සෙනෙහෙලතාට මුණගැසුණු සීදූවෙන් ආ අලුත් හාදයා

 ඡායාරූපය:

සෙනෙහෙලතාට මුණගැසුණු සීදූවෙන් ආ අලුත් හාදයා

 

මාලනිය සිනමාවට පිවිසියේ "අකල් වැස්ස" වේදිකා නාට්‍ය තුළිනි. අකල් වැස්ස වේදිකාගත වූ 1965 වසර අැයට වාසනාවන්තම වසර ලෙසින් හැඳින්වූවාට වරදක් නැත. මන්ද එම වසරේ හොඳම නිළියට හිමි රාජ්‍ය සම්මානය දිනා ගැන්මට සමත්වූයේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාය. එහි ආනුභාවයෙන් තිස්ස ලියනසූරියගේ "පුංචි බබා" චිත්‍රපටයේ මාලි චරිතය රඟදැක්වීමේ වරම් ඇය හිමි කරගන්නා ලදී. එහි ඇයට රංගනයෙන් සම්බන්ධ වීමට සිටි රංගන ශිල්පියා වූයේ ජෝ අබේවික්‍රමයි.

විජය කුමාරණතුංගයන් "හන්තානේ කතාවෙන්" සිනමාවට ප්‍රවිෂ්ට වීමට පෙර "මනමාලයෝ" වැනි වේදිකා නාට්‍යවල රඟපෑමෙන් සම්බන්ධව සිටියේය.

මේ වනවිට සුගතපාල සෙනරත් යාපා නවතම සිනමාපටයක් සඳහා නවක නළු නිළියන් තෝරා ගැනීමේ අරමුණින් සම්මුඛ පරීක්ෂණයක් පිළිබඳව පුවත්පත් දැන්වීමක් පළකර තිබිණි. ඒ ඔස්සේ විජය කුමාරණතුංග තම ප්‍රථම සිනමා නිර්මාණය වූ හන්තාන කතාව චිත්‍රපටය හා සම්බන්ධ විණි. 1968දී මේ හා සම්බන්ධ සිදුවීම වුවත් චිත්‍රපටය තිරගත වූයේ 1969දීය. එතැන් පටන් විජය තම සිනමා ආගමනය තුළ තමන්ගේ ආස්ථානය සනිටුහන් කිරීමට සමත් විය.

මාලනී සෙනෙහෙලතා ෆොන්සේකාත් විජය කුමාරණතුංගත් මුලින්ම සිනමාවට පැමිණියේ "මේ දෙඇස කුමටද" චිත්‍රපටයෙනි. "මේ දෙඇස කුමටද" චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වූයේ සංගීතා වීරරත්නගේ පියාණන් වූ තිමති වීරරත්නය. කෙසේ වුවත් මේ දෙඇස චිත්‍රපටයෙන් මාලනිය සමඟ රංගනයට පිවිසි සීදුව සිට පැමිණි අලුත් හාදයා පුරා වසර විසි ගණනකටත් වඩා කාලයක් මාලනිය සමඟ රංගනයේ යෙදෙන්නට සමත්විය. ඔහු ඇයගේ පෙම්වතා විය. ඇය ඔහුගේ පෙම්වතිය විය. සිනමාවේ කුමාරයා විජය වන විට මාලනිය සියලු සිනමා රසිකයන් වශීකෘත කරගත් සිනහවකින් යුත් කාගේත් පෙම්වතිය විය. විජය වීරයාත්, පෙම්වතාත්, සිහින කුමරාත් වන විට සියල්ලන්ගේම බලාපොරොත්තුව වූයේ කටකාර මාලනිය විජයගේ පෙම්වතිය සේ දැක බලා ගන්නට වූ අපේක්ෂාවයි. ඔවුන්ගේ මුල්ම සිනමා පටය වූ මේ දෙඇස කුමටද චිත්‍රපටයේ දෑස් නොපෙනෙන අහිංසක තරුණයකු ලෙස විජය රංගනයෙන් එක්වන විට මාලනිය ගැමි තරුණියක ලෙස ඔවුන්ගේ මංගල හමුව වූ සිනමා පටය හා සම්බන්ධ විය. එය ලංකාවේ රසිකයා ඉතා ඉහළින් පිළිගත් චිත්‍රපටයක් විය. එයට යම් කිසි ලෙසකින් බලපෑමක් වූයේ නීල් රූපසිංහගේ හතර දෙනාම සූරයෝ චිත්‍රපටය යැයි අනුමානයකටද පැමිණිය හැකිය. මන්ද හන්තානේ කතාවෙන් ජනප්‍රියව හුන් විජය දිගින් දිගටම ජනප්‍රිය වෙමින් හතර දෙනාම සූරයෝ තුළින් මුල්ම වරට මාලනිය සමඟ පෙනීසිටියේය. මේ දෙඇස කුමටද මුලින්ම රූගත කළත් තිරගත වූයේ පසුව නිසා නැවුම් එක්වීමේ දෙවැනි අදියර දැක බලා ගන්නට ප්‍රේක්ෂකයා එක් රොක් වන්නට ඇත.

 

"නිල් අහසේ

උමතු වලා

ගොළු වී දුක සේ පාවෙනවා

ගිම්හානේ හිරු නැඟලා

පිපුණු කුසුම් පෙති පරවෙනවා"

රෝයි පීරිස්, සුමනා අමරසිංහ සමඟ ආවරණය නොමැති විවෘත කාරයක නැඟී මේ ගීතය ගායනා කරන්නේ මේ දෙඇස කුමටද චිත්‍රපටයේය. එපමණක් නොව "ආලෝකයේ අතීතයේ", "මා තැනු රුවන් විමන් බිඳී" යන ගීත මේ සිනමාපටයේ ජනප්‍රියත්වයට ඉවහල් වුණා යයි නොකිවමනාය නමුත්,

 

 

 

"අහා අහා ආදරණීය සිනා ඔබේ

අහා අහා ආදරණීය සිනා

මගේ නෙත්තුරුල්ලේ

නිදැල්ලේ සැතපෙනා

අහා අහා ආදරණීය සිනා ඔබේ

අහා අහා ආදරණීය සිනා

හදේ මල් ලතාවේ සුගන්දේ විහිදෙනා

අහා අහා ආදරණීය සිනා"

ගීතයට මාලනිය සමඟ විජය එක්වූයේ ඊට පෙරය. ඒ 1971දීය. මේ ගීතය මේ දෙඇස කුමටද චිත්‍රපටයේ ගීතවලට වඩා ජනප්‍රිය වූයේ වසරකටත් පෙර සිටයි.

එම නිසා ඒ රසයම ලබන්නට මේ චිත්‍රපටය හා රසිකයන් එකතු වුණා යැයි අනුමාන කිරීමටද හැකිය. හතරදෙනාම සූරයෝ, මේ දෙඇස කුමටද චිත්‍රපට දෙක විජය මාලනීගේ ප්‍රේමාන්විත සිනමා අම්භරයේ එක දෙක ලෙස අංක ගත වුවත් විජය ප්‍රධාන නළුවකු සේ පෙනී සිටී "හන්තාන කතාව" චිත්‍රපටය විජය මාලනී මුණගැසුණු මංගල චිත්‍රපටය වන්නටද ඉඩ තිබිණි. ඒ බැව් වරක් ප්‍රකාශ කර තිබුණේ මාලනියම විසිනි. ඒ ඇයට ද ඒ සඳහා ආරාධනාවක් ලැබුණු බවත් කවර හෝ හේතුවක් නිසා එය මඟ හැරී ගිය බවයි. එයත් එසේ වූවා නම් විජයගේ ආරම්භයම යම් විටක වෙනස් වන්නට ඉඩ තිබිණි..

ඒකාකාරී චරිතයන්ගෙන්, වට්ටෝරු සිනමාවෙන් පිරී පැවති ලාංකේය සිනමාවේ නළුවන් ද බොහෝවිට ගිනිකූරු පොයින්ට් තැබූ එකම වර්ගයේ අය වූහ. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කතාවෙන් මේ ක්‍රමය වෙනසකට බඳුන් විය. හන්තාන කතාවෙන් නවකයන් රැසක්ම බිහිවිය. පසුකාලීනව දේශීය සිනමාවේ නොවෙනස් පෙම්වත් චරිත දෙක විජය මාලනී කතන්දරයේ එක් චරිතයක් හොබවන්නට එදා කරළියට පා තැබූ විජය කුමාරණතුංග නම් වූ නවකයාට හැකි විය. යුගයක ඇරැඹුම ඇති වන්නේ තවත් තැනකිනි. එනම් 1973 මාර්තු නවවැනිදා යසපාලිත නානායක්කාර අධ්‍යක්ෂණය කළ තුෂාරා චිත්‍රපටයෙනි. මනස්කාන්ත වදන්, සෙනෙහෙබර අනුරාගයන්, සුන්දර සිනහවන්, ආදර කතාවන් තාරුණ්‍යයේ ජීවන රටාවන් එකී මෙකී සියල්ලන්ම යසපාලිත නානායක්කාරගේ උකහා ගැනීම තුළින් අත්වූ අවසන් ප්‍රතිඵලය වන්නේ තුෂාරා චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා තබමින් අතිශය සාර්ථක ලෙස තිරගත වූ චිත්‍රපටයක් වීමයි. නමුත් එය තවත් එක් බොක්ස් ඔෆිස් තැබූ චිත්‍රපටයක් නම් නොවීය. එය විජයගේ මාලනියගේත් සිනමා ගමන්මඟේ හැරවුම් ලක්ෂ්‍යයක් වූවා සේම ලාංකේය සිනමා ගමන්මඟ නැවුම් මාවතකට හැර වීමටත් යම් තරමකට සමත් විය .

විජය මාලනී යුගයක් පිළිබඳව අද කතා කළ හැකි වන්නේද එදා තුෂාරා චිත්‍රපටයෙන් බිහි වූ ඒ නැවුම් ආරම්භයයි .

මේ දෙඇස චිත්‍රපටයෙන් හමුව හතර දෙනාම සූරයෝ තුළින් ප්‍රේක්ෂ සිනමා මානයට පැමිණි විජය හා මාලනී චිත්‍රපට 50කට වඩා ප්‍රධාන චරිතයන් හා එක්ව ඇති බව මගේ වැටහීමයි. මෙකී හතර දෙනාම සූරයෝ චිත්‍රපටයෙන් ඇරඹි විජය මාලනී සුසංයෝගය මේ දෙඇස කුමට ද, තුෂාරා, සුසී, සැණකෙළිය, දාහකින් එකෙක්, හත් දින්නත් තරු, උන්නත් දාහයි මලත් දාහයි, ගංගා, වාසනා, සංගීතා, ආදරෙයි මං ආදරෙයි, සකුන්තලා, ප්‍රදීපේ මා වේවා, කුන්ඩලකේෂි, සැලී, සෙලීනගෙ වලව්ව, හිතුවොත් හිතුවමයි, පෙම්බර මධූ, එයා දැන් ලොකු ළමයෙක්, මිහිදුම් සිහින, බඹරු ඇවිත්, විශ්මය, අනුපමා, මොනරතැන්න, හිඟන කොල්ලා, යස ඉසුරු, නැවත හමුවෙමු, සමනල සිහින ,බැද්දේගම, ගීතිකා, කෝකිලා, දෙව්දුව, වැල්ලෙ තැනූ මාලිගා, වරදට දඬුවම්, මධුසමය ආදී ලෙස ගලා එන්නට විය. හතර දෙනාම සූරයන්ගෙන් ගමන් ඇරඹි මේ සුසංයෝගය සමඟ බාල මහලු සියල්ලෝම වයස් භේදයකින් තොරව ප්‍රේම කළහ. ඔවුනගේ පරම අභිලාෂය වූයේ විජය මාලනීගේ පෙම්වතා වීමත්, මාලනිය විජයගේ පෙම්වතිය වීමත්ය. නොඑසේ නම් රණ්ඩු දබර වුවත් විජය නම් චිත්‍රපටයේ වීරයා විය යුතුම විය.

ඒ කාලයේ මේ දෙපළ හුන් සිනමා නිර්මාණයන් බිහි වූයේ ද එසේය. නිෂ්පාදකවරයාගේ අවශ්‍යතාව වූයේ කෙසේ හෝ වැඩි දින ගණනක් චිත්‍රපටය ප්‍රදර්ශනය කරවා ගැනීමයි. අධ්‍යක්ෂවරයාට කළ යුතුව තිබුණේ ඒ සඳහා කෙසේ හෝ චිත්‍රපටය ජනප්‍රිය කරවාදීමයි. චිත්‍රපටය ජනප්‍රිය වීමට නම් ඒ සඳහා තරු යුගලයක් අවැසිම විය. තරු විවිධාකාර ලෙසින් හැඩතල දමමින් දිස්නය දුන්නද එයිනුත් එකට එක පෑහෙන හොඳම තරු යුගලය තමන්ගේ නිර්මාණයන්ට එක් කරගැනීමට මේ දෙපළම කටයුතු කළහ. එවක දිලුණු යසම තරු යුගල විජය හා මාලිනියයි ප්‍රේක්ෂකයන්ගේ දෑස්වලට පමණක් නොව කටටද හුරු වූයේ විජය ළඟට මාලිනියගේ නමයි. එය ඒ ආකාරයෙන්ම සාර්ථක බව හැඟෙන්නේ විජය මාලනී සුසංයෝගයේ චිත්‍රපට බහුතරයක්ම ජනප්‍රිය වූ නිසාවෙනි.

සිනමා ප්‍රේමය ජය ගත්තද විජය හා මාලනීට තම දිවි මං තලාවේ ප්‍රේමය නිසි අයුරින් සලකුණු ගත කර ගන්නට නොහැකි විය. විජය මාලනී විවාහය ඔවුන් ජනප්‍රියත්වයට පත් වී හුන් 70 දශකයේ දීම සිදු වන්නට ගිය ද එය කවර හෝ හේතුවක් නිසා මඟ හැරී තිබිණි. ඒ කරුණු සම්බන්ධයෙන් මෙන්ම ඊට පෙර හා පසුව ඊට අදාළ දෑ මෙන්ම විජය මාලනී ප්‍රේමයට අදාළ නොවන දෑ ද කතා වස්තූන් ලෙස සමාජ ගත වන්නට විය. ඒ කාලයේම ඒවා කට කතාය. පසුව කලක් ගතවන විට ඒවා හරිහැටිම විනිශ්චය කර ගත් පසු රසවත් කතාය. දැන් ඒවා අතීත කතාය. අතීත කතාවන් හා සිදුවීම් බොහෝ රසවත්ය. එහෙත් මේවා අනුන්ගේ කතාය. පෞද්ගලික දෑය. ඒ නිසා ඒ පරිච්ඡේදයට පමණක් මෙතැනින් තිත තබමු. පරිච්ඡේද කවරාකාර ලෙසින් අවසන් කළද විජය මාලනී සුසංයෝගයට අවසානයක් නම් නැත. අවසන් වූයේ නව නිර්මාණයන් බිහි වීම පමණි

ඒ අසිරිමත් කාලය ලාංකේය සිනමාව අලුත් හුස්මක් ගත් කාලයයි. විජය මාලනී හා එක්ව ප්‍රධාන චරිතයත් රඟපෑ තරමට හා සමානව වෙනත් තරු යුගලක් නම් සිංහල සිනමාවෙන් සොයා ගැනීමට හැකියාවක් නැත. විජය-මාලනී සිනමාවට නවමු පෙම් පුවතක් ගෙනා තරු යුගලක් පමණක් නොවීය. සිනමාවේ කුමාරයා විජය වන විට කුමාරයාගේ නෙත් සිත් පැහැරගත් ප්‍රියම්බිකාව මාලනිය විය. කාලය වියැකී ගියද මේ ප්‍රේමය සදාතනික සිහිවටනයක් විය. හිමි මීදුම් අතරින් සවන් පත් සනහා තවමත් නිතැතින්ම රැව් දෙන්නේ ඒ ප්‍රේමයේ සිහින් සරයයි.

 

"කලක් තිස්සේ හිතක් පත්ලේ

පිපී රන්වන් මලක් දිලුණේ

තුෂාරා පත් මුදු මුදුන් සරසා

සුපෙම් හැඟුමන් හිතේ ගවසා

කලක් තිස්සේ හිතක් පත්ලේ

පිපී රන්වන් මලක් දිලුණේ .."

[රජිත බස්නායක]

මාතෘකා