කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

ලොකු සර්

ගුරු දෙගුරු රැස්වීමට එන්න බැරි නම් දරුවා ඉස්කෝලෙන්
අයින් කරගන්න - විදුහල්පතිවරයෙකුගේ ප්‍රකාශයක්

වන්නිය පුරා ගත ඩාබිඳු වගුරාන
පැලටම සෙවණ දුන් උස්තුරු රජිඳාන
කරඬුව අප හිසට මුත් එය නොතකාන
ඔසවා සොඬින් බිම ලූ රුදු ගිජිඳාන

ඇවිළී කුරක්කන නියඟෙට පිපාසෙට
මහකන්දරාවත් පණනළ යදී හෙට
කුලියක් හොයා රූටා ගම් තුලානට
බුදුනුත් ගෙදර නෑ එන්නට වෙලාවට

අකුරට පැමිණ දහවල, රැය පැල ලගිමී
මීතෙල් පන්දමට ඉඳහිට දුක කියමී
නිරුවත් දෙපා යට නිතරම කටු ඇනුණී
රිදුමක් කොහිද මෙය ජීවිතයම පමණි

කුස රැලි නිබඳ දඟදෙන තුන්වේල නැතී
රෑ තුන්යමේ වුව ගොරතර සපුන් වෙතී
තිබු එක සාරියක් තනියගෙ හොඬේ එතී
අම්මගෙ ඇහේ තාමත් උණු කඳුළු ඇතී

[නිශාන්ත මල්ලවආරච්චි]


දුම්රිය ලිපිකරු වත

වරද නැත මා අත
අණ පිළිපදිමි - සේවය කරමි
නිතියෙන් බොහෝ ගැරැහුම් ලබමි
මෙවරද මා නිවාඩු අයැදුම
අනුමත නොම විය සුපුරුදු විලසම

හැමදාම වැඩ මහ ගොඩක් ඇත
අතිකාල මට වුවමනා නැත
මා බිරිඳ නිතර ඉල්ලා එවයි මුදල් වැඩියෙන්
එහෙත් එහෙමට මුදල් මා ගෙනෙන්ටද කොයිබින්?
මගෙ රස්සාවෙ හැටියට පගාවක්වත් නොලැබේය කිසි විට,
අනෙක් ලිපිකාර මහතුන්ට නම් සරුය හැමදාම අතමිට,
නොහැක තනතුරු ඉහළ යෑමට ලොකු උගත්කම් නැති නිසා මට.

කුරුල්ලකු වන්නට ඇත්නම් යැයි සිතේ මට

වගකීම් පැහැර නොහරිමි
නිසි විලස ඉටු කරලමි
සේවයට කැප වෙමි
පැසැසුමක් නම් නොලබමි
එය යළි යළිදු පවසමි.

මේසයක් පුටුවක් නැතිය, පංකාව කැඩී
දෙමසකට, තෙමසකට වැඩිය
ගම රටද ඈතය - දුරය
දරු පැටව් දකින්නට බැරිය
තවත් කොතරම් කලක් ගෙවන්ටද මේ දිවිය?

සතියකට සැරයක්, බලමි චිත්තර පටියක්
විඳිමි ඉන් සතුටක්, නැතොත් සිත් තැවුලක්
සිටිති මට හොඳ මිතුරු පිරිසක්
ලැබෙයි ඉන් මා සිතට දිරියක්
කොතැනකදි හෝ ඉඳහිටක දවසක
මුණගැසී යෙදෙමු ලොකු කදයක
රටේ නැති දේ ගැන
ලෝකයේ නව තතු ගැන
එවිට සිහි නොවෙයි මට
බිරිඳගේ මව වැටී ඇති බව ලෙඩ ඇඳට
පැටවිලා ඇති බව ඒ බරත් මා හිස මතට


(ප්‍රකට ඉන්දියානු කවියකු වන නිසිම් එසිකියෙල් විසින් රචිත කාව්‍ය නිර්මාණයක් ඇසුරිනි.)

නිසිම් එසිකියෙල්


වර්ෂ 1924 දෙසැම්බර් 16 වැනිදා බොම්බායේ ඉපිද, එහිම අධ්‍යාපනය ලැබූ නිසිම් එසිකියෙල් පසු කලෙක ලන්ඩනයේ බර්ක්බෙක් විද්‍යාලයේ දර්ශනය හැදෑරීය. බ්‍රිතාන්‍යයේ වසර තුනක් කාලය ගත කර, නැවත ඉන්දියාවට පැමිණි ඔහු පුවත්පත් කලාව සහ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය යන ක්ෂේත්‍රයන්හි නියැළුණේය. ඉන්පසුව ගුරු වෘත්තියට පිවිසි ඔහු බොම්බායේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙස කටයුතු කර විශ්‍රාම ලැබීය. ප්‍රකට සාහිත්‍ය සඟරා රැසක් සංස්කරණය කළ ඔහු ‘ටයිම්ස් ඔෆ් ඉන්ඩියා‘ (Times of India) ඇතුළු පුවත්පත් ගණනාවකම කලා විචාරකයකු ලෙසද කටයුතු කර ඇත. ‘එ ටයිම් ටු චේන්ජ්’ (A Time to Change), ‘සික්ස්ටි පොයම්ස්’ (Sixty Poems), ‘ද තර්ඩ්’ (The Third)" ‘දි අන්ෆිනිෂ්ඩ් මෑන්’ (The Unfinished Man), ‘දි අන්ෆිනිෂ්ඩ් නේම්’ (The Unfinished Name), ‘හිම්න්ස් ඉන් ඩාක්නස්’ (Hymns in Darkness) සහ ‘ලැටර් ඩේ ප්සාල්ම්ස්’ (Latter Day Psalms) සහ ‘එඩින්බර්ග් ඉන්ටර්ලූඩ් ලයිට්ලි’ : (Edinburgh Interlude Lightly) ඇතුළු කාව්‍ය සංග්‍රහයන් රැසක්ද ඔහු විසින් ලියා පළ කරනු ලැබිණි. සාහිත්‍ය ඇකැඩමි සම්මානය ඇතුළු විවිධ ඇගයීම් රැසකින් පිදුම් ලැබූ ඔහු 2004 ජනවාරි 09 වැනිදා මෙලොවින් සමු ගත්තේය.


[අජිත් නිශාන්ත]


කපුටෙක්

පොතේ පිටු කොනක
කවියක් ලියා තිබුණා

මටත් සමහර වෙලාවට හරිම පාළුයි

මම පොත් පත් ලිපි ගොනු අතර
හැංගෙනව කියල
තනිකම දැන් දන්නව
ඒක නිසා සීයට ගැනපු ගමන්ම
මාව හොයා ගන්නව

සිතුවිලිවල කරපටි ලිහාදාල
බලන් ඉන්නව මම ඒ වගේ වෙලාවට
කපුටෙක් ඈත ගහක මුදුනක
වේදනා දෙන තටු පිරිමදින හැටි

මේ දවස් නිල් පාටයි
ඒ තමයි තෙරුම්ගන්න බැරි තරම් විශාල දේවල පාට
අහස, මුහුද, විශ්වය
නිල්පාට අගින් කවුරු හරි
රතු පාට හාද්දක තිබ්බොත්
මේ දවස් කහපාටට හැරෙයි කියල මම හිතුව
හරියට ඉර එළිය, සුරියකාන්ත මල් වගේ
ඒත් අනේ හිත ලිහල දම්මම යන තැන් ගැන
විශ්වාස කරන්න පුළුවන් කාටද?

මමත් කාමරයක
වේදනා දෙන තටු පිරිමදින
කපුටෙක් විතරයි.

[තරින්ද්‍ර ගලහේන]


මගේ කැත වයලීන් කෙල්ලට

කුණු පෙරුණු මල් ගවුමයි
නහුතෙටම ගෙවුණු බාට කෑලි දෙකයි
කජු ගස් දිග බඩ ගාපු
මඩ වළවල් සුර විමන් වුණු අතීතය
නුඹට මතකදැයි
නැවත නොඅසමි...

මතක ආවර්ජන සැබැවටම අපූර්වය..
නුඹෙත් මගෙත් හේතු රහිත
සිනහවන් හැඬුම්...
හන්දියේ මාර ගහ ළග ඉකිබිඳුම්
තවත් නුඹේ රුව එතැන ඇතැයි
නිතරම පාහේ මට සිහි කරවයි...

වෙල් යාය තඹ පැහැති වී
ගොම්මන අපව සිපගන්න විට
මම නුඹේ වයලීන හඩින් මත්ව
ඒ සමගින් හමා එන සුළඟින්
ඇවිස්සෙන කෙහෙරැල්
තාලයට පැද්දෙන සැටි හිත පුරා විඳගනිමි..

රෝසම පාට නැතිවට
නුබේ තොල්වලට මම අසීමිතව බැඳී උන්නෙමි...
මම දකින විට වෙව්ලන නුඹේ තොල් පෙති
නලියන ඇස්වලට
මම බෙහෙවින් ආදරය කළෙමි...

නුඹ සරසවි වරම් ලැබ
මතකයන් දමා යන විටද
එදවස් සේම මම නුඹට පෙම් කළෙමි...
ඉදින් දැන් නුඹ තුටින් දැයි
නොඅසමි..
නුඹ තුටින් වග දනිමි...
නමුදු දවසක නුඹ එතැයි මම බලා හිදිමි..

මම නුඹට පෙම් කළේ...
කැතම කෙල්ලෙක්ව සිටි කාලයේදී බැව්
නුඹට සිහි වූ දිනට...
පුරුදු වයලීනයයි
මල් වැටුණු ගවුමයි එක්ක
මාර ගහ ළඟ
අපේ නම් කෙටූ තැනට..
නුඹ එන්න
ආයෙමත් ආදරේ ගැන සින්දුවක් කියන්න
සීත හැපෙන සුළග එක්ක
විරහවටත් ආදරේ කරන්න
ඉගෙනගන්න...

[ක්‍රිෂ්ණි ජයනාත්]


ගිම් නොනිවන ගිම්හානය

දිගුම රැය හිමි ගිමේ හැමදින
තනිය තනිවම සරන තැන්වල
බුරන නැග එන සිතග්නිය තද
නිතින් මත්වී අහස ඉල්ලත

දුරින් සිටිමුත් උස් මුදුන් ඇති
තුංග තුරු හිස් මල් දරාගෙන
බිමින් ඇවිලෙන පුපුරු සිඹගෙන
මල් කිනිති අළු අගිසි රන්දත

මත් ලොවක හිත් මඩල බින්දුව
නෙත් කෙවෙනි තෙත් දියෙන් හින්දුව
ඉඩෝරයමැයි පෙර වසන්තය
යළිදු කිසි දින වැසි නොඉල්වන

දුරින් සිටිමුත් උස් මුදුන් ඇති
තුංග තුරු හිස් මල් දරාගෙන
බිමින් ඇවිලෙන පුපුරු සිඹගෙන
මල් කිනිති අළු අගිසි රන්දත

[දිල්මිණී හසින්තා අබේරත්න]


මිනී මැරුමකට සැක පිට අත්අඩංගුවට ගත් කැත්තෙක් කියූ කවියක්

ඉර හේන දෙපැත්තේ ගඳපාන වැට කෝටු
හෙරළි බඳ දෙපැත්තේ ඇට පලන් මද කාපු
කොරළි තං දෙපැත්තේ කොර වරල් හූරාපු
කැත්ත.. මං ස්වාමීනි වලියකට නොම ආපු

කම්මලේ තැළුවා ඒත් මං ඉවසුවා
විල්ලෙ පොලු බැස්සුවා ඒත් මං ඉවසුවා
දෙකම්මුල් හීරුවා ඒත් මං ඉවසුවා
ඉවසුවා.. ඉවසුවා.. ඉවසුවා.. ඉවසුවා..

කුරුම්බා මානං ඇල්බීසි හිතවත්
පොරෝ මන්නා පිහිද බෑන් සෝ පැටුනත්
පුරා පොල් තැඹිලි අතු නෑ කිසිම තරහක්
එහෙව් මට ස්වාමීනි අවුරුදුම හතරක්

අප්පුවා අහිංසක වඳ හේන් පිදුරක්
උක්කුවා සුරාවෙන් ඉල්ලුවේ ගේමක්
ඩක්කුවේ රබර් පටි ලිහාගෙන ගොදුරක්
වැරදිකරු මම වෙමිය සුදුසුකම් ලත් ගස්

පොළෝ පලන් සැක ඇසුවා කවුරු දනී
විලෝ හෙවන් තව හැදුණා මම නොදනී
ඇහේ තියන් මා රැක්කා ගොයිය දනී
එහෙව් දෙබෑ කෙරුමට මම වග කියමි

කිරි හරක් තුන් දෙනයි අඹු දරුවො ඇරුණාම
සුනඛ සූකර සෙනඟ ඉකි ගසයි ඉඳුරාම
පැළවිනිය කනත්තට ඉනි කපන වරදාන
ඔහු නොවෙයි වැරදිකරු මම වෙමිය හැමදාම

[සජිත් පට්ටියකුඹුර]


පොළොවේ කඳුළින් උපන් මිනිසුන්

බුරාගෙන එන බඩේ ගින්දර
හිතේ ගින්නට සීතල වැඩි
බීඩියේ හුස්මකින් ගන්නා
පදාර්ථය හරි බර වැඩි
කොට්ටයක් නැති මෙට්ටයක් උඩ
හිසක් ඇති නින්දක් නැති
ඇසක කරගැට පැසී යනතුරු
කටු අකුරු වණපොත් වෙති

වැටී තැන තැන එකා දෙන්නා
දැනුම මිට මිට අතට දෙයි
ඇහැරවන තුරු එකෙක් නින්දෙන්
මහපොළෙන් සයිකල් පදී
නිදන් බත් පත එළා මැදියම
ජිවිතේ රස තලු මැරෙයි
පොළොවේ කඳුළින් උපන් මිනිසුන්
ඉරට ඉහළින් පයා දිලෙයි

අහස මත රිසි සේ සරන්නට
පියාපත් ලැබුණේ නැති
සයුරේ සැඟවුණු මුතු දකින්නට
වරල් පෙති ලැබුණේ නැති
බොරළු මඩ මැද පය තබන්නට
එක ම වාසිය කරගෙන යළි
ජිවිතේ ඔරු පදින්නට හෙට
හබල් ගහමුද හනිකෙට අපි

[අයු ප්‍රනාන්දු‍]


අපිට තිබුණේම

ඇස් තදට වහගන්න..
ඉහ හැරුණු අතට එන්න..
ළං ළං ව දැනෙනකොට
තැන නොතැන නොහිතාම
නවතින්න
අන්න එතැනදි හමුවෙන්න...

හිත වගේ ගැස්සුණු
වැව් දියට මුදුනින්
නොපිපීම පරවුණු
නෙළුම් කුලුනක සේයාව
අපේ පසුබිමට නොගෙන ඉන්න...
එක එක වලාකුලළු කැටිවලට
යටින්
වේගෙන් මාරු වුණ
රූපරාමුවලට
නේක සුවඳැති කේතක
සටහන් වෙන්න කලියෙන්
නාස් පුඩු වහගන්න ...

කපුරු සුවඳට ඉඳුල් නොවුණු
නොහදපු කෝවිලක
නොපෙනන දෙවි කෙනෙක්
වඳින්න..

මැලවෙන්න කලියෙන්
ඉර ළඟින් තරු හත අටක් එල්ලන්න..
අන්න එතනදි
වෙන්වෙන්න...

එහෙම කළානං
අපට තිබුණා
දන්නම පාරවල්වල
අද අතරමං නොවී ඉන්න...

[රසිකා ප්‍රනාන්දු]

සංස්කරණය [තිඹිරියාගම බණ්ඩාර]

[email protected]

මාතෘකා