සංවේදී මිනිසා

 ඡායාරූපය:

සංවේදී මිනිසා

එංගලන්තයේ විසූ ධනවත් යුදෙව් පවුලකට දාව 1880 දී උපත ලද ලෙනාඩ් වුල්ෆ් කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධිය ලැබීමෙන් පසු 1904 දී ලංකාවට සැපත් වූයේ ලංකා සිවිල් සේවයේ කැඩෙට් නිලධාරියෙකු වශයෙනි. මුලින්ම යාපනයේද, දෙවනුව මහනුවරද සේවය කිරීමෙන් පසු එවකට යටත්විජිත ලේකම්වරයාව සිටි ශ්‍රීමත් හියු ක්ලිෆර්ඞ් විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපදිසාපතිවරයා වශයෙන් ඔහු පත් කර එවන ලද්දේ පරිපාලන නිලධාරියෙකු වශයෙන් ඔහු පළ කර තිබූ සුවිශේෂී දක්ෂතා නිසාය.  

1908 අගෝස්තු සහ 1911 මැයි යන කාලසීමාව අතරතුර ඔහු තම දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන සහ අධිකරණ නිලධාරියා වශයෙන් කටයුතු මෙහෙයවූ විචක්ෂණ සහ ශූර ආකාරය මැනවින් පිළිබිඹු කරන කැඩපත වන්නේ ඔහුගේ දිනපොතය. රජය නියෝජනය කරන ඉහළම මට්ටමේ නිලධාරියා වශයෙන් එක් අතකින් රජයටද, අනිත් අතින් ඉහවහාගිය දිළිඳුබවින් හා අතිකර්කෂ දේශගුණයෙන් බැට කන පොදු ජනතාවටද මැදිව සේවය කිරීමේදී ඔහුට බොහෝ ගැටලුකාරී අවස්ථාවන්ට මුහුණ දීමට සිදු වූ බව පෙනීයයි. වරෙක අන්ත අසරණ ජනතාව පෙළන රජයේ අසාධාරණ, නිර්දය ප්‍රතිපත්ති ක්‍රියාවේ යෙදවීමට තමාට සිදු වීම ගැන සිත්තැවුලින් පසු වූ ඔහු තවත් වරෙක දූෂිත නිලධාරීන්ගේ හා ආත්මාර්ථකාමී දේශීය බලවතුන්ගේ ක්‍රියාකලාපය දැක කෝපයට පත් විය. තම හෘදයසාක්ෂියට එකඟව වැඩ කළ නොහැකි වූ ඇතැම් විටෙක තමා තුළ පහළ වූ හැඟීම ඔහු නොබියව තම දිනපොතෙහි සටහන් කර තැබීය. (වරහන් තුළ දක්වා ඇත්තේ දිනපොතේ දැක්වෙන දිනයන්ය). ලිබරල් මතධාරී මානව හිතවාදියෙකු වූ ඔහු යටත්විජිතවාදී රජයට තවදුරටත් සේවය නොකිරීමට මෙහෙයවන්නට ඇත්තේ උපදිසාපතිවරයෙකු වශයෙන් ලද අප්‍රසන්න අත්දැකීම් විය යුතුය.  

වුල්ෆ් කේඩෑරි පුද්ගලයෙකු වුවද ඉතා නිරෝගී මෙන්ම අසාමාන්‍ය කායශක්තියෙන්ද යුත් ක්‍රියාශීලී පුද්ගලයෙකු වූ බව ඔහුගේ සටහන් විමසීමෙන් හෙළි වේ. නිල සංචාරවලදී වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීම පිණිස දුෂ්කර ස්ථානවලට ඔහු ගොස් ඇත්තේ පා ගමනින් වන අතර වරක් ඔහු එලෙස සැතපුම් 12 ක දුරක් ඇවිද ගොස් ඇත. (2010 මාර්තු 7). වනසතුන් ගහන වනාන්තර මැදින් බණ්ඩාරවෙල සිට හම්බන්තොට දක්වා බයිසිකලයෙන් ඒමද ඔහුගේ එඩිතර බවට මෙන්ම අපූර්ව කායශක්තියට දෙස් දෙන්නකි. (2010 පෙබරවාරි 6)  

හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩි කොටසක් සමන්විත වන්නේ උග්‍ර ජල හිඟයෙන් පීඩා විඳින ජනයා වසන නිසරු බිම්වලිනි. එකී ජනතාව අකාරුණික දේශගුණයෙන් මෙන්ම අන්ත දුගී බවින්ද නිරතුරුව පීඩා විඳිති. ප්‍රදේශයේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැන වුවද බහුතරයකට ඉඩම් ඇත්තේ නැත. මුඩුබිම් පවතින්නේ රජය සන්තකවය. ඒවායේ හේන් කිරීමට නම් රජයෙන් බලපත්‍රයක් ලබාගත යුතුය. ඇතැම් විට අතරමැදි රජයේ නිලධාරීන්ගෙන්ද අසරණ ගැමියන්ට අසාධාරණකම් සිදු වන අතර එබඳු නිලධාරීන්ට වුල්ෆ්ගෙන් කිසි විටෙකත් සමාවක් ලැබී නැත. වරක් නැගෙනහිර ගිරුවාපත්තුවේ මුදලිවරයෙකුගේ නොසැලකිල්ල නිසා ඔහු යටතේ සිටින විදානෙ ආරච්චිවරයා විසින් තම වසමේ ගැමියන්ට හේන් කෙටීමේ බලපත්‍ර ලබාදීම අතපසු කරන ලදී. නිලධාරීන්ගේ වරදින් ගැමියන්ට සිදු වූ අසාධාරණය ගැන උරණ වූ වුල්ෆ් ඔවුන්ට තදින් ‍දොස් පැවරීය. (1909 ජනවාරි 18)  මෙබඳු අකාර්යක්ෂම නිලධාරීන් ගැන ඔහු කෙතරම් කලකිරී සිටියේද යත් වරක් ඔහුට මෙසේ පැවසීමට සිදු විය.  

“මෙම පළාත්වල පිරිමින් සමන්විත වන්නේ සේවයෙන් පහ කරන ලද මුලාදෑනීන්ගෙනි. ඊළඟ වතාවේ මිද්වලකඩදී මුලාදෑනියෙකු සේවයෙන් නෙරපා හැරීමේ අවස්ථාව ලැබුණොත් මා ඒ තනතුරට නිර්දේශ කරන්නේ ගැහැනියකි.” (1909 මාර්තු 28)  
ජනයාට හේන් කිරීමට ඉඩදීමට එරෙහි රජයේ ප්‍රතිපත්තිය ගැන කලකිරුණු ඔහු තුළ වූ අප්‍රසන්නතාව වරෙක පිට වන්නේ මෙලෙසිනි. “බොහොමයක් ගම් පිළිබඳව සැලකීමේදී පෙනී යන්නේ එක්කෝ ගම අභාවයට යා යුතු බවය; නැත්නම් හේන් කිරීමට අවසර ලබාදිය යුතු බවය” (1909 ජූලි 21).  

දිළිඳු ගැමි ජනයාගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනය. එසේ වුවද හේන් ගොවිතැනට එරෙහිව රජය විසින් විටින් විට පැනවූ විවිධ නීති නිසා ගම් පාළු වී යන්නට වූ ආකාරය වුල්ෆ් මෙලෙස අප හමුවේ තබයි.  

“..... මහවෙල සහ විදානේහෙගම යන ගම්වල ජනයා පදිංචි කරවූයේ 1908 දී සහ 1909 වසරේ මුල භාගයේදීය. 1891 දී එහි ජනගහනය සමන්විත වූයේ පවුල් 7 කට අයත් 27 දෙනෙකුගෙනි. 1901 දී පවුල් 9 කට අයත් 41 දෙනෙකු බවට එයට පත්ව තිබුණි. 1908 දී හේන් කිරීම රජය විසින් නවතා දමන ලදී. දැන් එහි සිටින්නේ පවුල් 4 ක් පමණකි.” (1910 නොවැම්බර් 25)  

හේන් ගොවීන් වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටීම නිසා මහ දිසාපතිවරයාගේ දෝෂාරෝපණයට පවා ඔහු ඇතැම් විට භාජන වූ බවක් පෙනීයයි. “.... මගේ දැන ගැනීම පිණිස ගාලු කච්චේරියෙන් මා වෙත එවා තිබූ ලිපි ගොනුවෙන් මට දැන ගැනීමට ලැබුණේ ගැමියන්ට හේන් තිබීම අවශ්‍ය බවත්, එසේ නොවුණහොත් ඔවුන් හාමතින් පෙළෙනු ඇති බවත් කියමින් මා එකදිගට ලිපි එවන බවය.” (1909 නොවැම්බර් 17)  

ප්‍රදේශය තුළ පිහිටි නටබුන්ව ගිය වැව් පිළිසකර කරමින් ගොවිතැන නඟා සිටුවීමට වුල්ෆ් අප්‍රතිහත ධෛර්යයකින් යුතුව කටයුතු කළද ඇතැම් විට වාරිමාර්ග පිළිබඳ රජයේ ප්‍රතිපත්ති සහ අදාළ උසස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ඔහු තුළ ඇති කළේ උදාසීන කලකිරීමකි. ගොවීන්ගේ අවශ්‍යතාවන් ගැන නොසලකන වාරිමාර්ග නිලධාරීන් ගැන ඔහු විටෙක උදහස් විය.  

“(වාරිමාර්ග නිලධාරීන්) ගොවීන්ට මේ ආකාරයෙන් සැලකීම ගැන බෙහෙවින් කනගාටු විය යුතුය. ඔවුන් යල කන්නයේදී තම වගාවන් කළේ ගව වසංගතයට මුහුණ පා සිටිමින් ඉමහත් දුෂ්කරතා මධ්‍යයේය. උපදිසාපතිවරයාට දැනුම් දීමක් නොකර ජලය අවශ්‍ය කරන අක්කර 2000 ප්‍රමාණයක භෝග කුඹුරුවල තිබියදී ඉංජිනේරු අධ්‍යක්ෂවරයා ජලය නිකුත් කිරීම නවතා දමා තිබේ.... ‍ මේ ආකාරයේ දේවල්වලින් ඇති වන ඉතාමත් ඛේදජනක ප්‍රතිඵලය වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් තමන්ට සාධාරණ සැලකීමක් අපේක්ෂා කළ නොහැකිය යන අදහස ගොවීන් තුළ මුල්බැසගැනීමය.” (1909 අගෝස්තු 3)  

තම රාජකාරිය නිසි ලෙස ඉටු නොකරන නිලධාරීන් ගැන ඔහු උදහස් වුවද ඔවුන්ගේ අවිචාරවත් ක්‍රියාකලාපය නිසා පීඩාවට පත්ව දිවි ගෙවන පොදු ජනයා වෙත ඔහු හෙළුවේ සානුකම්පික බැල්මකි.  

“.....පල්ලෙමලල වැවේ වැඩ මේ මාසයේ දින 6ක් තුළ නිම කිරීමට නියම කර තිබුණි. ගැමියන් අඳෝනා නැගීමට හේතු වී තිබුණේ පොළොව කෙටීමට බැරි තරමට තදව තිබීමය. එය තරමක් දුරට ඇත්තක් බව පෙනී ගියෙන් ඔවුන්ගේ ශ්‍රමය ඒ වෙනුවට ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී කැඳවනු ලැබේ.”
(1909 ජූලි 4)

වරෙක වුල්ෆ් රජයේ ක්‍රියාමාර්ග ගැන කලකිරීමට පත් වූයේ උඩරට පළාත්වල වැවිලිකරුවන් විසින් තමාට එරෙහිව රජයට කර තිබූ පැමිණිලි හේතුවෙනි. ගව වසංගතය උත්සන්නව පැවති කාලයේදී ඔහු බදුල්ල, මොනරාගල ආදී පළාත්වලට ගැල් මගින් හම්බන්තොට සිට සහල් ප්‍රවාහනය කිරීම තහනම් කළේ ගව වසංගතය පැතිර යෑමෙන් සිදු වන මහා ව්‍යසනයෙන් තම දිස්ත්‍රික්කය බේරා ගැනීමටය. වැවිලිකරුවන් විසින් කරන ලද පැමිණිල්ල අනුව තමාගෙන් රජය කරුණු විමසා ඇති ආකාරය ඔහු තුළ ඇති කළේ සිත් වේදනාවකි.  

“මවිසින් ගනු ලැබූ පියවරවල් මොනවාදැයි ප්‍රකාශ කරන ලෙස රජය මට දන්වා එවා ඇත. යමෙක් කාර්යාලය තුළ පැය 13ක් හෝ 14ක් රැඳී සිටිනවාට වඩා කළ යුත්තේ ආසාදිත ප්‍රදේශවලට ගොස් ජනයා ලවා කළ යුතු දේ කරවීම වන අතර කෙනෙකු ඒ ස්ථානයේම නොසිටී නම් කළ යුත්තේ කුමක්දැයි යන්න කිසිවෙකුට මොහොතකට හෝ කල්පනා නොවෙනු ඇත.” (1903 මැයි 26)  

නීතිය කඩ කරන, පැහැර හරින ස්වදේශීය නිලධාරීන්ට හා සාමාන්‍ය ජනයාට මෙන්ම තම රටේම සුදු ජාතියෙකුට වුවද එරෙහිව එක හා සමාන ආකාරයෙන් කටයුතු කිරීමට වුල්ෆ් පසුබට වී නොමැත. එයට කදිම නිදසුනක් වන්නේ දඩයක්කරුවන්ගේ අභයභූමිය තුළට ඇතුළු වී නීතිවිරෝධී ආකාරයට මුවෙකු දඩයම් කළ සුදු ජාතික වැවිලිකරුවන් දෙදෙනෙකුට එරෙහිව ඔහු නීතිය ක්‍රියාත්මක කළ ආකාරයයි. ඉන් එක් වැවිලිකරුවෙකු දඩයම් ආරක්ෂක සමිතියේ සාමාජිකයෙකු වුවද ඒ කිසිවක් නොතැකූ ඔහු වරදකරුවාට රුපියල් 50 ක දඩයක් ගැසීය. නීතියෙන් රිංගා යෑමට ඉඩක් වුල්ෆ්ගෙන් නොලැබීමෙන් වැවිලිකරුවා දඩය ගෙවා ඇත්තේ තම අප්‍රසාදය පළ කරමිනි (1909 ජුනි 8).  

අප රටේ ජනයා අතර පවතින යහපත් ගතිගුණ මෙන්ම ඔවුනට ආවේණික සහජ දුර්වලතාද වුල්ෆ්ගේ විමසුමට භාජන වී තිබේ. නොමිලයේ යමක් ලැබේ නම් ලෙඩක් වුවත් භාර ගැනීමට ස්වදේශික ජනයා තුළ පවතින පුරුද්ද ඔහු එක් තැනක දක්වා ඇත්තේ මෙලෙසිනි.  

“(ගවයන්) එන්නත් කිරීමට ඉඩ නොදීමට ගැමියා නිගමනය කිරීමට හේතු වී ඇත්තේ ඒ සඳහා ඔවුනට එක සතයක් හෝ වැය කිරීමට සිදු වීම නිසා බව ස්වදේශීය ජනයා පිළිබඳ කිසියම් අත්දැකීමක් ලබා ඇති ඕනෑම අයෙක් දනී. ඔබ ඔවුනට යමක් නොමිලයේම කර දෙන බව කිවහොත්... ඔවුන් ඔබට ඊට ඉඩ ලබාදෙන්නේ ඔබෙන් යමක් නොමිලයේම කරවා ගැනීමට ඔවුන් රිසිවන නිසාය” (1909 පෙබරවාරි 22).  

කෙතරම් තීක්‍ෂණ බුද්ධියෙන් යුත් කාර්යශූර නිලධාරියෙකු වුවද වුල්ෆ් අමාරුවේ වැටුණු අවස්ථාද නැත්තේ නොවේ. එක් සැන්දෑවක මොනරෙකු දඩයම් කර ගැනීමට බුන්දල ගන වනය තුළට වැදුණු ඔහුට පාර වැරදී ගොස් වනයෙන් එළියට යාගත නොහැකි වීමෙන් සිදු වූයේ මුළු රැයම වනය තුළ ගත කිරීමටය.  

“අඩ පැයක් නිදා ගැනීමෙන්ද, යළි අවදි වෙමින්ද, ගිනිමැලය නිවී යා නොදී රැක ගැනීමට වියළි දරකෝටු සොයා යෑමෙන්ද මට ගත කිරීමට සිදු වූයේ ඉතා වෙහෙසකර රාත්‍රියකි” (1909 අගෝස්තු 20).  

නිල සංචාරයේ යෙදෙන අතරවාරයේ ඔහුට ඇතැම් විට සමාජ අසාධාරණකම් ගැන ගැටලු විසඳීමටද සිදුව තිබේ. මිද්දෙණියේදී ඔහු වටකර ගත් එක්තරා කුලයකට අයත් ගැහැනුන් පිරිසක් පැමිණිලි කර සිටියේ තමන්ට පනවා ඇති තහංචියක් පිළිබඳවය. ඔවුනට උඩුකය වසා හැඳීමට අවසර තිබුණේ පියවුරු ආවරණය කර ගැනීමට තරම් ප්‍රමාණවත් රෙදිකඩකින් පමණකි. වී කෙටීමේදී ලිහිල්ව තිබෙන රෙදිකඩ ඉවතට ගොස් ළැමැද නිරාවරණය වීමෙන් තමන් මහත් අසීරුවට පත් වන බවට ඔවුහු මැසිවිලි නැඟූහ. එම ගැටලුව වුල්ෆ් විසඳුවේ සෙසු කුලවල ජනයාගේද අනුමැතියෙන් අත් නොමැති හැට්ට හැඳීමට ඔවුනට ඉඩ ලබා දීමෙනි (1909 සැප්තැම්බර් 7).  

තම රාජකාරිය දිස්ත්‍රික්කයේ පරිපාලන සහ අධිකරණ ක්ෂේත්‍රයන්ට පමණක් සීමා නොකළ වුල්ෆ් ස්වකීය ප්‍රදේශය තුළ අධ්‍යාපනය නඟා සිටුවීමටද ප්‍රයත්න දරා ඇත්තේ අධ්‍යාපනඥයෙකුගේ භූමිකාව විදහා පාමිනි. ඔහු විසින් දුරබැහැර පළාත්වල අලුතින් පාසල් ගණනාවක් අරඹන ලද අතර ඇතැම් පාසල් වැඩිදියුණු කළේය. තම නිල සංචාරයන්හිදී හමු වන සෑම පාසලක්ම ඔහුගේ පරීක්ෂාවට භාජන විය. ඇතැම් පාසලකදී එහි කෙරෙන ඉගැන්වීමේ තත්වය පමණක් නොව ගුරුවරුන්ගේ බුද්ධි මට්ටම පවා ඔහුගේ පරීක්ෂාවට ලක් විය. කටුවන රජයේ පාසලේදී ‘මුහුද’ ගැන සිසුන්ට පාඩමක් කියා දීමට ගුරුවරයා මෙහෙයවූ ඔහු එය කළ දක්ෂ ආකාරය ගැන පැහැදී ඔහුට ප්‍රශංසා කර තිබේ. (1909 මාර්තු 15)  

වුල්ෆ් තම රාජකාරිය ඉටු කිරීමේදී නීතිය අකුරටම පිළිපදින දැඩි සිතක් ඇති නිලධාරියෙකු ලෙස නම් දරා සිටියද ඔහු හාස රසය ප්‍රිය කළ අයෙකු බව දැක්වෙන සිද්ධිද නැත්තේ නොවේ. වරාපිටිය ගමේ රාජකාරි කටයුත්තක නිරතව සිටියදී මුහුණ පුරා වැඩුණු තම රැවුළින් අඩක් බාගත් මහල්ලෙකු ඔහු ඉදිරියේ හඬා වැටී පැමිණිලි කළේ කරණවෑමියා තම රැවුළින් අඩක් බා ඉතිරි අඩ බෑමට ශත 50ක් ඉල්ලා සිටින බවය. එකල රැවුළ බෑමේ ගාස්තුව වූයේ ශත 5කි. කරණවෑමියා එතැනට ගෙන්වාගත් වුල්ෆ් ඔහුට අණ කළේ රැවුලේ ඉතිරි අඩ බා මහල්ලාට ශත 50ක් ගෙවන ලෙසටය. එය විනෝදය පිණිස කළ රංගනයක් බව තේරුම්ගත් වුල්ෆ් පවසන්නේ “ගම්වල නිල සංචාරයේ යෙදෙන විට ඉඳහිට මෙවැනි විනෝදජනක නඩු විභාග කිරීමට ලැබීම සාමාන්‍ය දෙයක් බවය.” (2010 පෙබරවාරි 17)

තම දිස්ත්‍රික්කය තුළ අපරාධ මැඬලීමට යොදවා සිටි පොලිස් නිලධාරීන් ඇතැම් විට අපරාධවලට මුල් වූ අවස්ථාද වුල්ෆ් අපට හෙළි කරයි. රන්න ප්‍රදේශයේ සිදු වන අපරාධ විමර්ශනය කිරීමේදී ඔහුට පෙනී ගියේ සාමකාමී ජනතාවක් වසන එහි පොලීසියක් පිහිටුවීමේ සාධාරණත්වයක් නොමැති බවය. සහකාර පොලිස් අධිකාරිවරයාද සමග ගොස් ඒ පිළිබඳව සොයා බැලීමක් කළ ඔහුට පෙනී ගියේ පොලීසියට කිරීමට තරම් රාජකාරියක් එහි නොමැති වීම නිසා නිකරුණේ කල් ගත කරන පොලිස් නිලධාරීන් අපරාධවලට මුල් වී ඇති බවය. වුල්ෆ් තානායමේ සිටියදී එහි පැමිණ ඔහු වටකර ගත් පොලීසිය අවට වසන ගැහැනු දස දෙනෙකු පොලිස් නිලධාරීන්ගෙන් තමන්ට පැමිණෙන ලිංගික අතවර ගැන පැමිණිලි කර සිටි අතර ප්‍රදේශයේ වැදගත්හුද ඒ බව සනාථ කර සිටියහ. ඒ අතරට පැමිණි රුවැති ළඳක් පැමිණිලි කරන්නට වූයේ පොලීසිය භාර නිලධාරියාගෙන් තමන්ට අතවර සිදු වන බවය. ඇය දෙස විමසුම් බැල්මක් හෙළුෑ වුල්ෆ් පසුව තම නිගමනය වාර්තා කර ඇත්තේ මෙලෙසිනි.  

“පෙනුමැති ගැහැනු විරල මේ පළාතේ මේ ගැහැනිය නඟන චෝදනාව පිළිගැනීමට ඇගේ රූමත් බවට වඩා හොඳ සාක්ෂියක් තවත් කුමටද?” ඔහු එවලේම සහකාර පොලිස් අධිකාරිවරයාට දන්වා සිටියේ එම පොලිස් නිලධාරීන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසටය. (1910 අගෝස්තු 17)  

තමා ලද අත්දැකීම් සියල්ල කැටිකොට 20 වන සියවසේ මුල් භාගයේ ලංකාවේ රුහුණු පුරවරයේ නැඟෙනහිර ගිරුවාපත්තුවේ දරිද්‍රතාවේ අන්තයට ගිලී, මිනිසුන්ගේ විවිධ අඩන්තේට්ටම්වලට මුහුණ පාමින් විසූ අසරණයන්ගේ ඛේදාන්තයේ එක් පැතිකඩක් විවරණය කරමින් හද සසල කරවන නවකතාවක් රචනා කිරීමට වුල්ෆ්ට හැකි වූයේ ඔහු තම හදවතින් ඔවුන් ගැන වැළපුණ සැබෑ මානව හිතවාදියෙකු වූ නිසාය.

[චන්ද්‍රශ්‍රී රණසිංහ]

මාතෘකා