ග්‍රාමීය මට්ටමට මූල්‍යමය සේවාවන් ව්‍යාප්ත කිරීම අපේ අරමුණයි

 ඡායාරූපය:

ග්‍රාමීය මට්ටමට මූල්‍යමය සේවාවන් ව්‍යාප්ත කිරීම අපේ අරමුණයි

 

LankaClear ආයතනයේ සාමාන්‍යාධිකාරී, 
ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා

තාක්ෂණයේ දියුණුවත් සමඟම මිනිසා දිනෙන් දින පියනඟන්නේ ව්‍යාපාර ලෝකයකටය. එහෙයින් එවැනි ව්‍යාපාර ලෝකයකට වඩා පහසුවෙන් යාමට රටක් ලෙස මංපෙත් හෙළි කරගත යුතුව ඇත. එවැනි අරමුණක් පෙරදැරිව බැංකු කටයුතු වඩාත් පහසු කරගැනීම උදෙසා මහ බැංකුව විසින් බැංකු කටයුතුවලදී අතරමැදි සේවා සපයන ආයතනයක් ලෙස LankaClear ආයතනය ආරම්භ කර ඇත. ඔවුන් පාරිභෝගිකයන්ට බැංකු කටයුතු වඩාත් පහසු කරගැනීම උදෙසා විවිධ ක්‍රමවේද හඳුන්වා දෙමින් ඉතාමත් කාලෝචිත සේවාවක් සපයමින් සිටියි. බැංකු කටයුතු වඩාත් පහසු කරගැනීම උදෙසා ආරම්භ වූ ලංකාවේ එකම ආයතනය වන LankaClear ආයතනයෙහි සේවා පිළිබඳව දැන ගැනීමට අපි එම ආයතනයෙහි සාමාන්‍යාධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා හමුවූයෙමු.

 

LankaClear ආයතනය ගැන හඳුන්වාදීමකින් මේ කතාබහ ආරම්භ කරමු?

LankaClear ආයතනය ආරම්භ කළේ 2002 වසරේදි මහ බැංකුව විසින්. බැංකු අතර සිදු වෙන ගනුදෙනු කටයුතු වඩාත් පහසුවෙන් සහ කාර්යක්ෂමව කිරීම උදෙසා අතරමැදි ආයතනයක් ලෙසයි මේ ආයතනය ආරම්භ කළේ. ඉන්පසුව එතැනින් එහාට ගිහින් LankaClear ආයතනය බැංකු කටයුතු සඳහා තව තවත් නව ක්‍රමවේද හඳුන්වා දෙමින් පාරිභෝගිකයාට බැංකු ගනුදෙනු වඩාත් පහසු කිරීමට සමත් වෙලා තියෙනවා.

එම ක්‍රමවේදයන් ගැන විස්තර කළොත්?

සාමාන්‍යයෙන් චෙක්පතක් පාරිභෝගිකයෙක් තමන්ගේ බැංකු ගිණුම තියෙන බැංකුවේ ශාඛාවට බාර දෙන්න ඕනේ. එම චෙක්පත වෙනත් බැංකුවක චෙක්පතක් නම් චෙක්පත නිකුත් කරන ගිණුම පිළිබඳව තොරතුරු සොයා බලන්න ඕනේ. ඉස්සර සිදු වුණේ චෙක්පත බැංකු ශාඛාවකට දුන්නාම එය ප්‍රධාන ශාඛාවට යවනවා. ඉන්පසුව ප්‍රධාන ශාඛාවෙන් මහ බැංකුවට යවනවා. මහ බැංකුවෙන් චෙක්පත නිකුත් කරපු බැංකුවට යවනවා. ඒ බැංකුවෙන් ගිණුමේ තොරතුරු පරීක්ෂා කරලා නැවත මහබැංකුව හරහා ප්‍රධාන ශාඛාවට ගිහින් නැවත පාරිභෝගිකයා වෙක්පත ලබදුන් බැංකු ශාඛාවට යවනවා. මේ ක්‍රියාවලියට සතියක විතර කාලයක් ගියා. ඒ කියන්නේ පාරිභෝගිකයෙක්ට චෙක්පතක් තැන්පත් කළාම මුදල් ලැබෙන්න දවස් හතක පමණ කාලයක් ගත වුණා. මේ ක්‍රියාවලිය මහ බැංකුවට සිදු කරන්න අපහසු නිසා මහ බැංකුව යටතේ වෙනම ආයතනයක් ආරම්භ කළා. ඒ වෙනුවෙන් ආරම්භ කරපු ආයතනය තමයි LankaClear කියන්නේ. මේ ආයතනය පිහිටුවේ විශේෂ ආකාරයකට. මේ ආයතනයේ අයිතිය තියෙන්නේ මහබැංකුවට සහ සියලුම වාණිජ බැංකුවලට. මොකදමෙම ආයතනය පිහිටුවූයේ බැංකු අතර ගනුදෙනු කටයුතු පහසුවෙන් සිදු කිරීමට ආයතනය ආරම්භ කළ මුල් කාලයේදී මේ ක්‍රියාවලිය සාමාන්‍ය ආකාරයට සිදුවුණේ. නමුත් 2006දී අපි වෙනත් ක්‍රමවේදයක් සකස් කළා. එහිදී සිදුවෙන්නේ චෙක්පතක් පාරිභෝගිකයා තමන්ගේ බැංකු ගිණුම තියෙන ශාඛාවකට ලබාදුන්නාම එම ශාඛාවේදීම චෙක්පත scan කරලා ඡායා පිටපතක් ප්‍රධාන ශාඛාවට යවලා ප්‍රධාන ශාඛාවෙන් LankaClear ආයතනයට එවලා මේ ආයතනය හරහා චෙක්පත නිකුත් කරපු බැංකුවට ගිහින් එනවා. එම ක්‍රමවේදයෙන් මේ ක්‍රියාවලියට සතියක් වැයවුණු කාලය වැඩ කරන එක දවසක් දක්වා අඩු කරගන්න හැකි වුණා. මෙම ක්‍රියාවලිය දැන් සිදු වන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහායි.

2013දී මහ බැංකුවේ අනාගත සැලසුම් යටතේ ප්‍රධාන කාර්යයක් ලෙස කතාබහ කළේ ATM මඟින් සිදුකරන ගනුදෙනු පාරිභෝගිකයාට වඩාත් පහසු කිරීම. එම ක්‍රියාවලියේ වගකීමත් LankaClear ආයතනයට පැවරුණා. ඉස්සර කෙනෙක්ට ATM එකකින් මුදල් ගන්න නම් තමන්ගේ ගිණුම තියෙන බැංකුවක ATM එකකටම යන්න සිදුවුණා. නාගරිකව ATM යන්ත්‍ර ඕනෑ තරම් තිබුණාට දුර බැහැර පළාත්වල තියෙන්නේ ATM යන්ත්‍ර සීමිත ප්‍රමාණයක්. තිබෙන්නේ වෙනත් බැංකුවක ATM යන්ත්‍රයක් නම් මුදල් ගැනීමට අපහසුවක් හා විශාල මුදලක් වැය වුණා. මේ ගැටලුවට විසඳුමක් ලබාදීම මහ බැංකුව අපිට පැවරුවා. අපි තාක්ෂණික විසඳුමක් ඒ සඳහා හඳුන්වා දුන්නා. එක් බැංකුවක පාරිභෝගිකයෙක්ට තවත් බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ගැනීම, ගිණුමේ මුදල් පරීක්ෂාව රට පුරාම කිරීමට හැකි ආකාරයට ක්‍රමවේදය සකස් කළේ LankaClear ආයතනය විසින්. මීට කලින් මේ ක්‍රමවේදය ජාත්‍යන්තර ජාල හරහායි සිදුවුණේ. ඒ සඳහා විශාල මුදලක් අය කළා. දැන් අපේ ආයතනය හරහා වෙනම තාක්ෂණයක් මඟින් ඉතා සුළු මුදලක් අය කරලා මෙම සේවාව ලබාදෙනවා. දැනට ATM 5000කට ආසන්න සංඛ්‍යාවක් ලංකාව පුරා තියෙනවා. ඉන් 99.6%ක්ම අපි මේ ක්‍රමවේදයට සම්බන්ධ කරලා තියෙන්නේ. LankaPay Network නමින් හඳුන්වන්නේ මේ ක්‍රියාවලියයි.

ඔබේ ආයතනයේ දැක්ම මොකක්ද?

අපේ ආයතනයේ දැක්ම තමයි " ග්‍රාමීය මට්ටමට මූල්‍යමය සේවාව ව්‍යාප්ත කිරීම".ඒ කියන්නේ ග්‍රාමීය පාරිභෝගිකයන්ට බැංකු ගනුදෙනුවලදී එම කටයුතු වඩා පහසු කරදීමට අපේ සේවා සැපයීම තමයි මූලික අරමුණ.

LankaClear ආයතනයේ පවතින විශේෂත්වය මොකක්ද?

මේ ආයතනය බැංකුවක් නෙමෙයි. මෙමඟින් කරන්නේ බැංකු සේවාවන් ලබා ගැනීම මහ ජනතාවට වඩාත් පහසු කිරීමයි. ලංකාවටම මේ ආයතනය විතරයි තියෙන්නේ. කලින් විස්තර කළ කළ සේවාවන්ට අමතරව ඉදිරියේදී බැංකු කටයුතුවලදී තව තවත් ඉලෙක්ට්‍රොනික සේවාවන් කරා මහජනතාව යොමු කිරීම අවශ්‍යයි. චෙක්පත් වෙනුවට මුදල් එවෙලේම හෝ එදිනම ගන්න ක්‍රමවේදයක් අවශ්‍ය වුණා. ඒ වගේම ආයතනවලින් වැටුප් ගෙවන විට ගිණුමට බැර කරද්දි සේවකයන්ට විවිධ බැංකු ගිණුම් තියෙන නිසා ඉක්මනින් වැටුප් බැර කිරීමක් ඉස්සර සිදු වුණේ නැහැ. අපි අලුත් ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා Sri Lanka Inter Bank Payment System (SLIPS) නමින්. දැන් ලංකාවේ බහුතරයක් රජයේ හා පෞද්ගලික අංශවල සේවකයන්ගේ වැටුප් බැර කරන්නේ මෙම ක්‍රමවේදය හරහා තමයි. එහිදී වැටුප් ගෙවන ආයතනයෙන් බැංකුවට ඉලෙක්ට්‍රොනික ලිපිගොණුවක් ඉදිරිපත් කරනවා අදාළ සේවකයන්ගේ බැංකු ගිණුම්වල තොරතුරු සහිතව මුදල් බැර කරන්න කියලා. මේ ක්‍රමවේදයක් යටතේ උදේ බාරදුන්නාම හවස් වන විට සේවකයන්ගේ ගිණුම්වලට වැටුප බැර වෙනවා.

ඊට අමතරව Internet Banking හෝ Mobile Banking හරහා එසැණින් මුදල් යවන්න පුළුවන් ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා Common Electronic Fund Transfer Switch (CEFTS) කියන නමින්. කෙනෙකුට තමාගේ බැංකුවේ Internet Banking සේවාව හරහා වෙනත් බැංකුවක ගිණුමකට එවෙලෙම මුදල් යැවීම ඉතා සුළු කාලයකින්, තත්පර ගණනකදී දැන් සිදු කළ හැකියි. එය ක්‍රියාත්මක වෙන්නේ 2015 සිට CEFTS ක්‍රමවේදය හරහා. බොහෝමයක් බැංකු සහ මූල්‍ය ආයතන මේ සඳහා සම්බන්ධ වෙලා තියෙන්නේ. කාසි හා නෝට්ටු භාවිතය අවම කරන්න තමයි අපි මේ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු හඳුන්වා දෙන්නේ. මෙයට හේතුව කාසි හා නෝට්ටු භාවිතා කිරීමේ බොහෝ අවාසි තිබෙන නිසා. කාසි හා නෝට්ටු භාවිතයේදී ඒවා අච්චු ගහන්න ඕනේ, නැවත ප්‍රතිචක්‍රීයකරණ කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා ආරක්ෂාව සපයන්න ඕනේ. මේ ක්‍රියාවලිය සඳහා රජයකට දළ ජාතික නිෂ්පාදනයෙන් 1.5%ක් පමණ වැය වනවා. මුළු මහත් අධ්‍යාපන ක්‍රියාවලිය වෙනුවෙන් රජය පහුගිය වසරේ වියදම් කළේ දළ ජාතික නිෂ්පාදනයෙන් 2.9%ක් වගේ ප්‍රමාණයක්. මේ කාසි හා නෝට්ටු භාවිතය නිසා විශාල අනවශ්‍ය වියදමක් සිදුවන බව එමඟින් ඔප්පු වෙනවා. කාසි හා නෝට්ටු භාවිතය අවම කළහොත් ඒ මුදල් වෙනත් සුබසාධන සේවා සඳහා වැය කරන්න පුළුවන්.

ඒ වගේම අපි භාවිත කරන Credit Card හෝ Debit Card දැනට මෙහෙය වන්නේ ජාත්‍යන්තර සේවාදායකයන් විසින්. මේ කාඩ්පත් මඟින් සිදුවෙන ගනුදෙනු සිදුවෙන්නේ ජාත්‍යන්තර ජාලයක් හරහා. ඒ හැම ගනුදෙනුවකටම රු.15ක් හෝ රු.20ක් අපිට විදේශ විනිමය වැය කරමින් පිටරටවලට ගෙවන්න සිදුවෙනවා. ලංකාව ඇතුලත බැංකු දෙකක් අතර ගනුදෙනුවකදී ගාස්තු ගෙවීමක් නැති කර ගැනීම සඳහා මහ බැංකුවේ ඉල්ලීම මත LankaClear ආයතනය විසින් Local Switch එකක් හඳුන්වා දුන්නා. Common Point of Sale Switch නමින් එය හඳුන්වනවා. ඒ අනුව දැන් කාඩ්පත් මඟින් සිදුවන ගනුදෙනුවකදී බැංකු දෙක අතර වන ගනුදෙනුව LankaClear ආයතනය හරහා සිදු කිරීම LankaPay කියන සන්නාමයෙන් අපි හඳුන්වා දුන් කාඩ්පතක් හරහා කළ හැකියි. ඒක විදේශ රටවලත් භාවිතා කළ හැකි වෙන්න ජපානයේ JCB International ආයතනය සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරනවා.

ඊට අමතරව LankaClear ආයතනය මඟින් පාරිභෝගිකයන් සඳහා සපයන සේවා මොනවාද?

අපේ අදහස තිබුණේ කාසි හා නෝට්ටු භාවිතයෙන් ඔබ්බට පාරිභෝගිකයන් ගෙන යන්න. කාඩ්පත් භාවිතය ඒකට විසඳුමක්. මේ වන විට ලංකාවේ බැංකු විසින් Debit කාඩ්පත් මිලියන 23ක් නිකුත් කරලා තියෙනවා. ලංකාවේ ජනගහනයටත් වැඩිය කාඩ්පත් නිකුත් කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ බැංකු ගිණුම් මිලියන 23ක් පමණ තියෙනවා. බැංකු ගිණුම් එකකට වඩා තියන අය ඉවත් කළ විට ලංකාවේ ජනගහනයෙන් 75%ක විතර ප්‍රතිශතයකට බැංකු ගිණුම් තියෙනවා. ඉස්සර කාඩ්පතකින් කළේ එය භාවිත කරලා ජාත්‍යන්තර ජාලයක් ඔස්සේ මුදල් ගනුදෙනු කරන එක. අපි කල්පනා කළා කාඩ්පත් රහිතව බැංකු දෙකක් හරහා වන ගනුදෙනු කරන්න පුළුවන්ද කියලා. ලංකාවේ Credit Card මිලියන 1.7ක් පමණ නිකුත් කරලා තියෙනවා. නමුත් කාඩ්පත් භාවිත කරන POS යන්ත්‍ර (බැංකු හෝ වාණිජ ගනුදෙනුවලදි) ලංකාව පුරාම තිබෙන්නේ 65,000ක් පමණ. නමුත් ඒවා භාවිතය ගත්තොත් සමස්තයක් ලෙස දවසකට එක යන්ත්‍රයක් හරහා ගනුදෙනු 4ක්වත් සිදුවෙන්නේ නැහැ. එයින් අදහස් වෙන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් කාඩ්පත් මුදල් ගනුදෙනුවලදී භාවිත කරන්නේ නැහැ කියන එක. මිනිස්සු කාඩ්පත් භාවිතා කරන්නේ මුදල් ATM එකකින් ලබා ගන්න විතරයි. වාණිජ කටයුතු සඳහා මිනිස්සු කාඩ්පත් භාවිත කරන ප්‍රමාණය ඉතා අඩුයි.

ඒ නිසා කාසි නෝට්ටු භාවිතයෙන් ඔබ්බට මිනිසුන්ව ගෙන යන්න නම් පහසුවෙන් ජංගම දුරකථන හරහා ගනුදෙනු කරන්න පුළුවන්ද කියලා අපි කල්පනා කළා. ජංගම දුරකථන හරහා මුදල් ගනුදෙනුවලට EasyCash, M cash වගේ සේවා ආරම්භ කරලා තියෙනවා. නමුත් ඉතාම අඩු ප්‍රතිශතයක් තමයි එමඟින් ගනුදෙනු සිදුවෙන්නේ. ඒකට හේතුව ගනුදෙනු සිදුවෙන්න නම් දෙපාර්ශ්වයම මේ සේවාව සක්‍රීය කරගන්න ඕනේ. අපි කල්පනා කළා ගනුදෙනුවකදී ජංගම දුරකථනය හරහා එක පාර්ශ්වයක් පමණක් සක්‍රීය කර අනිත් පාර්ශ්වයේ බැංකු ගිණුමට මුදල් බැර කරන ක්‍රමයක් ගැන. උදාහරණයක් ලෙස කඩයකට ගියොත් කාසි හා නෝට්ටු නැතිව, කාඩ්පත් නැතිව ජංගම දුරකථන භාවිත කරලා කඩ හිමියාගේ ගිණුමට මුදල් බැර කරන ක්‍රමයක් අවශ්‍යයි. ඒ සඳහා පවතින බාධකයක් තමයි හැම බැංකුවකම සහ පාරිභෝගිකයකු ළඟම Internet Banking සේවාව නොතිබීම. ඒ වගේම ගමනාගමනය, භාණ්ඩ මිලදී ගැනීම ආදිය සඳහා පවතින Mobile App සේවාවන්වලදී ජංගම දුරකථන භාවිතයෙන්ම ඒ ගනුදෙනු කරන්න පුළුවන්ද කියලා අපි කල්පනා කළා. අපි ඒ සඳහා ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා JustPay නමින්. එයින් සිදුවෙන්නේ කුමන හෝ සේවාවක් සපයන Mobile App එකකින් ගෙවීමක් කරන්න අවශ්‍ය නම් එම App එකකට තමන්ගේ බැංකු තොරතුරු අන්තර්ගත කරලා ඒ හරහා පාරිභෝගිකයෙක්ට ඉතා සුළු කාලයකදී තමන්ගේ ගනුදෙනු කටයුතු කරන්න පුළුවන් වීම.

මේ සේවා සඳහා පාරිභෝගිකයන් ආකර්ෂණය කරගන්නේ කොහොමද?

ක්‍රම කීපයක් ඔස්සේ අපි එය සිදු කරනවා. මූලික වශයෙන් බැංකු හරහා අපි එක දැනුවත් කිරීම් සිදු කරනවා. ඊට අමතරව පුවත්පත්, ගුවන්විදුලි නාළිකා සහ රූපවාහිනී නාළිකා ඇතුළු ජනමාධ්‍ය ආයතන හරහා දැනුවත් කිරීම් කටයුතු කරනවා. මේ සමහර සේවා සඳහා පාරිභෝගිකයකුට යම්කිසි සුළු මුදලක් ගෙවන්න අවශ්‍ය වෙනවා. නමුත් ඊට වඩා තමන්ගේ කාලය, ශ්‍රමය ඉතුරු වෙනවා. ඒ වගේම සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීම් කටයුතු කරනවා.

බැංකු කටයුතු ගැනවත් දැනුමක් නොමැති පුද්ගලයන් ජීවත් වන සංවර්ධනය වෙමින් පවතින ලංකාව වගේ රටක ජනතාවට මේ වගේ සේවා පුරුදු පුහුණු කරන්නේ කොහොමද?

එය මිනිසුන් අතරට ගෙන යන්න අපිට තිබුණු විකල්පය කාඩ් භාවිතය. ඒ සඳහා අනිවාර්යයෙන් කාඩ්පත් භාවිත කරන යන්ත්‍ර (POS Terminal) වෙළඳ ව්‍යාපාරිකයා ළඟ තිබිය යුතුයි. එම යන්ත්‍රය හැම කඩයකම හෝ වෙනත් වාණිජ ආයතනයකම නැහැ. චීනය මේ සඳහා හොඳ විසඳුමක් ලබාදීලා තියෙනවා. කාඩ්පත් ගනුදෙනු වෙනුවට QR Code එකක් හැම වෙළෙඳ ව්‍යාපාරයකටම හඳුන්වා දීලා තියෙනවා. එම QR Code එකේ වෙළඳ ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමේ තොරතුරු අන්තර්ගතයි. පාරිභෝගිකයාට ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතයෙන් එම QR Code එක Scan කරලා මුදල් ගනුදෙනුව සිදු කරන්න පුළුවන්. දැන් 40%කට වැඩි පාරිභෝගිකයන් ප්‍රමාණයකට ස්මාර්ට් ජංගම දුරකථන තියෙන නිසා සහ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයාට පවා බැංකු ගිණුමක් තියෙන නිසා මේ ක්‍රමවේදය පහසුවෙන් ජනතාවට හුරු කරන්න පුළුවන්. මේක ඇත්තටම පසුම්බිය අරගෙන සල්ලි නෝට්ටු ගණන් කර කර ඉන්නවා වෙනුවට Scan & Pay කියන සංකල්පයට අනුගත ක්‍රමයක්. ඒ වගේම මේ ක්‍රමවේදය අපි මුලින්ම ස්මාර්ට් ජංගම දුරකථන භාවිතා කරන 40%පිරිසෙන් ආරම්භ කරනවා. ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නත් කවදාවත් ඒ සඳහා අනුගත නොවන පිරිසකුත් ඉන්නවා. ඒ වගේම වෙළෙන්දාට හෝ ව්‍යාපාරික ආයතනයට මුදල් ලබාගන්න මේ ක්‍රමවේදය පහසුයි කියලා ඒත්තු ගන්වන්න උත්සාහ කරනවා.

දැනට LankaClear ආයතනයට ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි පවතින ස්ථාවරත්වය මොකක්ද?

දැනට අපි ලංකාව ඇතුළත කරන්නේ බැංකු කටයුතු සඳහා දායකත්වය ලබාදීම පමණයි. නමුත් තාක්ෂණය අතින් ගත්තොත් අපි ගොඩක් ඉහළ තලයක ඉන්නවා. චෙක්පත්වල ගනුදෙනු කටයුතු 2006දී අපි ලංකාවේ ආරම්භ කළේ ලෝකයෙන්ම දෙවැනියා ලෙස. ඒ වනවිට සිංගප්පූරුවේ විතරයි එම ක්‍රමය තිබුණේ. ඊට අමතරව SLIPS ක්‍රමවේදය අපි ආරම්භ කළේ දකුණු ආසියාවෙන්ම පළමුවැනියා ලෙස. ඒ වගේම ජංගම දුරකතන මඟින් සිදු කරන ගනුදෙනු කටයුතු වඩා සුරක්ෂිතව කිරීමට අපි Digital Certificate නමින් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තියෙනවා. එමඟින් සිදුවෙන්නේ දත්ත වෙන කෙනෙකුට කියවන්න නොහැකි වන ලෙස සුරක්ෂිතව සම්ප්‍රේෂණය කිරීම. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙනවා PCI-DSS (Payment Card Industry - Data Security Standard) කියලා. මේ ප්‍රමිතිය බොහෝ ජාත්‍යන්තර ආයතන සතුව තියෙනවා. මේක තාක්ෂණ ආරක්ෂණය සම්බන්ධ ප්‍රමිතියක්. LankaClear ආයතනය ලංකාවේ පළමු ආයතනය ලෙස ඒ ප්‍රමිතිය ලබාගත්තා.

ඔබේ ආයතනයට ලැබුණු ඇගයීම් හා සම්මාන ගැන කිව්වොත්?

Annual Report Award වලින් පසුගිය වසර තුනේදීම රන් සම්මානය අපේ ආයතනයට ලැබිලා තියෙනවා. ඊට අමතරව National Business Excellence රන් සම්මානය හිමි කරගෙන තියෙනවා. ඒ වගේම අපි බැංකු තරගාවලියක් ආරම්භ කළා. මේ ක්‍රමවේදයන් සියල්ල ප්‍රචලිත කරන්න ඕනේ බැංකු. එයට හේතුව පාරිභෝගිකයා සහ අපි අතර සෘජු සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ ක්‍රමවේදයන් බැංකු අතර ප්‍රචලිත කරන්න LankaPay Technovation Awards කියලා තරගාවලියක් ආරම්භ කළා. තාක්ෂණය භාවිතා කරලා මහජනතාවට වඩා පහසුකම් ලබාදෙන ආයතනවලට අපි සම්මාන දෙනවා. මේ වසරේ සාම්මාන උලෙළ මේ සතියේ පැවැත්වෙනවා. එහිදී ආයතනය අතර ඇති වෙන තරගාරීත්වය හා ජනතාව දැනුවත් කිරීම තුළින් මෙවැනි ක්‍රමවේද ගැන ජනතාව වැඩියෙන් දැනුවත් වෙනවා.

LankaClear ආයතනයේ ඉදිරි සැලසුම් මොනවාද?

අපේ ආයතනයේ ප්‍රධාන අරමුණ මහජනතාවගේ මුදල් ගනුදෙනු පහසු කිරීම. පියවරෙන් පියවර විවිධ ක්‍රමවේද හඳුන්වා දීලා අපි කරන්නේ ඒ අරමුණ කරා ළඟා වෙන එක. අපේ ආයතනයේ ඉදිරි සැලසුම් ගොඩනැඟිලා තියෙන්නෙත් ඒ හා සම්බන්ධව. අපිට තවත් කෙනෙක්ට මුදල් යවන්න ඕනේ නම් ඒ පුද්ගලයාගේ බැංකු ගිණුමේ තොරතුරු දැනගන්න ඕනේ. බැංකුවකින් ගිණුමකට කුමක් හෝ නමක් (nickname) යොදලා ඒ නම හා අදාළ පුද්ගලයාගේ දුරකථන අංකය හරහා ගනුදෙනු කළ හැකි අලුත් ක්‍රමවේදයක් අපි හඳුන්වා දුන්නා. Payment Exchange Name නමින් ඒ ක්‍රමවේදය හඳුන්වාදීලා තියෙන්නේ. ඊට අමතරව ජංගම දුරකතනයට එන විවිධ ගෙවීම් කටයුතු සිහිපත් කිරීම සම්බන්ධයෙන් ආයතන පාරිභෝගිකයාට යවන කෙටි පණිවිඩය (SMS) Click කරලා කුමක් හෝ App එකකට සම්බන්ධ වෙලා එමඟින් වඩාත් පහසුවෙන් එම ගෙවීම් කටයුතු සිදු කරන්න ක්‍රමවේදයක් අපි සකස් කරමින් ඉන්නවා.

[නිර්මාණි බණ්ඩාරනායක]

මාතෘකා