ක්‍රිකට් බ්වානාලාගේ මාළිගා

 ඡායාරූපය:

ක්‍රිකට් බ්වානාලාගේ මාළිගා

බ්වානා නැගෙනහිර අප්‍රිකානු රාජ්‍ය ආශ්‍රිතව ප්‍රධානියා හෝ ලොක්කා හැඳින්වීමට යොදාගත් වදනකි. එය කේ.ජී. කරුණාතිලක ශූරින්ගේ ටාර්සන් පොත් පෙළ කියවූවෙකුට මඟ හැරී නැති බව සහතිකය. එඩ්ගාර් රයිස් බරෝස් ඉංගිරිසියෙන් කියවන්නකුට වුවද බ්වානා අමතක නොවන හැඳින්වීමකි. අපට බ්වානා ගැන සිහිපත්වුෙණ් ක්‍රිකට් පිටියේ දකින්නට ලැබෙන විවිධ ක්‍රීඩකයන් අතර සියලුම ක්‍රීඩකයන් බ්වානලා ලෙස සලකන්නට නොහැකිවන හෙයිනි. ලෝක ටෙස්ට් හෝ එක්දින පිටියේ වීරයන් නැතහොත් බ්වානා වන්නේ සීමිත ක්‍රීඩකයන් පිරිසකි. එය අතේ ඇඟිලි ගණනට සමාන කරන්නට නොහැක්කේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතිහාසය වසර සියයත් ඉක්මවා යන හෙයිනි. කෙසේ නමුත් ක්‍රීඩාව වානිජ්‍යකරණය වූවායින් පසු අපට ක්‍රිකට් පිටියේ හමුවන සුපිරි ක්‍රීඩකයන් කීප ෙදනා අවිවාදෙයන් බ්වානා ලෙසින් සලකන්නට සිදුවන බව කිවයුතුය.

පසුගියදා ‘ක්‍රික් ට්‍රැකර්’ යනුවෙන් හැඳින්වෙන විදේශීය ක්‍රිකට් වෙබ් අඩවියක් විසින් ලෝකයේ සුඛෝපභෝගීම නිවාස පරිහරණය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් දස දෙනෙකු සම්බන්ධයෙන් අපූරු වාර්තාවක් පළකර තිබිණි. ක්‍රීඩකයකු බවට පත්වීමට යමකු තුළ නිසඟ පෙළඹවීමක් ඇතිකරන්නට නම් මෙවැනි පෞද්ගලික ඕපාදූප වෙනුවෙන්ද යම් ඉඩක් වෙන්කළ යුතුයැයි අපි තීරණය කළේ ක්‍රීඩා ප්‍රවර්ධනය කාර්යය වෙනුවෙන්මය. මේ එම වෙබ් අඩවිය පළකර තිබූ මිල අධික, සුඛෝපභෝගී ක්‍රිකට් ක්‍රීඩක නිවාස පිළිබඳ ලිපියේ පරිවර්තනයක් පළකරන්ෙන් එෙහයිනි.

රිකී පොන්ටින් එකල සැලකුණේ ලොව ඕනෑම තණතීරුවක පන්දුවට පහරදිය හැකි පිතිකරුවකු ලෙසය. ස්ටීව් වෝගේ අනුප්‍රාප්තිකයා වශයෙන් ළාබාල වියේදීම ඔස්ට්‍රේලියානු කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කළ ක්‍රීඩකයා බවට පත්වීමට පොන්ටින්ට හැකිවූයේ එකී නිසඟ හැකියාව නිසාය. ක්‍රිකට් පමණක් නොව නිවාස සම්බන්ධයෙන්ද පොන්ටින් සෙසු ක්‍රීඩකයන්ට දෙවැනි වන්නට අකමැති බව පසක් වන්නේ මේ වනවිට ඔහු හිමිකම් කියන නිවසේ සුඛෝපභෝගී භාවය ගැන සලකද්දීය. ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් මිල අධිකම නිවසේ හිමිකාරිත්වය ඇත්තා ලෙස සැලකෙන පොන්ටින්ගේ නිවසේ වටිනාකම ශ්‍රී ලංකා රුපියල් කෝටි 172.5කි. ලෝක කුසලාන දෙකක් වෙනුවෙන් නායකත්වය දැක්වූ ක්‍රිකට් නායකයන් දෙදෙනා අතරින් එක් අයකුද වන පොන්ටින් ජාත්‍යන්තර තරග 300 කට වැඩි ප්‍රමාණයකදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවා තිබේ. ඒ අතරින් ඔහු තරග ජයගෙන ඇති ප්‍රතිශතය සියයට හැටපහකට අධිකය. මේ සාර්ථකත්වය හේතුවෙන්ම ඔහු ලෝකයේ පන්දුවාර විස්සයි විස්ස තරගාවලි රැසකට ක්‍රීඩාකර ඇති අතර ඉන් විශාල මුදල් ප්‍රමාණයක්ද උපයා තිබේ. මේ නිසා ඔහු මෙල්බර්න් නුවර ගෝල්ඩන් මයිල්හි පිහිටා ඇති අති දැවැන්ත නිවසකට හිමිකම් කියයි. එම නිවසේ බිලියඩ් කාමරයක්, පෞද්ගලක සිනමාශාලාවක්, පිහිනුම් තටාකයක්, විශාල ප්‍රමාණයේ ටෙනිස් පිටියක් සහ මුහුදු තීරයට පෞද්ගලිකව ප්‍රවේශ විය හැකි මාර්ගයක් සහිතව ඉදිකර ඇත.

ඉන්පසු එවැනි දැවැන්ත නිවසක අසිරිය අත්පත් කරගන්නා ක්‍රීඩකයා අපට හමුවන්නේද ඔස්ට්‍රේලියාවෙන්මය. ඔහු වොට්සන්ය. වොට්සන් යැයි කීවිට සාහිත්‍ය මාසය එළඹ ඇතිනිසා ඔබට ෂර්ලොක් හෝම්ස්ගේ මිත්‍ර වෛද්‍ය වොට්සන් සිහිපත් වන්නට පිළිවන. එහෙත් මේ ෂර්ලොක් හෝම්ස් කතාවල එන වොට්සන්ගේ නිවසක් ගැන නොවේ. කෙසේ නමුත් මේ කියන වොට්සන් ලොව ක්‍රිකට් ක්‍රීඩකයන් අතරින් දෙවැනි මිල අධික නිවාසයේ වාසය කරන්නේ යැයි කිවහැකිය. හරියටම කියනවානම් ඔහු ඔබ කවුරුත් හඳුනන ෂේන් වොට්සන්ය. වොට්සන්ගේ එම නිවස, නිවසක් යැයි කීවාට අපට නම් දැවැන්ත මන්දිරයකි. සියලු පහසුකම්වලින් යුක්තව තනා ඇති එහි වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 62.8කි. එය ශ්‍රී ලංකා රුපියල් වලින් නම් රුපියල් කෝටි 157කි. අයි.සී.සී. තරගාවලි 12කට ක්‍රීඩාකර ඇති වොට්සන් 2009 වසරේ පැවැති ශූරයන්ගේ කුසලානයේදී පිළිමළු පිටුදැකීමේ තරග දෙකේදීම ශතක රැස් කරමින් ඔස්ට්‍රේලියාව ශූරතාව දක්වා රැගෙන යාමට මූලික වූ ක්‍රීඩකයෙකි. අතදිගහැර පන්දුවට පහරදීමට හැකි හෙයින් ඔහුගේ දක්ෂතාවය ඔස්ට්‍රේලියාවට ඉමහත් වාසියක්වූ බව පැහැදිලිය. එසේම ඔහු පන්දුවාර විස්සයි විස්ස තරග වෙනුවෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට විශාල වශයෙන් දායකත්වය දැක්වූ ක්‍රීඩකයෙක් විය. එලෙස පන්දුවාර විස්සයි විස්ස තරග වෙනුවෙන් ලෝකයේ විවිධ පෞද්ගලික කණ්ඩායම් නියෝජනය කළ වොට්සන් විශාල ධනයක් උපයාගැනීමට සමත්වුණේ යැයි විශ්වාස කෙරේ. එලෙස උපයාගත් ධනයෙන් සැලකිය යුතු කොටසක් ඔහු යොදාගන්නට ඇත්තේ මෙම සුඛෝපභෝගී නිවස ඉදිකිරීමට විය හැකිය.

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ඉදිකර ඇති මෙම නිවසේ පිහිනුම් තටාකයක්ද දැකිය හැකි අතර, ලී බඩු ඇතුළු ගෘහ උපකරණ අංක එකේ ඉස්තරම්ම ඒවා යැයි සැලෙකයි. මෙම නිවස ඉදිකර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට බොන්ඩි වෙරළට කිලෝ මීටරයක් ඔබ්බට වන්නටය.

කලක් යුවරාජ් සිං සැලකුණේ ඉන්දියාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ සිහින රජු ලෙසය. අනාගතයේ ඉන්දීය පිල භාරගැනීමට නියමිත බව මුලසිට අනාවැකි පලවුණු ක්‍රිකට් ක්‍රීඩකයා ඔහු විණි. මේ අනුව යුවරාජ් සිංගේ සුඛෝපභෝගී නිවස වෙනුවෙන් වැයකර ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් කෝටි 150කැයි සැලකේ. ඔහු පෙනහළු ආශ්‍රිතව ඇතිවූ පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වූ නමුත් දක්ෂ පිතිකරුවකු, පන්දු යවන්නකු සහ පන්දු රකින්නකු ලෙසින් නමක් හිමිකරගත් ක්‍රීඩකයෙකි. වසර විසි අටකට පසු ක්‍රිකට් ලෝක කුසලානයක් දිනාගැනීමට ඉන්දීය කණ්ඩායමට උපකාර කළ ප්‍රමුඛ ක්‍රීඩකයා බවට සැලකුණු යුවරාජ් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතා ඉහළ මිලකට ලංසු හිමිකරගත්තේය. වර්ග කිලෝමිටර් 16,000ක් විශාල ඔහුගේ මන්දිරය සුඛෝපභෝගී මහල් නිවාස කුළුණු ත්‍රිත්වයක ඇති එක් කුළුණක පිහිටා ඇත. ඔහු තම නිවසේ එක් වර්ග අඩියක් වෙනුවෙන් ඉන්දීය රුපියල් හතළිස්දහසක් ගෙවා ඇති අතර එය ලංකා මුදලින්නම් රුපියල් ලක්ෂයකි. යුවරාජ් එහි විසිනව වැනි මහලේ නිවාස දෙකක් ලෙස එය මිලදී ගෙන ඇත.

මීළඟට අපට හමුවන මිල අධිකම නිවසේ හිමිකරුවා වන්නේ ඔස්ට්‍රේයාව බිහිකළ සුප්‍රකට ලිපිකරුවායැයි කිවහැකිය. එනම් කලක් එම කණ්ඩායමේ නායකත්වය ඉසිලූ මයිකල් ක්ලාර්ක්ය. ක්ලාක්ගේ නිවසේ වටිනාකම රුපියල් කෝටි 148.25කි. ලිපිකරුවෙක්යැයි කීවාට එය පොඩිම නැත. තමන්ගේ පළමු ටෙස්ට් තරගයේදීම ඉන්දියාවට එරෙහිව ලකුණු 151ක් රැස්කළ ක්ලාක් 2015 වසරේදී ලෝක කුසලාන ක්‍රිකට් ශූරතාව තම රටට රැගෙන යාමට දායක වූයේ නායකයා ලෙසය. ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ක්ලාක් විස්තර විචාරකයකු වශයෙන් අතිශය සාර්ථක වූයේය.

සිඩ්නි වරාය ආසන්නයේ ඉදිකර ඇති ක්ලාක්ගේ නිවස කාමර පහකින් සමන්විත වෙයි. එය නාන කාමර පහකින් සමන්විතය. වතුර උණුසුම් කළ හැකි නාන තටාකයකින්, වාහන හතරක් නැවැත්විය හැකි ගරාජයක් ඇතුළු පහසුකම් රැසක්ද එම නිවස සතුවේ.

ඩේවිඩ් වෝනර්ද ආරම්භක පිතිකරුවකු ලෙස වත්මන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දායකත්වයක් දක්වන ක්‍රීඩකයෙකි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශතක පිට ශතක රැස්කරමින් දක්ෂතා දැක්වූ වෝනර් කලක් ඔස්ට්‍රේලියානු පිලේ උපනායකයා වශයෙන් කටයුතු කළේය. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී දක්ෂතා දක්වමින් ඉහළ ලංසුවක් හිමිකරගත් වොනර් සිඩ්නි නුවරින් තමන්ගේ සුවිසල් නිවස මිලට ගෙන තිබේ. සිව් මහල් නිවසක් වන මෙය ගෝර්ඩන් වෙරළ තීරය ආසන්නයේ පිහිටා ඇත. කාමර පහකින් සහ ඊට සම්බන්ධ කළ විශාල නානකාමර පහකින් ඇතුළු පහසුකම් රැසකින් එම නිවස සමන්විතය.

ලෝකය බිහිකළ විශිෂ්ටතම පා දඟ පන්දුයවන්නා වන ෂේන් වෝන්ගේ නිවසේ වටිනාකම රුපියල් කෝටි අනූ හයකි. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් තරග 1000කට වැඩි ප්‍රමාණයකට ක්‍රීඩාකර ඇත්තේය. එමෙන්ම ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි රැසකට ක්‍රීඩාකර මූල්‍ය උපයාගැනීම් සිදුකර ඇති වෝන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ උපදේශකයකු ලෙසද කටයුතු කරන්නේය. ස්කයි සහ නයින් නෙට්වර්ක් වැනි රූපවාහිනී විකාශන සමාගම් සමඟ කටයුතු කරන වෝන් ගේ නිවස පිහිටා ඇත්තේ මෙල්බර්න් නගරයේය. එය නිදන කාමර හතරකින් ටෙනිස් පිටියකින්, පිහිනුම්තටාකයකින්, කාර් රථ 10ක් ගබඩාකළ හැකි ගරාජයකින් සමන්විතය. ෂේන් වෝන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමේදී තමන්ගේ ඇඳුමේ සටහන් තබාගෙන සිටි අංක 23 ඔහු පිහිනුම් තටාකයේ සලකුණු කරඇත්තේ මේ සියලු ධනය උපයාගත්තේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් බව ප්‍රකාශ කිරීමට විය යුතුය.

සචින් ටෙන්ඩුල්කාර් කෝටි අසූපහක් වියදම් කරමින් තමන්ගේ සුඛෝපභෝගී නිවස ඉදිකර ඇතැයි ‘ක්‍රික් ට්‍රැකර්’ වෙබ් අඩවිය පවසයි. ලෝක කුසලාන තරග 6කට ක්‍රීඩාකර ඇති ඔහු වසර විසිපහක් ඉන්දීය ජාතික පිල නියෝජනය කළ ක්‍රීඩකයෙකි. ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී ශතක සියයක් රැස්කළ පළමු පිතිකරුවා වන්නේද සචින්ය. වර්ග අඩි 6,000ක් විශාල තට්ටු පහකින් සමන්විතව ඔහු එය ඉදිකර තිබේ. එහි ඉහළම මහල වෙන්ව ඇත්තේ සචින්ට සහ ඔහුගේ ප්‍රිය බිරියටයි. දෙවැනි මහල තම දරුවන් වෙනුවෙන් වෙන්කර ඇති අතර පළමු මහල තමන්ගේ අමුත්තන් වෙනුවෙනි. බිම් මහල සිය සමරු තැන්පත් කර ඇති අතර පූජා කටයුතු සිදුකිරීමේ සහ ආහාර ගැනීමේ මහල ලෙසින් යොදාගෙන ඇත. සේවකයන් වෙනුවෙන් සහ රථ වාහන නවතා තැබීමේ විශේෂ අංගනයක්ද මෙම නිවසට ඇතුළත්වේ.

වත්මන් ඉන්දියානු නායකයා ලෝකයේ වැඩිම මිලක් උපයන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙයි. ෆෝබ්ස් සඟරාවේ අනාවරණයන්ට අනුව ඉන්දියාවේ වැඩිම මිලක් උපයන පුද්ගලයා ලෙසින්ද ඔහු වාර්තාගතව ඇත. කෝලි ජීවත්වන නිවස රුපියල් කෝටි 85ක් වන අතර 2016 වසරේදී ඉහළ අහසේ ඉදිකළ කුළුණු ත්‍රිත්වයකින් යුත් සුපිිරි මහල් නිවාස පංතියක එක් කුළුණක තිස්පස්වැනි මහලේ පිහිටි නිවසක් ඔහු මිලට ගෙන ඇත. එහි සිට බලන විට එක් අන්තයකින් මුහුද දර්ශනය වන බව කියවෙයි. කෝලිගේ මිත්‍රයකු වන යුවරාජ් සිං ජීවත් වන්නේද 29 වැනි මහලේ නිවාස ද්විත්වයකය.

රෝහිත් ෂර්මාගේ නිවසේ වටිනාම රුපියල් කෝටි 75කි. නිදන කාමර හතරකින් සමන්විත මෙම නිවසේ සඳළුතලයට අංශක 270ක වපසරියක් දර්ශනයවන අතර එහි සිට අරාබි මුහුද දැකගත හැකිය. නිවසේ විශාලත්වය වර්ග අඩි හයදහසකි.රුපියල් කෝටි 69.75ක් වන ලෙස ඉදිකර ඇති බ්‍රෙට් ලීගේ සුඛෝපභෝගී නිවස සිඩ්නි නුවර ඉදිකර තිබේ. පිහිනුම් තටාකයක්, කායවර්ධනාගාරයක් සහ ශරීරය උණුසුම්කරමින් තබාගත හැකි කොටසක් මෙම නිවසට ඇතුළත්ය. ඔසවා වෙන්කළ හැකි යකඩෙන් සහ කොන්ක්‍රීට්වලින් තනා ඇති සිඩ්නි හි පිහිටා ඇති පාලමද මෙම නිවසට දිස්වේ.

මේ අනුව ක්‍රිකට් පිටියේ දැකිය හැකි බ්වානාලා අතරින් බොහොමයක් දෙනා විශිෂ්ට නිවාසවල සහ ජීවිතවල හිමිකරුවෝ බව පිළිගන්නට පිළිවන. තමන් අසීරුතා මැද ලෝකයත් සමඟ සටන් කරමින් ලෝකයාට වින්දනය හා පෞඩත්වය පිළිබඳ හැඟීම් ඇතිකර උපයාගත් මුදලින් මෙවැනි නිවස්න හිමිකරගැනීම මගින් කියැවෙන්නේ අවසන සියල්ල පාලනය කරන්නේ තොටිල්ල පදවන අත විසින්ම බව නොවන්නේද?

[කසුන් ඉරුගල්බණ්ඩාර]

මාතෘකා