හුදකලා මිනිස් කටහඬක්

 ඡායාරූපය:

හුදකලා මිනිස් කටහඬක්

(චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ විෂ වායුවලට හසු වූ ගිනිනිවන භටයකුගේ බිරිඳගේ කතාව)

මං ඔහු දාලා පිටතට ගියා. මං ආපසු එද්දි මේසය උඩ දොඩම් ගෙඩියක් තිබුණා. ඒක ඇත්තටම ලොකු දොඩම් ගෙඩියක්. දොඩම් පාටට වඩා ළා රෝස පාටයි. ඔහු සිනාසුණා. “කවුද කෙනෙක් මට ඒක දුන්නා. ඔයා ඒක කන්න.” දොඩම් ගෙඩිය කෑමට බැරි බව තිර රෙද්ද අතරින් සාත්තු සේවිකාවක් මට ඉඟි කළා. යමක් ඔහු ළඟ තිබුණා නම් එය කන්න තබා අල්ලන්නවත් බෑ. “ගන්න.. අරගෙන කන්න.” ඔහු කියා සිටියා.

 “ඔයා දොඩම්වලට ආසයිනෙ.” මං දොඩම් ගෙඩිය අතට ගත්තා. එවෙලේම ඔහු ඇස් පියවී නින්දට වැටුණා. ඔහුට නින්ද යන්න ඔවුන් විසින් නිරතුරුව එන්නත් විදිනු ලැබුවා. ඖෂධ දෙනු ලැබුවා. සාත්තු සේවිකාව බයෙන් බිරාන්ත වී මා දිහා බැලුවා. මම? ඔහු මරණය ගැන සිතීම වළක්වන්න ඕනෑම දෙයක් කරන්න මං සූදානමින් සිටියා. ඔහු අසනීපය ගැන සිතීම නැවැත්වීම හරිම නරක දෙයක් වුණා වගේම එයින් මං ඔහු ගැන හුඟක් භය වුණා.

එක සංවාදයක් මට මතකයි. කෙනෙක් මාව අසහනයට පත් කළා: “මේ ඔයාගේ ස්වාමි පුරුෂයා නෙවෙයි කියන එක ඔයා අමතක කරන්න එපා. ඒ, ඔයා ආදරය කළ කෙනා නෙවෙයි. ඒ, විකිරණවලින් දූෂණය වුණු වස්තුවක්. ඔයා සියදිවි නසාගන්න යන්න ඕන නෑ. හැඟීම් පාලනය කරගෙන සන්සුන් වෙන්න.” ඒත් මං පිස්සු ගෑනියෙක් වගේ වුණා: “මං එයාට ආදරෙයි! මං එයාට ආදරෙයි!” ඔහු නින්දට වැටිලා ඉඳිද්දි මං ඔහුගේ කනට කෙඳිරුවා: “මං ඔයාට ආදරෙයි!” රෝහල් මිදුලේ ඇවිදගෙන යද්දි මං තෙපලුවා: “මං ඔයාට ආදරෙයි!” පිස්පෝච්චිය අස් කරන වෙලාවේ මං තෙපලුවා: “මං ඔයාට ආදරෙයි!” නේවාසිකාගාරයේ එකට ගත කළ කාලය මං සිහිපත් කළා.

ඔහුට රෑට නිදාගන්න පුළුවන් වුණේ මගේ අත අල්ලාගෙන විතරයි. ඒක ඔහුගේ පුරුද්දක්: ඔහු නිදියන අතරේ මගේ අත අල්ලගන්න පුරුදුව සිටියා. මුළු රෑම අත අල්ලගෙන සිටියා.

ඉතින් රෝහලේදී මං ඔහුගේ අත අල්ලාගන්න, අත නෑර තියාගන්න පුරුදු වුණා.

ස්වෙත්ලානා අලෙක්සියේවිච්ගේ ‘චර්නොබිල් ප්‍රේයර්’ කෘතියෙනි.

මාතෘකා