“ව්‍යාපාරික සිහිනය සැබෑකරගෙන ජීවිතයේ ඉහළට යන්න අත දුන්නේ DFCC බැංකුවයි”

 ඡායාරූපය:

“ව්‍යාපාරික සිහිනය සැබෑකරගෙන ජීවිතයේ ඉහළට යන්න අත දුන්නේ DFCC බැංකුවයි”

බණ්ඩාරවෙල ‘සාගර ඔටෝ කෙයා’ හි අධිපති - සුරංග යාපා බණ්ඩාර

සිහින දකින්නෝ බොහෝය. එහෙත් සිහින සැබෑ කරගත්තෝ අල්පය. සිත තුළ ඉපදෙන සිහිනයක් යථාර්ථයක් බවට පත්කර ගත හැක්කේ නිශ්චිත අරමුණක් තුළ කැපවීමෙන් සහ උත්සාහයෙන් කටයුතු කළහොත් පමණි. එවැනි සිහිනයක් යථාර්ථයක් බවට පත්කර ගැනීමට වාසනාවන්ත වූ තරුණයකු අපට හමුවිය. ඔහු බණ්ඩාරවෙල 'සාගර ඔටෝ' කෙයා ආයතනයේ අධිපති සුරංග යාපා බණ්ඩාරය. බණ්ඩාරවෙල සාන්ත ජෝශප් ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු උසස් පෙළ හදාරන්නේ වාණිජ අංශයෙනි. පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු ඔහු යොමුවන්නේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියාවක් සඳහාය. එහෙත් පාසල් වියේ සිට දුටු සිහිනයක් ඔහුගේ සිත පුරා සක්මන් කරමින් තිබිණ. ඒ, කෙදිනක හෝ තමාගේම ව්‍යාපාරයක් ඇරඹීමේ සිහිනයයි. මේ වන විට සුරංග යාපා බණ්ඩාර ඒ සිහිනයට පණ දී අවසන්ය. මේ සටහන් වන්නේ ඔහුගේ කතාවයි.

ව්‍යපාරිකයෙක් වීමේ අදහස මුලින්ම ඔබේ සිතට එන්නේ කොහොමද?

ඉගෙනීමේ කටයුතු අවසන් කරනවාත් එක්ක තමයි ව්‍යාපාරයක් කළ යුතුයි කියන අදහස මගේ සිතට එන්නේ. නමුත් මට ඒ අදහස ඉෂ්ට කරගන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව ව්‍යාපාරයක් පටන් ගන්න තරම් මගේ ළඟ මුදල් නොතිබීමයි. ඒ නිසා ඒ ව්‍යාපාරික සිහිනය සිත තුළ තියාගෙන රැකියාවකට යොමුවෙන්න මට සිදුවුණා.

ඒ කුමන අංශයේ රැකියාවක්ද?

හෝටල් අංශයේ රැකියාවක් තමයි මම මුලින්ම කරන්නේ. සහකාර කළමනාකරුවකු විදිහට මම අවුරුදු 5ක් පමණ සේවය කළා. නමුත් මගේ සිතේ නිතරම තිබුණේ මම කොහොමද මගේ ව්‍යාපාරය පටන් ගන්නේ කියලා. ඒ වෙනුවෙන් ලොකු සැලසුමකුත් මගේ හිතේ තිබුණා.

ඔබේ ඒ ව්‍යාපාර සැලසුම ගැන පැහැදිලි කරනවා නම් ?

බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය අසල අපේ පවුලට අයිති අක්කර භාගයක විතර ලොකු ඉඩමක් තිබුණා. ඒකට වතුර පහසුකමත් හොඳින්ම තිබුණා. මට නිතරම හිතුණ දෙයක් තමයි මෙතන වාහන සර්විස් ස්ටේෂන් එකක් දැම්මොත් හොඳයි කියන එක. නමුත් ඒ වෙද්දි මට තිබුණ ලොකුම ප්‍රශ්නය සහ අභියෝගය ව්‍යාපාරයක් පටන්ගන්න තරම් ලොකු මුදලක් මගෙ ළඟ නැතිවීම. අපේ පවුල ව්‍යාපාරික පසුබිමක් සහිත පවුලක් නෙවෙයි. මගේ පියා ගොවිතැන් කටයුතු කළේ. මට මල්ලිලා දෙන්නෙක් හිටියා. ඒ වගේ පසුබිමක් තුළ මට ව්‍යාපාරයක් පටන්ගන්න එක සිහිනයක් වෙලා තිබුණේ. ඒ නිසා තමයි මම රැකියාවක් කළේ. නමුත් මම කවදහරි මගේ සිහිනය සැබෑකරගන්නවා කියන අධිෂ්ඨානයක හිටියා. ඒ නිසාම මම රැකියාව කරන ගමන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් වාණිජවේදී උපාධියත් හැදෑරුවා.

නමුත් පහුගිය වසරේදී ඔබ ඔබේ සිහිනය සැබෑ කරගන්නවා. ඒ සඳහා පදනම සැකසෙන්නේ කොහොමද?

ඇත්තම කියනවා නම් බණ්ඩාරවෙල DFCC බැංකුව නැත්නම් මගේ ව්‍යාපාරය තවමත් සිහිනයක්ම විතරයි. ඒ වෙද්දි උපයාගත් මුදලකුත් මගෙ ළඟ තිබුණා. යාළුවොත් මට උදවු කළා. මම DFCC බැංකුවේ බණ්ඩාරවෙල ශාඛාවට ගිහින් එහි කළමනාකාර සුරංග විජේකෝන් මහත්මයා ඇතුළු ව්‍යාපෘති අංශයේ මහත්වරු හමුවෙලා මගේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළා. ඔවුන් ඒ වෙලාවේ මට ලොකු ශක්තියක් වුණා කිව්වොත් නිවැරදියි. ඔවුන් මගේ ව්‍යාපෘති යෝජනාව අධ්‍යයනය කරලා 'DFCC සහය ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය' යටතේ මට මුල්ම ණය වාරිකය විදිහට ලක්ෂ හතරහමාරක් නිකුත් කළා.

ව්‍යාපාරයේ ආරම්භ කටයුතු සිදුවුණේ කුමන ආකාරයෙන්ද?

මීට අවුරුද්දයි මාස තුනකට පෙර තමයි මම ව්‍යාපාරය පටන්ගත්තේ. ඉඩම තිබුණ නිසා මට මුලින්ම අවශ්‍ය වුණේ යන්ත්‍රසූත්‍ර ගන්නයි. මම DFCC බැංකුවෙන් ලැබුණු ණය මුදලින් අවශ්‍ය මැෂින් ගත්තා. මුලින්ම මගේ ආයතනයේ කළේ වාහන සේදීම විතරයි.

මේ වන විට ඔබේ ව්‍යාපාරය තිබෙන්නේ කුමන තත්ත්වයකද?

මේ වෙද්දි මගේ සර්විස් ස්ටේෂන් එකේ හතර දෙනෙක් වැඩ කරනවා. ඒ වගේම ඕනෑම වාහනයක් සම්පූර්ණයෙන් සර්විස් කරන්න පහසුකම් මගේ ආයතනය තුළ තිබෙනවා. මුල් කාලයේ මගේ ආයතනයේ වාහන සර්විස් කිරීම සඳහා අවශ්‍ය වන තෙල් වර්ග, ෆිල්ටර්ස් වගේ දේවල් ලොකු ස්ටොක් එකක් තිබුණේ නැහැ. නමුත් දැන් ඕනෑම වාහනයකට අවශ්‍ය වන එවැනි දේවල් ලොකු ස්ටොක් එකක් මගෙ ළඟ තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ සාර්ථකත්වය තුළ මම ලොකු ආත්ම තෘප්තියක් ලබනවා. රැකියාවක් කරලා ලබන ආදායමට වැඩි ආදායමක් සහ නිදහසක් මම මේ නිසා අත්විඳිනවා.

DFCC බැංකුවෙන් ඔබේ ව්‍යාපාරයට ලැබුණු ශක්තිය ගැන මතක් කරනවා නම්?

DFCC බැංකුව මගේ ජීවිතයට ලොකු උපකාරයක් කළේ කියලා මම පැහැදිලිවම කියනවා. දැන් මට වයස අවුරුදු 30ක්. මේ ව්‍යාපාරය කියන්නේ මම කාලයක් තිස්සේ දැකපු සිහිනයක් සැබෑ වීමක්. DFCC බැංකුව මට ව්‍යාපාරය පටන්ගන්න ලොකු හයියක් වුණා. ඒ වගේම DFCC බැංකුව සහ වෙනත් බැංකු අතර මම ලොකු වෙනසක් දකිනවා.

ඒ වෙනස මොන වගේ තත්ත්වයක්ද?

ඇත්තම කියනවා නම් මම ව්‍යාපාරය පටන්ගන්න කලින් වෙනත් බැංකුවලටත් ගියා. එහෙම ගිහින් මගේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළාම ඒ බැංකුවලින් අහන්නේ අපේ ආදායම කීයද කියලා. ඒ කිසිම බැංකුවකින් මගේ ව්‍යාපාරය පටන්ගන්න උදව්වක් ලැබුණේ නැහැ. නමුත් DFCC බැංකුවට මගේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළාම ඔවුන් මටත් වඩා උනන්දුවෙන් ඒ ගැන අධ්‍යයනය කරලා ඒකේ හොඳ පැත්ත පෙන්වලා දීලා මට ලොකු ඇගයීමක්, ධෛර්යයක් ලබාදුන්නා. මම හිතන්නේ ණය මුදල ලබාදෙන්නත් කලින් ලැබෙන ඒ ධෛර්යය, ශක්තිය අලුතින් ව්‍යාපාරයක් පටන්ගන්න හදන හැම කෙනෙකුටම ලොකු ආශීර්වාදයක්.

ව්‍යාපාරය තුළ ඔබ මුහුණදුන් අභියෝග මොනවාද?

මුල් කාලයේ තිබුණු ලොකුම ප්‍රශ්නය තමයි සේවක ප්‍රශ්නය. මේ ක්ෂේත්‍රයේ එක දිගට කාලයක් සේවකයන් රැඳෙනවා අඩුයි. ඒ නිසා මුල් කාලයේ මටත් වැඩ කරන්න සිදුවුණා. නමුත් මම ඒක ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. මගේ යාළුවකුට සර්විස් ස්ටේෂන් එකක් තිබුණා. මම ඒකේ වැඩ කරන හැටි බලලා අත්දැකීම් ලබාගත්තා. ඒ නිසා එවැනි ප්‍රශ්න කළමනාකරණය කරගන්න හැකියාව ලැබුණා. ව්‍යාපාරයක් අරඹන්න කැමති ඕන කෙනෙකුට මම කියන්නේ අභියෝගවලට බයවෙන්නෙපා. ඒ වගේම ඒ සඳහා DFCC බැංකුව වගේ සුහදශීලී, කාර්යක්ෂම, විශ්වාසවන්ත බැංකුවක් තෝරාගැනීමත් වැදගත්.

ඔබේ ඉදිරි අනාගත බලාපොරොත්තු මොනවාද?

තවදුරටත් ව්‍යාපාරය පුළුල් කිරීම තමයි මූලික බලාපොරොත්තුව. DFCC බැංකුවෙන් මම මුලින් ලබාගත් ණය මුදල ගෙවා අවසන් කරන්න තව මාස 18ක් තිබෙනවා. ඒක අවසන් කරලා තවත් ලෝන් එකකට යාම තමයි මගේ අපේක්ෂාව. DFCC බැංකුවේ බණ්ඩාරවෙල ශාඛාව දිගටම මා සමඟ රැඳෙමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන බව මට විශ්වාසයි. ඒ වගේම මෙතෙක් මට ලබාදුන් සහයෝගයට DFCC බැංකුවේ බණ්ඩාරවෙල ශාඛාවේ කළමනාකාර- සුරංග විජේකෝන් මහත්මා ඇතුළු හැමදෙනාටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.

 

[සුරේකා නිල්මිණි ඉලංගකෝන්]


“සුරංගගේ ව්‍යාපාර සිහිනය සැබෑ කිරීමට හැකිවීම අපට විශාල සතුටක්”

සුසිර කුමාර - ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු - DFCC බණ්ඩාරවෙල ශාඛාව

DFCC බැංකුව හඳුන්වාදුන් 'DFCC සහය ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය' තුළින් තම ව්‍යාපාරික සිහිනය යථාර්ථයක් කරගත් අය බොහෝය. බණ්ඩාරවෙල 'සාගර ඔටෝ කෙයා' ආයතනයේ අධිපති සුරංග යාපා බණ්ඩාර DFCC බැංකුවේ අනුග්‍රහය ලැබූ එවැනි යොවුන් ව්‍යවසායකයෙකි. සුරංගට තම ව්‍යාපාරික සිහිනය සැබෑ කරගැනීමට DFCC බැංකුවේ බණ්ඩාරවෙල ශාඛාවෙන් ලබාදුන් සහයෝගය පිළිබඳ එම ශාඛාවේ ජ්‍යේෂ්ඨ ව්‍යාපෘති කළමනාකරු සුසිර කුමාර මහතාගෙන් විමසා සිටියෙමු.

සුරංග DFCC බැංකුවේ බණ්ඩාරවෙල ශාඛාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

අපේ බැංකු ශාඛාවත් එක්ක ගනුදෙනු කරන ඔහුගේ මිතුරකුගේ මාර්ගයෙන් තමයි මුලින්ම සුරංග අපි වෙත පැමිණෙන්නේ. ඔහු අපිට ඔහුගේ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළාම අපි ඒ ගැන අධ්‍යයනයක් කළා. එය හොඳ යෝජනාවක් බව ඒ අධ්‍යයනය තුළින් අපට අවබෝධ වුණා.

ඔහුගේ ව්‍යාපෘති යෝජනාව තුළින් DFCC බැංකුව හඳුනාගත් විශේෂ වටිනාකම් මොනවාද?

සුරංග තමන්ගේ වාහන සර්විස් ආයතනය පටන් ගැනීමට සැලසුම් කර තිබුණේ ඔහුට අයත්ව තිබෙන නගරයට සමීපව ප්‍රධාන මාර්ගයක් අසල පිහිටි ඉඩමකයි. එම ප්‍රදේශයට එවැනි ආයතනයක් හොඳින්ම ගැළපෙනවා වගේම එයින් එම ප්‍රදේශයටත් වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම එවැනි ආයතනයක් ආරම්භ කිරීමෙන් කිහිපදෙනෙකුටම රැකියා අවස්ථා ලැබෙනවා. ඒ නිසා තරුණ ව්‍යවසායකයෙක් විදිහට සුරංගට ඔහුගේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අත්වැලක් වෙන්න අපේ කළමනාකාරතුමා සුරංග විජේකෝන් මහත්මයා ඇතුළු අපි කණ්ඩායම තීරණය කළා.

DFCC බැංකුවෙන් සුරංගට සහයෝගය ලබාදුන්නේ කුමන ආකාරයෙන්ද?

සුරංගගේ ව්‍යාපෘතියේ වටිනාකමක් තිබුණත් ඔහුගේ ඉඩමේ පෙළපත සම්බන්ධයෙන් තිබූ ප්‍රශ්නයක් නිසා ඒ දක්වාම ඔහුට ඒ ඉඩම උකසට තබා කිසිම මූල්‍ය ආයතනයකින් ණයක් ලබාගන්න නොහැකි වී තිබුණා. නමුත් අපේ කළමනාකාරතුමාගේ අනුමැතිය මත 'DFCC සහය ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය' යටතේ ඔහුගේ ව්‍යපෘතියේ වටිනාකම පමණක් සැලකිල්ලට ගෙන සුරැකුම් කොන්දේසියද නොසලකා හරිමින් පෞද්ගලික ඇප 2ක් මත ණය මුදල ලබාදෙන්න අපි තීරණය කළා.

ඔහුගේ ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය පිළිබඳ ඔබේ අදහස කුමක්ද?

තරුණ ව්‍යවසායකයෙක් විදිහට සුරංගගේ ව්‍යාපාරය අද සාර්ථක මට්ටමක පවතිනවා. ආරම්භයේ තිබුණාට වඩා මේ වන විට ඔහු ව්‍යාපාරය පුළුල් කර තිබෙනවා. ඒ වගේම අඩු මුදලකට කාර්යක්ෂම හොඳ සේවයක් ලබාදෙන ආයතනයක් විදිහට ඔහුගේ ආයතනය ප්‍රදේශයේ ජනප්‍රිය වී තිබෙනවා. ඔහුගේ සාර්ථකත්වය ගැන DFCC බැංකුවේ බණ්ඩාරවෙල ශාඛාවේ කළමනාකාරතුමා ඇතුළු අපි කණ්ඩායම ඉතා සතුටු වෙනවා.

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන අයට 'DFCC සහය ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය' තුළින් ලැබෙන පිටුවහල කුමනාකාරද?

DFCC බැංකුව 'DFCC සහය ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය' ආරම්භ කළේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සිහින දකින කුඩා පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්මයි. බණ්ඩාරවෙල DFCC බැංකු ශාඛාවට වසර 11ක ඉතිහාසයක් තිබුණත් 'DFCC සහය ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය' ආරම්භ කොට තවම ගතවී තිබෙන්නේ වසර එකහමාරක පමණ කාලයක් පමණයි. නමුත් ඒ සුළු කාලය ඇතුළත අපි 95කට පමණ මෙම ණය ක්‍රමය යටතේ ණය පහසුකම් සපයා දී තිබෙනවා. ඒ වගේම අපි පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සම්බන්ධ වී ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසායකයන් 350ක පමණ සංඛ්‍යාවක් සම්බන්ධ කරගෙන ව්‍යාපාරයක් පටන්ගන්න අවශ්‍ය කරන දැනුම, මඟපෙන්වීම ලබාදීමට 'සහය හමුව'නමින් වැඩමුළුවක් පැවැත්වුවා. 'DFCC සහය ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය' තුළින් වගේම එවැනි වැඩසටහන් තුළින්ද නව ව්‍යවසායකයන්ට අත්වැලක් වීම කළමනාකාරතුමා ඇතුළු අපේ කණ්ඩායමේ අපේක්ෂාවයි.

මාතෘකා