අධ්‍යාපන ආයතනයක් ලැබෙන තෙක් අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ

 ඡායාරූපය:

අධ්‍යාපන ආයතනයක් ලැබෙන තෙක් අපි කිසිම මුදලක් අය කරන්නේ නැහැ

(Galaxy Education & Migration) කළමනාකරණ අධ්‍යක්ෂක රජිත් පංකජ

ඔහු තවමත් තරුණ වියේ පසුවන්නෙකි. ව්‍යාපාරික අදහස් දෙස නවමු කෝණයකින් බලන්නෙකි. රටවල් කිහිපයක ව්‍යාපාර කිහිපයක් හරහා හාර සියයක් පමණ පිරිසකට රැකියා ලබාදෙන්නෙකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ඔහු මේ වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටී. ඕස්ට්‍රේලියාවේ, ඉන්දුනීසියාවේ සහ තස්මේනියාව වැනි රටවල මේ වනවිට සනීපාරක්ෂක සේවා සපයන මහා පරිමාණ ව්‍යාපාරයක් ඔහු සතුය. මීට මාස කිහිපයකට පෙර ලංකාවෙහි ඔහු ආරම්භ කරන ලද පුද්ගලයන් විදෙස්ගත කිරීමේ ආයතනය වන ගැලැක්සි එඩියුකේශන් ඇන්ඩ් මයිග්‍රේෂන් (Galaxy Education & Migration) හි කළමනාකරණ අධ්‍යක්ෂකවරයාය. තරුණ ව්‍යවසායකයෙක් ලෙස සමාජයේ පවතින ව්‍යාපාර අදහස් නව්‍ය මගක් ඔස්සේ මෙහෙයවීමෙන් සාර්ථකත්වය ලැබූ ඔහු රැස සමඟ මෙසේ සංවාදයට එක් වූයේය.

ගැලැක්සි එඩියුකේශන් ඇන්ඩ් මයිග්‍රේෂන් ආයතනයේ සපයන සේවාවන් මොනවද?

ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනය සහ රැකියා සඳහා විදෙස්ගත වීමට අපේක්ෂා කරන සියලුමදෙනාට ඕස්ට්‍රේලියාව තුළ පහසුකම් සපයන එක අපි කරනවා. විශේෂයෙන්ම දැනට තියෙන අධ්‍යාපන සුදුසුකම් සහ වෘත්තීය සුදුසුකම් විශ්ලේෂණය කරලා ඔවුන්ට උපදේශනය සහ විශේෂඥ සහය ලබාදීම ගැලැක්සි එඩියුකේශන් ඇන්ඩ් මයිග්‍රේෂන් මගින් කෙරෙනවා.

මේ ආයතනය ආරම්භ කරන්න හිතුනේ ඇයි?

මම දැනට අවුරුදු දහයක් තිස්සේ පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මම ඕස්ට්‍රේලියාවේ සනීපාරක්ෂක සේවා සපයන ආයතනයක් පවත්වාගෙන යනවා. ඒ ආයතනයේ සේවකයන් මේ වෙද්දි හාරසියයක් පමණ සේවය කරනවා. අපිට බොහෝදෙනෙක් හමුවෙනවා කිසිම අරමුණක් නැතිව ඕස්ට්‍රේලියාවට ඇවිත් අතරමං වෙලා ජීවිතේ අපායක් කරගත්තු. සමහර අය එන්නේ තමන්ගේ වෘත්තිය සුදුසුකම්වලට ගැළපෙන රැකියාවට නෙවෙයි. එහෙමත් නැත්නම් ඒ හැකියාවන් සකස් කරගන්න තරම් දැනුමක් නැහැ. ඕස්ට්‍රේලියාව කියන්නේ ජීවත් වෙන්න සුදුසු රටක්. ඒත් සුදුසු විදියට එන්න ඕන. ඒකට උදවු කරන්න ඕන කියලා හිතුණා. ඒකයි මේ ආයතනය පටන්ගන්න මූලික හේතුව වුණේ. මම ඕස්ට්‍රේලියාවේ අවුරුදු දහයක් ජීවත් වුණ එකත් මේකට ලොකු පිටිවහලක් වුණා.

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ආකාරයේ ඉඳලා තමන්ට ගැලපෙනම අධ්‍යාපන ආයතනය සොයා දීම ආදී සියලුම කාර්යයන්ට අපි උදවු කරනවා.

ඕස්ට්‍රේලියාවට පමණක් සීමා වීම අපරාධයක් කියලා හිතෙන්නේ නැද්ද?

නැහැ. කිසිම කෙනෙක් අතරමං නොවී රට යවන්න අපිට පුළුවන් කියන විශ්වාසය අපිට මේ රට ගැන තියනවා. මොකද ලංකාව තරමටම ඕස්ට්‍රේලියාව අපිට හුරුපුරුදුයි.

සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවට මිනිස්සු යන්නේ හොරෙන්. එහෙමත් නැත්නම් ඒජන්සියක් හරහා රට ගියත් නැවත එවනවා. වංචාවලට අහුනොවී රට යන්නේ කොහොමද?

මේකට ප්‍රධානම හේතුව ලංකාවේ මිනිස්සු ව්‍යාජ තොරතුරුවලින් රට යන්න හදනවා. ඒක පහසුම ක්‍රමය කියන දේ සමහර ඒජන්සිවලින් කියනවා. හරිනම් රට යන්න ඒජන්සියක් අත්‍යවශ්‍ය නැහැ. තොරතුරු සහ අවශ්‍ය ලිපි ලේඛණ නියමිත විදියට හදාගන්නව නම් ඒක සුළු දෙයක්. අපේ ආයතනයෙන් අපි කරන්නේ ඒ දේ.

ඉගෙනගන්න ඕස්ට්‍රේලියාවට යන කෙනෙක් මූලිකවම කළ යුත්තේ කුමක්ද?

මුලින්ම ශිෂ්‍යයෙක් ආවම අපි කරන්නේ එයා කොයිතරම් ඉගෙනගෙන තියෙනවද කියලා හොයනවා. මුලින්ම ඉංග්‍රීසි දැනුම පිළිබඳ හොයනවා (IELTS සමත් විය යුතුයි). ඉන්පස්සේ අපොස සාපෙළ/ උපෙළ සමත්ද කියන දේ හොයනවා. ඉන්පස්සේ ඒ අය යා යුතු විශ්වවිද්‍යාලය අපි තීරණය කරනවා. අවසානයේදි මේ ශිෂ්‍යයන්ට ඕස්ට්‍රේලියාවේ ඉගෙනගන්න අවශ්‍ය වත්කම් තියෙනවද කියන දේ හොයනවා. ඒ කියන්නේ ලංකාවේ මුදලින් වත්කම. මෙතැනදි තමයි බොහෝ ඒජන්සි බොරුකරන්නේ. බොරු වත්කම් පෙන්වනවා. ඒත් අපි ඒ දේ කරන්නේ නැහැ. අවශ්‍ය සුදුසුකම් සපුරා නැත්නම් අපි ඒ අයව රට යවන්නේ නැහැ.

වෘත්තිය සුදුසුකම් මත (Skilled Migration) බඳවාගැනීම් කරද්දි ඔබ ආයතනයෙන් එය සිදුකරන්නේ කොහොමද?

ඕස්ට්‍රේලියාව වාර්ෂිකව රැකියා පුරප්පාඩු ලැයිස්තුවක් පළ කරනවා. ඒ අතරේ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, හෙද සේවය, කළමනාකරණ ක්ෂේත්‍රය වගේ රැකියා තියෙනවා. අපි ගැළපෙන තැන්වලට අදාළ අය යොමු කිරීම කරනවා. මොකද අපිට පුද්ගලිකවම එම ආයතන පිළිබඳ සොයා බැලීමේ හැකියාව තියෙනවා.

අනෙත් ආයතන එක්ක ඔබේ ආයතනය වෙනස් වෙන්නේ කොහොමද?

අපි එක්ක වෙනම නීතිඥවරු ඉන්නවා. ඒ අය ඕස්ට්‍රේලියානු ජාතිකයන්. ඒ අයට අපි යවන අය ගැන වගකීමක් ගන්න පුළුවන්කම තියෙනවා. අනික අපි හැමෝටම අපේ ආයතනයේ ඉංග්‍රීසි විෂය පිළිබඳ උගැන්වීමක් කරනවා. අපි ඉදිරියට ඉංග්‍රීසි කඳවුරු පවා තියන්න බලාපොරොත්තු වෙනවා. අනික අදාළ ආයතනයකට මෙම ශිෂ්‍යයන් බඳවාගන්න තුරු අපි ලබාදෙන සේවයට කිසිම මුදලක් අපි අය කරන්නේ නැහැ. ඒ වගේම අපිට වගකීමක් ගන්න පුළුවන් අයගෙන් විතරයි අපි මුදල් අය කිරීම කරන්නේ. ඇඩ්මිෂන් ලැබෙන්නේ නැත්නම් අපි දෙන කිසිම සේවාවකට මුදල් අය කරන්නේ නැහැ.

[නදී මාණික්කගේ]

මාතෘකා