පහුගිය අවුරුදු තුනේදී පමණක් ලක්ෂ 2000ක ශිෂ්‍යත්ව මේ රටට අරන් දුන්නා

 ඡායාරූපය:

පහුගිය අවුරුදු තුනේදී පමණක් ලක්ෂ 2000ක ශිෂ්‍යත්ව මේ රටට අරන් දුන්නා

ඔහු තවමත් තරුණ වියේ පසුවන්නෙකි. ව්‍යාපාරික අවස්ථා දෙස අලුත් කෝණයකින් බලන්නෙකි. ලාභ ලබන ව්‍යාපාරයක් සමාජ වගකීම් ඉටුකරණ ව්‍යාපාරයක් දක්වා විකසනය කිරීමේ ශක්‍යතාව ඇත්තෙකි. චමල්ක අල්විස් සමරසිංහ එඩියුසෝන් කන්සන්ටන්ට්ස් පුද්ගලික සමාගමේ (EduZone Consultants Pvt Ltd) කළමණාකාර අධ්‍යක්ෂවරයාය. තරුණ ව්‍යවසායකයෙක් ලෙස සමාජයේ පවතින ව්‍යාපාර අදහසක් නව්‍ය මගක් ඔස්සේ මෙහෙයවීමෙන් සාර්ථකත්වය ලැබූ ඔහු, 'රැස' සමඟ මෙසේ සංවාදයට එක් වූවේය.

EduZone ආයතනය සපයන සේවාවන් මොනවාද?   
ප්‍රධාන වශයෙන්ම පශ්චාත් උපාධි සඳහා විදෙස් ගතවෙලා අධ්‍යාපනය හදාරන්න කැමැති අයට යුරෝපයේ විශේෂයෙන්ම ස්කැන්ඩිවියානු රටවලත් එම අවස්ථාව සලසා ගැනීමට පහසුකම් සපයන එක. දැනට තියන අධ්‍යාපන සහ වෘත්තීය සුදුසුකම් විශ්ලේෂණය කරලා ඔවුන්ට උපදේශණය සහ විශේෂඥ සහය ලබා දීම EduZone මඟින් කෙරෙනවා.   
 කොහොමද ආරම්භ කරන්න පසුබිම හැදුනේ?   
මම කාලයක් සිංගප්පූරුවේ අධ්‍යාපනය ලැබුවා. ඒ කාලයෙත් වෙනත් රටවල විවෘතව තියෙන අධ්‍යාපන අවස්ථා ගැන හොඳ අවබෝධයකින් හිටියේ. ලංකාවට ආවට පස්සේ මුලින්ම මම BPO (ව්‍යාපාර ක්‍රියාවලි බාහිරකරණය) ආයතනයක සේවය කළා. පස්සේ මම තව මිත්‍රයෙක් එක්ක BPO ව්‍යාපාරයක් ආරම්භ කළා. ඒක එච්චර සාර්ථක නොවුන තැන මම කල්පනා කළා මට කරන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද කියලා. ඒ වෙලාවේ තමා මට හිතුනේ මේ ව්‍යාපාරය ගැන මට පැහැදිලි අදහසක් තියන බව.   
අපි මුලින්ම අයදුම්පත්‍ර යොමු කළේ පින්ලන්තයේ විශ්වවිද්‍යාලවලට. ඒ අයදුම්පත්‍රවලට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉන් පස්සේ අපි ස්වීඩනයට ශිෂ්‍යයන් යවන්න කටයුතු කළා. මේ විදිහට ක්‍රමයෙන් ව්‍යාපාරයක් විදිහට නමක් ගොඩ නඟාගන්න, ස්ථාවර වෙන්න අපිට හැකි වුණා.   
 සංඛ්‍යාත්මකව ගත්තොත් මේ වෙනකොට ස්කැන්ඩිවියානු රටවලට වැඩිම ශිෂ්‍ය පිරිසක් යවන ආයතනය බවට පත් වෙන්න ආයතනයට හැකි වෙලා තියනවා.   
සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන් විදෙස්ගතව අධ්‍යාපනය හදාරන රටවල් තෝරා නොගෙන ඔබ ස්කැන්ඩිවියාව තෝරාගන්න විශේෂ හේතුවක් තියනවද?   
2012 වෙනකොට පින්ලන්තය වගේ රටකට ශිෂ්‍යයන් යවන්න වෙන කිසිම ආයතනයක් ආරම්භ කරලා තිබ්බේ නැහැ. කාලයත් එක්ක අපිට තේරුණා මේ රටවල බොහෝ අධ්‍යාපන අවස්ථා තියෙන බව. ඒ වගේම සාම්ප්‍රදායිකව ලංකාව ශිෂ්‍ය ශිෂ්‍යාවන් වැඩියෙන්ම යන රටවල් එක්ක සංසන්දනය කරලා බැලුවහම මේ රටවල ගාස්තු සහ වියදම් සාපේක්ෂව අඩුයි. උදාහරණයක් විදිහට 2017 වෙනකම් පින්ලන්තයේ විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගාස්තුවක් අය කළේ නැහැ. දැනටත් පින්ලන්තයට යන ශිෂ්‍යන්ගෙන් අති බහුතරයට ශිෂ්‍යත්ව ලැබෙනවා.   
නමුත් ලෝක ශ්‍රේණිගතකිරීම්වල ඉහළින්ම තියන විශ්ව විද්‍යාල මේ රටවල තියනවා. ඒ නිසා දෙමව්පියන්ට, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වගේම රටක් විදිහටත් පිරිවැය සාපේක්ෂව අඩු කරගන්න පුළුවන්.   
 වෙනත් අධ්‍යාපන උපදේශන ආයතනවලින් EduZone වෙනස් වෙන්නේ කොහොමද?   
අපි වැඩිපුරම ප්‍රවර්ධනය කරන්නේ ලංකාවේ ඇතුලේ ප්‍රථම උපාධිය අවසන් කරලා ඊට පස්සේ පශ්චාත් උපාධියට විදෙස්ගත වීම හොඳයි කියන දේ. ප්‍රථම උපාධිය හදාරන්න පුළුවන් පිළිගත් රාජ්‍ය, රාජ්‍ය නොවන සහ අර්ධ රාජ්‍ය ආයතන ඕනෑතරම් දැන් තියනවා. සාමාන්‍යයෙන් සංවර්ධිත රටක උපාධියක් කරන්න යන වියදමකින් පහෙන් එකකටත් අඩු වියදමක් තමා ලංකාවේ ප්‍රථම උපාධියක් කරන්න යන්නේ. ඒ තත්ත්වය දෙමව්පියන්ට සහනයක්. ඉඩම් උකස් තියලා, දෙමව්පියන්ගේ ඊටීඑෆ් සල්ලි වියදම් කරලා ඒ විදිහට ගියහම ඒක ඒ වයසට ළමයින්ටත් පීඩනයක්. ලංකාවේ පළවෙනි උපාධිය අවසන් කරගන්න පුළුවන් නම් අවුරුදු කීපයක වෘත්තීය අත්දැකීම් එක්ක පශ්චාත් උපාධියට විදෙස් ගත වීමේදී ඒ පීඩනය දැනෙන්නේ නැහැ. ඒ වගේම පවුලක් විදිහට යන්න අවස්ථාවත් හිමි කරගන්න හැකියාව තියනවා.   
නමුත් වයස අවුරුදු 30ක් පමණ වෙද්දිත් ප්‍රථම උපාධිය අවසන් නොකරපු අයව ස්වීඩනයේ අවස්ථාවලට යොමු කරන්න අපි කටයුතු කරනවා.  
මුදල් ගෙවා අධ්‍යාපනය ලබන අවස්ථා, ව්‍යාපාරයක් විදිහට ඔබට වැඩි වාසියක් ලබාදෙද්දි ඇයි ශිෂ්‍යත්ව අවස්ථා ඔබ වැඩියෙන් ප්‍රවර්ධනය කරන්නේ?  
එක අවුරුද්දකදි මම ශිෂ්‍යත්ව සඳහා වැඩි ශිෂ්‍ය පිරිසක් යොමු කළහම, මට ඊළඟ වසරෙදි දැන ගන්න ලැබෙනවා ඒ අවුරුද්දේ ලංකාවට ලැබුණ ශිෂ්‍යත්ව ප්‍රමාණ වැඩිවෙලා කියලා. ඒක ව්‍යාපාරික අරමුණෙන් එහාට ගිහින් සමාජ වගකීමක්, පුරවැසි යුතුකමක් විදිහට මට සතුටක් ගෙන එන කාරණයක්.  
ඒ වගේම ඒ ළමයි අතේ යම් මුදලක් තියනවා නම් ඔවුන් ඒ ජීවත්වෙන රටේදී දරන්න සිද්ධවෙන සාමාන්‍ය වියදම් කිරීමේදී අනවශ්‍ය පීඩනයක් ඇති වෙන්නේ නැහැ.  
2017 අවුරුද්දේ විතරක් නෝර්වේවලින් අපට ශිෂ්‍යත්ව 6ක් ලැබුණා. ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනාකමක් තියන ශිෂ්‍යත්ව. ස්වීඩනයෙන් ශිෂ්‍යත්ව 3ක් ලැබිලා තියනවා. වටිනාකම රුපියල් ලක්ෂ 150ක් විතර වෙනවා. ඊට අමතරව ස්වීඩනයෙන් පූර්ණ ශිෂ්‍යත්වයක් දැනට දින කිහිපයකට කලින් ලැබුණා. ඒ වගේම පින්ලන්තයෙන් ශිෂ්‍යත්ව 7ක් ලැබුණා. මේ සියල්ලේම වටිනාකම රුපියල් ලක්ෂ 700කට අධිකයි. මේ වසර තුන ඇතුළේ විතරක් මේ රටට රුපියල් ලක්ෂ 2000ක වටිනාකමක ශිෂ්‍යත්ව අරන් දෙන්න ට හැකිවුණා.   
 රැකියා හොයමින් පාරේ සටන් කරන උපාධිධාරී තරුණයින් මේ රටේ ඉන්නවා. තරුණ ව්‍යවසායකයෙන් විදිහට මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?   
ලංකාවේ රැකියා නොමැති ප්‍රශ්ණයක් ලොකුවට තියනවා කියන දේ නම් මම පිළිගන්නේ නැහැ. සති අන්ත පත්තරයක් අරන් බැලුවොත් ඔය උපාධිධාරීන්ට රැකියා ඕනෑතරම් හොයා ගන්න පුළුවන්. හැබැයි ලංකාවේ තියන ලොකුම ප්‍රශ්නය රැකියා සුරක්ෂිතභාවය. පාරට බහින ළමයි එක පැත්තකින් සාධාරණයි. හැබැයි ඒ අය ඉල්ලන්න ඕනෑ රැකියා නෙමේ. ඒ අය ඉල්ලන්න ඕන පෞද්ගලික හෝ රජයේ වෙනසකින් තොරව රැකියා සුරක්ෂිත කරන්න කියන දේ.   
 ශ්‍රී ලංකාවේ තරුණයන්ට විවෘත වෙලා තියන නව ව්‍යාපාරික ප්‍රවණතා ගැන ඔබේ අදහස මොකක්ද?   
විද්‍යාව සහ තාක්ෂණය තමා ඉදිරි ව්‍යාපාර ප්‍රවණතා නිර්මාණය කරන්නේ. අන්තර්ජාලය රැකියා නිර්මාණය කරගන්න පාවිච්චි වන ප්‍රමාණය තවම ප්‍රමාණවත් නැහැ. සුලු පරිමාණ විද්‍යුත් වාණිජකරණය (e-Commerce) ව්‍යාපාරවලින් එහාට යන්න අවශ්‍යයි. ප්‍රාග්ධන අවශ්‍යතාව අඩු ව්‍යාපාර වැඩිපුරම මුණ ගැහෙන්නේ අන්තර්ජාල ව්‍යාපාර හරහා.   
 අංකුර ව්‍යාපාර අදහස් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් මෙ රටේ සිදුවිය යුතු වෙනස්කම් විදිහට ඔබ යෝජනා කරන්නේ මොනවද?   
මේ රටේ බැංකු බොහොමයක් යැපෙන්නේ ලීසිං සහ නිවාස ණයවලින් කියලා මම හිතන්නේ. ව්‍යාපාර ණය දීම්වලට මේ රටේ බොහොම සීමා තියනවා. එහෙම ණය දුන්නත් බොහෝ වෙලාවට ණය ලබාදෙන්නේ යම් ප්‍රාග්ධනයක් තියන අයට.   
මේ ක්‍රමය වෙනස්කරලා, ව්‍යාපර අදහස් විශ්ලේෂණය කරලා ව්‍යාපාරවලට ණය දෙන ක්‍රමවේදයක් සකස් කිරීමට රජයට මැදිහත් වෙන්න පුළුවන් නම් ඒක ලොකු වෙනසක් කරන්න සමත් වෙයි. එහෙම දේවල් තිබ්බත් ඒවායේ විනිවිදසුළු බව, කාර්යක්ෂමතාව සහ පරාසය ඇති කිරීම බොහොම වැදගත්. ඒ වගේම PayPal වගේ ලෝකයේ පිළිගත් ගෙවීම් වේදිකා (Payment Platform) වලට ලංකාව විවෘත කිරීමත් දැන් දැන් අතවශ්‍ය කාරණයක් බවට පත් වෙලා.  

මාතෘකා