“කෘෂි උපාධියකුත් අරන් ත්‍රීවිල් එකේ යෝගට් විකුණන කොට සමහරු මට බැන්නා

 ඡායාරූපය:

“කෘෂි උපාධියකුත් අරන් ත්‍රීවිල් එකේ යෝගට් විකුණන කොට සමහරු මට බැන්නා

ඉදිරියට පියවර තබන්න සහය දුන්නේ DFCC බැංකුව"

CAP FOODS - කළමනාකාර අධ්‍යක්ෂ

අසංක සනත්

හැම ජීවිතයකටම සිහින තිබෙනවා. ඒත් ඒ සිහින සැබෑ කරගත හැක්කේ තමන්ගේ උත්සාහයසහකැපවීමමතයි. වයඹ පුරවරයේ ජීවත්වූ උගත් බුද්ධිමත් තරුණයකු වූ අසංක සනත් නම් තරුණයාද ඔහුටම අනන්‍ය වූ සිහිනයක් දකිනවා. ඒ, දවසක තමාගේම ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමේ සිහිනයයි. වසර 6ක් තරම් කෙටි කාලයකදී ඔහු ඒ සිහිනය සැබෑ කරගන්නේ 'CAP FOODS' නම් සාර්ථක ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසටයි. කුඩා පියවරක් තුළින් සාර්ථකත්වයේ ඉහළ තලය දක්වා පැමිණි ඔහුගේ සාර්ථකත්වයේ රහස් ගැන අප ඔබට කියන්නේ එය තවත් අයකුට අත්වැලක්වනු සඳහාය.

ඔබ ව්‍යාපාරිකයකු වීමේ ගමනේ ආරම්භය සිදුවෙන්නේ කොහොමද?

මම ඉගෙන ගත්තේ නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයෙන්. අ.පො.ස උසස්පෙළ විභාගයට මම පෙනී සිටින්නේ ජීව විද්‍යා අංශයෙන්. 2001 වසරේදී මම රජරට කෘෂි විද්‍යා පීඨයට ඇතුළත් වෙනවා. අවුරුදු හතරකට පස්සේ කෘෂි උපාධිය අරගෙන එයින් පිටවෙන මම ඉන්පසුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් කරනවා. විශ්ව විද්‍යාලයේ ඉන්න කාලයේ සිටම මගේ බලාපොරොත්තුව වුණේ රැකියාවක් කිරීම නෙවෙයි. මට අවශ්‍ය වුණේ ව්‍යාපාරයක් කරන්නයි. උපාධිය ගත්තට පස්සේ රැකියාවක් කරන අතරම මම පශ්චාත් උපාධියක් කළෙත් ඒ බලාපොරොත්තුවෙන්. ඒකත් අවසන් කළාට පස්සේ මම කරමින් සිටි රැකියාවත් නතර කරලා ගෙදර ඇවිත් තමයි මේ ව්‍යාපාරය පටන් ගත්තේ.

ඔබ මුලින්ම ආරම්භ කළ ව්‍යාපාරය මොකක්ද?

මුලින්ම මම පටන් ගත්තේ යෝගට් නිෂ්පාදනයයි. යෝගට් නිෂ්පාදනය තෝරාගන්න මූලික වශයෙන් කරුණු දෙකක් බලපෑවා. මම මගේ පශ්චාත් උපාධියට කළේ ඝන අපද්‍රව්‍ය කලමනාකරණයයි. එහිදී මගේ නිරීක්ෂණයට හසුවූ දෙයක් තමයි ගොඩක් කසල බඳුන්වලට එන්නේ යෝගට් කප්. ඒකෙන් මම තේරුම් ගත්තේ යෝගට් කියන්නේ ඉතා ඉහළ ඉල්ලුමක් තිබෙන නිෂ්පාදනයක් බව. අනික් කරුණ අපේ ගෙදර ඉස්සර ඉඳල කිරි හරක් හිටියා. නමුත් ව්‍යාපාරයක් විදිහට ඒ සම්බන්ධයෙන් කිසිම දෙයක් කළේ නැහැ. ගෙදර දෛනික අවශ්‍යා සඳහා පමණයි ඒ කිරි හරක් ඇති කළේ. ඒ කරුණු දෙකම මුල්කරගෙන මම 2012 අවුරුද්දෙදි ව්‍යාපාරය පටන් ගන්නවා. මුලින්ම මම බිස්නස් එක කරගෙන ගියේ ගෙදරමයි. ප්‍රවාහන කටයුතු කළේ මගේ තාත්තට අයිති ත්‍රී රෝද රථයෙන්. මුලින්ම මට ෆාම් එකක් තිබුණේ නැහැ. 2013 වෙද්දි ගෙදර පොඩි කොටසක් වෙන්කරගෙන එතැන යෝගට් හදන්න පටන්ගත්තා. එහෙම වැඩ කරගෙන ගියත් මගේ හිතේ චිත්‍රයක් ඇඳිලා තිබුණා ෆාම් එකක් සහ ෆැක්ට්‍රි එකක් පටන් ගන්නවා කියලා. ඒ නිසා මම ටිකින් ටික ඒ සඳහා අඩිතාලම දාන්න පටන් ගත්තා.

ඔබේ මේ ගමන ගැන තවදුරටත් පැහැදිලි කළොත්?

ගෙදර කොටසක යෝගට් නිෂ්පාදනය කර ගෙන යන අතරෙම මම ෆැක්ට්‍රි එකක් හදන්න අත්තිවාරමත් දාගත්තා. එහෙම වැඩ කරගෙන යනකොට 2013දී ෆැක්ට්‍රියට පළමු වාහනය විදිහට ලොරියක් ගන්න පුළුවන් වුණා. ඒත් ඒ වෙද්දිත් ඒ ලොරියෙන් බඩු ඩිලිවරි කරන්නෙත් මමමයි. ඒ වගේම නිෂ්පාදන වැඩ ගොඩක් සිදුවෙන්නෙත් මගේ අතින්. මගේ අක්කලාත් ඒ වැඩවලට ගොඩක් උදව් කළා. මෙහෙම කරගෙන යන අතරේ 2014දී තව වාහනයක් ගන්නවා. ඒ වෙද්දි අපේ නිෂ්පාදනවලට ඉල්ලුමත් වැඩිවෙනවා. ඒ ඉල්ලුමට නිෂ්පාදන සපයන්න මට ෆැක්ට්‍රි එකේ ඉන්නත් සිදුවුණා. ඊට පස්සේ 2015 දි මම ෆැක්ට්‍රියට තව වාහනයක් ගන්නවා. ආයෙමත් 2016දි තවත් වාහනයක් ගන්නවා. ඒ විදිහට 2016 වෙද්දි අපේ ෆැක්ට්‍රි එකට වාහන 4ක් ගන්න මට පුළුවන්කම ලැබුණා. ඒ වගේම හදපු ෆැක්ට්‍රි එකේ ප්‍රමාණයත් අපේ නිෂ්පාදන ධාරිතාව වැඩිවීමත් එක්ක ටිකින් ටික විශාල කරන්න සිදුවුණා. එහෙම විශාලත්වය වැඩි කරලා වැඩි කරලා මේ වෙද්දි අඩි 90ක් සහ අඩි 42ක් පළල සම්පූර්ණ ෆැක්ට්‍රි එකක් අපිට තියෙනවා.

අද ඔබේ නිෂ්පාදන පරාසය කොහොමද?

ඔව්. මුලින්ම යෝගට් විතරක් නිෂ්පාදනය කළත් ක්‍රම ක්‍රමයෙන් 'CAP FOODS' එකතුවට නිෂ්පාදන රාශියක් එකතු වුණා. යෝගට්, ජෙලි යෝගට්, යෝගට් පානය, මී කිරි, අයිස්ක්‍රීම්, චොක්ලට්, අයිස් පොප්සිකල්, චෙඩාර් සහ මොසරැල්ලා චීස් අපේ නිෂ්පාදන එකතුවේ තිබෙනවා. නමුත් මම එතැනින් නතර වෙන්නේ නැහැ. යෝගට් නිෂ්පාදනයට අමතරව මම කිරි හරක් 6ක් ඉන්න ෆාම් එකකුත් පටන් ගත්තා. නමුත් මගේ ඒ ෆාම් එකෙන් ලැබෙන කිරි මගේ නිෂ්පාදන කටයුතුවලට ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ නිසා 2018දී මම කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානයක් පටන්ගත්තා. ඒ අනුව දවසකට ඒ ෆැක්ට්‍රි එකට කිරි ලීටර් 800ක් පමණ එකතු වෙනවා. ඒ සඳහා කිරි ගොවියන් 87ක් පමණ අපේ කිරි ගොවි කණ්ඩායමේ ඉන්නවා. ඒ කිරි ගොවියන්ගේ කිරි හරක් සඳහා අවශ්‍ය කරන කෑමබීම, බෙහෙත් ආදිය සපයන්න මම බැඳිලා ඉන්නවා. මුලින් මම ඒ සත්ත්ව ආහාර මිලදී ගත්තේ වෙනත් සමාගම්වලින්. ඒ නිසා මට හිතුණා සත්ව ආහාර නිෂ්පාදනය කරන ෆැක්ට්‍රි එකකුත් පටන් ගන්න ඕන කියලා. මේ වෙද්දි ඒ ෆැක්ට්‍රියත් හදලා අවශ්‍ය මැෂින් සවි කරලා තියෙනවා. තවම නිෂ්පාදන කටයුතු ආරම්භ කරලා නැහැ. ළඟදි ඒකත් පටන් ගන්නවා.

ව්‍යාපාරයට DFCC බැංකුවෙන් ලැබුණේ කුමන ආකාරයේ සහයක්ද?

මම DFCC බැංකුව එක්ක සම්බන්ධ වෙන්නේ 2017දී. ඒ කාලයේදී මගේ CAP යෝගට්වලට හොඳ ඉල්ලුමක් තිබුණා. නමුත් ඉල්ලුමට සරිලන විදිහට නිෂ්පාදන දෙන්න අපිට හැකියාවක් තිබුණේ

නැහැ. අඩු වෙලාවකදී වැඩි යෝගට් කෝප්ප ගණනක් සෑදිය හැකි පූර්ණ වශයෙන් ස්වයංක්‍රීයව වැඩකරන ලොකු යන්ත්‍රයක අවශ්‍යතාවය අපේ ෆැක්ට්‍රි එකට තදින්ම දැනුණා. මම ඒ සඳහා මැෂින් එකක් සොයමින් සිටියා. පැයකට යෝගට් කප් 2200ක් හදන්න පුළුවන් මැෂිමක් ගැන මම දැනගත්තා. නමුත් ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වුණා. එවැනි අවශ්‍යතාවයක ඉන්නකොට තමයි මට DFCC බැංකුව සමග සම්බන්ධ වෙන්න ලැබෙන්නේ. ඉබ්බාගමුවේ අලුත් DFCC බැංකු ශාඛාවක් විවෘත කරනවා, අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා බැංකුවේ මහත්වරු මට කතාකරලා කිව්වා. මම ඒ වෙලාවේ ඔවුන්ට කිව්වා මගේ ව්‍යාපාරයට මෙහෙම අවශ්‍යතාවක් තියෙනවා මට ඒක කරගන්න උදව්වක් දෙන්න කියලා.

ඔවුන් මගේ අදහස ගැන අවධානය සහ සැලකිල්ල යොමුකරලා මට ලක්ෂ 8ක ණයක් එකක් දුන්නා. ඒ තුළින් තමයි DFCC බැංකුව සහ මගේ ව්‍යාපාරය අතර පළමු සම්බන්ධය ඇතිවෙන්නේ. මම ඒ මුදල්වලින් අවශ්‍ය මැෂින් එක අරගෙන මගේ නිෂ්පාදනය වැඩිකර ගත්තා. ඉල්ලුමට සරිලන සැපයුමක් තියෙන නිසා මගේ කැප් යෝගට් වඩාත් ජනප්‍රිය වෙන්න පටන්ගත්තා. DFCC බැංකුවේ ඒ අතහිත දීම ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

ව්‍යාපාරයේ ආරම්භය සහ වත්මන් සාර්ථකත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

ඇත්ත වශයෙන්ම මම ගොඩාක් සතුටු වෙනවා. මගේ මේ කිරි ව්‍යාපෘතිය නිසා මේ ප්‍රදේශයේ මීට කලින් කිරි හරකෙක් හදපු නැති මිනිස්සු පවා කිරි හරක් හදන්න පටන් ගත්තා. ඊට අමතරව ගමට සහ අවට ප්‍රදේශවල පුද්ගලයින්ට මගේ ෆැක්ට්‍රි එකේ රැකියා අවස්ථා 21ක් දෙන්න පුළුවන්කම ලැබුණා. කෙනෙක් රැකියාවක් කරලා වාර්ෂිකව ලබාගන්න ආදායම මම දැන් එක සතියකින්, මාසයකින් හම්බ කරනවා. දැන් මට වයස අවුරුදු 35ක්. ව්‍යාපාරය ඉහළ මට්ටමකට ගෙනාවා වගේම මේ වෙද්දි මම මගේ පෞද්ගලික ජීවිතය තුළ අපේක්ෂා කළ බොහෝ දේවල් මේ ගතවූ වසර පහ හය තුළින් සපුරාගෙන තිබෙනවා. ෆැක්ට්‍රි එකේ වාහන හැරුණාම පෞද්ගලික පාවිච්චියට වාහනයක්, ලස්සන පරිසරයකින් ඉඩමක් අරගෙන හදපු විශාල නිවසක් මට තියෙනවා. ඒ සේරම මම මේ ව්‍යාපාරය තුළින් ගොඩනගාගත් දේවල්. ඒ වගේම ව්‍යාපාරයේ සාර්ථකත්වයත් එක්ක හොඳ සමාජ පිළිගැනීමක් නිතැතින්ම ලැබෙනවා. ප්‍රදේශයේ සිදුවන බොහෝ පොදු කටයුතු සහ සමාජසේවා කටයුතුවලදී මට ආරාධනා ලැබෙනවා වගේම මමත් ඒ සියලු දේවල් සඳහා හැකි අයුරින් දායකත්වය ලබාදෙනවා.

ඒ සාර්ථකත්වය ලබාගැනීමට ඔබට උදව් වූ ව්‍යාපාරික රහස මොනවාද?

මූලික කාරණය මට ඕන වැඩ කරන්නයි. උදේ පාන්දර 5ට පටන් ගත්තාම රෑ 12 පමණ වනතුරු මම එක දිගට වැඩ කරනවා. තරුණ කාලේ ශ්‍රමය එකතැන පල්කරන්නේ නැතිව වැඩ කරන්නයි මට ඕන. ඒ ගැන මට ගොඩක් සතුටුයි. ගොඩාක් අය උපාධියක් අරගෙන රස්සාවක් කරලා විශ්‍රාම ලබන වයසෙදි කරන්න බලාපොරොත්තු වෙන දේවල් බොහොමයක් මම මගේ තරුණ වයසෙදිම ලබාගෙන තියෙනවා.

අපේ රටේ තරුණ විරැකියාව තවමත් ඉහළ මට්ටමක තිබෙනවා නේද? ජීවිතය ජයගත් තරුණ ව්‍යවසායකයකු ලෙස ඒ තත්ත්වය ඇතිවීමට ඔබ දකින හේතු මොනවාද?

මගේ අදහස නම් ඒ තත්ත්වය වෙනස් කිරීමට අපේ රටට දැන් අවශ්‍ය වී තිබෙන්නේ ආකල්පීය වෙනසක්. ගොඩක් මිනිස්සු ළඟ විශේෂයෙන් තරුණ පරපුර තුළ හැකියාව තියෙනවා. නමුත් ඔවුන් අවදානමක් ගන්න කැමති නැහැ. ඊට අමතරව ආකල්පීය සංවර්ධනයක් ඇත්තේම නැහැ. අවදානමක් ගන්න කැමැති නැහැ. ඒ වගේම තමන් ඉන්න පොඩි තැන ඉඳලා ව්‍යාපාරයක් පටන්ගන්න කැමති නැහැ. ව්‍යාපාරය පටන්ගත්ත මුල් කාලේ සමහරු මටත් බැන්නා, මෙයා උපාධියකුත් තියාගෙන ත්‍රීවිල් එකක යෝගට් විකුණනවා කියලා. නමුත් මම ඒවායින් සැලුණේ නැහැ. ඒක තමයි ආකල්ප සංවර්ධනය කියන්නේ. ඒ වගේම තමයි දැනුමත් අවශ්‍යයි. මම මෙතැනට ආවේ මගේ දැනුම ඉලක්ක කරගෙනමයි.

මේ ගමනේදී ඔබටත් අභියෝග, ප්‍රශ්න හමුනොවූවා විය නොහැකියි නේද?

අනිවාර්යයෙන්ම අභියෝග තමයි මාව ඉදිරියටම අරන් ආවේ. ආව හැම ප්‍රශ්නයකටම, අභියෝගයකටම දුන්න පිළිතුරත් එක්ක පියවරක් හරි ඉස්සරහට ආවා මිසක් පස්සට ගියේ නැහැ. මුල් කාලේ සමහරු අපේ නිෂ්පාදන ගන්න කැමති වුණේ නැහැ. නමුත් අපි අලෙවි උපක්‍රම හොයාගන්න ඕන. දැන් කාලේ මාකටින් කියන්නේ "ඩිමාන්ඩ් එකට සප්ලයි කිරීමක් නෙවෙයි." අපි යමක් හදලා මිනිස්සුන්ට ඒක බලෙන් දීලා බලන්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. එක වැහි කාලෙක අපේ නිෂ්පාදන කටයුතු ඇණ හිටියා. ඒ වෙලාවේ අපි කිරි ගොවින්ගෙන් එකතු කරන කිරිවලට අපි වැහි කාලේදී අනිත් නිෂ්පාදන අඩුකරලා චීස් වැඩිපුර හදනවා. අභියෝග ආව වෙලේ මේක අතහැරියා නම් අද මටත් මොකක් හරි රස්සාවක් කරගෙන ඉන්න තිබුණා.

අවසාන වශයෙන් ඔබේ සාර්ථකත්වයට අතදුන් අය සිහිකරනවා නම්?

ගොඩාක් අය මේ ගමනට උදව් කළා. ඉබ්බාගමුව පශු වෛද්‍ය කාර්යාලය, වයඹ පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහ දිස්ත්‍රික් කාර්යාලයේ සියලු දෙනාට ස්තුති කරනවා. ඒ වගේම මගේ අම්මා, තාත්තා, අක්කලා ඇතුළු ගෙදර සියලුදෙනා වැටුපක් නැතිව මුල් කාලේ මගේ ෆැක්ට්‍රි එකේ වැඩකළා. බැංකු කලමනාකාරිනියක වන මගේ බිරිඳටත් විශේෂයෙන් ස්තුති කළ යුතුයි. ඒ වගේම සියලුම ව්‍යාපාරික මහතුන්, කිරි ගොවියන් ඇතුළු මගේ කාර්ය මණ්ඩලයටත් DFCC බැංකුවටත් විශේෂයෙන් ස්තුති කරනවා.


"අසංකට අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය සහයෝගය අපි දුන්නා"

රසික වසන්ත - කළමනාකරු DFCC ඉබ්බාගමුව බැංකු ශාඛාව

'CAP FOODS' ආයතනයට ව්‍යාපාර ලොව ජයගැනීමට ආර්ථික ශක්තියක් වූ DFCC බැංකුවේ ඉබ්බාගමුව ශාඛාවේ කළමනාකාර රසික වසන්ත මහතාගෙන් අප විමසා සිටියේ කුඩා ව්‍යාපාරිකයන්ට ව්‍යාපාරය දියුණු කරගැනීමට DFCC බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ශක්තියක් වන්නේ කෙසේද යන්න පිළිබඳවයි.

'CAP FOODS' ආයතනය ඔබ බැංකු ශාඛාව හා සම්බන්ධ වන්නේ කුමන ආකාරයෙන්ද?

'CAP FOODS' ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අසංක මහතා අපිට හමුවන්නේ ඔහු කුඩා ව්‍යාපාරිකයෙක් විදිහට සිටියදීයි. ඔහු ඒ වන විට යෝගට් නිෂ්පාදන ආරම්භ කර තිබුණත් ඔහුට එම කටයුත්ත කුඩා පරිමාණයෙන් කරගෙන යාමට සිදුවී තිබුණා. නමුත් ඔහුගේ අවශ්‍යතාව වී තිබුණේ නිෂ්පාදන ධාරිතාව වැඩිකරගෙන ඉල්ලුමට සරිලන ලෙස සිය සැපයුම වැඩිකර ගැනීමටයි.

ඒ සඳහා DFCC බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය ඔහුට අතහිත දුන්නේ කොහොමද?

ඔහු අපිට ඔහුගේ අවශ්‍යතාවය ඉදිරිපත් කළා. ඒ අනුව අපි ඔහුට ණය මුදලක් ලබාදුන්නා. ඒ මුදල්වලින් ඔහු ඔහුට අවශ්‍ය වී තිබූ විශාල නිෂ්පාදන යන්ත්‍රය මිලදී ගත්තා. අපි නිතරම දකින දෙයක් තමයි කුඩා ව්‍යවසායකයින් සහ ස්වයං රැකියාවල නිරත වන්නන් මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය වන යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට ආර්ථික හයියක් නොමැති වීම. ඔවුන්ට දැනුම සහ අනෙක් සාධක තිබුණත් එතැනදී ඔවුන් මූල්‍යම වශයෙන් අසරණයි. ඒ නිසා තමයි අපි අපේ බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් එවැනි යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට උපකාර කරන්නේ.

DFCC බැංකුවෙන් ඒ ණය මුදල ලැබුණු පසු මේ ව්‍යාපාරය තුළ ඔබ දුටු සාර්ථකත්වය කුමක්ද?

ඔහු අදාළ යන්ත්‍රය අරගෙන ඔහුගේ නිෂ්පාදන ධාරිතාව ඉහළ නංවාගත්තා. ඒ වගේම වෙනත් වර්ගවල නිෂ්පාදනත් වෙළෙඳපොළට දැම්මා. ඒ තත්ත්වය තුළ ඔහුගේ නිෂ්පාදනවලට වෙළෙඳපොළ තුළ හොඳ තත්ත්වයක් ලැබුණා.

DFCC ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් මේ වන විට ඔබ බැංකු ශාඛාවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ඉටුවී තිබෙන සේවය පිළිබඳ පවසනවා නම්?

අපි මෙම විශේෂ ණය ක්‍රමය ආරම්භ කළේ 2016 අගභාගයේ පමණ. මේ තුළින් අපි බලාපොරොත්තු වන්නේ කුඩා ව්‍යවසායකයින්ට ඔවුන්ගේ ව්‍යපාර මධ්‍ය පරිමාණයට ගෙනඒමට අතහිත දීමයි. වසර 2කට ආසන්න කාලයක් තුළ අපි මිලියන 30කට අධික ණය එකතුවක් එවැනි කුඩා ව්‍යවසායකයින් 100කට අධික පිරිසකට ලබාදී තිබෙනවා. ඒ තුළ සත්ත්ව කර්මාන්ත, මැටි, ගඩොල් කර්මාන්ත ආදී හැම අංශයකටම විහිදුණු ව්‍යාපාර රාශියක, ස්වයං රැකියා රාශියක නිරත කුඩා ව්‍යවසායකයින් සිටිනවා. ඔවුන්ට එලෙස අතහිත දීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත්වනවා වගේම එය අප ලැබූ විශාල ජයග්‍රණයක් ලෙස සලකනවා.

මාතෘකා