සම්මුගලිංගම් හෙවත් සිත් අලවන සපතේරුවා

 ඡායාරූපය:

සම්මුගලිංගම් හෙවත් සිත් අලවන සපතේරුවා

මේ දිනවල අපට නිතර ඇසෙන්නේ එකම කටහඬවල් සමූහයකි. ඒවායෙන් බොහෝ විට නැඟෙන්නේ සැකයේ, අවිශ්වාසයේ හා වෛරයේ නාදයයි. ඒවා මිනිසුන් ළං කරන අදහස් නොව ඔවුන් එකිනෙකාගෙන් ඈත් කරන අදහස්ය. එහෙත් අපට ඇසෙන දේ යථාර්ථය නොවේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් අදහස් ඇති මිනිස්සු කතා කරති. ඒ හඬට කන්දෙන, ඒවා උපුටා දක්වන අවස්ථා විරලය. මේ එබඳු කටහඬකි. තිස් වසරක් තිස්සේ නිහඬව ලෝකය නිරීක්ෂණය කළ ඔහුට සවන් දීම අපූරු අත්දැකීමකි.

 

පදිකවේදිකාවේද හඬක් ඇත. කැඩෙන සපත්තු හඬ නවතින්නේ පදිකවේදිකාවේය. ඒ හඬට ජීවය දෙන සම්මුගලිංගම් තිස්වසරක් පුරා නගරයේ සැරිසරන දහසක් පා යුගවල රිද්මය හඳුනන්නේය. කුමන කුලයේ කුමන ජාතියේ හෝ කුමන ආගමේ අයෙකුගේ වුව පයට පෑගෙන දූවිලි දෑතේ තැවරෙන ඔහු නගරයේම හදගැස්මට කන්දෙන්නේ සැබෑවටම බිම් මට්ටමේ සිටය.

මීට පහළොස් වසරකට පෙර අනුරාධපුර පැරණි නගරයේ කුරුණෑගල හන්දිය සිංහල දෙමළ මුස්ලිම් නිවාස එකිනෙකට පෑහුණු පුංචි ගම්මානයකි. පසුව අනුරාධපුර ශුද්ධ නගරයේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු වෙනුවෙන් මෙම පදිංචි කරුවන්ට දේවානම්පියතිස්සපුර නමැති, තිසාවැව ඔබ්බෙහි ඇති නව නිවාස යෝජනාක්‍රමයට අයත් ගම්මානය වෙත සංක්‍රමණය වන්නට සිදු විය. එසේ ගියත් මේ ගම්මානය තුළ තිබූ නානාවිධ සහජීවන ගුණාංගයන්ද පොදි බැඳගෙන ගිය මේ ජනයා කවදාවත් ආගම හෝ ජාතිය මුල්කරගෙන ඇණකොටාගත්තේ නැත. මේ ගමේ සිංහල දෙමළ මුස්ලිම් තුන්වර්ගය සිංහල දෙමළ භාෂා දෙකෙන්ම කතා කරති. සමහරු තමා කුමන ජනවර්ගයේද යන්න දන්නේවත් නැත. බෞද්ධ වුවත් නැතත් මේ හැමෝම ශ්‍රී මහා බෝධියට ඇත්තේ අසීමිත බැඳීමකි.

කෝවිලත් පංසලත් දෙකම උදේට සිහි කර මේ ගමේ සිට නගරයට එන ආර්. සම්මුගලිංගම් සිය දවස පටන්ගන්නේ දවල් දෙකටයි. දේවානම්පියතිස්සපුර බොහෝ පිරිසක් තෝරාගෙන ඇති නගර සභාවේ කම්කරු සේවාවේ වැඩමුරය අතර ඔහුට හිමි වී ඇත්තේ අලුයම පහේ සිට පස්වරු දෙක දක්වායි. නගරයේ පිරිසිදු කිරීම් ඇතුළු නගර සභා රාජකාරිය අවසන්කරන ඔහු දිවා ආහාරයට කියා ආපසු නිවස බලා යන්නේ නැත. අනුරාධපුර ප්‍රධාන තැපැල් හල ඉදිරිපිට පදිකවේදිකාවට එන සම්මුගලිංගම් දවස අරඹන විට නගරයේ කාර්යාල සේවකයින්, දුරබැහැර පදිකයින් ඇතුළු නානාවිධ පිරිස් ඔහු එන මඟ බලා සිටිති.

නගරයේ සපත්තු සාදන්නන් කොතෙකුත් සිටියදී පිරිස් ඔහු වෙත එන්නේ සම්මුගලිංගම් ගසන ඇණ හා අලවන මැලියම්වල මොනයම් හෝ රහසක් ඇති නිසාද? ඇත්තෙන්ම ඒ රහස ඇත්තේ මැලියම්වල නොවේ. ඔහුගේ හදවතේය...

"මම මෙතන දැන් අවුරුදු තිහක් සපත්තු හදනවා. මේ ටවුමට යන එන මිනිස්සු, රථවාහන, සිද්ධවන දේවල් සියල්ලම මට පෙනෙනවා. රටේ මිනිස්සු හැසිරෙන විදියත් මට හොඳට දැනෙනවා. රටේ පාලකයෝ කරන දේවලුත් මම හොඳට අත්විඳිනවා.

රටේ ඇතිවුණු හැම කලකෝලාහලයකින්ම මමත් දුක්වින්දා. එක්දාස් නවසිය අසූගණන්වල ශ්‍රී මහා බෝධියට ත්‍රස්තවාදීන් පහර දුන්නාට පස්සේ මේ නගරයේ ඇති වුණු ජාතිවාදි ප්‍රශ්නවලදි අපේ පවුලේ අයටත් නගරයෙන් යන්න වුණා. හැබැයි අපේ අහල පහළ කවුරුවත් අපිට කරදර කළේ නෑ. අපේ ආරක්ෂාව සඳහා තමා රජය අපිව වව්නියාවේ ඕමන්තේට එහා ගමකට ඇරලුවේ. අම්මා තාත්තාත් එක්ක අපේ පවුලේ අට දෙනෙක් හිටියා. අපට රජයෙන් ආධාර දුන්නා. ඒවුණාට ඒක මදි. ජීවත්වෙන්න එහෙදී කුලීවැඩ කළා. ගොඩාක් දුක් කරදර වින්දා.

"1989 අවුරුද්දෙ තමයි මම විවාහ වුණේ. මගේ බිරිඳ කිලිනොච්චියේ. මට පුරුදු පන්සල් ගිහින්. අපි දෙන්නාම කෝවිලටත් යනවා පන්සලටත් යනවා. අපේ දරුවෝ වුණත් එහෙමයි. එයාලා දැන් වැඩිමහල් අය. පුතාලා දෙන්නායි. දුවලා දෙන්නයි. ඒ අය විවාහ වෙලා ගිහින් රැකී රස්සා කරනවා.

"මම රටට ආදරය කරන කෙනෙක්. මේ රටෙන් සියලු වරප්‍රසාද ප්‍රයෝජන අරගෙන වෙන රටක් ගැන සිහින මවන කෙනෙක් නෙවේයි මම. අපේ දරුවොත් එහෙමයි. ඒ නිසා රටේ ප්‍රශ්න ගැන කතාකරන්න අපිට අයිතියක් තියෙනවා. ඒ කියන්නේ, 'අපිට මේවා අයිතියි, අපට මේ මේ දේවල් දෙන්න, අපි සුළු ජාතින් නිසා මෙහෙම වෙන්න ඕනෑ මෙහෙම වෙන්න ඕනෑ' කියලා තමන්ට ඕනෑ දේවල් ඉල්ලන්න නෙවෙයි.

"මම හරි ආසයි ඉල්ලීමක් නරන්න, හැම දේම මේ රටෙන් ලබාගන වෙන රටවල අය වගේ වෛරයෙන් මෙහෙ ජීවත් වෙන්න එපා කියලා. රටේ අයිතිවාසිකම් තියනවා කියලා නානාප්‍රකාර හේතු කියන අය ඉන්නවා. පරම්පරා හත අටක සම්බන්ධකම් කියනවා. අහවල් පළාතේ අයිතිය වැඩියි කියනවා. මානව හිමිකම් අනුව නීතිය මෙහෙම අපිට සාධාරණය වෙන්න ඕනෑ කියනවා. සමහරු පිට රටට කේළාම් කියනවා. රට අපහාසයට ලක්කරනවා. රට තමන්ගේ නම් තමන්ගේ රටේ නම්බුව රකින්න කියලා මම ඉල්ලන්න කැමතියි. රටේ තියන ගස්කොලන්වලට ආදරය කරන්න කියලා මම හැමෝගෙන්ම ඉල්ලනවා.

"මගේ නෝනගේ ගමට යද්දී කිලිනොච්චියෙන් ගිහින් ඒ ගමට හැරෙන හන්දියේ මහ විශාල සියඹලා ගහක් තිබුණා. කාලෙකදි කොටි සංවිධානයෙන් ඒ ප්‍රදේශයේ පාර හැදුවා. හැබැයි මේ ගහ බේරලා තමා පාර හැදුවේ. මම කොටින්ගේ වැඩ කිසිම දෙයක් අනුමත කරන්නේ නෑ. ඒත් ඒ අය ගස්වැල් විනාශ කළේ නෑ. පරිසරයට ආදරය කළා. මම ඒකට ගරු කරනවා. කොහොම වුණත් යුද්ධය ඉවර වුණාට පස්සේ මෑතක මම ඒ ගමට යනකොට පාර කාපට් කරලා. එතන ගහකුත් නෑ. මට හරි දුක දැනුණා.

"සිංහල,දෙමළ මුස්ලිම් තුන්වර්ගය තුළම සාමයට බාදා කරන අය ඉන්නවා. මේ අය ළඟ පුදුම තර්ක තියන්නේ. ඒ හැම එකම සමාජයෙන් තමානට මොනවා හරි ලබාගන්න. ආදරේ කරන්නේ, ඒ සමහරු තමන් අයිතියි කියලා හිතන්නේ වෙන රටකට. මට කියන්න ඕනෑ රටේ පරිසරය ආරක්ෂා කරන එක අයිති සිංහල අයට විතර ද කියලා. රුක් රෝපණ ව්‍යාපාර, දන්සල් දීම්, ගංවතුර නියඟ ආවාම ආධාර දෙන එක, පුරා වස්තු ආරක්ෂා කරන එක කරන්න ඕනෑ සිංහල අය විතරද? මම සිංහල නොවන කෙනෙක් හැටියට කියන්නේ මේ රට තමන්ට අයිතියි කියලා හිතනවා නම් රටේ පොදු සම්පත් කඩා වඩා ගන්න නෙවෙයි රටේ පොදු දේවල් තමන්ට, තමන්ගේ දරුවන්ට ජීවත්වෙන්ඩ තියන දේවල් කියලා හිතන්න ඕනෑ.

"විශේෂයෙන් මම මුස්ලිම් ජන කොට්ඨාසයෙන් ඉල්ලනවා ඔබ අපෙන් වෙන් වෙන්න හිතන්න එපා. සිංහල දෙමළ අපි දෙවර්ගය ගත්තාම අපට විවාහයට නීතියෙන් බාදාවල් නෑ. දෙමළ පවුලක කනෙක් සිංහල කෙනෙක් කසාද බැන්දා කියලා විරුද්ධකම් කරලා නෑ. සංස්කෘතියේ බාදාවල් නෑ. අපිට කෝවිල් යනවා කියලා ඒ අය දොස් කියන්නේ නෑ. අපේ කෝවිල් වලට අගෞරව කරන්නේත් නෑ. අපිත් එහෙමයි බුද්ධාගම ඇදහුවා වුණත් නැතත් කවදාවත් අගෞරව කරන්නේ නෑ. අපේ කෝවිලකට කෙනෙක් ආවාම මොන ජාතියේද කියලා අහන්නේ නෑ. දරුවන්ට ඒවා හෙළා දකින්න කියන්නේ නෑ. ඒක හොඳ ආදර්ශයක්. මුස්ලිම් සමාජය ඒ ආදර්ශය ගන්න කියලා මම ඉල්ලනවා.

"අපි නම් දෙනෙක් ජාතිය මුල් කරගෙන දේශපාලන පක්ෂ තෝරාගන්නේ නෑ. ඇඳුමෙන් පැළඳුමෙන් දරුවන්ව වෙනස් කරන්න හදන්නේ නෑ. ඉස්කෝලෙදි මේ විෂය ඉගෙනගන්න, මේක ඉගෙනගන්න එපා කියලා ජාතින් අනුව අධ්‍යාපනය වෙනස්කරගන්න හදන්නේ නෑ. කෑම කන්න කඩවල් තෝරන්නේ නෑ.

"පාලකයින් අපට මේ දේවල් කියලා දෙන්නේ නෑ. ඒත් රටේ පුංචි මිනිස්සු හැටියට අපි මේවා තේරුම් බේරුම් කරගෙන ජීවත් වෙන්න අවශ්‍යයි. පාලකයෝ ඇවිත් උඹලා අහවල් ජාතියේ හින්දා අහවල් පක්ෂයට ඡන්දය දිපල්ලා කියලා බල කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕනෑ. හොයලා බලන්න ඕනෑ මේ කියන අය කවදා හෝ අපේ රටේ වැව් අමුණු ආරක්ෂා කරන්න ඕනෑ, කැළේ සත්තු මරන්න එපා, පාරවල්වල නගරවල කුණු දාන්න එපා ආදි වැදගත් ප්‍රතිපත්ති ඒ අයගේ පක්ෂවල ඇතුළු කරලා තියනවාද කියලා. වෙනම ආණ්ඩු පිහිටුවන්න, වෙනම බලප්‍රදේශ පිහිටුවන්න කියලා ඉල්ලනවා. අඩුම ගානේ එහෙම ඉල්ලන ස්ථානයේ පරිසරය ආරක්ෂා කරන්නවත් හිතලා නෑ. මේ අයව ආදර්ශයට ගන්න නම් එපා. මගේ ඉල්ලීම රට තමන්ට අයිතියි, සාමය ඇති කිරීමත් තමන්ට අවශ්‍යයි ආදි හිතන අයට තමන්ගේ රටට ආදරය කරන්න කියන එක. එතකොට රටේ සාමය නිකම්ම ඇති වෙනවා." යැයි පැවසීය.

පරණ සපත්තුවට අලුත් අඩිය අලවන්නා සේ සම්මුගලිංගම් නගරවාසීන්ගේ සිත් සතන් ද ඇද බැඳගෙන ඇත්තේ ඔහු සතු මේ සුබවාදී ආකල්ප නිසා ය. කටුවට නූල අමුණන ගමන් හෝ රබර් මැලියම වේලෙන තුරු ඔහු නිරතුරු මේ අදහස් එළියට දමයි. එහෙත් ඒ හඬ ඇසෙන්නේ කී දෙනාටද?

[සරත් මනුල වික්‍රම]

News Order: 
-1
මාතෘකා