වදයක් නොවී බැඳීම් රකිමුද?

 ඡායාරූපය:

වදයක් නොවී බැඳීම් රකිමුද?

‘මඟුල් කෑමට වඩා අමාරු පවුල් කෑම’ බව සමාජයේ ප්‍රචලිත කියමනකි. ඊට හේතු වී ඇත්තේ දික්කසාද වීමේ ප්‍රවණතාව දිනෙන් දින ඉහළ යාමයි. එවැනි දික්කසාදවලට බොහෝ විට හේතු වන්නේ විවාහ ජීවිතය තුළ එකිනෙකාගේ නිදහසට හා අයිතිවාසිකම්වලට ගරු නොකිරීම බවද හෙළි වී තිබේ. විවාහය නමැති බැඳීම තුළින් සැමියා සහ භාර්යාව යන දෙදෙනා එක් අයකු බවට පත් වුවද දෙදෙනාටම ඔවුනොවුන්ට ආවේණික වූ පෞද්ගලිකත්වයක් ඇති බව අමතක නොකළ යුතුය.

පරිපූර්ණ සැමියන් සහ භාර්යාවන් මෙලොව නැති බව සත්‍යයකි. එහෙත් පරිපූර්ණ වීමට සෑම අයෙකුටම උත්සාහ දැරිය හැක. එම උත්සාහය තුළ ඔබේ විවාහයේ බැඳීම එකිනෙකාට වදයක් නොවී පවත්වාගෙන යා හැකි වනු ඇත.

* හැකි තරම් සරල වන්න. පුහු මවාපෑම් වෙනුවට ඔබ ඔබම වන්න. එවිට අනෙකාට ඔබව තේරුම් ගැනීම පහසුය. දෙදෙනාම එසේ වූ විට ආයාසයෙන් බැඳීම් පවත්වාගෙන යාම අවශ්‍ය නොවේ.

* හොඳ සවන් දෙන්නෙක් වන්න. විවාහය තුළ සන්නිවේදන හැකියාව ඉතා වැදගත් වේ. සහකරු/ සහකාරියගේ ගැටලු අවබෝධ කරගැනීම සඳහා හොඳ සවන්දීමේ හැකියාවක් තිබීම අත්‍යවශ්‍ය වේ.

* අවංක වන්න. විවාහ ජීවිතයේදී එකිනෙකාට පවසන කුඩා බොරුවක් පවා විවාහ ජීවිතය තුළ දැවැන්ත දෙදරා යාමක් ඇති කිරීමට තරම් භයානක විය හැකිය.

* එකිනෙකා කෙරෙහි තබා ඇති විශ්වාසය පළුඳු වීමට ඉඩ නොතබන්න. විවාහක යුවළක් අතර තිබෙන විශ්වාසයට හානි වීම එම බැඳීමට නරක ලෙස බලපෑ හැකි බව අමතක නොකරන්න.

* සමාව දීමට ප්‍රමාද නොවන්න. අනෙකාගෙන් සිදු වන වැරදි පිළිබඳ දිගින් දිගටම කෝප වී වෛරයෙන් පසුවනවා වෙනුවට එම වරද අමතක කර සමාව දෙන්න. සමාව ලබන පුද්ගලයා යළිත් තමා අතින් එවැනි වරදක් සිදු නොවීමට ප්‍රවේශම් වීමද යහපත් බැඳීමකට අත්‍යවශ්‍ය වේ.

ප්‍රවීණ වෘත්තිය පුහුණු උපදේශිකා

ගංගා නානායක්කාර   

මාතෘකා