පිරුළක මිහිර - කට

 ඡායාරූපය:

පිරුළක මිහිර - කට

මහනෙල් සුවඳමය

කුඩමසු පිළී ගඳමය

දෙකට එක දියමය

හොඳට නරකට දෙකට කටමය

පසිඳුට මේ කවිය මාමා උගන්නපු දවසෙ ඉඳලා ඒක කියන්න සුදුසු වෙලාවක් බල බල හිටියෙ. ඊට පස්සෙ කාගෙත් අගය කිරීමට ලක්වෙන්න පසිඳු කැමතියි. ඊටත් වඩා පසිඳු කැමති එහෙම සිදුවීමක් වුණහම ඒ කවිය අමතක වෙන්නෙ නැති නිසා. ඒ වගේම ඒ වගේ කවියක් නොගැළපෙන තැනකදි කියලා පසිඳු අපහසුතාවයට පත්වෙන අවස්ථා නැතිව නෙවෙයි. ඒ වගේ වෙලාවට අක්කයි මල්ලියි පසිඳුට හිනාවෙනවා. ඒ වෙලාවට නම් පසිඳුට පොඩ්ඩක් තරහා යනවා තමයි. එහෙත් වැඩි වෙලාවක් යන්න කලින් තුන්දෙනා යාළු වෙනවා.

මේ සිද්ධියත් එහෙම එකක්.

අක්කා ඉරිදාට මල්ලිව අක්කගෙ යාළුවෙකුගෙ ගෙදර එක්ක යන්න හිටියෙ. ඒ අතරෙ මල්ලි අක්කට විරුද්ධව අම්මට කේලමක් කියලා. ඒ වෙලාවෙම අක්කා යාළුවගෙ ගෙදර මල්ලී එක්ක නොයන බව කිවුවා.

ඔන්න ඔය වෙලාවෙ තමයි මුලින් කිව්ව කවිය පසිඳු කිව්වෙ.

අක්කා තරහෙන් හිටි නිසා පසිඳුට හිනාවුණේ නැහැ. මල්ලි අක්කා ගමන එක්ක නොයන නිසා දුකෙන් හිටියෙ. ඒ නිසා මල්ලිට හිනා ගියෙත් නැහැ.

ආත්තම්මා පසිඳුව ළං කරගත්තා.

“මගෙ පුතේ දැන් කියපු කවිය මෙතැනට ගැළපෙන්නෙ නැහැනෙ.”

“ඒ ඇයි ආත්තම්මේ?”

“ඒ කවියෙන් කියන්නෙ අපේ මේ කටෙන් පිටවන වචන හොඳ දේ කියන්නත් නරක දේ කියන්නත් පාවිච්චි කරනවා කියලා. ඒ කියන්නෙ කට ඒ දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි පොඩි පුතා කියන්න මෙතැනට කියන්න ඕනෑ ප්‍රස්ථාව පිරුළ මොකක්ද කියලා.”

මල්ලි බිම බලාගත්තා. අක්කා පසිඳු ළඟට ආවා.

“මෙතැනදි කියන්නෙ ද ආත්තම්මෙ, කට නිසා තමයි මාළුවා නහින්නේ කියලා” කියමින් අක්කා මල්ලිට රැව්වා.

ආත්තම්මා මල්ලිගෙ ළඟට කිට්ටු වුණා.

තනුජා අයගම නැන්දා

මාතෘකා