මට පාඩුවක් කියන්නෙ සල්ලි දීලා ඉගෙන ගත්ත පාඩමක්

 ඡායාරූපය:

මට පාඩුවක් කියන්නෙ සල්ලි දීලා ඉගෙන ගත්ත පාඩමක්

SMART ACCESSORIES - කළමනාකරණ අධ්‍යක්ෂ

අසංක ශ්‍රීමන්ත

e-Commerce (විද්‍යුත් වාණිජ්‍යය ) ක්ෂේත්‍රය මේ වනවිට මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ තරඟකාරී ක්‍රමයක් බවට පත් වී අවසානයි. ' කොහොමද වෙබ් එකෙන් සල්ලි හොයන්නේ? ' කියන සරළ ප්‍රශ්නය ඉතාම වේගයෙන් වර්තමාන සමාජයේ කල් ඉකුත් වූ පැනය බවට පත් වෙමින් යනවා. ලංකාවේ e-Commerce ක්ෂේත්‍රයේ තනි පුද්ගලයෙක් ආරම්භ කරපු දැවැන්තම ව්‍යාපාරයක් ගොඩ නගන්න සමත් වූ මේ තරුණ නිර්මාණශීලී ව්‍යවසායකයා තමන්ගේ සාර්ථකත්වයේ ගමන් මඟ ගැන 'රැස' ව්‍යාපාර පිටුවේ සංවාදයට එක් වුණා.

ඔබ ඊ-කොමස් ක්ෂේත්‍රයට පිවිසුණේ කාලය ගැන මතක් කරමු...?

මම මේ ව්‍යාපාරය මුලින්ම පටන්ගත්තේ 2012 දි. ඒ වෙනකොට ලංකාවේ විද්‍යුත් වාණිජකරණය හා සම්බන්ධ ආයතන තුනක් විතරයි තිබුණේ. ඒ ආයතනත් ලංකාවේ දැවැන්ත දුරකතන සමාගම් සමඟ සම්බන්ධ වෙලා ව්‍යාපාරය කරගෙන ගියේ. මම තමයි තනි පුද්ගලයෙක් හැටියට මේ ව්‍යාපාරය මුලින්ම පටන් ගත්තේ.

ඇයි මේ වගේ අභියෝගයක් භාර ගත්තේ?

2002 ඉඳලා මම රැකියා කළා. මම ඉගෙන ගත්තේ තොරතුරු තාක්ෂණය. ඒත් ඒ ක්ෂේත්‍රයේ තරගකාරීත්වය වැඩි වුණා. ඒ නිසා මම පෞද්ගලික ආයතනයක රැකියාවට ගියා. එතන කාලයක් සේවය කරනකොට මට හිතුණා මට මීට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඒ අතරවාරයේ මට දැනගන්න ලැබුණා චීනෙන් භාණ්ඩ ගෙන්වලා ලංකාවේ අලෙවි කරන්න පුළුවන් කියලා. ඒ වෙනකොටත් මට ඉලක්කම් හයක වැටුපක් ලැබුණා. ඒත් මම රැකියාවෙන් ඉවත් වෙලා මේ විද්‍යුත් වෙළෙඳ ක්ෂේත්‍රයට එන්න තීරණය කළා. විදේශයන්ගෙන් භාණ්ඩ ආනයනය කරන්න කලින් පිටකොටුවෙන් භාණ්ඩ මිලදීගෙන ඒවා අලෙවි කරලා බැලුවා. ඊට පස්සේ චීනෙන් භාණ්ඩ ආනයනය කෙරුවා. පළමු අවස්ථා දෙකේදිම ඒක අසාර්ථක වුණා. ඒත් මම උත්සාහය අතඇරියේ නැහැ. තුන්වෙනි අවස්ථාවේ භාණ්ඩ ආයනයන කරලා අපිම අලෙවි කරනවා වෙනුවට අනෙකුත් ඊ-කොමස් ආතනනවලට අපි භාණ්ඩ සැපයුවා. මේ අතරෙදි අපේ easy.lk වෙබ් අඩවිය පටන් ගත්තා. ඒකට මගේ තොරතුරු තාක්ෂණ දැනුමත් ප්‍රයෝජනවත් වුණා. ඒ පටන් ගත්ත ගමන තමයි මේතාක් දුර ආවේ.

පෙර රැකියාවල අත්දැකීම් ඔබේ ව්‍යාපාරයට බලපෑවේ කොහොමද?

2002 දි මම පටන්ගත්තේ සෙලාන් බැංකුවට අනියුක්ත කුරියර් ආයතනයකින්. භාණ්ඩ අරගෙන තැනකින් තැනකට ගිහින් භාරදෙන එක ගැන මම ඉගෙන ගත්තේ එතනින්. ඉන්පසුව ලාෆ්ස් ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවයට ගියා. ඒ ආයතනයේදී මම ගබඩාකරණය ගැනත් ඉගෙන ගත්තා. ඒ වගේම මම ඒ ආයතනයේම කළමණාකාරවරයෙක් හැටියට සේවය කළා. මේ හැම රැකියාවකින්ම මම අත්දැකීම් ගොඩක් එකතු කරගත්තා.

ඔබේ ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය ගැන කිව්වොත්?

අපි මේක පටන්ගත්තේ පොඩි තැනකින්. මගේ ආයතනයේ පළවෙනි සේවකයා මම. දැනට මගේ ආයතයේ සේවකයෝ 50කට අධික සංඛ්‍යාවක් සේවය කරනවා. එක වෙබ් අඩවියකින් ආරම්භ කරපු මේ ව්‍යාපාරය දැනට අංශ තුනකින් වෙබ් අඩවි තුනක් සහිතව පවත්වාගෙන යනවා. ගෘහ විදුලි උපකරණ සහ වාහන සඳහා අමතර උපාංග ආයතනය easy.lk හැටියටත්, රූපලාවණ්‍ය අමුද්‍රව්‍ය අලෙවි කරන ආයතනය Dubai Cosmetics හැටියටත් පිළිගත් සන්නාම සහිත භාණ්ඩ අලෙවි කරන ආයතනය Branded.lk ලෙසත් පවත්වාගෙන යනවා. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක ආවරණය වෙන විදිහට සකස් කරපු සැපයුම්කරුවන් ජාලයක් අපිට ඉන්නවා. ප්‍රවාහන ගාස්තු නැතුව භාණ්ඩ සපයන එකම සහ පළමු ආයතනය අපි.

ඔබ මේ ආනයනය කිරීම් තුළින් පිටරටට යවන්නේ අපේ රටේ විදේශ විනිමය කියලා හිතෙන්නේ නැද්ද?

ඒක හොඳ ප්‍රශ්නයක්. මේ වගේ ඊ-කොමස් ආයතන හැම එකක්ම වගේ කරන්නේ ලංකාවේ සල්ලි පිටරට යවන එක. අපි ඒ දේ ගැන දෙවතාවක් හිතුවා. ඒකට පිළියමක් හැටියට අපි අලුත් ක්‍රමයක් හිතුවා. අපි ව්‍යාපාරයේ ශාඛාවක් ඩුබායිවල පටන් ගත්තා. දැන් අපි චීනයෙන් ඩුබායිවලට භාණ්ඩ ගෙන්වනවා. ඒ භාණ්ඩ ඩුබායිවලදී විකුණනවා. ඒකෙන් අපිට ලැබෙන ලාභය මේ ව්‍යාපාරයට යොදවනවා. ලංකාවේ මුදල් වෙන රටකට යවනවා වෙනුවට තවත් රටක මේ ව්‍යාපාරය පටන් අරගෙන ඒ ලැබෙන විදේශ විනිමය තමයි අනිත් රටට යවන්නේ.

ඉතාම සුළු කාලයකින් මේ තරම් සාර්ථකත්වයක් ලැබීම පසුපස තියෙන රහස මොකක්ද?

කැපවීම. බාධක එනකොට ඒවාට මූණදීලා මීට වඩා දෙයක් කරන්න ඕනේ කියන ආත්ම විශ්වාසය තමයි ප්‍රධානම කාරණාව. ඒ වගේම වැඩ කරලා ගත්ත අත්දැකීම් සහ පන්නරයත් මේ ගමන එන්න වැදගත් වුණා. ඒ වගේම පාඩුවක් වුණ හැම අවස්ථාවකදිම මම ඒක භාරගත්තේ සල්ලි දීලා ඉගෙන ගත්ත පාඩමක් හැටියට. ඒ වගේම මේ ව්‍යාපාරය ආරම්භයේදී දෙවතාවක්ම අසාර්ථක වුණා. ඒ අසාර්ථක වීම් මුලින් වුණ එක ගැන මම සතුටු වෙනවා.

ආනයන ක්ෂේත්‍රයේ නියුතු ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රමුඛ ගැටළු මොනවා ද?

භාණ්ඩ ආනයනය කිරීමේදි තියෙන ප්‍රධානම ගැටළුව තමයි භාණ්ඩයක් ආනයනය කරනකොට ඒක විකුණගන්න පුළුවන්ද කියන එක ගැන ආනයනකරුවන් හිතන්නේ නැහැ. ඒකෙන් වෙන්නෙ ප්‍රාග්ධනය නැති වෙන එක. ඒ වගේම රුපියලේ අගය පහළ යන්න යන්න භාණ්ඩයේ මිල වැඩි වෙනවා. ඒ වගේම අපි අලුතෙන් හඳුන්වා දෙන භාණ්ඩයක් ආනයනය කරනකොට රේගු නිලධාරීන් ඒ භාණ්ඩය ගැන දන්නේ නැහැ. ඒ අවබෝධය නැති කම නිසා අපි ඒ භාණ්ඩය ගත්ත මුදලට වඩා වැඩි ගාණක් බදු හැටියට ගෙවන්න වෙනවා. මේකෙන් වෙන්නෙ ඒ භාණ්ඩය ගෙන්වීමෙන් ලාභයක් ලැබෙනවා වෙනුවට පාඩුවක් විඳින්න වෙන එක.

නිර්මාණශීලී අදහස් සහිත ව්‍යාපාර ක්ෂේත්‍රයේ නවකයින්ට කුමක්ද කියන්න තියෙන්නේ?

එයාලට කියන්න තියෙන පළවෙනිම දේ තමයි අනුකරණය කරන්න එපා කියන දේ. අනුකරණය කරලා ව්‍යාපාර කරන්න බැහැ. සල්ලි හම්බ කරනවාට වඩා ව්‍යාපාරය ගැන ආසාවක් තියෙන්න ඕන. අනුකරණය කරනවාට වඩා තමන් නිර්මාණශීලී වීමෙන් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයෙන් කොච්චර ඉදිරියට ගියත් අවස්ථාවට අනුව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ වගේ ව්‍යාපාරයකදි ඉතාම වැදගත් වෙන්නේ පාරිභෝගික සේවාව. ඉතා ඉහල පාරිභෝගික සේවාවක් දෙන්නත් වග බලා ගන්න ඕන.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා

ජනප්‍රිය ලිපි