අභීත රණශූරියකගේ විස්මිත අත්‍යාලංකාරය Manikarnika

 ඡායාරූපය:

අභීත රණශූරියකගේ විස්මිත අත්‍යාලංකාරය Manikarnika

වසර 1857 වකවානුව තුළදී ඉන්දියාවේ ආධිපත්‍යය දරා සිටි බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ ක්‍රෑර පාලනයට එරෙහිව කැරළි ගැසූ, Rani Lakshmibai හෙවත් Jhansi පුරවරයේ අභීත රණශූරියගේ විශ්මිත අත්‍යාලංකාරයක් මෙලෙසින් සිනමාවට නැඟුණා.

සිනමාත්මක උපහාරයකින් පිදිය යුතුම ජාතික වීරවරියකගේ චරිතාපදානයක් විදිහට රංගන ශිල්පිනී Kangana Ranautගේ රංගන දිවියේ සුවිශේෂී කඩ ඉමක් මේ ඔස්සේ සනිටුහන් වෙනවා. වයස අවුරුදු විසි දෙවැනි වියසපිරෙද්දීම ඉන්දියානු ජාතික සිනමාසම්මානයෙන් පිදුම් ලබන්නට හැකි වූ ලාබාලතම ඉන්දීය රංගන ශිල්පිනියක් ලෙසින් Fashion (2008) චිත්‍රපටයේ සහය රංගනය වෙනුවෙන් ඈ සම්මානයට පාත්‍ර වූවා. ජනප්‍රිය තලයක රැඳුණත් කලක් තිස්සේම ක්‍රමානුකූලව වැඩිදියුණු කරගෙන ආ සිය රංගන කුසලතාවෙහි ශක්තිමත්ම චරිත නිරූපණය ඉදිරිපත් කරන්නට මේ හරහා ඇයට හැකි වෙනවා. Historical Drama වර්ගයේ චිත්‍රපට චරිතයකට ප්‍රථම වතාවට පණ පොවන ඇගෙන් දකින්නට ලැබෙන රාජකීයත්වය අතිදැවැන්ත ස්වරූපයකින් විදහාපාන්නට ඈ සමත්ව තිබෙනවා. කුඩා බල ප්‍රදේශයක කුමරියක් ලෙසින් අභිශේක ලබන ඈ පසු කලෙක Rani Lakshmibai ලෙසින් ලෝ පතළ මහා චරිතයක් වන්නට තුඩුදුන් ජීවන චාරිකාව තුළ අත්විඳින දෑ බොහෝයි. කෙළිලොල් කුමරියක්, ආදරණීය බිරිඳක්, ස්නේහවන්ත මවක්, රාජ්‍යක් රක්ෂා කරන රැජිනක් සහ අභීත රණශූරියක් වශයෙන් වන විවිධාකාර වූ ස්වරූපමය පැතිකඩයන්ගෙන් සැඳුම් ලබන චරිතාපදානයක් වෙනුවෙන් යොදාගන්නා රංගන ශිල්පිනියත් අනිවාර්යයෙන්ම සුවිශේෂී අයෙක්ම විය යුතු වනවා. Kangana Ranaut ලෙසින් දැක තිබෙන රංගන ශිල්පිනියට මෙය කිනම් ආකාරයේ අභියෝගයක් වෙයිද, මේ සා දැවැන්ත පෞරුෂයක් හසුරුවාගන්නට ඈට හැකි වෙයිද, විශේෂයෙන්ම රණශූර රැජිනක සතු විය යුතු ප්‍රතාපවත් බව ඈ කෙරෙන් කෙසේ දිස් වේවිද යන පැනයන්ට සියලුම පිළිතුරු ප්‍රථම පූර්ව ප්‍රචාරක පටයෙන්ම දැනගන්නට ලැබුණා. සමස්ත සිනමා සිත්තම පුරාම ඈ කෙරෙන් දකින්නට ලැබෙන ලාලිත්‍යවත් බව සහ දැඩි බව එකම තලයක රඳවා ගනිමින් ඉදිරිපත් කරන නිරූපණය වසරේ මතකයේ රැඳන එකක් වනවා.

සටන් කරන්නට සිදුවූ සියලුම ඉන්දීය කැරළිකාර නායකයින් අතරින් වඩාත්ම භයංකර වූ නායිකාව Lakshmibai බව සඳහන් කරමින් Rani Lakshmibaiගේ කැරළිකාර සේනාව හා මුහුණට මුහුණ සටන් කරමින් බ්‍රිතාන්‍ය සේනාව මෙහෙයවූ Hugh Ross විසින් ඇය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කර තිබෙනවා. චිත්‍රපටයට එම මුහුණට මුහුණ සටන ආදේශ කරගැනීමේදී Kangana Ranautව යොදාගැනීම සම්බන්ධයෙන් යොමු කර තිබූ අවධානය කැපී පෙනෙන එකක්. එතෙක් මෙතෙක් ඉන්දීය සිනමාව තුළ නිර්මාණය කෙරුණු ඉතිහාසගත වීරවරුන් අතර, වීරවරියක් ඉස්මතු කරලීම වෙනුවෙන් භාවිතා කළ හැකි උපරිම නිර්මාණාත්මක ක්‍රියාන්විතයක තීව්‍රතාවය, චිත්‍රපටය පුරාවටම ප්‍රේක්ෂකයා හට තදින්ම දැනෙන එකක් විදිහට ඇතුළත් කරවා තිබෙනවා. හුරුපුරුදු සුන්දර Kanganaගේ ආකර්ෂණීයත්වය එලෙසින්ම රඳවා තබා ගනිමින් තවත් පසෙකින් ඈ තුළම ඉන්නා එඩිතර ප්‍රතාපවත් මුහුණුවරත් ඉදිරිපත් කරවීමේදි, මුහුණෙන් කෙරෙන හැඟීම් ප්‍රකාශනයන් වඩාත් බලවත් ලෙස ඔපවත් කර තිබුණා. බ්‍රිතාන්‍ය උසස් සේනාංක නිලධාරි Hugh Ross විසින් ප්‍රකාශ කර ඇති පරිදිම භයංකර නමුත් පෙනුමෙන් සුන්දර, බුද්ධිමත් සහ අභීත කාන්තාවක් ලෙසින් සමස්ත චිත්‍රපටය පුරාම ඇගේ ආකර්ෂණීයත්වය පැතිර තිබෙනවා. එමෙන්ම සේනා සංවිධානය, පුහුණු කරලීම සහ සටන් ජවනිකා වෙනුවෙන් දකින්නට ලැබෙන රංගන කුසලතාවය අනපේක්ෂිත මට්ටමේ එකක්ද වනවා. එක් කඩු සටන් ජවනිකාවක් රූගත කිරීම් අතරතුරදී අතපසුවීමකින් එල්ල කළ පහරකින් ඇගේ ඇහිබැම අතර ප්‍රදේශය අනතුරකට ලක් වූ අතර, සිදුවූ තුවාලය මැහුම් 12 ක් යොදා සුව කරලීම සඳහා දැඩි සත්කාර ඒකකයට පවා ඇතුළත් කරවන්නට සිදුව තිබෙනවා. සාමාන්‍යයෙන් ක්‍රියාදාම දර්ශනයන් වෙනුවෙන් ආදේශක ශිල්පීන් යොදාගැනීමක් සිදු කරන නමුත් Kangana විසින්ම එය ප්‍රතික්ෂේප කළ නිසාම එම අනතුරට සෘජුවම මුහුණ දෙන්නට ඇයට සිදුවුණා. චිත්‍රපටයේ සියලුම සටන් අධ්‍යක්ෂණයන් Nick Powell විසින් සිදුකර තිබෙනවා.

දෙවියන්ගෙන් ලද වටිනා ආභරණයක් අර්ථයෙන් ඈ Manikarnika නම් කෙරුණත් විවාහයෙන් පසුව ඈ Lakshmibai නම් වනවා. බලලෝභයට පෑ කෑදරබව හේතුවෙන් සිය පරිවාරයෙන්ම සිදු කෙරුණු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙසින් ඈට තම ජීවිතයේ සියල්ලම අහිමි වන්නේ, Jhansi රාජධානියේ ආධිපත්‍යය පමණක් දිවිහිමියෙන් සුරැකිය යුතු වගකීමක් ලෙසින් ඇගේ උරමත පැටවෙමින්. චිත්‍රපටයේ විවේක කාලයට පෙර කොටසට එම වකවානුව වෙන් කරමින් විවේකයෙන් පසු කොටස වෙන් වන්නේ, කෲරතර බ්‍රිතාන්‍ය ආධිපත්‍යයෙන් පීඩිත තම වැසියන් ගලවා ගැනීමේ කැරැල්ල මෙහෙයවනා නායිකාවකගේ භූමිකාවට ලෙසින් කතාන්දරය තුළ හොඳ සමබර බවක් තිබෙනවා. ඇය වෙනුවෙන් සැකසූ වස්ත්‍රාභරණයන් තුළත් රැජිනකගේ අභිමානය සහ රණශූරියකගේ වීරත්වය විදහා දැක්වෙන පරිද්දෙන් අලංකාරකොට තිබෙනවා. චිත්‍රපටයේ දැවැන්ත බවවිචිත්‍රවත් රූපකරණයෙන් වඩාත් පුළුල්ව ඉදිරිපත්කර තිබෙනවා. ඉතිහාස කතන්දර ආකෘතියට මනාව පෑහෙන සංගීතයක් Shankar-Ehsaan-Loy ත්‍රිත්වය විසින් ගීත සඳහා මුසුකොට තිබෙනවා. Baahubali 2: The Conclusion, Magadheera වැනි තෙලිඟු වීර කාව්‍යන් සහ බොලිවුඩයේ Bajrangi Bhaijaan වැනි නිර්මාණයන් වෙනුවෙන් තිරරචනයෙන් දායක වූ K. V. Vijayendra Prasad විසින්ම මෙහි තිරරචනයත් සිදු කර තිබීම විශේෂ කාරණාවක්.

රංගනයෙන් ලබා දෙන දායකත්වය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක එකක් වීමේදී බොලිවුඩ් සිනාමාව තුළ තවත් දැවැන්ත පියවරක් Kangana විසින් මේ ඔස්සේම තබනවා. ඒ තම ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂණ කටයුත්ත හා සම්බන්ධ වෙමින්. චිත්‍රපටයේ රූගත කිරීම් 2018 වසර තුළදීම අවසන් වනවිට patchwork කටයුතු පමණක් ඉතිරිව පවතිද්දී අධ්‍යක්ෂක Krishට ඔහුගේ නවතම නිර්මාණය වන N.T.R හි වැඩකටයුතු වෙනුවෙන් කාලය වෙන් කරන්නට සිදුවනවා. ඒ අතරතුරදී සම අධ්‍යක්ෂිකාව වශයෙන් ඇය වෙත අනපේක්ෂිත බරක් පැටවුණේ මතුවූ මතභේදයක් හේතුවෙන් රංගන ශිල්පී Sonu Sood චිත්‍රපටයෙන් ඉවත්ව යන්නට තීරණය කිරීමේදී. Sonu Sood සම්බන්ධ සියලුම කොටස් නැවත නිර්මාණය කරන්නට සිදුවූ අතර තිරගත කිරීමට නියමිත දිනය වන විට සියල්ල නිම කරන්නට නිෂ්පාදන කණ්ඩායම හා මහත් කැපවීමෙන් කටයුතු කළ ඈට හැකි වුණා. ඒ අනුව ගිවිසගත් ජනවාරි 25 දිනයේදීම ලොව පුරා රටවල් 50කදී තිරගත කිරීම් ආරම්භ කරමින්, හින්දි, දමිළ සහ තෙලිඟු යන භාෂා ත්‍රිත්වයෙන්ම, සිනමාශාලා 3700 කදී Manikarnika මේ වනවිට තිරගත වනවා.

මාතෘකා