කවි ඇසුර

 ඡායාරූපය:

කවි ඇසුර

හිත මිතු වග

තිබෙන තුරු රන් රිදී මන්දිර
හිඳී මිතුරන් ළඟ රැඳී
බලති කලබල කරති නිරතුරු
නොවන්නට යම් දොසක් අඩුවක්

වෙනත් කෙනෙකුන් නොමැත ලොව තුළ
වැය කරන තුරු සිත් තොසින්
සුවච කීකරු මිතුරු කැලතක
සෙනෙහෙ ළබැඳුම ඇති තරම්

අහිමි වූ කල බලය, මුදලද
කෙමෙන් දියවෙන තුසරයක් සේ
ගලෙහි ඇඳි සිතුවම් සේම වූ
මිතුරු කැළ යති හැරපියා

ගිලෙන නැවකින් පනින මීයන්
වගෙයි එමිතුරන් හා නෑසියන්
ඒත් ඇත ඒ අතර හොඳ අය
දුකට කඳුළට බලති උන්

[සමන් හේරත්]


හිඩැසි සොයමි...

නියං සිත් තුළ
කියන් "දේවි"
ආල උල්පත සිඳිලද
මිරිඟු දෑස් රවටන කල

අනියත හෙට ගැන සිතමින්
නලියන පපු ගොබ තලමින්
පිපිරෙන ගිනි කඳු අබියස
අතීතෙක මඟ හැරුණු
හිඩැසි සොයමි !!!

[විහඟ සමරවික්‍රම]


උන්ට පුදසුන් හිමි නැත...

නාමයෙන් වන මුත් මලක්
කිසිවකු නෙළා ගන්නැති
වරාමල් පාව යනු ඇත
උන්ට පුදසුන් හිමි නැත...

පාව ගොස් උන් ගුවනත
බලා හිඳිනා සිත්වල
සියුම් සතුටක් මවනු ඇත
වරා මල් පාව යනු ඇත...

පාව ගොස් දුර ඈතට
රැගෙන ආ බර ලිහිල් කොට
නිහඬවම පතිත වනු ඇත
උන්ට පුදසුන් හිමි නැත...

[අනුත්තරා කොඩිකාර]


උන්දෑ

පාන් තරුවටත් කලින් නැඟෙන්නී
පාන් පැලේ එහෙ මෙහේ සරන්නී
අස්පසුත් කරන්නී අතුපතුත් ගාන්නී
දර වතුර අදින්නී උයන්නී පිහන්නී
හීන් එවුනුත් අවදි කරන්නී
උන්ගෙ කෙම් පහනුත් කරන්නී
දුවන්නී පනින්නී අහුමුල්ලටත් ඉව කරන්නී
මිටි හාල් මුට්ටියට වැදුණු මීයෙක් සේම
හැල හොල්මනුත් ඔහේ කරන්නී

හිතකින්ම නූනත්
අවුනු මෙවුනුත් හෙමින් කියන්නී
තක තකේ දුම් දමන
කහට කෝප්පයකුත් ගෙනැත්
නිදි පැදුර ළඟින් මගෙ තියන්නී
සොයන්නී බලන්නී අරපිරිත් මහන්නී
අදට වැඩි හෙටක් ගැන හිතන්නී
අඬන්නී දොඩන්නී අරෝවට දුකට ළඟ හිඳින්නී
සොච්චමක ඇවතටත්
දොස් පරොස් අවලාද නඟන්නී

විහාර වර්ධනේටත්
මරණාදාරෙටත්
ගොවි සමාගමටත්
මගෙ නමට උත්තර බඳින්නී
ඒ ළඟම නොසෙල්වී සිටින්නී

පෙළක් අය කියනු වගෙ
වයිෆ් කෙනෙකුත් නොවෙයි
නෝන කෙනෙකුත් නොවෙයි
වෙන වෙනම අඳුන්වා දෙන තරමෙ
වෙනම කෙනෙකුත් නොවෙයි

පැමිණි දුක් කන්දා
වැඩියෙන් ඈම වින්දා
හිරිමලෙහි කැන්දා
ආව මේ මගෙ ගෙදර උන්දෑ
මවක්ම හින්දා
අනේ ඒ නමටත්
මෙන්න මං වැන්දා

[පොඩිරත්න අඟමලේ]


බස් පරක්කුයි අද

නිදාගන්නත් ළඟයි
අහස හඳ තරු,
පහන් කණු විතරයි
රෑ වැඩ මුරය තවමත්
හෙවණැලි එකින් එක ඈත් වී
බස් නැවතුමේ
අප විතරයි තනියෙන්

කොහෙන්දෝ හමා එයි
හෙන්දිරික්ක මල් සුවඳක්
දුම් දුවිලි රැලි අතරින්,
කොළඹට කොයින්ද මල් සුවඳ?
ඒ එන්නේ උඹ ළඟින්
මට හිතෙයි එතකොට

තඹ පාට වලාකුළු
ගැඹුරු අහසේ පා වෙයි
උඹේ පොඩි දෙපා මුල
පිච්ච මල් පිපී සුදු පාටට දිලෙයි
පහන් කණුවලින් පහළට
ඇහැළ මල් රෑන් එල්ලෙයි
කහපාට පෙති සලයි
උඹේ කෙහෙරැලි රන් කෙඳි
සුළඟේ පටලැවී දුවයි

මහන්සියේ සෙවනැලි අතරින්
හිනාවෙයි උඹ
වලාකුළු දැල් අතරින්
පායලා වගේ ඉර
අහම්බයකින් රෑ මැද
ඉඳහිට පොඩ්ඩක්
නෝක්කාඩු කියයි
කකුල් කැක්කුම ගැන
වෙලාවට නොඑන
මෝඩ බස් ගැන

ඒත් මැණික
උඹ දන්නෙ නැති වුණාට
මම කැමතී ඒ වගේ මොහොතවල්වලට
උපාමා රූපක නැතිවම
කියන්න පුළුවන් මට ඒක

[තරින්ද්‍ර ගලහේන]


(අ) මතක බණ

ඈ විසින්ම වසා
ඈ විසින්ම
මුද්‍රා තබා ගන්නා ලදු වූ
දෙණ ළඟ
මතක බණ කුමකටද හිමියනි...

නොඑන්නේ යැයි කියන්නටවත්
නොඑන්නට
ඈ තීරණය කළ අවසන්ව
ඇතිවාක් මෙනි....

භෞතික අසල්වාසීන්,
හිස අතගෑමෙන්ද
පිට පිරිමැදීමෙන්ද
හිතට එබිකම් කිරීමෙන්ද
ගෙනෙන හිරිහැර
තප්පර කිහිපයකට වරක්
දිගු සුසුමක් හා පටලවා
විසිකර දැමිය හැකි වුවද,

"ඈ යළි ඒය..." මඟ බලන,
නො ගිලිහෙන,
නො වියලෙන
ඝනකම් කඳුළක් හා හාදව
ඉකිබිඳුම් ආයාසයෙන් මඩින ලද
හදවතක
නින්නාද දෙන මතකයෙන්
කෙසේ නම් මිදෙන්නද...

එහෙයින් හිමියනි,
ඔබට රිසි
ඕනෑම දෙයක් කියන්න...
මතක බණක් නම් නොකියන්න

[රසිකා ප්‍රනාන්දු]


පාටෙන් කියතෑකි
මිනිහගෙ රස තාලේ

පැට්‍රල් එක්ක ඩීසල් කලවම් වෙනවා
පුරුදු දූලි ගඳ නාහෙට හිර වෙනවා
හීන පොදියෙ ගැට එහෙ මෙහෙ ඇද වෙනවා
දෙඇස් ඇරෙනවා
නර ලොව තනි වෙනවා

කාලෙන් කාලෙ පාට වෙනස් වෙන ලෝකේ
පාටෙන් පාට වෙන වෙන රහවල් ඕනේ
වේලෙන් වේල ගින්දර වැඩි වෙන කාලේ
පාටෙන් කියතෑකි මිනිහගෙ රස තාලේ

හිත් තුවාල හෙමිහින් පෑරී එද්දෙන්
කබොල්ල ගැලවී දුක් අළු වැගිරෙද්දෙන්
ගෑවී ගෑවි තනිකම ඔහෙ ලියවෙද්දෙන්
පාට බීම කොම්පැනි තව වැඩිවෙද්දෙන්

රෝද හයට ටිහකින් හති වැටුණා
ටයි පටියෙත් අයිනක ඩා බිඳු තිබුණා
අපිද මැසින්?
හරියට තෙල් වැඩ කරනා
එක්ස්රා බීමවල පැණි සුවඳම විඳිනා
රමණි බීඩියක හදවත ගුලි කරනා

[පසන් සංජය සමරතුංග]


ඒත් නුඹ කවියෙක්

කවියෙක් නොවී නම් නුඹ
සත්තමයි මගේ කවියමයි නුඹ
ශෘංගාරයෙන් බර පද
අතර නළවා සතපවමි නුඹ

ප්‍රේමයේ පද'තර
ප්‍රේමිය නිදයි නුඹ
සිහිනයෙහි මුදුනෙම
තබමි ඔබේ මතකය

කවියේ අන්තිමටම
එළිසමය තදින් ඇද
වසා ගමි සීතල
තුරුලු කරගෙන නුඹ

[දිල්මිණී හසින්තා]


ප්‍රතිඵල කුණාටුව

"විභාග වසන්තය අවසන්ය
මේ, ප්‍රතිඵල කුණාටු සමයයි"
-ආරංචියක්-

පෙරදිනෙහි ප්‍රතිඵලය
තැපෑලෙන් ඇවිත් බැස්සේය
රිසි කෙනෙකු පාසලට රැස්වේය
ගෙදරට හමන්නේ
මඳනළ ඔස්සේය
කුණාටුව ඇරඹුණේ පස්සේය

අද නම් හමන්නේ
වෙබ් අඩවි ඔස්සේය
දැන් නම් ටිකක්
පුතුගෙ හදවත ගැස්සේය
මොහොතින් මොහොත
ගෙදර ඇස් කන් ඉස්සේය
"කුණාටුව ඇවිදින්ය,
ඇරපන්ය දොර"
මුළු ගමම පස්සේය

දැනටමත් ගෙයි හතරවට කළුවරයි
දෝස්මුර පත්තු වෙන්නට ලෑස්තියි
එක දෙකක් මා වෙතට එල්ල වෙයි
එල්ලයක් නැති වදන් ඉගිල්ලෙයි

නිසොල්මන් වීය ගෙය
කුණාටුවකට පස්සේ
මාර්කේස්, කුන්දේර
සැඟව පොත පත අස්සේ
ගොළුය හදවත පුතුගේ
ගලා ආ රසය සිත්සේ
ඉන් පසුව නැහැ නොවෙද
කවි ගීත වැස්සේ

නොලැබුණත් ඒ අකුරු බී අකුරු
ඇමුණුවා ඔබ අකුරු හුරු- නුහුරු
ගැලවි ගැලවී වැටෙන විට පිට පතුරු
ජීවිතේටම තමයි ඒ අරටු වැනි අකුරු

ජීවිතය පිරුණු විට නැණ ගුණෙනි පොත් පතේ
කුණාටුවකට බයද, නැහැ නොවෙද නුඹ සිතේ
ඇවිද යන විට වුවද වැටි වැටී මාවතේ
සිතපන්ය ඇරඹුණා මිස ගමන ඉවර නැත ජිවිතේ

හීනයට දුර පෙනෙන පෙම් බැන්ද පුතුනේ
පොත් හලට, රඟහලට මා සමඟ ගොඩවුණේ
පෙළපොතට-සිලබසට හිරවෙලා ඉතිනේ
කාට කාටත් වඩා මටය ඉකිබිඳ ඇඬුණේ

[සු. ප්‍රි. සමරසිංහ]

මාතෘකා