අනුන්ට ඔබ එපා කරන ඔබේම වැරදි

 ඡායාරූපය:

අනුන්ට ඔබ එපා කරන ඔබේම වැරදි

ජීවිතය කියන්නේ වැරදීම් සහ අඩුපාඩුවලින් තොර වූ දෙයක් නොවෙයි. නමුත් අප නිතර උත්සාහ කළ යුත්තේ අප අතින් සිදුවන වැරදි සහ අඩුපාඩු අවම කර ගැනීමටයි. යුවතියක සහ කාන්තාවක ලෙස ඔබ, ඔබ අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන වැරදි අවම කරගැනීමට නිතරම උත්සාහ කළ යුතුය. අන් අය අතර ඔබ අප්‍රසාදයට ලක්විය හැකි පහත සඳහන් වැරදි, අඩුපාඩු මේ වසරේ සිටවත් අවම කරගැනීමට උත්සාහ කළහොත් ඔබට සමාජයේ සතුටින් ජීවත්වීමට අවකාශ සැලසේ.

අනවශ්‍ය විවේචනය

බොහෝ අය අතින් සිදුවන වරදක් වන්නේ අනුන් විවේචනය කරන්නට යෑමයි. බොහෝ දෙනා සිතන්නේ අනුන්ගේ වැරදි පෙන්වාදීම ඔවුන්ට කරන යහපතක් බවයි. එය සත්‍යයක් වුවත්, එහි භයානකම අතුරුඵලය වන්නේ ඔබට රහසින් වෛර කරන පුද්ගලයන් නිර්මාණය වීමයි. කිසිම පුද්ගලයකු අන් අය විසින් තමා විවේචනය කරනවාට කැමති නැත. ඔවුන් වැරදි දේවල් කරන්නේ, වැරදි කිරීමට ඔවුන් කැමති නිසයි. එවැනි කැමැත්තෙන් වැරදි කරන පුද්ගලයකු විවේචනය කිරීමෙන් ඔවුන්ගේ වැරදි පුරුදු ඔබට නැවැත්වීමට නොහැකි වන අතර සිදුවන්නේ ඔබ විසින්ම ඔබට නව සතුරකු නිර්මාණය කරගැනීමයි.

පමණට වඩා උදවු කිරීම

මිනිසුන්ට පමණට වඩා උදවු කිරීමට යෑමෙන් ඔවුන් සමඟ ඇති හිතවත්කම්ද නැතිවිය හැකිය. ඔබ විශ්වාස කළත් නොකළත් සත්‍යය එයයි. මිනිසුන් ඔබෙන් අපේක්ෂා නොකරන තරමට ඔබ ඔවුන්ට උදවු කරන්නට ගිය විට සිදුවන්නේ එයයි. ඔබ ඉතා පරිත්‍යාගශීලී අයෙකු බවත්, ඔවුන්ට අවශ්‍ය සියලු දේ ලබා ගැනීමට ඇති පහසුම මාර්ගය ඔබ බවත් ඔවුහු විශ්වාස කරන්නට පටන් ගති. ඉන්පසු ඔබෙන් අයුතු ප්‍රයොජන ලබා ගැනීමට උත්සාහ කරන්නන් ඔබට ඕනෑ තරම් මුණ ගැසෙනු ඇත. යම් මොහොතකදී ඔවුන් ඔබෙන් අසාධාරණ ඉල්ලීම් පවා ඉල්ලා සිටිය හැකිය. ඔබ එය ප්‍රතික්ශේප කළ හොත් එදිනට ඔවුන්ගේ ලෝකයේ සිටින නරකම පුද්ගලයා ඔබ බවට චෝදනා කිරීමට ඔවුන් පැකිළෙන්නේ නැත. එම නිසා එසේ පමණට වඩා උදවු කිරීමෙන් වළකින්න.

ඇහුම්කම් නොදීම

සමාජයේ වැඩියෙන්ම මිතුරන් සිටින්නේ හොඳ සවන්දෙන්නන්ටය. එනම් අනිත් අයට ඇහුම්කම් දීමට ඉදිරිපත් වන තැනැත්තන්ටයි. එයට හේතුව වන්නේ සමාජයේ මිනිසුන් වැඩියෙන්ම පීඩා විඳින්නේ තමාට ඇහුම්කම් දීමට සහ තමාව තේරුම් ගැනීමට කෙනෙකු නොමැති වීමේ ගැටලුව නිසා බැවිනි. කෙනෙකුට තමාගේ සිතේ ඇති ප්‍රශ්න සමනය කර ගැනීමට ඇති පහසුම ක්‍රමය තවත් අයෙකු හා එය බෙදා ගැනීමයි. මිනිසුන් තමාගේ ජයග්‍රහණවල සතුට තවත් අයෙකු හා බෙදා ගැනීමට මෙන්ම තමා ලද අත්දැකීම්, තමාගේ සිහිනයන් ගැන තවත් අය සමඟ කතා කරන්නටද ප්‍රිය කරනවා. ඉතින් ඔබ සමඟ කතා කරන්නට එන මිනිසුන්ව ඔබ සෑම විටම මඟහරින්නේ නම් ඔවුන්ගේ සිතේ ඔබ ගැන අප්‍රසාදයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.

අන් අයගේ පෞද්ගලිකත්වය විමසීම

ඔබ අන් අයගේ පෞද්ගලික කරුණු ගැන විමසීමේදී ඉතා ප්‍රවේශම් විය යුතුයි. යමෙකු ඔබට ඔවුන්ගේ සංවේදී රහස් ගැන පැවසීමට උනන්දු නොමැති බව පෙනෙනවා නම්, ඒ ගැන තව තවත් හාරාවුස්සන්නට යෑමෙන් වළකින්න. යමෙකු ඔබට ඔහුගේ රහස් කීමට අකමැති බව පෙනෙනවා නම්, ඒ ගැන දැන ගැනීමේ ආශාව නිසා හෝ ඔවුන්ට උපකාර කිරීමේ අරමුණින් හෝ ඒ ගැන විමසීමෙන් වළකින්න. අසනීපයකින් පීඩා විඳින්නෙකුගෙන්, දරුවන් නොමැති කාන්තාවකගෙන්, ප්‍රේම සබඳතාවක් බිඳ වැටුණු අයකුගෙන් හෝ විවාහයක් ප්‍රමාද වන්නකුගෙන් ඒ ගැන අනවශ්‍ය ලෙස විමසීමෙන් වළකින්න.

විධාන දීම

ආයතනයක් තුළ නියෝග පැනවීම සාමාන්‍යයෙන් සිදුවුවත් සාමාන්‍ය සමාජය තුළදී අන් අයට නියෝග පැනවීමේ ස්වරූපයෙන් කතා කිරීම ආචාරශීලී නොවන අතර, කෙනෙකුගෙන් යම් ඉල්ලීමක් කිරීමේදී මෘදු ආචාරශීලී වචන භාවිතය ඉතා වැදගත් වේ. එසේ නොවීමෙන් එකිනෙකා අතර අප්‍රසාදයට ලක්වීමට ඉඩ තිබේ.

 

මාතෘකා