ
කෙල්ලො කීවට නෑනෙ මට ඇහුණේ

කවුද ඔය රෑ දවාලේ
කතා කරනා කුමාරී
බැරිම තැනදියි හොයන්නට හිතුණේ

මටත් වැඩි වයසක පුතෙක්
ලොකු මහත් වුණු දෝණියෙක්
තවම කිරි බොන පොඩි එකෙක්
බඩට දැන් හත් මාසයක්

කල්පෙකට පසු යළිත් හඳ පායා
තුරුලු කරගෙන කිරි පුසුඹ යමි
පරීඩා යළි එයා ආවම මේ යතුර දීපන්
ආයෙ එන්නෑ කියාපන්

[චම්පිකා විජේසිංහ]
(ගාල්ල සංහිඳ පර්ෂදය මෙහෙයවූ දීප ව්‍යාප්ත නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහී නිර්මාණයකි.)



විතය

හිනා මේකප් මූණු
දෙපැත්තෙම කුණු කානු
අඬයි මංගල සීනු
දැං ඉතිං රඟපානු

තුන් වේල වේලෙයි
ඒත් බඩු ලාබයි
සල්ලි මනමාලයි
පඩිපතම හූරයි

අවුරුදු පහයි ණය
හෙට දවස පොලියටය
බාර්, පන්සල්, කඩය
කියාදෙයි ජීවිතය

[තැන්නේ ඥානානන්ද හිමි]


ඇස්

එබි එබී මුහුණෙන් මුහුණ
හුරුපුරුදුකම් සොයන
මගේ බැල්මත්
රැලෙන් වෙන්වුණු සුළං රැල්ලකි
අවසන පැටලැවී නතර වූ
දුක හිතෙන ඔබේ ඇස් ළඟ

ග්‍රීක ප්‍රතිමාවක වැනි
දුක හිතෙන ඔබේ ඇස්,
ඒ සිත්තරා
සිත්තම් කළ යුතුව තිබුණේ ඔබ
මොනාලිසා නොව

ගිනියම් ඉරට සිසිල් දිය හෙළන
එක බැල්මක්
හද සන්තානයේ උතුරවයි දිය කඳුරු
කොළොම්පුර ප්ලාස්ටික් ගස් අතර
කොයින්ද මේ තේ දලු සුවඳ මීදුම?
හඳ ළඟ ආවාට නොව
තවමත් හිඳී සා පැටවුන්
උකුලේ හොවා නළවන.
ඒ දුක හිතෙන ඇස්
මතක් කරවයි අහිමි වූ යමක්

දියව යන දහසක් හමුවීම් වෙන්වීම් අතර
පතුලේ ඉතිරි වූ නොදිය වුණු අවශේෂ
මතුකරයි කලඹවා
නොගඹුරුයි සිතූ මතක දිය
නමක් නැති ඔබේ ඇස්වල
නිහඬ දුක් ගීය

වලාකුළු පාවෙන
විදුරු කුලුනු යට
අඩි ලකුණු ඇහිඳීම නතර කර
නිසොල්මන් වෙමි මොහොතකට

අහා! මට දැන් මතකය
ශත වර්ෂ ගණනක්
දැක පුරුදු ඒ ඇස් දෙක

[තරින්ද්‍ර ගලහේන]


මගේ නිවන...

මේ කොණ
බෙල්ලන්විල පෙරහැර ය
ඒ කොණ
කතරගම මහා පෙරහැර ය
ඒ සැණින් රට
නළල් තැල්ලේ
පිච්චමල් පූජාව ය
දැං හරි මැදට වන්නට
දළදා පෙරහැර ය
ශේෂ ඕනෑම දවසක
සැක නොකළ යුතු
ජංගම ධාතු සැණකෙළි ය ...

ගෙදර ඇත්තෝ
උපුටාගත් මහත් වූ ශ්‍රද්්ධාවෙන්
ගමනේම ය.
රෙදි වැලේ පිරුවටම ය.
ගස ගසා නවන
නව නවා ගසන
විවාපත් ඉටිකොළ යාරය
හා පන් මල්ල ය..

කලාතුරකින් මා,
දුටු ඇසිල්ලේ
පවට පින දෙන්න බැරියැයි
මං වෙනුවෙන් හැකිලෙන
ඇගේ මෛත්‍රිය වඩන
සිතය...

මේ අතර,
නිදහසේ හුස්මකට ඉඩදී
දින සති ගණන්
නිසසලව යන නිවසටම වී
නිවන් සැප විඳින
මම ය...

[රසිකා ප්‍රනාන්දු]


සුවඳ

අළු වළා යට සැඟව සඳ මඩල එක් වැහි දාක
දං කැලේ උල ලේනි විලාපෙන් වැනසුව රෑක
වෙන හදෙහි තත් බිඳ ස්වර සුසුම් අහිමිව ගිය
සඳ ඉරා තරු කුමරි දිලිසුණා කළු පියැස් කුස

සිනිඳු පෙති හැඩවන්න දා බිංදු නෙක වගුරලා
කැකුළු මල පුබුදන්න හදේ බෝ ගිනි කුස දරා
පාලු පිල්කඩ ළඟම තනි පැඳුර උඩ නිදි කිරා
පිපුණු මල රැකගන්න මුචලින්ද වී පෙණ ගසා

බාල කරමාල බැඳි බඹර කැල හිඳ මත් වෙලා
රේණු තුඩු තළා යයි මලවිසර විද රවටලා
අකුරු මල් මාවතට පෙනෙන පෙම් දොරගුළු වසා
ජීවිතේ කඩුලු අස විකසිතව තුටු පෙති සලා

උදුළ තරු මිණ නුඹයි තිමිර සිත් කුස පායනා
මිලින සඳ මට පෙනෙයි නයන තුළ ඔබෙ දිවිදෙනා
රුව ගුණය නැණ භරණ හැඩව ගෙල වට සරසවා
සුදු නෙළුම ඔබ වන්න සුවඳ දසතම විහිදුවා

[අශෝක කුලතුංග]


කවියා සහ නොනිමි කව

නිදි කිරයි කවියෙක්, ලියූ කව නිම නොකර
අවුල් වූ කෙහෙ රැළිද ඇත කඩදාසි මත විසිර
උණුසුමක් සොයන සේ මියුරු කවි පද අතර
දුක හිතෙන වෙහෙසකින් වක ගැසී ඇත සිරුර
තද නින්දේය, කවියා නොදරුවෙකු සේ වැතිර

බිත්ති මත පහන් රැය පුරා දිලෙයි
කවුළු පියන් මත මල් පෙති හැළෙයි
පුංචි හිම කැට විලස ඒවා පෙනෙයි
කවි වදන් හැරී කවියා දෙස බලයි
තිත් ඉරිවලට පවා ඉවසුම් නැතිවා වගෙයි
කියන්නට කිසිවක් ඔවුන්ටත් ඇති බව හැඟෙයි

අන් සියලු සැම දේ තිබියදෙන් එලෙසම
ඒ සියලු දේ මෙතෙක් කල් තිබුණු විලසම
නොපෙනී ගියාදෙන් මිනිසා රැයේ තනියම
සමාජය සහ විසල් ලෝකය පිණිසම
ඉතිරි කර වෙසෙස් මඟ හසර, මිහිදම

කවියෙක් පමණක් සිටියි අසතුටින්
ලියූ කව නිම නොකර නිසි ලෙසින්
හිස හොවා නිහඬවම තුති දෙමින්
ඔහු පොතේ පෙරළුණු පිටු ළඟින්
නිදයි කවියා දුකම තැවරී ඇති වතින්
ඇඳෙයි ළතැවුල නළලතින් සහ තොල් මතින්

(සමකාලීන බෙංගාලි කවියකු වන සුනිල් ගංගෝපාධ්‍යායි විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි.)

සුනිල් ගංගෝපාධ්‍යායි


බෙංගාලි කවියකු සහ නවකතාකරුවකු ලෙස පරම්පරා කිහිපයකම රසික විචාරක සම්භාවනාවට පාත්‍ර වූ සුනිල් ගංගෝපාධ්‍යායි 1934 සැප්තැම්බර් 07 වැනිදා බංග්ලාදේශයේ ෆරිද්පූර් ප්‍රදේශයේදී උපත ලැබීය. කොල්කටාවේ සුරේන්ද්‍රනාත් විද්‍යාලය, ඩුම්ඩුම් මොටිජ්හීල් විද්‍යාලය සහ සිටි කොලීජිය යන පාසල්වලින් අධ්‍යාපනය ලැබූ ඔහු බෙංගාලි විෂයය සඳහා කල්කටා විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියක් හිමි කර ගත්තේය. වර්ෂ 1953 දී 'ක්‍රිටිබස්’නමින්කාව්‍ය සඟරාවක් සංස්කරණය කළ ඔහු කාව්‍ය සංග්‍රහයන් සහ නවකතා ඇතුළු කෘති විශාල ප්‍රමාණයක් ලියා පළ කළේය. ඉන්දියාවේ ඉහළම සාහිත්‍ය සම්මානයක් වන සාහිත්‍ය ඇකඩමි සම්මානයෙන්ද පිදුම් ලැබූ ඔහු 2012 ඔක්තෝබර් 23 වැනිදා මියගියේය.

[අජිත් නිශාන්ත]


රංජිත් මල්ලියාවඩුගේ
‘සහෝදර මුහුණුවර’
කාව්‍ය කෘතිය 29 දා එළි දකී

රංජිත් මල්ලියාවඩුගේ ‘සහෝදර මුහුණුවර’ කාව්‍ය කෘතිය මෙම අගෝස්තු 29 වෙනිදා සවස 3.00ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළිදකී. එහිදී මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර, බණ්ඩාර ඇහැලියගොඩ, තිඹිරියාගම බණ්ඩාර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල, නන්දන වීරසිංහ ආදීන් විසින් දෙසුම් පැවැත්වීමට නියමිතය. මෙම කෘතිය ග්‍රෆිකෙයා ප්‍රකාශනයකි.


මෙහෙ වැව්...

ඉස්මත්ත උඩ හිස් ගොඩ
කොළඹ මහියංගනය තිස්මඩ
පින්වතුනි සපැමිණිය ගොඩමඩ
හුඟක් අය කන්තෝරුවේ වැඩ

ඓතිහාසික බරගණන්වල
පේන තෙක් මානයක කෙත්වල
පුරන් වුණ ඉඩමක් දෙකක් ඇර
හුඟක් අය කෙරුවේ ගොවිතැන

කන්නලව්වට දෙයියන්ට හිතිලද
ඉහත්තාවට වස්සන්න හදනකොට
ගෙවල් යට වෙන අදෝනා වෙනුවට
දූවිල්ලෙන් මූසලයි මුඩු බිම

ඓතිහාසික බරගණන්වල
තිබ්බ වැව් වල ශේෂ නටබුන්
වැහී වල් බිහි වී තිබෙයි තැන තැන
නමුත් එහෙමමයි අභිමානය

ඓතිහාසික බරගණන්වල
කතා ඇත ඉතිහාස පොත්වල
පින්වතුන් සපැමිණිය දුර සිට
හුඟක් අය නොදන්නවා ඇත

[ක්‍රිෂාන්ත රත්නායක]


එක කතාවක්

මටත් තියෙනවා කියන්න කතාවක්
නුඹ නොදත් කතාවක්
නුඹ නොදුටු කතාවක්
බඩගින්නේ නිදාගත් දවසක
සුරංගනාවොත් හීනෙන් නාපු
කළුවරම රෑක දැකි
හීන මට මිමිණූ
කතාවක්...

තාත්තෙක් නැති මට
අම්මා නොකියු කතාවක්
තරුත් නැති දවසක
සඳත් නොකියූ කතාවක්
ගලන ගංගාවක හැඬුම් හඬ
රහසෙ මට කියු
කතාවක්...

අහිමිකම් දෝතක දරාගෙන
ලොවට හංගපු කතාවක්..
ඇත්ත දැන දැන තවත් ළං වුණු
උඹම දැන වුන් කතාවක්...

යන්න යනකොට නැවත එන බව
නළලෙ දිවුරපු වතාවක්
නැවත නාවම මතක හැඩි වුණු
හවස මිමිණුව කතාවක්..
අහිමි වුණහම වෙරළෙ අවුදින්
ඔච්චමට දුන් හිනාවක්..
මුහුදු හුළඟට කඳුළු හංගා
මම මිමිණුවා වතාවක්..

හැමෝටම ඇති කතාවක්
කඳුළු කැට වල මතක හැංගුව
හිනා මිමිණූ කතාවක්..
මතක පොකුරක් කඳුළු එක්කොට
අතින් අරගත් කතාවක්..
ආදරේ ළඟ හැඟුම් හංගා
සිනා ඉපැයූ කතාවක්...

[ශෂි හෙට්ටිආරච්චි]

මාතෘකා