වතුර බිල අඩු කරගන්න හැටි

 ඡායාරූපය:

වතුර බිල අඩු කරගන්න හැටි

මාසයක් අවසානයේ ලැබෙන වතුර බිල්පත දුටු විට ‘‘මේ තරම් බිල ඉහළ ගියේ කොහොමද ? “ කියලා ඔබටත් සිතිය හැකිය. නිවසක් කුඩා වුවත් විශාල වුවත් ජල බිල්පතේ වෙනසක් විය නොහැකිය. එයට හේතුව කාර්යබහුල ජීවන රටාව හමුවේ ජලය භාවිත කර සිදුකරන කාර්යයන් ප්‍රමාණය ඉතා අධික වන නිසාය. නමුත් ජීවන වියදමත් සමග ජල බිල්පතට විශාල මුදලක් වැය කිරීම බොහෝ දෙනෙකුට ගෙන දෙන්නේ දැඩි අපහසුතාවකි. එහෙත් නිවසේ සිටින සියලු සමාජිකයින් මැනවින් දැනුවත් වන්නේ නම් නිවසේ ජල බිල්පත ගෙවීමට වැය කරන මුදල අඩුකර ගත හැක. ඒ සඳහා වැදගත් වන කරුණු කිහිපයකි මේ.

 නළ ජලය භාවිතා කරන නිවෙස්වල කරාමවලින් ජලය බිංදුව බිංදුව අපතේ යන්නේ නම් ඒවා පිළිසකර කර ජලය අපතේ යෑම වළක්වා ගැනීමට කටයුතු කළ යුතු වේ. එසේ නොවුණහොත් මාසය අන්තිම වන විට නොසිතන පරිදි සිතා ගැනීමට නොහැකි බිල්පතක් ලැබීමට පුළුවන.

 ජලය ගබඩා කර තබා ගැනීම සඳහා ටැංකියක් භාවිතා කිරීම සුදුසු වේ. එමෙන්ම ජලය ගබඩා කර තබන ටැංකියද ආරක්ෂිත විය යුතුය. ටැංකියට අවශ්‍ය ජල ප්‍රමාණය පුරවා තබා ගැනීමෙන් අවශ්‍ය අවස්ථාවල දී ජලය පරිභෝජනය කිරීමට පුළුවන.

 නිවසේ ඇති භාජන සේදීමේදී ජල කරාමයට කෙළින්ම අල්ලා සේදීම නොකළ යුතු අතර, ඒ වෙනුවට භාජනයකට ජලය රැස්කර එයින් ඒවා සේදීම කළ යුතුය.

 එළවළු, පළතුරු යනාදී පරිභෝජනය සඳහා ගනු ලබන ආහාර සෝදා ගත් ජලය නිකරුණේ අපතේ නොයවා එම ජලය තම ගෙවත්තේ තිබෙන පැළැටි සහ ගස්වලට යන ආකාරයේ ක්‍රමයක් සකසා ගැනීම වඩා ප්‍රතිඵලදායකය. එවිට ඒ සඳහා අලුතින් ජලය යෙදීම අවශ්‍ය නොවේ.

 නිවසක ජල බිල්පත සැකසෙන්නේ ජල මීටරයට අනුවය. මීටරයේ යම් දෝෂයක් හෝ එයට සම්බන්ධ කර ඇති පොළොව යට වළදමා ඇති නළවල යම් පළුදු වීමක් තිබුණහොත් ජලය අපතේ යාම සිදු වේ. එම නිසා හදිසියේ ජල බිල්පත ඉහළ යාමක් සිදු වුව හොත් පොළොව යට වළදමා ඇති නළවල යම් පළුදුවීමක් තිබේ දැයි වහාම පරීක්ෂාකර බැලිය යුතුය.

 වතුර මලෙන් ස්නානය කිරීම මඟින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට පුළුවන. එමෙන්ම හැකි සෑම අවස්ථාවකදීම, රෙදිපිළි එක් දිනයකදී සේදීමට වෙන් කර තබා ගතක යුතු ය. සතියේ සෑම දිනකම රෙදිපිළි සේදීමට වඩා එලෙස එකට එකතු කොට තබා සේදීම මඟින් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට පුළුවන.

 අවුරුද්දේ වර්ෂාව වැඩි කාල සීමාවන් තුළදී හැකි අවස්ථාවන්වල දී භාජනවලට ජලය එක් රැස් කර තබා ගත හැකි ය. එම ජලය නිවසේ යම් යම් අවශ්‍යතාවන්ට උපයෝගි කර ගැනීමට පුළුවන. එමඟින් ජල බිල අඩුකර ගැනීමට පුළුවන.

 රෙදි සෝදන යන්ත්‍ර මඟින් රෙදි සෝදන නිවෙස්වල එක් එක් සමාජිකයාගේ ඇඳුම් කුඩා කුඩා ප්‍රමාණ විටෙන් විට සේදීම නිසාද ජලය අපතේ යාම සිදු වේ. එක විට සියලු දෙනාගේ රෙදි එකතු කර වර්ගීකරණයක් සිදු කර සෝදා ගන්නේ නම් ජල බිල්පත අඩුකර ගත හැක.

[මදාරා මුදලිගේ]

මාතෘකා