බාරහාර පුදපූජා බිල්ලට ගත් අටමස්ථානයේ සේරිවාණිජ ඛේදවාචකය

 ඡායාරූපය:

බාරහාර පුදපූජා බිල්ලට ගත් අටමස්ථානයේ සේරිවාණිජ ඛේදවාචකය

අර්ථයෙන්, ධර්මයෙන් සැදැහැවතුන්ට අනුශාසනා පවත්වමින් වැඩ හිදින මහා සංඝරත්නය එක් පසෙකය. පාරම්පරිකව විවිධ වතාවත්වලට දායක වන ශිල්පීන් තවත් පසෙකය. මල් පමණකුදු නොව, කිරි ආහාර පාත්තරේ සිට පොල් පැළේ, පහන් තැටිය, හදුන්කූරු, විවිධ අත්කම් සහ විසිතුරු භාණ්ඩ මෙන්ම ආහාර පානාදිය දක්වා අතෝරක් දෑ මෙහි යන එන්නවුන් වෙත සපයමින් දවස සරි කරගන්නා ව්‍යාපාරිකයින් සමූහයක්ද ඒ අතරය. මෙකී පසුබිම තුළ මෙබිම ආශ්‍රිතව සිදුවන බොහෝමයක් වතාවත් සමඟ සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවට නොදෙවැනිව මුදල්ද ඈඳී ඇති බවද සැඟවිය නොහැකි සත්‍යයක්ව පවතී. ඒ සත්‍ය වරෙක නීරසය. අප්‍රසන්නය. මේ ඓතිහාසික අනුරාධපුරය රාජධානියේ පුජනීය අටමස්ථානයේ දෛනික ශේෂ පත්‍රයේ පැතිකඩකි.

මෙපුර මහත් හරසරින් විරාජමානව සිටින ජය ශ්‍රී මහා බෝධිය ප්‍රධානව දිවයිනේ නන්දෙස ජනතා අවධානය දිනූ සිද්ධස්ථාන සහ ස්මාරක ගණනාවකි. දෛනිකව මෙම වෙහෙර විහාරස්ථාන දැකබලා, වැඳපුදා ගැනීමට, විවිධ වතාවත් සිදුකිරීමට මෙහි පැමිණෙන පිරිසද අතිමහත්ය. එහෙයින්ම මේ පුදබිම් ආශ්‍රිතව යම් උප සංස්කෘතික පසුබිමක් නිර්මාණය වී ඇති බව වසන් කළ නොහැක්කකි. අටමස්ථානයට අයත් රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය, ථුපාරාමය, ලංකාරාමය, මිරිසවැටිය මෙන්ම මෙයින් බැහැරව සැදැහැවතුන්ගේ අවධානයට ලක්වන සමාධි පිළිමය, කුට්ටම් පොකුණ, සඳකඩ පහන සේම අටමස්ථානෙන් මෑත්ව ඇති මිහින්තලය පුදබිම ආදිය ඉන් ප්‍රධානය.

මහා සංඝරත්නය විෂයෙහි පුජා කෙරෙන අටපිරිකර, සෑ මත පළඳවන කංචුක, චෛත්‍ය හුණු පිරියම් කිරීම, ලක්ෂ ගණනින් මල් පුජා පැවැත්වීම, මහා දාන, අධිෂ්ඨාන පුජා, ආශිර්වාද පුජා, ග්‍රහ අපල, විභාග ජය, දරු සම්පත්, රෝග නිවාරණ, විවාහ අපේක්ෂා මෙකී නොකී බොහෝමයක් දෑ වටා බැඳී ඇති සාම්ප්‍රදායික වත්පිළිවෙත් එක් පසෙකය.

මුදල් තව පසෙකය. සේරිවානිජලා එක් පසෙකය. ජීවත් වීමේ අරගලයේ යෙදෙන්නවුන් තව පසෙකය. මේ මහේශාඛ්‍ය වෙහෙර විහාර ආශ්‍රිතව ඒකරාශි වන විසල් ධන සම්පත්වලින් ස්වල්පයක් හෝ ඉන් බැහැරව ඈත ගම්බදව විවිධ දුෂ්කරතා සහිතව පවතින විහාරස්ථානවල දියුණුව සඳහා යෙදවූ බවට කිසිදු තොරතුරක්ද නැත. එසේ නම් සිදුවන්නේ කවරක්දැයි නිශ්චිතව දන්නා අයෙක්ද නොමැත.

මෙහි සමහර ව්‍යාපාරිකයින් හිතු හිතූ මිල ගණන්වලට පුජා භාණ්ඩ අලෙවියේ යෙදෙන බවට මතුවන චෝදනාවලද නිමාවක් නොවේ. එහෙත් මෙතෙක් ඒ වෙනුවෙන් ගත් කවර හෝ ක්‍රියාමාර්ගයක්ද නැත. මෙහි සමහර තැනෙක අලෙවි වන ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය සහ පවිත්‍රතාව පිළිබඳව කවර හෝ සොයා බැලීමක් සිදුවේදැයි නිශ්චිත නැත.

එවැන්නක් සිදුනොවීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. මෙතෙක් මේ තත්ත්වයන් පිළිබඳව වන්දනාකරුවන්ගේ පාර්ශ්වයෙන් සාධාරණයක් ඉටුකිරීම පිළිබඳව කිසිදු වගකිවයුත්තෙකුගේ අවධානය යොමු නොවීම අවාසනාවකි. භාරවීම, ඔප්පු කිරීම, ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම ආදි විවිධ කටයුතු වෙනුවෙන් අවැසි කළමනා මේ වෙළෙදුන් ළඟ ඇත. අවශ්‍යතාව දැන්වීම සහ මුදල් දීම පමණක්ම ප්‍රමාණවත්ය.

එහෙත් ගැටලුව මතුවනුයේ මිල ගණන් දැන්වූ විටය. කීයක් කිව්වද නිහඬවම කියන ගාණ දී දෙන දේ රැගෙන යෑම මෙහි පැමිණෙන සාතිශය බහුතරයකගේ පුරුද්දය. කිසිවෙකු ප්‍රශ්න කරන්නට යන්නේද නැත. එසේ ප්‍රශ්න කරන්නට යෑම අනවරතේ ලෙඩ දාගැනීමක් ලෙස සමහරෙක් කල්පනා කරති. දෙයියන්ගේ, බුදුන්ගේ දේ හෙට්ටු කිරීම පාපයකැයි තවකෙක් සිතයි. මේ අප්‍රමාණික භක්තිය දඩමීමාකොට ගත්තවුන් සමහරු වගක් විභාගයකින් තොරවම මිල ගණන් නියම කරති. කවර හෝ බියක් සැකයකින් තොරවම මේ නොපනත්කම්වල නියැලීමට ඔවුනට අවැසි ඉඩ අවකාශ උදාව ඇත්තේ කාගේ හව්හරණකින්දැයි කිසිවෙකු දන්නේ නැත.

මේ වැව් අමුණුවල ඇති මල් නෙලීම මෙන්ම විකිණීමද ජාවාරමක් වී ඇති සෙයකි. ගම්මැදි ඉපැරණි කොටු වැව් තුළ මනාව වැවුණු නෙලුම් යායට එදවස නිශ්චිත අයිතිකරුවෙකු සිටියේ නැත. එහෙත් දැන් අයිතිකරුවන් බොහෝ බෝවී තිබේ. නෙලුම් මල් මුදලාලිලා වැව් පිටින් බදුගෙන ඇත. තැනෙක වැව් මැද මල් කැඩීම තහනම් කොට දැන්වීම් දමා තිබේ. සමහර ගම්මැද්දක ගැමියන්ට බුදුපුදට ගෙනයෑමට මලක් කඩා ගැනීමට නොහැකි වීම දක්වා මේ තහංචි බලවත් වෙමින් තිබේ.

ග්‍රාමීය වැව් තුළ ඕලු, නෙලුම් ආදිය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසියම් වැඩපිළිවෙළක් හෝ එවැන්නකට මුල්වෙන කිසිවෙකුද නැත. එහෙත් හැල්මේ හැදෙන නෙලුම් මලට අයිතිකරුවන් බොහෝ බෝවී තිබේ. තුට්ටු දෙකට වැව් පිටින් බදු ගන්නා සේරිවානිජලා මලකට ගෙවනුයේ රුපියලකි. නැත්නම් දෙකකි. තුනකි. එහෙත් වන්දනාකරුවන්ට රුපියල් විස්සක් නැතිනම් විසි පහක් එක් මලකට ගෙවන්නට සිදුව තිබේ. කවර අර්ථයෙන් බැලුවද මෙකී වෙළෙදාමේ ඇති සාධාරණයක් නැත.

මල් කඩන්නවුන්ගේ දෑත් දෙපා නෙලුම් දඩුවලට සීරෙයි. දැන් දැන් රජරට සමහර වැව් අරා කිඹුල් අවදානමද නොඅඩුව ඇත. එහෙත් ඔවුනට මේ ගනුදෙනුවේදී ලැබෙනුයේ සොච්චමකි. නෙලුම් පිපෙනුයේ සිය බඩ කට පුරවනු සඳහා පමණක්මය යන සිහියේ පිහිටා කටයුතු කරන මල් මුදලාලිලාගේ අසාධාරණ වෙළෙඳාමේ තරම මෙහි කිසිවෙකුට රහසක් නොවෙයි. ඔවුහු පුදබිම් සන්තකයට ලියා ගත්තවුන් සේ කටයුතු කරන බවට තවකෙකු මතු කරන චෝදනාවකි. මේ බොහෝමයක් පුදබිම් ආශ්‍රිතව ඇති වෙළෙඳසැල්වල හිමිකම පිළිබඳවද ඇත්තේ අපුර්ව කතාවකි.

රුවන්වැලි සෑය, ජය ශ්‍රී මහා බෝධිය ආදි සිද්ධස්ථාන ඉස්මත්තේ ඇති මල් කඩවල හිමිකරුවන් නගරයේ වෙනත් ව්‍යාපාරද ඇති මුදලාලිලාය. නොඑසේ නම් රජයේ රැකියාවන්වල නියුතුවන්නවුන්ය. සමහර ප්‍රාදේශීය දේශපාලනඥයෝය. නැතිනම් ඔවුනගේ අන්තේවාසිකයෝය. ඒ කිසිවෙකුත් මේ වෙළෙඳ කුටිවල ව්‍යාපාර නොකරන වග දන්නේ ස්වල්ප දෙනෙකි. මේ අදෘශ්‍යමාන හිමිකරුවන්ට මාසික කුලියක් ගෙවන මෙහි ඇත්ත වෙළෙන්දෝ මල් කඩ තුළටවී දවසේ වියදම සරි කිරීමට වෙහෙසෙතියි. එයින් සිදුව ඇත්තේ වසර ගණනාවක් මේ බිමේ වෙළෙඳාමේ නියැලුණු සමහර අහිංසකයින්ට මල් කඩයක හිමිකම අහිමිව අතරමැදි බලපුළුවන්කාරයින් රැළකට කුලී ගෙවමින් ළතැවීමටය. සංස්කෘතික දායාදයන් සුරක්ෂිත වන අතරවාරයේ විසල් ව්‍යාපාරික පසුබිමක්ද මෙබිම මත නිර්මාණය වී ඇත. එහෙයින්ම මෙහි පණ ගැහෙන ජීවිත වෙත සිදුවන අවැඩ පිළිබඳව අවධානය යොමු කිරීම පැහැර හැරිය නොහැකි කරුණක්ව පවතී.

එසේම පුදබිම් වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් තුළ පැවතිය යුතු හැදියාව ඒ ආශ්‍රිතව විවිධ ව්‍යාපාරවල නියැලෙන පිරිස් තුළ පැවතිය යුතු නැතැයි කිසිවෙකුට පැවසිය හැකිදැයි අප දන්නේ නැත. එහෙත් මල් ආදී අඩුම කුඩුම විකුණන සමහරෙකුගේ බාහිර පෙනුම ඉතා අප්‍රසන්නය. කෙස් රැවුල් වවා, ගෙලේ, අතේ, පයේ මාල බැද මං පහරන්නන් සේ සිටින සමහරෙකු දැකීමම තිගැස්මට හේතුවකි. ඔවුනගේ මේ බාහිර පෙනුම මඟින්ද කියාපානුයේ මෙකී ව්‍යාපාර සඳහා කවර හෝ නියාමනයක් නැති බව මිසක අනෙකක් නොවේ. මේ අපිළිවෙළින් යුතු සමහරෙකු විවිධ නොපනත්කම්වල නියැලෙන්නන් බවටද විටෙක චෝදනා නැගෙයි. සුදු හැඳ, කරපටි බැඳ මල් විකුණන ලෙස අපි යෝජනා නොකරමු. එහෙත් කවර හෝ විනයක් තිබිය යුතු නොවේ දැයි අපි අසමු. අටමස්ථානය තුළ තුන්තිස් පැයේ පණ ගැහෙන මේ ජීවිතවල කායික, වාචසික, මානසික සංවරය හැදීමට බණක් කියන්නට කිසිවෙකු ඉදිරිපත් නොවීමම පුදුමයකි. අභාග්‍යයකි.

මේ බොහෝමයක් සිද්ධස්ථාන ආශ්‍රිතව පොලිස් ආරක්ෂාවද යොදා ඇතැයි පැවසුණද පොලිසිය කරන්නේ කවරක්ද යන්න කිසිවෙකුට පැහැදිලි නැත. වන්දනාකරුවන් පසෙකලා අටමස්ථානේ යම් යම් සිද්ධස්ථාන ආශ්‍රිතව ඒකරාශි වන පුජා භාණ්ඩ සඳහා ඉහළම ආරක්ෂාව දීමට සමහරක් පොලිස් නිලධාරීන් සැදී පැහැදී සිටින බව සැදැහැවත්තු පවසති. මහා සංඝරත්නය උදෙසා පුජා කෙරෙන අෂ්ඨ පරිෂ්කාර සහ සෑ මත පළඳවන කංචුක ඒ අතරය. මේ පුජා භාණ්ඩ සඳහා පොලිස් නිලධාරින් සමහරෙකුට ඇති අප්‍රමාණ කැක්කුම වරෙක පුදුමයට තුඩු දෙන්නකි. සැබෑ ලෙසම අසරණව බත් පතක් ඉල්ලගෙන කන්නට එන, කීයක් හෝ ඉල්ලා අතපාන අහිංසකයින් කූඩු කරන්නට යැයි අප කියන්නේ නැත. එහෙත් මේ ඓතිහාසික සිද්ධස්ථාන ආශ්‍රිත ගෞරවය යථාවත් කිරීමේ වගකීමේ සැලකිය යුතු අගයක් පොලිසිය වෙතද ඇති බව නම් නොකියමනාය.

නොපනත්කම් මැඩලීමට ගත හැකි එකම ක්‍රියාමාර්ගය කවරෙකු හෝ කුදලා කූඩු කිරීම නොවේ යන්න වටහා ගැනීමට අවැසි නුවණින් මෙරට පොලිසිය මෝරා නොතිබීම ජාතියේම අභාග්‍යයකි. ඒ අභාග්‍යය මේ පුදබිම වටාද නොඅඩුව වසා පැතිර ඇති බව නොකියමනාය.

උතුරු මැද පළාත් සභාව, අනුරාධපුර මහ නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය, පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව, භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, පුජා නගර සංවර්ධන කමිටුව ආදී මෙකී නොකී ආයතන, සංවිධාන ගණනක් මේ පුදබිමේ වගකිව යුත්තන්ව සිටියි. කවරෙකු සිටියද මේ සියල්ලන්ටම පාහේ මෙබිමෙහි භෞතික සම්පත් සංවර්ධනයට ඇති හදිසිය සහ ඕනෑකම මෙහි පණ ගැහෙන ජීවිත කෙරෙහි ඇතිද යන්න විමසිය යුතුව තිබේ. ඒ සඳහා ඉදිරිපත් කළ එකඳු හෝ වැඩපිළිවෙළක් තිබුණේදැයි ඇසිය යුතුව ඇත.

කෙසේ වී නමුදු මේ පුදබිම් ආශ්‍රිත වෙළෙඳ ව්‍යාපාර මඟින් දවස සරි කරගන්නා පිරිස එකෙකු දෙන්නෙකු නම් නොවේ. ඒ මත යැපෙන්නවුන් දහස් ගණනකි. හිටිහැටියේ කඩාහැලෙන වැස්සටත්, පුපුරු ගහන අව්වටත් හසුව අනේක කම්කටොළු හා මුහුව ජීවිතය ජීවත් කරවීමට මේ බොහෝදෙනෙකු ගන්නා වෑයම අතිමහත්ය. විටෙක ඒ වෑයම හදවත කම්පාකරවනසුලුය.

කරුණු එසේ වුවත් මේ ව්‍යාපාර සහ ව්‍යාපාරිකයින් නිසි නියාමනයකට නතු කිරීමේ අවශ්‍යතාව ඒ හේතුවෙන් කිසිසේත් බැහැර කළ යුත්තක් නොවේ යන්න අවසන සඳහන් කළ යුතුව ඇත. ඒ මෙබිම මඟින් සැලසෙන අතිමහත් වු සේවාව තවත් බොහෝ කාලයක් යෙහෙන් සිදුවනු දකිනු රිසියෙනි.

තඹුත්තේගම විශේෂ - [ඩබිලිවි ප්‍රදීප්]

මාතෘකා