“DFCC බැංකුව උදවු කළේ නැත්නම් අද ‘සරු ශක්ති’ පොහොර නැහැ”

 ඡායාරූපය:

“DFCC බැංකුව උදවු කළේ නැත්නම් අද ‘සරු ශක්ති’ පොහොර නැහැ”

පොහොර හදා ජීවිතය දිනූ - නුවරඑළියේ මදිවාදනන්

වැදූ මවටත් උපන් පොළොවටත් ණය නැති මිනිසුන් බිහිවන්නේ අල්ප වශයෙනි. උපන් බිම සරු බිමක් වන්නට නම් සරු පොහොරක් අවැසිමය. මිනිසාටත් සතා සිවුපාවාටත් වස විස නැති පොහොරක් හදා මහපොළොවට බරක් නොවී තමන්ගේ ජීවිතයද සරු කරගත් ධෛර්යවන්ත තරුණයකු අපට හමුවිය. ඔහු නුවරඑළියේ පදිංචි පී. ටී. මදිවාදනන්ය. මේ සරු කරගත් ඔහුගේ ජීවිත කතාවයි.

ව්‍යාපාරිකයෙක් වීමේ සිහිනයක් ඔබ තුළ තිබුණාද?

එහෙම සිහිනයක් තිබුණේ නැහැ. මම ඉගෙන ගත්තේ නුවරඑළිය ශුද්ධවූ ත්‍රිත්ව මධ්‍ය මහා විද්‍යාලයේ. පාසල් යන කාලේ වැඩිපුර කළේ ක්‍රීඩා කටයුතු. මම පාපන්දු සෙල්ලම් කළා. 1995 අවුරුද්දේ මම අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමටත් ක්‍රීඩා කළා.

ක්‍රීඩා කටයුතුවලට ඇලුම් කළ ඔබ ඒ අංශයෙන් ඉදිරියට නොගියේ ඇයි?

අධ්‍යාපන කටයුතු අවසන් කළාට පස්සේ මට රැකියාවක් කරන්න අවශ්‍ය වුණා. මගේ මුල්ම රැකියාව වුණේ කොම්පෝස්ට් පොහොර හදන සමාගමකයි. එතැනදි මට කාබනික පොහොර ගැන ගොඩක් දේවල් ඉගෙනගන්න ලැබුණා. ඒ වගේම ඒ ගැන උනන්දුවකුත් ඇතිවුණා. 2006 සිට 2011 දක්වා මම ඒ සමාගමේ වැඩකළා. එතැනින් කාබනික පොහොර නිෂ්පාදනය ගැන මූලික දැනුමක් වගේම හොඳ පළපුරුද්දක් මම ලබාගත්තා.

ඒ සමාගමෙන් ඉවත් වෙලා ඔබ මොනවද කළේ?

ඇත්තටම මට කාබනික පොහොර ගැන තවත් වැඩිපුර ඉගෙනගන්න වුවමනා වුණා. ඒ නිසා මම සතියක පුහුණුවකට ඉන්දියාවට ගියා. ඒ පුහුණුව තුළින් මම කාබනික පොහොර සම්බන්ධ විශාල දැනුමක් ලබාගත්තා. ඊට පස්සේ තමයි මට මගේම ව්‍යාපාරයක් පටන් ගැනීම ගැන අදහසක් ඇතිවුණේ.

ඔබ මුලින්ම ව්‍යාපාරය ආරම්භ කළේ කොහොමද?

කලින් පොහොර සමාගමේ වැඩකරලා ලබාගත්ත අත්දැකීම් සහ ඉන්දියාවේ පුහුණුව තුළින් ලබාගත් දැනුමත් එක්ක මට කාබනික පොහොර ගැන ඒ වෙද්දි හොඳ අවබෝධයක් තිබුණා. ඒ නිසා කුඩාවට හරි මගේම උත්සාහයෙන් කාබනික පොහොර නිෂ්පාදන ආයතනයක් පටන්ගන්න තමයි මට ඕනවුණේ. නමුත් දැනුම, අත්දැකීම් තිබුණට මට එක ප්‍රශ්නයක් තිබුණා. ව්‍යාපාරය පටන් ගන්න මට සල්ලි තිබුණේ නැහැ. ඒක තමයි මට තිබුණ ලොකුම ප්‍රශ්නය. ඒ වෙලාවේ තමයි මට DFCC බැංකුව උදවු කළේ.

ඒ අවස්ථාවේදී DFCC බැංකුවෙන් මොන වගේ සහයෝගයක්ද ඔබට ලැබුණේ?

මම DFCC බැංකුවේ නුවරඑළිය ශාඛාවේ මහත්වරු එක්ක මගේ අවශ්‍යතාව ගැන කතාකළා. එයාලා මට උදව් කරන්න කැමති වුණා. මුලින්ම මට DFCC බැංකුවෙන් රුපියල් ලක්ෂ තුනහමාරක ලෝන් එකක් දුන්නා. ඒ මුදලින් තමයි මම 'සරු ශක්ති කාබනික පොහොර ' ව්‍යාපාරය පටන් ගත්තේ. ඒ වෙලාවේ මට ඒ ණය මුදල ලොකු හයියක් වුණා.

ව්‍යාපාරයේ මුල් අවස්ථාව ගැන මතක් කරනවා නම්?

මුලින්ම ඉතා කුඩාවට තමයි පටන්ගත්තේ. මුල්ම කාලේ 'සරු ශක්ති කාබනික පොහොර' නිෂ්පාදන කළේ, ඇසුරුම් කළේ, වෙළෙඳපොලට දැම්මේ සියල්ලම කළේ මම තනියෙන්මයි. ඒ විදිහට ඉතා කුඩා ව්‍යාපාරිකයෙක් විදිහට තමයි මම මේ ව්‍යාපාරය ආරම්භ කළේ. 'සරු ශක්ති කාබනික පොහොර' ඕනෑම වගාවක් සඳහා ගැළපෙනවා. නමුත් විශේෂයෙන් වැඩිම ඉල්ලුම තියෙන්නේ එළවළු වගාකරුවන්ගෙන්.

මේ වන විට ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය කොහොමද?

දැන් එදාට වඩා නිෂ්පාදන කටයුතු පුළුල් වෙලා තියෙනවා. මේ වෙද්දි 7දෙනෙක් මගේ ළඟ වැඩ කරනවා. නුවරඑළියේ මේ විදිහට කාබනික පොහොර නිෂ්පාදනය කරන කුඩා ව්‍යාපාරිකයකුට ඉන්නේ මං විතරයි.

කුඩා ව්‍යාපාරිකයකු ලෙස ඔබ මුහුණ දෙන අභියෝග මොනවාද?

ගොඩක් අභියෝග තිබෙනවා. මූලිකම අභියෝගය තමයි මූල්‍යමය ගැටලු. විශාල පරිමාණයේ පොහොර සමාගම් එක්ක බලද්දි මම කුඩා නිෂ්පාදකයෙක්. නමුත් මගේ පොහොරවලට හොඳ ඉල්ලුමක් තිබෙනවා. ඒත් ඒ ඉල්ලුමට සරිලන විදිහට පොහොර සපයන්න මට අමාරුයි. ඒකට හේතුව නිෂ්පාදන කටයුතු සඳහා විශාල මුදලක් යොදවන්න වෙනවා. මම ගොඩක් වෙලාවට සේල්ස් කරන්නේ ක්‍රෙඩිට් එකට. මාස දෙකක් විතර ණයට එහෙම දුන්නට පස්සේ ප්‍රඩක්ෂන්වලට ලොකු මුදලක් එකවර යොදවන්න වෙනවා. ඉතින් එහෙම විශාල මුදලක් යොදවන්න තරම් මම ශක්තිමත් නැහැ. ඒක තමයි මට තියෙන ලොකුම අභියෝගය.

පොහොර නිෂ්පාදනය කරන විශාල සමාගම්වලින් ඔබේ ව්‍යාපාරයට අභියෝගයක් නැද්ද?

මම තමයි නුවරඑළියේ ඉන්න මේ මට්ටමේ එකම කාබනික පොහොර නිෂ්පාදකයා. ලොකු සමාගම් එක්ක තරගයක් තිබුණට ඒක මට අභියෝගයක් නෙවෙයි. මගේ 'සරු ශක්ති කාබනික පොහොර' වලට හුරුවුණු විශාල පාරිභෝගිකයන් පිරිසක් මේ වෙද්දි ඉන්නවා.

ව්‍යාපාරය පිළිබඳ ඔබේ ඉදිරි සැලසුම් මොනවාද?

මගේ බලාපොරොත්තුව තවදුරටත් ව්‍යාපාරය දියුණු කරගැනීමයි. අපේ රටට අවශ්‍ය කාබනික පොහොරයි. රසායනික පොහොර භාවිතය නිසා ගොඩක් ප්‍රශ්න ඇතිවෙනවා. ඒ නිසා අපේ කෘෂිකර්මාන්තයට ගැළපෙන හොඳ දෙයක් වැඩිපුර නිෂ්පාදනය කිරීමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම ව්‍යාපාරය දියුණු කරලා තව 10 දෙනෙකුටවත් රැකියා අවස්ථා සලසා දීමටත් මම බලාපොරොත්තු වෙනවා.

තරුණ ව්‍යවසායකයෙක් විදිහට විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?

අපේ තරුණයන් ළඟ විශේෂ හැකියාවන් තිබෙනවා. නමුත් ඒ හුඟක් දෙනෙකුට උදවු කරන්න කෙනෙක් නැහැ. මගේ අදහස නම් රැකියාවක් කරනවට වඩා තමන්ගෙම ව්‍යාපාරයක් කරන එකයි ගොඩක් වටින්නෙ. ඒ නිසා ව්‍යාපාරයක් පටන් ගන්න හිතන කෙනෙක් ඉන්නවා නම් බැංකුවකට කතාකරලා ලෝන් එකක් අරගෙන ඒක සුළුවෙන් හරි පටන්ගන්න ඕන. බයවෙන්න හොඳ නැහැ. දැන් මට වයස අවුරුදු හතළිහක්. මේ ව්‍යාපාරය නිසා මම ජීවිතය සාර්ථක කරගෙන තියෙනවා. මම මගේම උත්සාහයෙන් තමයි මේ ගමන ආවේ. ඒ එක්කම මේ වෙලාවේ මට හයියක් වුණ DFCC බැංකුවට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. DFCC බැංකුවේ නුවරඑළිය ශාඛාවෙන් ලැබෙන සහයෝගය මම මේ වෙලාවේ ගෞරවයෙන් මතක් කරනවා.

**********************

“මදිවාදනන්ට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි ලබාදුන්නා”

දුෂ්‍යන්තන් මනෝරන්ජිදන්

කළමනාකරු DFCC නුවරඑළිය ශාඛාව

නුවරඑළියේ මදිවාදනන් මහතාට සිය ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්නට අත්වැලක් වූයේ DFCC බැංකුවේ නුවරඑළිය ශාඛාවයි. ඔහුට DFCC බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ලබාදුන් සහයෝගය පිළිබඳ අපි එම ශාඛාවේ කළමනාකරු දුෂ්‍යන්තන් මනෝරන්ජිදන් මහතාගෙන් විමසා සිටියේ, එය මදිවාදනන් වැනි නවක ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාර සිහිනය සැබෑ කරගන්නට අත්වැලක් වනු සඳහාය.

මදිවාදනන් DFCC බැංකුවේ නුවරඑළිය ශාඛාව සමඟ සම්බන්ධ වෙන්නේ කොහොමද?

අපි මුලින්ම ඔහු හඳුනාගත්තේ අපේ ශාඛාව ආරම්භ කළ කාලයේදීමයි. ඒ මීට අවුරුදු 10කට පමණ ඉහතදී. ඔහු අපිට ඔහුගේ හිතේ තිබුණ ව්‍යාපාරය ගැන අදහස පැවසුවා. ඒ වගේම ඔහුගේ අවශ්‍යතාවත් අපිට පැහැදිලි කළා. ඊටපස්සේ පළමුවෙන්ම අපි ඔහුගේ ව්‍යාපෘතිය ගැන හොඳ අධ්‍යයනයක් කළා.

DFCC බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය මදිවාදනන්ට ශක්තියක් වුණේ කොහොමද?

සාමාන්‍යයෙන් කුඩා ව්‍යාපාරිකයෙක් අපිට ඔහුගේ ව්‍යාපාර සැලසුම ඉදිරිපත් කළාම අපි ඒ ගැන අධ්‍යයනය කරලා ඔහු සමඟ පුළුල් ලෙස සාකච්චා කරනවා. ඒ ව්‍යාපෘතිය තුළින් ඔහුට කොපමණ ආදායමක් උපයන්න පුළුවන්ද? ඔහුට ගෙවන්න පුළුවන් ණය මුදල සහ වාරික ගණන කොපමණද? යනාදී කරුණු හොඳින් අධ්‍යයනය කරලා ඔහුට බැංකුවෙන් දෙන ණය මුදල ගෙවන්න පුළුවන් මුදල සහ වාරික ගණන තීරණය කරනවා. ඒ විදිහට අපි මදිවාදනන්ගේ ව්‍යාපෘතිය අධ්‍යයනය කරලා ඔහුට ගැළපෙන මූල්‍ය ක්‍රමය යටතේ ණය මුදලක් ලබාදුන්නා. ඒ මුදල්වලින් තමයි මදිවාදනන් ඔහුගේ ව්‍යාපාරය ආරම්භ කළේ.

මේ වන විට DFCC බැංකුවේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය තුළින් ජීවිතය ජයගෙන තිබෙන කුඩා පරිමාණ ව්‍යාපාරිකයන් පිළිබඳ සඳහන් කරනවා නම්?

මේ වෙනකොට DFCC නුවරඑළිය බැංකු ශාඛාව යටතේ අපි කුඩා පරිමාණ නව ව්‍යවසායකයන් 130කට පමණ ණය පහසුකම් ලබාදී තිබෙනවා. ඒ වගේම අපි ඔවුන්ට හැමදාම කුඩා පරිමාණයේ ව්‍යාපාරිකයන් ලෙස රැඳෙන්න දෙන්නෙ නැහැ. ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න අපි පහසුකම් සලසනවා. ඒ වගේම ඔවුන්ට අවශ්‍ය මූල්‍යමය මඟපෙන්වීම ලබාදෙනවා. DFCC බැංකුවෙන් ලැබෙන ඒ අතදීමත් එක්ක ඔවුන් තමන්ගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගෙන මහා පරිමාණය දක්වා ව්‍යාපාරය පුළුල් කරනවා. ඒ විදිහට දියුණු වූ බොහෝ දෙනෙක් අපේ ගනුදෙනුකරුවන් අතර ඉන්නවා. එය අපට විශාල සතුටක්.

මදිවාදනන් මහත්මයා ගැන කියනවා නම්, ඔහු තමයි අද නුවරඑළිය කොටගල ප්‍රදේශයේ ඉන්න සුළු පරිමාණයෙන් පොහොර නිෂ්පාදනය කරන එකම ව්‍යවසායකයා. නමුත් විශාල සමාගම් සමඟ බලද්දි ඔහුගේ කාබනික පොහොර වෙළෙඳපොලේ මුල් තැනක තිබෙනවා. ඔහුගේ 'සරු ශක්ති පොහොර' අද නුවරඑළිය ප්‍රදේශයේ ඉතා ජනප්‍රියයි. තරුණ ව්‍යාපාරිකයෙක් වන ඔහුගේ සාර්ථකත්වය ගැන DFCC බැංකුවේ අපි සතුටු වෙනවා වගේම ඉදිරියේදිත් ඔහුට මූල්‍යමය ශක්තිය සහ මඟපෙන්වීම ලබාදෙනවා.

මාතෘකා