බස නැසූ නවකතා සම්මාන ලබන්නේ ඇයි?

 ඡායාරූපය:

බස නැසූ නවකතා සම්මාන ලබන්නේ ඇයි?

අද වඩාත්ම පළ වන සාහිත්‍ය ශානරය නවකතාය. සම්මාන උලෙළවල කෘති සමීක්ෂණ සඳහා වසරකට ඉදිරිපත් වන නවකතා සංඛ්‍යාව 150ක් පමණ වේ. එහෙත් ගැටලුව මේ බිහි වන නවකතා බොහෝ සේ බස නසා තිබීමය. නවකතාවට බස් වියරණයක් ඉදිරිපත් කළ නොහැකි නමුත් වියවුල් බසින් අර්ථ ව්‍යාකූල වීම පිළිගත යුත්තකි. එනිසාම එය රස නිපයීමටද බාධා ගෙන දේ. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ලැබූ සමන් වික්‍රමාරච්චිගේ ‘අප්පච්චි ඇවිත්’ නවකතාව පිළිබඳවද එහි විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානියා වූ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර සම්මාන ප්‍රදානයේදී කථා කළේ තෘප්තිමත්ව නොවේ. ඔහු කීවේ එහි බස ඉතාම ගැටලුසහගත බවය. ඉදින් මේ, සිංහල ප්‍රබන්ධයේ භාෂා විනාශය ගැන සාහිත්‍යකරුවන් හා වාග්විද්‍යාඥයන් කීප දෙනෙකු සමඟ කළ මත විමසුමකි.

භාෂාවට වෙලා තියෙන්නෙ ආණ්ඩුවට වෙලා තියෙන දේමයි

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු

ඇත්තටම භාෂාවට සිදු වෙලා තියෙන්නේ ආණ්ඩුවට වෙලා තිබෙන දේම තමයි. කිසිම පිළිවෙළක් නැහැ. කුමන තැනක වුණත් භාෂාව නිවැරදිව භාවිත කරන්න ඕන. කුමන නිර්මාණයක් කළත් භාෂාවේ පැහැදිලි බවක් සහ නිරවද්‍යතාවක් තිබිය යුතුයි. නවකතාවකදි වගේ නම් කටවහර, මැදිවහර වගේ දේවල් යොදාගන්න පුළුවන්. එහෙත් එය යොදාගත යුත්තේ කතාවේ සන්දර්භය ඉල්ලා සිටිනවා නම් පමණයි. නැතිව බොරු මවාපෑම්වලට නෙවෙයි.

අද්‍යතන බොහෝ නවකතා, කෙටිකතාවල තියෙන්නේ විකෘති භාෂා භාවිතයක්. සමහරු ලියන ලිපි ගත්තාම භාෂාවේ කිසිදු හරයක් නැහැ. භාෂාව කාලීනව වෙනස් විය යුතු බව අැත්ත. නිදසුනකට මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ 'හෙවනැල්ල' කෘතිය ගතහොත් එහි න, ණ, ල, ළ භේදය හෝ අනෙකුත් ව්‍යාකරණාංග ගැන තැකීමක් කර නැහැ. එතුමා සංස්කෘත මහාචාර්යවරයෙක්. භාෂාව පිළිබඳ මනා දැනුමක් තිබුණු කෙනෙක්. එමෙන්ම සෙනරත් පරණවිතාන, යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් වගේ විද්වතුන් තමන්ගේ රචනාවලදී ඊට ගැළපෙන ලෙස කට බස අනුගමනය කළා. එහෙත් ඔවුන්ගෙන් භාෂාව විනාශ වුණේ නැහැ. විදග්ධ ලේඛකයන් එහෙම ලියන්නේ කිසියම් අවශ්‍යතාවකට. එහෙම වුණත් හැමෝම පරණවිතානලා, සිරි ගුනසිංහලා නෙවෙයිනේ. ඒත් අද ඉන්නේ එහෙම වෙන්න හදන අයයි.

අතීතයේ නවකතාවක් ලියලා කිසියම් ප්‍රකාශකයෙක් ළඟට ගෙන ගියාම එ්ක විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයකට යවලා නිර්දේශ අරගන්නවා. ඒ නිර්දේශ මතයි ප්‍රකාශනය කරනවාද නැද්ද කියලා තීරණය වුණේ. දැන් එහෙම කිසිවක් නැහැ. දැන් ඕනෑම කෙනෙකුට නවකතාවක් ලියන්න පුළුවන්. එහි කුමක් අන්තර්ගත වුණත් ප්‍රකාශනය කරගන්න පුළුවන්. දැන් හැමෝම සම්මාන උළෙලක් අපේක්ෂාවෙන් නිර්මාණයක් කරන්නේ.

අපි හැම තැනම ‘අපි සිංහල’, ‘සිංහ ලේ’ කියලා කියාගත්තාට කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයෙන් වැඩිපුර අධ්‍යාපනය ලබන්නේ මුස්ලිම් දරුවන්. සිංහල දරුවන් වසර දහතුනක් තමන්ගේ මව්බස වන සිංහල භාෂාව ඉගෙනගන්නවා. එහෙත් ඉන් සියයට 4ක් සාමාන්‍ය පෙළ විභාගයෙන් මව්බස අසමත්. එතන තමයි ඛේදවාචකය තියෙන්නේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු කලා විෂය ධාරාව හදාරන සිසුන් පමණයි වැඩිදුරටත් සිංහල භාෂාව ඉගෙනගන්නේ. අනෙකුත් දරුවන්ට තියෙන්නේ පෙර පැවති සාමාන්‍ය පෙළ දැනුම පමණයි. ඉතින් භාෂාව අතින් ඔවුන් අසරණයි. මේ සාමාන්‍ය පෙළ දැනුමෙන් තමයි ඔවුන් භාෂා විශාරදයන් වගේ නිර්මාණ කරන්නේ. ඉතින් අපේ අද්‍යතන හා අනාගත කලාවේ ගමන කොහොමද කියලා හිතාගන්න පුළුවන්.

එහෙත් ඉන්දියාව වගේ රටක තමන්ගේ මව්බසට පුදුමාකාර මූලිකත්වයක් දෙනවා. එ් අතින් මෙවන් භාෂාවක් පැවතිලත් අපි දුප්පත්. අනෙක් අතට අපේ පාර්ලිමේන්තුවේ ඉන්න කී දෙනකුට හරියට සිංහල ලියන්න පුළුවන්ද? ඉතින් කොහොමද අනෙක් මිනිසුන්ට නිසි දැනීමක් ලබාදෙන්නේ? මීට වසර 25කට 30කට පෙර නම් සාහිත්‍ය කෘති පිළිබඳව පාර්ලිමේන්තුවේදී කථා කළා. ගුණදාස අමරසේකරගේ ‘යළි උපන්නෙමි’ පිළිබඳව පාර්ලිමේන්තුවේ කථා කළා. රටේ නීති සම්පාදනය කරන මුල් ආයතනයේ සාහිත්‍යය සම්බන්ධව මෙවැනි කතිකාවක් ගොඩනැඟෙද්දි මිනිස්සු සාහිත්‍යය ගැන වඩාත් උනන්දු වුණා. දැන් එහෙම වැදගත්කමක් එතන නැහැ. එවැනි කතිකාවක් එහි ගොඩනැගෙන්නෙත් නැහැ. රටේ ඉහළම තැන්වල ඉඳන් භාෂාව විනාශ කරලා තියෙන්නේ.

මම දන්නා තරමින් ලංකාවේ රැඟුම් පාලක මණ්ඩල පනතට සමගාමීව ප්‍රකාශන පිළිබඳව සභ්‍ය - අසභ්‍ය පනතක් තියෙනවා. ඒ නිසා එහෙම එකිනෙකාට ඕන විධියට ලියන්න කියන්න බැහැ. නමුත් ඒවා පවා දැන් කොළවලට සීමා වෙලා. සිංහල භාෂාව පමණක් නෙවෙයි, ඉංග්‍රීසි භාෂාවවත් අද හරියට පරිහරණය කරන්න දන්නවාද? ලේ්ඛකයාගේ පරම යුතුකම වෙන්න ඕන භාෂාව රැකගැනීමයි. මෙවර සෑම සම්මාන උළෙලකම සම්මාන ලැබුණු නවකතාවල තියෙන්නේ කථා කරන ව්‍යවහාරයයි. ඒක දැන් සම්ප්‍රදායක් වෙලා. දැන් ඒ වගේ කෘතිවලටනෙ සම්මාන දෙන්නේ. ඒ වගේ කෘතිවල ව්‍යාකරණය පිළිබඳව කථා කරන්නේ කවුද? ලොකුවට සම්මාන දුන්නාට බස වනසන කෘති තමයි ඒ සම්මානයට පාත්‍ර වෙන්නේ.

වියවුල් බස නිසා ‘අප්පච්චි ඇවිත්’ තේරුම්ගන්න බැරි වුණා

ප්‍රවීණ ලේඛක පියදාස වැලිකන්නගේ

මුලින්ම මම පොඩි නිදර්ශනයක් කියන්නම්කො. එක්දහස් නවසියපනස් ගණන්වල මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ‘මඩොල් දූව’ පොත අපි විභාගයට අධ්‍යයනය කරන විට ඒ කෘතිය පිළිබඳව සහ එහි ව්‍යාකරණ පිළිබඳව දැඩි ලෙස විවේචන එල්ල වුණා. එහි තිබූ උක්ත ආඛ්‍යාත ගැටලු එවකට අපේ පන්තියේ ගුරුතුමා අපට පැහැදිලි කළා. මේ වෙන සියලු දේ අහගෙන ඉඳලා මාර්ටින් වික්‍රමසිංහයන් සිළුමිණ පත්තරේට ලිපියක් යොමු කළා. එහි අන්තර්ගතය වුණේ කිසියම් කෘතියක සලකා බැලිය යුත්තේ ව්‍යාකරණය නොව එහි නිර්මාණශීලී කතාව බවයි. එහෙත් මම නම් ඒ මතයට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්නේ නැහැ. මන්ද කිසියම් කෘතියකින් පවසන දෙය වඩාත් හොඳින් පාඨකගත වෙන්න නම් අනිවාර්යයෙන්ම එය නිරවුල් විය යුතුයි. එයට භාෂාව නිවැරදිව භාවිත කළ යුතුයි.

මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු ‘අප්පච්චි ඇවිත්’ නවකතාව මම කියවන්න උත්සාහ කළා. ඒත් මට හරියට තේරුම් ගන්න බැරි වුණා. ඒ එහි ව්‍යාකූල භාෂාව නිසා. එහි විශාල භාෂාමය ගැටලු තියෙනවා. කිසිදු නිර්මාණාත්මක බවකුත් එහි නැහැ. ඉතින් මේ වගේ විශාල ගැටලු ගොන්නක් තිබෙන කෘතිද විශාල මුදල් ත්‍යාග සහිත සම්මානවලට පාත්‍ර කරන්නේ කියලා ගැටලුවක් තියෙනවා.

පොත් ප්‍රකාශයකයන්ගේ සංගමයේ සාමාජිකත්වය තිබෙන ප්‍රකාශකයෙක් මා සමඟ පැවසුවා ලංකාවේ තිබෙන සියලු සම්මාන උළෙල වසර පහකට නවත්වනවා නම් හොඳයි කියල. මොකද අද සම්මාන ගැන හිතලා ලියන පොත් පමණයි තියෙන්නෙ. පාඨකයා ගැන හෝ බසෙහි අගය ගැන හිතන කෘති නෙවෙයි තියෙන්නෙ. ඒ නිසා සම්මාන උළෙල වසර පහකට නවත්වලා නිර්මාණකාරයන්ට නිවීසැනසිල්ලේ ලියන්න අවස්ථාව ලබාදිය යුතුයි. මගේ පැහැදිලි අදහස නම් නිර්මාණාත්මක කෘතියකින් පාඨකයාට යමක් ලැබෙන්නේ භාෂාව සුඛනම්‍ය වුවහොත් පමණයි. නමුත් අද්‍යතනයේ පළ වන කෘති ඉන් වඩාත් ඈතට ගිහින්.

අහන්න තියෙන්නේ එක දෙයයි: වර්තමානයේ ලියන්නෝ කවරහුද? මනින්නෝ කවරහුද?

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර

නවකතාව සහ වර්තමානයේ බිහි වන කිසිම කෘතියක භාෂාව ගැන කථා කරන්න මට රුචියක් නැහැ. කොටින්ම නවකතාව විනාශයි. අහන්න තියෙන්නේ එක දෙයයි. වර්තමානයේ ලියන්නෝ කවරහුද? මනින්නෝ කවරහුද? යන්නයි. මේ හැම දෙයක්ම බොරු සම්මාන. ඇත්තටම කියනවා නම් පච වැඩ. මගේ බිරිඳටත් මෙවර සම්මානයක් තිබුණා. ගෙදර උදවිය නම් එයට ගියා. මම නම් පැත්තකටවත් ගියේ නැහැ. ඒ තරම්ම හිස් දේවල් එතන තියෙන්නේ. ඒ කාලය උපරිමයෙන් පාවිච්චි කරලා මම පන්සියපනස් ජාතක කතා පොත කියවලා මගේ නිර්මාණවලට අවශ්‍ය තොරතුරු රැස් කළා. අදත් (බ්‍රහස්පතින්දා උදෑසන) ගාල්ල සහ මාතර අතර පිහිටි මගේ පුතාට හිමි වෙරළාසන්න නිවසක තනිවම ඉඳගෙන මම 'සියක් වත' මගේ නව කෘතිය ලියනවා. එය දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක් ලෙස ඉක්මනින් එළිදැක්වීමට නියමිතයි. ඒ නිසා බස වනසමින්, සාහිත්‍යය වනසමින් කරන කාර්යයන් ගැන සොයමින් අපතේ හරින්න කාලයක් මට නෑ. ඒ කාලයත් ඉතිරි කරගෙන මම මගේ වැඩක් කරගෙන ඉන්නවා.

‘අප්පච්චි ඇවිත්’ නවකතාවේ කටවහරේ ව්‍යාකරණය තියෙනවා

මහාචාර්ය අනුර වික්‍රමසිංහ

ඇත්තටම අද නිර්මාණවල භාවිත වෙන්නෙ සම්පූර්ණයෙන්ම විකෘති භාෂාවක්. විශේෂයෙන්ම ආධුනික නිර්මාණකාරයන්ගේ කෘතිවල අඩුපාඩු රැසක් තියෙනවා. ප්‍රවීණයන්ගෙත් නැතුවා නෙවෙයි. ආධුනිකයන්ගේ බහුලව දක්නට ලැබෙනවා. ඔවුන් ලියන්නෙ සම්මාන අරමුණු කරගෙනනෙ. ඒ නිසා අක්ෂර වින්‍යාසයේ, ලේඛන ව්‍යවහාරයේ ඇතුළුව පොදුවේ භාෂා භාවිතය පිළිබඳව ඛේදනීයම තත්ත්වයක් තිබෙන්නේ.

මම පසුගිය දිනවල කියවූ නවකතාවලත් විශාල වශයෙන් භාෂා ගැටලු තිබුණා. සාමාන්‍යයෙන් ස්ත්‍රී ලිංගික පදයක් උක්තය වුණාම ආඛ්‍යාතයත් ඊට අනුරූපවයි තබන්නේ. මේ දේ නිවැරදිව අවබෝධ කරගන්න බැරි ඇතැම් ලේඛකයන් ඉන්නවා. ඒ ඔවුන් කාන්තාවක් ගෑවිලා තිබුණොත් එය උක්තයද වෙනයම් දෙයක්ද කියල කිසිදු තැකීමක් නොකර ස්ත්‍රී ලිංගික ආඛ්‍යාතයක් තබනවා. මේ, භාෂාව නිසි ලෙස නොදන්නාකම පෙන්වීමක්. නිදසුනකින් පවසනවා නම් මේ අය ලියන්නේ ‘ඇයට මිහිරි හඬක් තිබුණාය’ වගේ වාක්‍ය. අනෙක් කාරණය තමයි ‘විසින්’ නොමැතිව ‘ලද’, ‘ලබ’ ධාතුවෙන් ආඛ්‍යාතය තබන්න බැහැ. නමුත් අද බොහෝ තැන්වල යොදන්නේ එහෙම. ඊළඟට අක්ෂර වින්‍යාසයෙහි ගැටලුත් එසේමයි. පසුගිය සම්මාන උළෙලවලට නිර්දේශ වුණු කෘතිවලත් ප්‍රබල අක්ෂර වින්‍යාස ගැටලු තිබුණා.

මම වසර ගණනක සිට ස්වර්ණ පුස්තක විනිශ්චයේ උත්තර මණ්ඩලයේ කටයුතු කළ කෙනෙක්. එහි නිර්දේශිත කෘතිවලත් මේ භාෂා ගැටලු තියෙනවා. එහි අපි භාෂාව පිළිබඳව සලකා බලනවා. ඒත් එම කෘතිවල භාෂාවට ලකුණු දීමේ ක්‍රමවේදයක් විනිශ්චයේ නැහැ. ඒ වුණත් නවකතා තක්සේරුවේදී අපි ගැටලුසහගත භාෂා භාවිතය සලකා බලනවා. දැන් මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු ‘අප්පච්චි ඇවිත්’ නවකතාව කටවහරින් ලියලා තිබෙන්නේ. එහෙත් එහි කටවහරේ ව්‍යාකරණය සුරැකිලා තියෙනවා. කොහොම වුණත් අද රූපවාහිනිය, ගුවන්විදුලිය ආදී සියලු මාධ්‍යවලත්, රටේ මුල් පුරවැසියාගේ සිටත් භාවිත කරන්නේ කිසි ගැළපීමක් නැති අතිශය විකෘති භාෂාවක්.

මේ භාෂා නාස්තියට මම සපුරා විරුද්ධයි

ප්‍රවීණ ලේඛක සමරවීර විජේසිංහ

අද පළ වන කෘති භාෂාව ගැන කිසිදු සැලකිලිමත් බවක් දක්වන කෘති නෙවෙයි. මෙවර ස්වර්ණ පුස්තක සම්මානය ලැබුණු කෘතිය ගැන නම් මම කථා කරන්නවත් අකමැතියි. දැන් මේ වගේ සිල්ලර බසකින් ලියන්නේ ව්‍යාකරණය දන්නෑ කියලා බැණුම් අහන්න ෙවන නිසානෙ. භාෂාව මේ විධියට නාස්ති කරනවාට මම සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අද බොහෝ කෘතිවල තියෙන්නේ මේ වගේ සිල්ලර බසක්. පසුගිය සතියේ ‘රැස’ පුවත්පතේ ‘භාව’ අතිරේකයට

සේන තෝරදෙණිය මහතා කියා තිබුණා මෙවර ස්වර්ණ පුස්තක කෘති විනිශ්චය එන්.ජී.ඕ. බලපෑම්වලට යටත් වෙලා කියල. ඒක සම්පූර්ණ සත්‍යයක්. මම දන්නා ඇතැම් පුද්ගලයන් ඉන්නවා ඔය

එන්.ජී.ඕ.වලට සම්බන්ධ සම්මාන උළෙලවලදී සමීක්ෂණ මණ්ඩලවලට බලපෑම් කරලා බස වනසමින් තීරණ වෙනස් කරන. එහෙම තත්ත්වයක් තියෙද්දි ප්‍රබන්ධ භාෂාව විනාශ වීම අමුතු දෙයක් නෙවෙයි

සාකච්ඡා කළේ [කවීෂ ආරච්චිගේ]

මාතෘකා