මුදලට විකිණෙන ශරීරවල කඳුළු කතාව Love Sonia

 ඡායාරූපය:

මුදලට විකිණෙන ශරීරවල කඳුළු කතාව Love Sonia

ගණිකා වෘත්තිය කියන දේ වෘත්තීමය මට්ටමින් ගත්තම ඉපැරණි ඉතිහාසයකට පවා උරුමකම් කියන එකක්. සමාජ සම්මතයන් තුළදී අසම්මත යැයි හංවඩු ගැසුණත්, සාධාරණ හේතූන් මත හෝ වෘත්තීමය වශයෙන් ගණිකා වෘත්තීය තෝරාගන්නියන් සහ ගණිකා වහල් වෙළඳාමක ගොදුරක් බවට පත් වන අවාසනාවන්තියන් අතර පැහැදිලිවම පවතින්නේ පරස්පර වූ වෙනසක්. වයස් සීමාවකින් තොරව, අමු අමුවේම කාමාතුරයින් සඳහා බිලිදෙනු ලබන ජීවිතවලට කොහෙන්ද වෘත්තීමය වටිනාකමක්? ගණිකා වෘත්තීය ම්ලේච්ඡ වහල් වෙළඳාමක් බවට පත් වූ කල්හි ඉන් අනේක අපා දුක්විඳිනාවුන් ගැන කියැවෙන, මුදලට විකිණෙන ශරීරවල කඳුළු කතාවක් ලෙසින් බොලිවුඩයෙන් නිපැයුණු Love Sonia චිත්‍රපටය මෑතකදී නරඹන්නට ලැබෙන අතිශය සංවේදීම කතන්දරක්.

චිත්‍රපටයට ප්‍රවේශය ලැබෙන්නේ ග්‍රාමීය ඉන්දියාවේ ඈතම කෙළවරක කෙළිදෙලෙන් ගත කරන පාසැල් වියේ පසුවන සොහොයුරියන් දෙදෙනෙකුගේ ආදරණීය සබඳතාවයකින්. නමුත් දරිද්‍රතාවය නිසාම අතිශය දුශ්කර වූ ජීවිකාවක් ගෙවන පවුල් සංස්ථාවකට ගැහැණු ළමයෙක් යනු ආශිර්වාදයක් නොව අවාසනාවක්. බඩ වියත රැකගන්නට කාෂ්ඨක ගිනිමද්දහනේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන තාත්තෙක්ට ගැහැණු දරුවෙකුගෙන් ඇති පලක් නැහැ බරක් මිසක්. සෝනියා සහ ප්‍රීති සොහොයුරියන්ට පියාගේ තාඩන පීඩන වැඩි වශයෙන්ම එල්ල වන්නේත් දුගී පවුලක ගැහැණු දරුවන් වී ඉපදුණු ඒ අවාසනාවටයි. දරිද්‍රතාවයේ අවසන් කෙළවරත් පසු කරමින් සිටියදී පෙනුමෙන් පැහැපත් වැඩිමල් දියණිය වන ප්‍රීතිව ගමේ බලවතෙකු වෙත මුදලට විකිණීමටත්, අඳුරු පැහැ සමැති බාල සොහොයුරිය සෝනියාව අත්වැඩ සඳහා රඳවා ගන්නටත් පියා විසින් තීරණය කරනු ලබනවා. තම ලෙයින් උපන් දරුවාව මුදලට විකිණීමට තරම් සිත් පිත් නැත්තෙක් කරවන තරමටම අන්ත අසරණ බවකින් ඔවුන් වෙළිලා. නමුත් සෝනියාට බැහැ මුම්බායි නගරය වෙත ගෙන යන තම එකම සොහොයුරියව අතාරින්නට. ඈ තීරණය කරනවා සොයා යන්නට. එතැන් පටන් ඇගේ ජීවන චාරිකාවේ ආරම්භය සනිටුහන් වන්නේ, ගැහැණු ළමයෙකු විසින් තම ජීවිතයෙහි කිසිඳු දිනකදී අත්නොවිඳිය යුතු තරමේ ජුගුප්සාජනක අත්දැකීම් රැසකට එක පිට එක මුහුණ දෙමින්.

ගණිකා වහල් වෙළෙඳාමක ගොඳුරක් බවට පත්වෙමින්, කූඩු කළ තිරිසන් සතෙකුගේ දිවියකට සම වන අනේක දුක් විඳින්නට ඇය විසින් සිත ධෛර්යමත් කරගන්නේ කෙසේ හෝ තම සොහොයුරිය සොයා ගෙන මේ නරා වලෙන් චුත වී යෑම එක්ම අධිෂ්ඨානය කරගනිමින්. මෙයාකාරයෙන් වූ සෝනියා සම්බන්ධ සියලුම සංසිද්ධීන් සැබෑම සිදුවීම් අනුසාරයෙන් සිදුවී ඇති ඒවා වීමයි චිත්‍රපටයෙහි සංවේදීම කාරණය වෙන්නේත්. Red Light Areas නමින් හඳුන්වන ලිංගික ශ්‍රමිකයින්ගේ පාරාදීසය සැබැවින්ම පාරාදීසයක සිරිගන්නේ, තම ශරීර සතපවා ගනු පිණිස ඊට ප්‍රවේශ වන කාමාතුරයන්ටම පමණක් බවත් මින් වඩාත්ම ඉස්මතු කරවන කාරණයක් වනවා. පාරාදීසයක සිරිය මවන්නේ සුර දූතිකාවන් වන නමුත් පිටින් පෙනෙන ඔපයට යටින් පිහිටන්නෙ මැරි මැරී උපදින වේදනාවක අඳුරු පැල්ලම් බවත් දැඩිව අවධාරණය කරනු ලබනවා. නමුත් සෝනියා වැනි මල් කැකුලක් ප්‍රථම වතාවට මේ අස්වාභාවික පරිසරය තුළ සැඟවී ඉන්නට මාන බලද්දි, පරිණත ගැහැණුන් විසින් තම ආත්මයම මේ වෙනුවෙන් කැප කොට මෙහිම කොටස්කාරිනියන් වී සුවසේ දිවි ගෙවනා ආකාරයකුත් නිර්මාණකරුවා විසින් පෙන්වා දෙනවා. ඒ අතරටම මධුරි වැනි චරිතයක් ඇතුළත් කරවමිනුත් ඔහු විසින් යළිඳු අවධාරණය කරනු ලබන්නේ, අවසානය කිසිසේත්ම සැපදායී එකක් නොවන බවත් සියල්ලන්ම එකම දඩයමක ගොදුරක් සහ ඔවුන් සියල්ලන්ම දිරාපත්ව යන මාංශයක් පමණක් බවත් යන එකම සත්‍යයකි. මෙහිදී ගණිකා සංකීර්ණයේ පාලිකාව වශයෙන් Richa Chadha විසින් ඉදිරිපත් කරනුයේ ඇගේ රංගන දිවියේ සුවිශේෂීම නිරූපණයක්. ඒ වගේම Slumdog Millionaire චිත්‍රපටය තුළින් හඳුනාගන්නට ලැබුණු Freida Pinto ගෙන් දකින්නට ලැබෙන ගණිකාවකගේ දක්ෂ චරිත නිරූපණය තුළ අඩංගු විස්තරයන් තුළින්, මෙම මාංශ වෙළඳාමෙහි කොටස්කාරිනියන්ගේ දෛනික දිවියේ ඇතුළු පැතිකඩයන් ගැන පුළුල් විවරණයක් සපයනවා. එමෙන්ම සියල්ලක්ම සැබෑ ලෙසින්ම දනවන්නට Richaගේ සහ Freida ඇතුළු සියලුම ශිල්පිනියන්ගේ වස්ත්‍රයන් පවා සපයාගෙන තිබෙන්නෙත් මුම්බායිහි සැබෑම Red Light Area පෙදෙසින්මයි.

සම්මානනීය අධ්‍යක්ෂ Ang Lee විසින් නිර්මාණය කරන ලද Life of Pi හි වැඩකටයුතුවලට සම්බන්ධ වූ අවධියකයි Tabrez Noorani හට Love Sonia හි නිෂ්පාදකවරයා වන David Womark හමුවන්නේ. Life of Pi සහ Deepwater Horizon හි නිෂ්පාදකවරායත් ඔහුමයි. Womark හා එක්ව තෙවසරක ව්‍යාපෘතියක් ලෙසින් Love Soniaහි වැඩ කටයුතු සිදු වූ අතර මෙය Tabrez Nooraniගේ ප්‍රථම අධ්‍යක්ෂණයත් වනවා. නමුත් නිෂ්පාදකවරයෙක්, සම නිෂ්පාදකවරයෙක්, රේඛීය නිෂ්පාදකවරයෙක් සහ නිෂ්පාදන උපදේශකවරයෙක් විදිහට චිත්‍රපට කර්මාන්තය තුළ දීර්ඝ පළපුරුද්දක් ඇති අයෙක් විදිහට ඔහුගේ කුළුඳුල් චිත්‍රපට අධ්‍යක්ෂණයම මෙතරම් ගුණාත්මක බවකින් සමන්විත වීම එක් අතකට පුදුමයක් නොවෙයි.

බොලිවුඩයේ කැපී පෙනෙන රංගන ශිල්පීන් වන Manoj Bajaypee, Rajkumar Rao සහ Anupam Kher ගේ සහායත් මේ වෙනුවෙන් ලැබී තිබෙනවා. නමුත් සියල්ලක්ම පරයමින් චිත්‍රපටය තුළ දීප්තිමත්ව බැබළෙන්නට ප්‍රධාන රංගන ශිල්පිනී Mrunal Thakur ට හැකිවී තිබෙනවා. මෙම අභියෝගාත්මක චරිත විස්තරයට 100%ක්ම නිවැරදිව ගැළපෙන Mrunal ව තෝරා ගෙන තිබෙන්නේත් ගැහැණු ළමුන් 2500 ක් අතුරින්. මරාති ශිල්පිනියක වන ඇයගේ ප්‍රථම බොලිවුඩ් ප්‍රවේශය වන්නේත් Love Sonia මයි. මේ වෙනුවෙන් වූ අසීරු රංගන ප්‍රයාමය වඩාත් තාත්ත්වික බවකින් ඉදිරිපත් කරන්නට ඈ විසින් මහත් වෙහෙසක් ගෙන තිබෙන අන්දම සෑම රූපරාමුවකින්ම දකින්නට හැකි අතර ප්‍රේක්ෂකයාව සංවේදීත්වයෙන් පුරවාලන්නට ශක්තිමත් ඇගේ රංගනය අනිවාර්යයෙන් සම්මානයට පාත්‍ර විය යුතුම එකක්.

මාතෘකා